Home » බස්නාහිර – දකුණ පාතාලය ඉවර කරන ‘ටීම් 20’ මෙන්න!

බස්නාහිර – දකුණ පාතාලය ඉවර කරන ‘ටීම් 20’ මෙන්න!

අමිල මලවිසූරිය

by thanushika
March 23, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම බලගන්වා ඉකුත් මාර්තු 17 වැනිදාට හරියටම මාස තුනක් සම්පූර්ණ විය. පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා එවක වැඩ බලන පොලිස්පතිවරයා වූ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනකුගේ අධීක්ෂණයෙන් ඇරැඹි යුක්තිය මෙහෙයුම මේ වන විට අඛණ්ඩව ලංකාවේ 607ක් වන සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි දිවා රෑ පුරා ක්‍රියාත්මක වේ. මේ දක්වා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම ඔස්සේ වැටලීම් 78210ක් සිදු කරමින් සැකකරුවන් 77815 දෙනකු අත්අඩංගුවට ගනිද්දී එම සැකකරුවන් අතුරින් 2642 දෙනෙකු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරේ. එසේම සැකකරුවන් 2399 දෙනකු පුනරුත්ථාපනය සඳහා ද යොමුකර ඇත. සියලු වැටලීම්වලින් හෙරොයින් කිලෝ 154යි ග්‍රෑම් 112ක්ද අයිස් කිලෝ 228යි ග්‍රෑම් 868ක්ද ගංජා කිලෝ 4045යි ග්‍රෑම් 791ක් සහ ගංජා පැළ 41,78,013ක් අත්අඩංගුවට ගැනිණි. ඊට අමතරව වෙනත් මත්ද්‍රව්‍ය වැටලීම් 3909ක් සිදු කරමින් කිලෝ 429යි ග්‍රෑම් 483ක් සහ මත්පෙති 5,66,516ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වී තිබේ.

පසුගිය 9 වැනිදා සෙනසුරාදා දින පොලිස් කොට්ඨාස 45ක ප්‍රධානීන් කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට කැඳවූ පොලිස්පතිවරයා එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සැමටම උපදෙස් දුන්නේ යුක්තිය මෙහෙයුම නවතාවකින් බලගන්වා පාතාල ක්‍රියාකාරීන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, කුලී ඝාතකයන් ඇතුළු සියලුම අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව යුක්තිය මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ඇරැඹුණේ ගෙවුණු සතියේ 19 වැනිදාය. ඒ සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යෙදවීමට කටයුතු කෙරිණි. එදින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී එම විශේෂ මෙහෙයුම සම්බන්ධව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර අදාළ නිලධාරින් දැනුම්වත් කරමින් විශේෂ උපදෙස් ලබා දීමක් ද සිදු කෙරිණි.

රටේ අහිංසක මිනිසුන්ට නිදහසේ, සාමකාමීව ජීවත්වීමේ අයිතිය තහවුරු කරනුවස් පාතාල කල්ලි මර්දනය එම විශේෂ පොලිස් කණ්ඩායම් 20 ස්ථාපිත කිරීමේ මූලික අරමුණ බව එදින පොලිස්පතිවරයා සඳහන් කළේය. එම පොලිස් කණ්ඩායම් 20 මඟින් දැනට බස්නාහිර සහ දකුණු පළාත්වල හඳුනාගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි 20ක් ඉලක්කකොට දිවා රෑ නොබලා හඹා යාමේ මෙහෙයුමක් යුක්තිය මෙහෙයුමට සමගාමීව දියත් කිරීමට නියමිතය.

පොලිස්පතිවරයා එම කණ්ඩායම් 20 ස්ථාපිත කරමින් සඳහන් කළේ මෙතෙක් කලක් පාතාල අපරාධකාරයන් විසින් ඔවුන්ට අවශ්‍ය ඉලක්ක සොයා අහිංසක මිනිසුන්ට වෙඩි තබමින් ඝාතන සිදුකළා නම් මෙතැන් සිට එවැනි අපරාධ කල්ලිවල සාමාජිකයන් පසුපස ද පොලිසිය සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් හඹා ඒම සිදුවන බවත් මේ මාසය අවසන් වන විට පාතාල ක්‍රියාකාරකම් අවසන් නොවුණහොත් දැනට යොදවා ඇති නිලධාරි සංඛ්‍යාව මෙන් තවත් කීප ගුණයකින් නිලධාරින් වැඩිකොට ඉදිරි මාසවලදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම තුරන් කරන තෙක්ම මේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

එම විශේෂ කණ්ඩායම් 20හි එක් කණ්ඩායමකට පොලිස් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි අංශ සාමාජිකයන් සිව්දෙනෙක්, පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් නවදෙනෙකු මෙන්ම පොලිස් ජීප් රථයක් ද අයත්ය. මෙකී විශේෂ පොලිස් කණ්ඩායම් 20 මඟින් ප්‍රධාන වශයෙන් දැනට පොලිස් බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බස්නාහිර සහ දකුණේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ප්‍රමුඛ දකුණු පළාතේ කොස්ගොඩ සුජී, ඌරගහ මයිකල්, පොඩි ලැසි, සමන් කොල්ලා, කරන්දෙණියේ ජයලත් සුද්දා, මිදිගම රුවන්, නදුන් චින්තක හෙවත් හරක් කටා, ආබෘ කල්ලිය වැනි පාතාල කල්ලි මෙන්ම බස්නාහිර පළාතේ වැල්ලේ සුරංග, වැල්ලේ සාරංග, කංජිපාන ඉම්රාන්, ජම්පටාවීදියේ සෙල්විගේ පුතුන් වන ශිරාන්, කෙනිස්ටන් සහ රිමෝෂන්, පූකුඩුකන්නා සහ බුම්මා, හීනටියන මහේෂ්, රත්මලාන අංජු සහ ධර්මසිරි, වත්තල ඩුබායි නිපුන, අතුරුගිරියේ ලැඩියා, පාණදුර කුඩු සලිඳු, මතුගම ශාන්, කිඹුලාඇළ ගුණා සහ පොඩි සුරේෂ් යන පාතාල සාමාජිකයන්ගේ ගෝලබාලයන්ගෙන් සමන්විත කල්ලි පසුපස හඹා යාමට සූදානම්ය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුවන මෙකී පාතාල සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් සහ මත් ජාවාරම මෙරටින් තුරන් කිරීමට නම් ඒ සඳහා මහජනයා ද ආරක්ෂක අංශ වෙත මනා සහයෝගයක් ලබාදිය යුතුය.

ඒ අනුව පොලිසිය යුක්තිය මෙහෙයුම බලගැන්වීමත් සමඟ රටේ පොලිස් කොට්ඨාස 45ම ආවරණය වන පරිදි වෙනම වෙනම දුරකතන අංක 45ක් සහ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියේ 071-8598800 දුරකතන අංකය මෙන්ම ops.narcotics@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ද හඳුන්වා දුන්නේ මහජනයාගෙන් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා ගැන රහස්‍ය තොරතුරු ලබා ගැනීමටය. එහිදී එම දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා දෙන්නවුන්ගේ දුරකතන අංක හඳුනා ගැනීමට නොහැකි වන ලෙස CLI පහසුකම් ද එම දුරකතන අංකවලින් ඉවත් කර ඇත. එම නිසා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා මර්දනය සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ත්‍රිවිධ හමුදාව ද එක්ව ගෙන යන වැඩපිළිවෙළට ඔබ ද දායක වන්නේ නම් මැනවි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division