Home » පාසල් දරුවන්ට සවියක් වුණ ‘කටු කම්බි පදනම’

පාසල් දරුවන්ට සවියක් වුණ ‘කටු කම්බි පදනම’

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

රුවෝ කියන්නේ මේ රටේ අනාගතයයි. ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්‍යාව්‍යයි. එහෙත් මේ රටේ ඇති වුණ ආර්ථික අර්බුදයත් සමඟ ළමා මන්දපෝෂණය ඉහළ ගියා. විශේෂයෙන්ම කෝවිඩ් වසංගතයත් එක්ක දරුවන්ගෙ අධ්‍යාපනය විශාල අර්බුදයකට ලක්විණි. නාගරිකව යමක් කමක් ඇති මවුපියන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න හැකියාවක් ලැබුණද, ඈත පිටිසර ග්‍රාමීය දරුදැරියන්ට පසුගිය කාලයේදී ඒ අවස්ථාවත් අහිමි වී ගියේය. කොරෝනා ව්‍යසනයෙන් පසුව රටේ ඇති වුණ ආර්ථික අර්බුදයත් සමඟ මේ තත්ත්වය තව තවත් උග්‍ර විය. මේ අවස්ථාවේදී ගම්වල අහිංසක දරුපැටව් වෙනුවෙන් ‘කටු කම්බි’ ව්‍යාපෘතිය පෙරට ආවේය. එය ග්‍රාමීය පාසල් දරුදරියන්ට මහත් අස්වැසිල්ලක් බවට පත්විය.

සිළුමිණ මෙහි ආරම්භය පිළිබඳව එහි නිර්මාතෘ ‘කටු කම්බි පදනම’ සංවිධානයේ සභාපති එසේම වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන මධුශංක පෙරේරාගෙන් විමසීමක් කළේය.

“ මීට අවුරුදු කීහිපයකට කලින් රට පුරා ව්‍යාප්ත වුණ කොරෝනා වසංගතයත් එක්ක පාසල් යන දරුදැරියන් ගොඩක් අසරණභාවයට පත් වුණා. රටේ ඇති වුණ ආර්ථික අර්බුදය නිසා ඇතැම් පිරිසකට එදිනෙදා ජීවත් වෙන්න පවා ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා. මාස ගාණක් පාසල් වහලා දාලා තිබුණා. කොරෝනා වසංගතයත් එක්ක පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩාකප්පල් වුණා. පාසල් ආරම්භ වුණාට පසුව මට මතකයි ඒ දවස්වල සමහර දරුවෝ උදේට කෑම නොකා බඩගින්නේ ඉස්කොලෙට එනවා.

දවල්ට කන්න කෑම එකක් ටිකක් දෙන්න තරම්වත් ඒ ඒ දරුදැරියන්ගේ මවුපියන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නෑ. දවසක් මට ජීවිතේ කිසිම දිනයක අමතක නොවන ඉතාම සංවේදී සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 3 ශ්‍රේණියේ දරුවෙක් උදේ රැස්වීමේදි කලන්ත වී ඇදවැටුණා. පස්සේ අපි ඒ පිළිබඳව හොයල බලනවිට ඒ දරුවා වේල් තුනක්ම බඩගින්නේ ඉඳලයි පාසල් ඇවිත් තියෙන්නේ; ඒත් ඉගෙනිමට තිබුණ ආශාව නිසා පාසලට ඇවිත් තිබුණා. ඒ එක සිද්ධියක් විතරයි. පාසල් යන්න අඳින්න ඇඳුමක් නැති, දාන්න සපත්තු ජෝඩුවක් නැති, ලියන්න පොතක් පැන්සලක් මකනයක් නැති ඕන තරම් දරුදැරියෝ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල ඉන්නවා. ඒ අයට මේ දේවල් කියන්න කෙනෙක් නෑ. කටක් ඇරල ඉල්ලන්න විදියක් නැහැ. ඒ නිසා ඒ අය හරිම අසරණයි.

ගුරුවරයෙක් විදියට ජීවිතයේ මට විඳින්න ලැබුණු මේ සංවේදී අත්දැකීම් නිසා මට හිතුණා; මේ වගේ ඉගෙන ගන්න ආස අහිංසක දරුදැරියන් වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන කියලා. මම මුලින්ම මේ අදහස පාසල් කාලපයේ මගේ සමකාලීන මිතුරියක වන කෞෂල්‍යා ප්‍රබෝධනීට පැවසුවා. ඇය ඉතාම සතුටින් මේ අහිංසක දරුදැරියන්ට උදව් කරන්න කැමති වුණා. ඊට පස්සේ මම පාසල්

කාලපේ හිටපු මගේ අනෙක් මිතුරන්ට මේ ගැන කිව්වා. ඔවුන් සියලුමදෙනා ඉතාම කැමැත්තෙන් දරුපැටව් වෙනුවෙන් උපකාර කරන්න ඉදිරිපත් වුණා. 2022 අවුරුද්දේ අග භාගයේදී ‘කටු කම්බි පදනම’ ආරම්භ වුණේ ඒ ආකාරයටයි. අපේ අරමුණ වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ තියෙන ඉතාම දුෂ්කර පාසල්වල ඉගෙන ගන්න අහිංසක අසරණ දරුවන්ට උපකාර කරන එක.

මේක පටන් ගද්දී ඇයි මේ සංවිධානයට කටු කම්බි Foundation කියන නම දැම්මේ කියලා අද ඔබ අහනව වගේ හැමෝම මගෙන් ඇහැව්වා. ඇත්තතට ම ඒක මගේ හිතට ආපු පුද්ගලික අදහසක්. කටු කම්බි කියන වචනය සුන්දර, මිහිරි වචනයක් නෙමෙයි. ඒය ඉතාම රළු, දුෂ්කර, කටුක, අදහසක් සිතට දැනෙන වචනයක්. අපි මේ පදනම හරහා උදව් උපකාර කරන්නේ එවැනි දුෂ්කර ඉතාම අසරණ වුණ, දුක් විඳින දුප්පත් දරුදැරියන්ට. ඒ නිසා මේ පදනමට ඒ නම සෑම අතින්ම ගැලපෙන නිසා කටු කම්බි Foundation කියලා නම තිබ්බා.

මෙම සංවිධානයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නේ නිදේෂණිකා කරුණාරත්න . භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නේ කෞෂලයා ප්‍රබෝධනී. මෙහි විධායක කමිටුව නියෝජනය කරමින් තවත් සාමාජිකයින් 9 දෙනකු සිටින අතර, ඔවුන්ට අමතරව මේ සඳහා විවිධ අන්දමින් උදව් උපකාර කරන තවත් සාමාජිකයන් 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මෙ පදනමේ ව්‍යවස්ථාවට අනුකූලව ඉතාම විනිවිදභාවයකින් යුතුව ඔවුන් කටයුතු කරයි.

මෙය ලොකු මූල්‍ය ශක්තියක් ඇති කටුකම්බි පදනමක් නොවන අතර මෙම පදනම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නේ එම කටුකම්බි පදනම සමඟ ඉතාම ලෙන්ගතුව කටයුතු කරන මිතුරු මිතුරියන්ගෙන් හා ඥාති හිතවතුන් කිහිප දෙනකුගේ සහයෙන් බව එහි සභාපතිවරයා පවසයි. මෙම සංවිධානය විසින් සංවිධානය කරන වැඩසටහන්වලට හිතමිතුරු ආදීන් හැකි පමණින් ආධාර ලබා දෙයි. මෙම පදනම ආරම්භ කර ඇත්තේද එවැනි මිතුරකු වූ පවන සසිදු මදුසංක ලබාදුන් රුපියල් 10000ක මුදලිනි. එතනින් ආරම්භ කළ ගමන විශාල සංවිධාන ශක්තියකින් යුතුව ඉදිරියට පැමිණ තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, රාජය නොවන සංවිධාන හෝ රාජ්‍යයට අයත් කිසිදු සංවිධානයකින් උදව් උපකාර ලබා නොගැනීමයි. මෑතකදි මෙම සංවිධානය මඟින් රුපියල් ලක්ෂ 25ක් වැය කර පාසල් 10ක දරුදැරියන් වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ යූනියන් ඇෂූරන්ස් (Union Assurance) ආයතනය විසිනි.

මේ වන විට ‘කටු කම්බි පදනම’ හරහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති ඉතාම දුෂ්කර පාසල් 25ක් සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා ලබාදීම, පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පාසල්වලට ජලය පිරිසිදු කරන යන්ත්‍ර ලබාදීම, දරුදැරියන්ට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග පරිත්‍යාග කිරීම පාසල් බෑග් හා පොත්පත් පරිත්‍යාග කිරීම ආදී කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

ඒ අනුව පහසුකම් සපයා ඇති පොලොන්නරුවේ පාසල් මෙසේය.

සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලය, ජයන්ති කනිෂ්ඨ විද්‍යාලය, ඩූ ලිට්ල් පෙර පාසල, දිඹුලාගල පහළ යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලය, වැලිකන්ද මුතුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, පරාක්‍රම සමූද්‍රය මහා විද්‍යාලය, අල් – අෂාර් මහා විද්‍යාලය, අතරගල්ලෑව මහා විද්‍යාලය, ඉරහඳ කෙටූ වැව මහා විද්‍යාලය, නාගලකන්ද මහා විදයාලය, මැදිරිගිරිය කොහොඹ දමන කනිෂ්ඨ විද්‍යාලය, මැදිරිගිරිය බිසෝ බණ්ඩාර මහා විද්‍යාලය, ලංකාපුර රතනසාර කනිෂ්ඨ විද්‍යාලය, යෝධ ඇල මහා විද්‍යාලය, ලංකාපුර කෑගලුගම කනිෂ්ඨ විද්‍යාලය, අලුත් වැව මහා විද්‍යාලය, විජයරාජ මහා විද්‍යාලය, ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලය, ශාන්ති මහා විද්‍යාලය, වීරපුර කනිෂ්ඨ විද්‍යාලය, අභයපුර මහා විද්‍යාලය, කඩවල වැව මහා විද්‍යාලය, කිරිමැටිය කණිෂ්ඨ විද්‍යාලය, හිඟුරක්දමන මහා විද්‍යාලය, අල්- රිෆායි මහා විද්‍යාලය යන් පාසල් වෙයි.මේ වනවිට මෙම පදනම මඟින් කටයුතු කරන්නේ පොලොන්කරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පාසල්වලට පමණක් වන අතර, ඉදිරියේදි දිවයින පුරා විසිරි ඇති විවිධ දුෂ්කරතා සහිත පාසල්වල ඉගෙනුම ලබන දරුදැරියන්ට උදව් උපකාර කිරීමට ඔවුන්ගේ අපේක්ෂාවයි, ඒ සඳහා දායක වීමට බලාපොරොත්තුවන අයට කටු කම්බි ෆේෂ්බුක් ගිණුම හරහා සම්බන්ධ විය හැකි බවත් මෙ සංවිධානයේ සභාපති මධුශංක පෙරේරා පවසයි.

‘කටු කම්බි‘ පදනමේ සභාපති මධුශංක පෙරේරා ඇතුළු සාමාජිකයින් නාගලකන්ද මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීම

‘කටු කම්බි‘ පදනමේ සභාපති මධුශංක පෙරේරා ඇතුළු සාමාජිකයින් නාගලකන්ද මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීම

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division