Home » ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන IMF ඉහළම ඇගැයුමට

ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන IMF ඉහළම ඇගැයුමට

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

අමෙරිකානු ඩොලර් මිලියන 337ක මූල්‍ය පහසුකම් ස්ථිර වේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ඇත‍. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337ක් පමණ මූල්‍ය පහසුකම හිමිවනු ඇති අතර, ඒ යටතේ IMF විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වනු ඇත.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කර ගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර, ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බව IMF ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෘවර් සඳහන් කර ඇත. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගය ඇගැයීමට ලක් කර ඇත.

එසේම මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඉදිරි කාලය තුළ බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත කාලයට මෙන්ම, වැඩසටහනේ සඳහන් ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරමින් මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම යන පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

උද්ධමනය ශීඝ්‍රයෙන් පහතට ගෙන ඒම, විදේශ සංචිත ශක්තිමත් වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැක ගනිමින්, ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව, විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් ඇති බව ද සඳහන් කරයි. සැලකිය යුතු ලෙස සිදු කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මාසය අවසානය වන විට සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ද එහිදී සදහන් කර ඇත.

එසේම මහ බැංකුව විසින් සිදුකර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථිකයේ තිරසර භාවය සහ ස්ථාවරත්වය අන්තර්ගත වූත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණවල වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් බව ද සඳහන් වෙයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගෙන ඇත. ආදායම් පරිපාලනය සහ දූෂණ බදු එකතු කිරීම් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය කරා ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් වේ. තීරණාත්මක ඊළඟ පියවර වන්නේ නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ කාලෝචිත ආකාරයකින් වැඩසටහන්වලට අනුකූල ගිවිසුම් වෙත යොමු වීමයි. මෙය මධ්‍යකාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත යථා තත්වයට පත් කිරීමට උපකාරී වනු ඇති බව ද පවසයි.

පාලනය පිළිබඳ විනිශ්චය වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම වැදගත් පියවරකි. දූෂණ අවදානම් සඳහා අවශ්‍ය පිළියම් යෙදීම, ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැඟීම සහ වඩාත් ශක්තිමත් හා සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ තිරසර උත්සාහයක් අත්‍යවශ්‍ය වන බව ද අවධාරණය වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායම නුවරඑළියෙහි තේ වතු කම්කරුවන් හමුවී ශ්‍රී ලංකාව තුළ වඩාත් අවදානමට ලක්විය හැකි අභියෝග කිහිපයක් පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගත්තේය. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක “අස්වැසුම” වැනි සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ඉලක්කගතභාවය පවත්වා ගැනීම, ප්‍රමාණවත්භාවය සහ ආවරණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ ප්‍රයත්නයන් සිදුකිරීම අත්‍යවශ්‍ය වන බවද අවධාරණය කරයි.

කෙසේ වෙතත් මේ කරුණු පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න සඳහන් කරන්නේ මේ ආකාරයට උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටුණ ද, උද්ධමන පීඩනය නැවැත්වීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට අඛණ්ඩ අධික්ෂණය අවශ්‍ය වන බවයි.

එසේම මෙරට නව ආර්ථීක ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කිරිමත් සමඟ අපි විශාල ලෙස ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර, එය මුළුමනින්ම සිදු නොවුණත් සෑහෙන දුරකට සාර්ථක වී ඇත. මුළුමනින්ම නොවුණත් යනුවෙන් මහාචාර්යවරයා අදහස් කරන්නේ ආර්ථීක ප්‍රගතිය දෙඅංශයකින් දැකිය හැකි විය යුතු බවයි.

එහිදී ආර්ථික ස්ථායිතාව අත්පත් කර ගැනීම යන කරුණේදී උද්ධමනය පහතට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වීම, 2024 පෙබරවාරි වන විට නිල සංචිත ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළට ගෙන ඒම, අඛණ්ඩ ප්‍රගතියක් අත් කර ගැනීමට‍ ආදායම් ඉහළ නැංවීමට පියවර ගැනීම, භාණ්ඩ හිඟයේ අඩුවීමක් පොළි අනුපාත පහතට වැටීමත්, සහ අය වැය වැඩි දියුණු වීමත් වෙයි. මැදිකාලීන ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඒවා සියල්ල ආර්ථික ස්ථායිතාවත් සමඟ සබැඳුණු දේ වෙයි.

එසේ ම මැදිකාලීන ආර්ථික ප්‍රගතීන් පිළිබඳව සලකා බැලීමේදී අප ආර්ථික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙයි. එහිදී අපේ රටේ ආර්ථික වෘද්ධිය, අපනයන ප්‍රවර්ධනය පිළිබඳව, සේවා නියුක්තිය සහ ආයෝජන වැඩි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු වෙයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම මත ආර්ථික ස්ථායීතාව ස්ථාවරව තිරසාරව පවත්වාගෙන යා හැකි වෙයි. එසේ නොවන්නේ නම් අපේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගෙන යෑමට අසීරු විය හැකියි.

එසේම අපිට ඉදිරියේදී ඇති අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී IMF විසින් අපේ රට අත්කර ගෙන ඇති ප්‍රගති සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර ඇත. එහිදී අපට පැහැදිලි කරගත හැකිවන කරුණක් නම් අපේ රටේ පසුගිය වසරවල අපි දුටු අපේ රටේ අධිඋද්ධමනය මේ වනවිට අඩුවී ඇත. එය සියයට 60 හෝ 70 දක්වා උද්ධමන වේගය ඉහළට ගෙන ගිය බව අපිට දක්නට ලැබුණි. එවක ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමන වේගය වර්තා වූ රට බවට පත් වි තිබුණි. ඒ තත්ත්වය අබිබවා අපි බොහෝ ඉක්මනින් අර්බුදය සමථයකට පත් කරගනු ලැබිණි.

මුල්‍ය ප්‍රතිපත්තිය හරියාකාරයෙන් භාවිත කිරීමත් සමඟින් මහ බැංකුවේ ප්‍රධාන අරමුණ වන මිල ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට අපට හැකි වූ අතරම එය ආරක්ෂා කරගැනීමට අපට හැකියාව ලැබී තිබේ. එසේම රටේ මිල ස්ථාවරත්වයට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. මහ බැංකුවේ උද්ධමන ඉලක්ක අනුව 4%ත් 6%ත් අතර උද්ධමනය පවත්වා ගත යුතුව ඇත. අද වනවිට උද්ධමන වේගය සතුටුදායක මට්ටමක පවති.

එමෙන්ම මෙහි රාජ්‍ය මුල්‍ය අංශය වැඩි දියුණු කිරීම යනුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ අය තත්ත්වය වැඩි කර ගැනීමත් වැය තත්ත්වය සමාන කර ගැනීම හෝ ආසන්නයට ගෙන ඒමත්ය. බදු පදනම විශාල කර ගැනීමට ප්‍රතිපත්ති අනුගමනය කිරීම මත යම් ප්‍රගතියක් අත්වී ඇත. එසේම අනෙක් පසින් ගත්විට විශාල කැපකිරීමක් අපේ රටේ ජනතාව විසින් කරන ලදි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය මෙම මට්ටමට ගෙන ඒම සඳහා ජනතාවත් යම් කැපකිරීමක් සිදු කරන ලදී. ඇතැම් විට යම් කනස්සල්ලට පත් වී ඇති අවස්ථා ද විය. මේ යන ගමන පිළිබඳව විශාල විරෝධතාවක් ද මතු වී තිබිණි. එසේ තිබියදී එම කැපකිරීම් කරමින් මේ ස්ථාවරයට පැමිණ ඇති අතර එහි හොඳ ප්‍රතිඵල අනාගතයේදී හෝ රටේ ජනතාවට විඳින්නට හැකිවෙතැයි අපේක්ෂා කළ හැකියි.

විදෙස් සංචිත ප්‍රමාණය වැඩිවීමට සම්බන්ධයෙන් ගත්විට එතරම් ප්‍රගතියක් ඒ සම්බන්ධයෙන් ඇති කරගෙන නැත. එයට ප්‍රධාන හේතු වූ කරුණු වෙයි. බහු පාර්ශ්වීය ණය සහ ව්‍යාපෘති ණය අපිට ලැබෙමින් පවතී. සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමෙන් විදේශ සංක්‍රාම වැඩිවී ඇත. මේ කරුණු මඟින් විදෙස් සංචිත ප්‍රමාණය වැඩිකර ගැනීමටත් එසේම ද්විපාර්ශ්වීය ලැබීමත් වැඩි වී ඇත. මේ කරුණුවලින් ප්‍රධාන වශයෙන් විදෙස් සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීමටත් හැකි විය යුතුය. අප ඩොලර් බිලියන 4.5ක් දක්වා වැඩි කර ගැනීමට හැකිවී ඇත. මෙය තිරසර කර ගැනීමට නම් අපි පහළට නොවැටෙන දිගින් දිගටම වැඩිවන සංචිත ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ අපනයන ප්‍රවර්ධනය මඟින් සහ විදෙස් ආයෝජන ගලා ඒම තුළින් පමණක් බව පැහැදිලි වන කරුණකි. ඉදිරියේදි එතැනට අපි යෑමට බලාපොරොත්තු විය යුතුයි. එහෙත් ඒ පිළිබඳව සතුටුදායක තත්ත්වයක් දක්නට අසීරුයි. අපි කලින් සදහන් කළ තාවකාලික වැඩිදියුණුවීම් තුළින් බිලියන 4.5 අත්පත් කරගෙන ඇත.

එසේම සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ කර ඇත. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසරව පවත්වා ගැනීම සඳහා පාලන දුර්වලතා සහ දූෂණ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙන බව මෙහිදී අවධාරණය කර ඇත. එනම් මැදි කාලීන ආර්ථික ප්‍රගතිය අත්පත් කර ගැනීම අපනයන ප්‍රවර්ධනය ආයෝජන ප්‍රවර්ධනය රැකියා බිහි කිරිම ආර්ථික වෘද්ධිය ඇති කරගැනීමට අවශ්‍ය වෙයි. ඊට අමතරව මෙහිදී වැදගත් කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කර ඇත. පාලනයේ පවතින දුර්වලතා සම්බන්ධයෙන් ගත්විට රජ්‍ය අංශයේදි දුර්වල අකාර්යක්ෂම දෙයක් බවට ද දැඩිව පිළිගත් මතයක් වෙයි. අපිට සුළු කාර්යකදි වුව ද විශාල වශයෙන් කාලය නාස්ති කරන විවිධ තැන්වල නීති රීති රෙගුලාසි මඟින් අපේ කාර්යයන් හිර කර ඇත. ඒ පාලන දුර්වතා ඉවත් කිරීම යනුවෙන් අදහස් කරන්නෙ එයයි. එය ඇත්ත වශයෙන්ම ආයෝජනවලටත් බලපානු ලබයි. ආයෝජකයන් සැලකිලිමත් වන කරුණක් නම් ආයෝජනයේදී කොතරම් පහසුවෙන් ඔවුන්ගේ කාර්යය සිදු කර ගත හැකිද යන්නයි. එනම් ඒ අයට මෙරටේ කොතරම් පහසු ද ව්‍යාපාර කටයුතු සිදු කිරිමට යන කරුණයි. ඒ සඳහා අපි ප්‍රගතියක් අත් කරගෙන නැත. දශක ගණනාවක් පුරා අපි ආසියාවෙ රටවල් අතර පහළින් සිටියි. රාජ්‍ය අංශයේ එක් එක් අංශ සම්බන්ධයෙන් පවතිනුයේ ව්‍යාකූලභාවයක් රාජ්‍ය සේවක ප්‍රමාණය වැඩිවීම ආයතනවල ඇති සංකිර්ණභාවය වැනි දුර්වලතාව සහ ආයතනවලට ඇති සැලසුම් කුමක්ද ඉලක්ක මොනවාද යන ප්‍රශ්න නැඟීමට සහ එහි කාර්ය සාධනය කුමක් යන්න ප්‍රශ්න කිරිමට කිසිවකු නොමැති බවක් දක්නට ඇත. මෙය නැවත සකස් කළ යුතුයි. එසේම වංචාව දූෂණය අපේ රටේ ඉහළ සිට පහළ දක්වා උඩුදුවා ඇත. මේ ක්ෂේත්‍රවල කාලයක් පුරා ප්‍රතිසංස්කරණයක් කර නැත. ආර්ථික වර්ධනයට ආයෝජනයට ප්‍රගතිවලදී ඒවා දුර්වල වී යාමට මෙවැනි හේතු බලපායි. මේ කරුණු පිළිබද වඩා සැලකිලිමත් වන්නේ නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දියුණු ධනවත් රටක් බවට පත්වීමට හේතු වෙයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division