Home » කැස්බෑ බිත්තරේට පණ දුන් රත්ගම වෙරළේ එස්.ටී. එෆ්.මෙහෙයුම

කැස්බෑ බිත්තරේට පණ දුන් රත්ගම වෙරළේ එස්.ටී. එෆ්.මෙහෙයුම

by thanushika
March 23, 2024 12:30 am 0 comment

ඇතැම් මිනිසුන් මුදල් වෙනුවෙන් නොකරන දෙයක් නැතැයි අමුතුවෙන් කිව යුතු නොවේ. මුදල්වලට එතරම් කෑදර මිනිසුන් සිටින බවද රහසක් නොවේ. අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වෙමින් පවතින්නේත් සාරධර්ම වළ පල්ලට යමින් තිබෙන්නේද මෙවැනි මිනිසුන් සුළු පිරිස නිසා බව හැම දෙනාටම තේරෙන කරුණකි.

කැලේ කොළේ වෙසෙන අහිංසක සතා සීපාවට ගිනි බිඳින උන්ගේ මස් මාංස මුදලට විකුණන පව පින නොදන්නා සතුනටත් අන්ත මිනිසුන් මේ ජන සමාජයේ වෙසෙයි. සතකු දමා යන බිත්තරයකින් තමන්ගේ සාක්කු සල්ලි කොළවලින් පුරවා ගන්නා තරමට මේ සමහර මිනිසුන් පත්ව ඇති හැටියක් පෙනෙන්නට ඇත.

මේ කතාවද එවැන්නකි. වාර්තා වන්නේ රත්ගම ප්‍රදේශයෙනි.

සංරක්ෂිත සතකු වන කැස්බෑවුන් නීති විරෝධීව ළඟ තබා ගැනීම, ඝාතනය, මස්, බිත්තර විකිණීම මුළුමනින්ම තහනම් වුවද කැස්බෑවුන් දමා යන බිත්තර නීති විරෝධීව එක්කාසු කර ලොකු මුදලකට අලෙවි කිරීම, ජාවාරම් කිරීම විශේෂයෙන් දකුණු පළාතේ මුහුදු වෙරළ ආශ්‍රිතව වෙසෙන ඉතා සූක්ෂ්ම ජාවාරම්කරුවන් පිරිසකට ආදායම් උපදවන මාර්ගයක් වී ඇත.

රත්ගම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධරයන්ද විසිහතර පැය පුරාම විමර්ශනවල නිරතව සිටින්නේ ප්‍රදේශයේ හිස ඔසොවන පාතාල ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මර්දනය සඳහාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම්වලද රත්ගම කඳවුරේ නිලධාරීන් නිරතව සිටින්නේ මීට මාස තුනකට පෙර යුක්තිය මෙහෙයුම පටන් ගත් දා සිටමය.

රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධානී පොලිස් පරීක්ෂක මොහොමඩ් ෂිහාම් ඊබ්‍රාහිම්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු කණ්ඩායමක් යුක්තිය මෙහෙයුම්වල නිරතව සිටිද්දී පොලිස් පරීක්ෂක ශිරන්තට තොරතුරක් ලැබෙන්නේ රත්ගම වෙරළේ ක්‍රියාත්මක කැස්බෑ බිත්තර ජාවාරමක් සහ එහි නිරතව සිටින පුද්ගලයකු සම්බන්ධවයි. ඒ පසුගියදාය.

මේ ජාවාරම්කරුවා පසුදිනක අලුයම රත්ගම වෙරළේ ප්‍රකට සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළේදී කැස්බෑ බිත්තර ගොඩ ගැනීමට සූදානමින් සිටින බවද එම තොරතුරෙන් කියැවිණි.

පොලිස් පරීක්ෂක ශිරන්ත ඇතුළු කණ්ඩායම රත්ගම මුහුදු වෙරළේ මහ පාන්දර මෙහෙයුමක් සැලසුම් කර ආරම්භ කරන්නේ එම තොරතුරට අනුවය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැඟවී සිටින්නේ සැකකාර පුද්ගලයාගේ හෝඩුවාවක් ලැබෙනතුරුය.

‘කළු ඇඳුමින්’ සැරසුණු පුද්ගලයෙක් රත්ගම මුහුදු වෙරළේ ඒ මහ පාන්දර කිසියම් කටයුත්තක රහසිගතව නිරත වනු විශේෂ කාර්ය බළකා නිලධරයන්ට නිරීක්ෂණය වන්නේ තවත් විනාඩි කිහිපයකට පසුවය.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම සැකකරු අල්ලාගෙන ප්‍රශ්න කරද්දි ඔහු අත තිබූ උරයක දමා තිබුණු කැස්බෑ බිත්තර 153ක් සොයා ගැනීමට හැකි විය.

මේ සැකකරු මීට පෙරද කැස්බෑ බිත්තර කිසියම් ප්‍රමාණයක් නීති විරෝධීව ගොඩගෙන තිබු අයෙක් බවට තොරතුරු හෙළි වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ අදාළ විමර්ශනය සිදු කරන ලද නිලධාරීන් සිදු කළ පරීක්ෂණයේදීය.

පොලිස් පරීක්ෂක ශිරන්ත සඳහන් කරන අන්දමට මේ කැස්බෑ බිත්තරවල මිල නියම වන්නේ ඒවා අවශ්‍ය පුද්ගලයන්ගේ අවශ්‍යතාව මතය. රුපියල් 100/- සිට රුපියල් 200/- , 500/-, 1000/- පමණක් නොව රුපියල් 2000/- ටද මේ කැස්බෑ විත්තර අලෙවි වන බව විමර්ශනයේදී හෙළි විය. කැස්බෑ බිත්තරයකට ලැබී ඇති මේ වටිනාකම නිසාම ජාවාරම්කරුවන් අතර බිත්තර එකතු කිරීම සඳහා ඇත්තේ තරගයකි.

විශේෂයෙන් ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටින ඇතැම් සංචාරකයන් වාජීකරණ ඖෂධයක් ලෙස කැස්බෑ බිත්තර ආහාරයට ගන්නේ දුර්මත නිසා බව පොලිස් පරීක්ෂක ශිරන්තගේ මතයයි. කැස්බෑ බිත්තර ජාවාරම්කරුවන්ට ඇතැම් සංචාරකයන්ගෙන් ලැබෙන ඇණවුම්වලට අනුව ඔවුන් කැස්බෑ බිත්තර සොයා ගැනීමට ඉතා වෙහෙසකාරී උත්සාහයක් ගන්නේ ඊට ලැබෙන මුදල ගැන සිතාය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්වීමත් සමඟම ඉන් ඉවත්වූ රසායන නිසා කැස්බෑවන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් වූ බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. මේ හේතුව නිසාම කැස්බෑවන් මෙරට වෙරළ තීරයට පැමිණ බිත්තර දැමිමේ ශීඝ්‍ර අඩුවක් පෙනෙන්නට තිබිණි. නැවතත් එම කාර්ය සක්‍රිය වෙමින් පවතින අවස්ථාවක කැස්බෑ බිත්තර ජාවාරම්කරුවන් එම ජාවාරම ‘මුදල් උපයන උල්පතක්’ බවට පත්කරගෙන තිබීම පෙනෙන්නට ඇති සුවිශේෂී කාරණාවකි.

සොයා ගන්නා ලද කැස්බෑ බිත්තර 153 අදාළ නීතිමය කටයුතුවලින් අනතුරුව වනජීවියට අයත් දොඩන්දූව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට දී ඇති අතර අවශ්‍ය කටයුතුවලින් අනතුරුව දින 45 කදී පමණ පැටවුන් බිහි වනු ඇති බව සියලු දෙනාගේ අදහසයි.

කැස්බෑ බිත්තර සමඟ අල්ලා ගන්නා සැකකරුගේ වයස අවුරුදු 43කි. ඔහු රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ ප්‍රධානී පොලිස් පරීක්ෂක මොහොමඩ් ෂිහාම් ඊබ්‍රාහිම්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක එස්.ඒ.සී ශිරන්ත ඇතුළු කණ්ඩායමක් මෙහෙයුම සිදු කරන ලදි.

එස්.ටී. එෆ්.මෙහෙයුම - දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division