Home » හොරණ ලක්ෂ 39 මුදල් කොල්ලයේ කල්ලියටම මාංචු වැටුණු හැටි

හොරණ ලක්ෂ 39 මුදල් කොල්ලයේ කල්ලියටම මාංචු වැටුණු හැටි

by thanushika
April 27, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුමත් සමඟ මේ වන විට පාතාල ක්‍රියාකාරිකයින් සහ මත්ලෝලීන් වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වීම නිසා සොරකම්, කොල්ලකෑම් සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන මෙන්ම විවිධ අපරාධවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කළත් තවමත් සමහර ප්‍රදේශවලින් අපරාධ වාර්තා වීමක් සිදුවන බව පැහැදිලිය.

කොල්ලකරුවෝ ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වීමට නොයෙක් උපක්‍රම අනුගමනය කරති. කාලයක සිට සැලසුම් කර සිදුකරන මෙම කොල්ලය සඳහා එයට ග්‍රහණය වන ස්ථානයේ සමීපතමයෙකු සම්බන්ධ කර ගැනීමට ද ඔවුන් කටයුතු කරන්නේ සියල්ල තිතටම කර ගත යුතු බැවිනි. එවැනි මංකොල්ලයක් පසුගියදා හොරණ ප්‍රදේශයේදී ද සිදුවිය.

ඔහු ව්‍යාපාරිකයෙකි. තිස් හතර හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා බේකරියක් පවත්වාගෙන ගියේ ඉන් හොඳ ආදායමක් ද ලබා ගනිමිනි. ඔහු තම බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය පිටි ලබා ගත්තේ හොරණ සව්ගස් හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලාවකිනි. නිතර මෙම කර්මාන්තශාලාවට යන එන මොහු එහි සේවය කරන තරුණයකු සමඟද වැඩි හිතවත්කමක් ඇතිකරගෙන තිබිණි. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු 26 හැවිරිදි වියේ පසු වූවෙකි. මේ නිසා මෙම ආයතනයේ මුදල් ගනුදෙනු කරන පිළිවෙළ ගැන ද ඔහුට හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපහසු වූයේ නැත. රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගනුදෙනු සිදු කෙරෙන මෙම ආයතනයේ කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන සේවකයාගෙන් විමසා දැන ගැනීමට මොහු එහි යන එන අතරවාරයේ කටයුතු කළේ කිසිවෙකුටත් නොදැනෙන ආකාරයටය.

සිකුරාදා සහ සෙනසුරාදා දින දෙකේදී එකතු වන මුදල් සඳුදාහි ඔවුන් බැංකුගත කරන බව මෙහිදී බේකරි හිමියාට නිවැරදිවම දැනගැනීමට හැකි වී තිබිණ. මෙම මුදල් කොල්ලකෑමට බේකරි හිමියා සැලසුමක් සකස් කළේ ඉන් පසුවය. මේ සඳහා අසල්වැසි තරුණයන් දෙදෙනෙකුගේ සහාය ලබා ගැනීමට ඔහු කටයුතු කළේ දෙවරක් නොසිතමිනි.

“මචං පොඩි වැඩක් තියෙනවා… සපෝර්ට් එකක් දෙනවද මට…? වැඩේ හරියට කෙරුණොත් මෙදා පාර අවුරුද්දට ගොඩේ ගොඩ…” අසල්වැසි තරුණයාට බේකරි හිමියා තම සාහසික අදහස එසේ ඉදිරිපත් කළේ ඔහු කතාවට අල්ලා ගැනීමෙන් අනතුරුවය.

“උඹ කියනව නම් මචං අපායට වුණත් යන්නං…” අවුරුදු 30ක් වයසැති මෙම තරුණයා බේකරි හිමියාගේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කළේ එලෙසිනි.

“අරූවත් අල්ලගෙන වැඩේ කරපන් එහෙනං…”

විසි හතර හැවිරිදි තරුණයෙකුද ‘වැඩේට’ ඈඳා ගත්තේ එලෙසිනි. සිද්ධියට දින දෙක තුනක සිටම තිදෙනා එම ස්ථානයේ කරක් ගසා ‘ලොකේෂන්’ බලාගෙන ආවේ කිසිම වැරදීමකින් තොරව සිදුකළ යුතු කටයුත්තක් නිසාය.

එදින අප්‍රේල් 01 වැනිදා හෙවත් ‘මෝඩයාගේ දිනය’ වුවද යතුරුපැදියට නැඟගත් කොල්ලකරුවන් දෙදෙනා ‘ෆුල් ‍ෆේස්’ හෙල්මට් දමාගෙන මන්න පිහි දෙකක් ද රැගෙන පිටත් වූයේ තව නොබෝ දිනකින් පවත්වන ‘අවුරුදු පාටියට’ අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමේ අටියෙනි. එදින එම ආයතනයේ මුදල් කටයුතු සිදුකළ කාන්තාව සහ පුද්ගලයා සේප්පුවෙන් මුදල් එළියට ගත්තා පමණි. එදින දහවල් දෙකට පමණ එම ස්ථානයට එකවර කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා මන්නා පිහි පෙන්වා තර්ජනය කර ඔවුන් දෙදෙනාගේ අතපය ගැට ගසා බැංකුගත කිරීමට තිබූ රුපියල් තිස්නව ලක්ෂයක මුදල් කොල්ලකා පලා ගියේ පවනට බඳු වේගයෙනි.

මෙම කොල්ලය පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කළද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මේ අතර කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජී. ජේ. නන්දන විසින් මෙහි විමර්ශන කටයුතු එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව වෙත පැවරීමට කටයුතු කළේ මෙවැනි විමර්ශනවලදී මීට පෙර ඔහු විසින් දක්වා ඇති දක්ෂතාවන් ගැනද සැලකිල්ලට ගනිමිනි. මේ අනුව සිදුකළ විමර්ශනයේදී මෙම කොල්ලයේ පසුපැදිකරු ලෙස කටයුතු කළ 24 හැවිරිදි තරුණයා හොරණ නගරයට පැමිණෙන බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කෙරිණි.

ඔහුගෙන් ලද තොරතුරු අනුව පැදිකරු සහ සැලසුම්කරු ලෙස කටයුතු කළ බේකරි හිමියා මෙන්ම සහායකයාත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අපහසු වූයේ නැත.

කොල්ලකන ලද මුදල්වලින් කොල්ලකරුවන් දෙදෙනාම යතුරුපැදි දෙකක් මිල දීගෙන තිබූ අතර, පැදිකරු මිල දීගත් යතුරුපැදියෙන් මත්කුඩු මිලදී ගැනීමට ගියේ මිලදී ගත් දිනයේදීමය.

එම යතුරුපැදිය වෙනත් යතුරුපැදියක ගැටී අනතුරට ලක් වූයේ පැදිකරුගේ පාදයක්ද බිඳ දමමිනි. ඔහු විසින් රන් මාල දෙකක් හා පෙන්ඩන් දෙකක්ද මිල දී ගත්තේ කිසිම ලෝබකමකින් තොරවය. එහෙත් පසුපැදිකරු ඇලුම් කළේ රිදී ආභරණවලටය. මේ නිසා ඔහු මිල දී ගත්තේ රිදී බ්‍රේස්ලටයක්, මාලයක් සහ මුදුවකි.

මීට අමතරව මන්නා පිහි දෙකද ලීසින් ඇරියස් වූ ත්‍රිරෝද රථයක් ද පැදිකරුගේ නිවසේ තිබී සොයා ගැනීමට පොලිසිය කටයුතු කරන්නේ ලැබුණු තොරතුරු අනුවය.

මෙම කොල්ලයේ ‘සහායකයාට’ හිමි මුදල් කොටස ලබා දීමට බේකරි හිමියාට හැකිවී නොතිබිණි. ඒ පොලිසියට හසුවේ යැයි ඇතිවූ බියෙන් බව අනාවරණය වී තිබේ. කෙසේ වුවද රුපියල් ලක්ෂ11ක මුදලක් ඔහු විසින් කාඩ්බෝඩ් පෙට්ටි දෙකක දමා සඟවා බේකරි ඉඩමේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයා ගැනීමට කටයුතු කරන ලදි. කොල්ලය සඳහා යොදාගත් අංක තහඩු වෙනස් කළ යතුරුපැදිය ද පොලිසිය විසින් සිය භාරයට ගත්තේ කොල්ලයේ ප්‍රධානියාගේ නිවසේ තිබියදීය. මීට අමතරව හෙල්මට් දෙකද නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් අතර, මෙම කොල්ලයට අනුබල දුන් සහායකයාගේ දෑතටද මාංචු වැටුණේ කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඉඩ නොතබා වීම ද විශේෂිතය.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජී. ජේ. නන්දනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.පී. ක්‍රිෂාන්තගේ අධීක්ෂණයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීවගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල්, මධුෂාන්, සැරයන්වරුන් වන 55301 ගුණෙන්ද්‍ර, 41104 සමන්තිලක, 68479 ප්‍රසන්න, 69615 ජයසූරිය, කොස්තාපල් 79335 තුෂාර යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division