Home » යකඩ පෙනහලු දෙකකින් දශක හතක් දිවි ගෙවූ විස්මිත මිනිසා

යකඩ පෙනහලු දෙකකින් දශක හතක් දිවි ගෙවූ විස්මිත මිනිසා

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ලොව ජයගත් දිරියසම්පන්න මිනිසුන්ගේ විස්මයජනක කතා එමටය. එහෙත් පෝල් ඇලෙක්සැන්ඩර්ගේ ජීවිත කතාව අනුවේදනීය සහ විස්මයජනකය. අවුරුදු හයේදී පෝලියෝ වයිරසයට ගොදුරු වූ මේ විස්මිත මිනිසා අවුරුදු 72ක්ම හුස්ම ගත්තේ යකඩ පෙණහලුවල ආධාරයෙනි. පෝලියෝ ආසාදිතයන්ගෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් පමණක් මුහුණ දෙන පෙණහලු පවා අක්‍රිය වීමේ මාරාන්තික තත්ත්වයට ඇද වැටුණු ඔහු මරණයේ දොරකඩටම ගොස් ආපසු හැරී ඒමත් ප්‍රාතිහාර්යයකි. කිලෝ 300ක් බරැති විශාල ටියුබයක් වැනි යකඩ සිලින්ඩරයක් තුළ අවුරුදු 72ක්ම ජීවිතය අල්ලාගෙන සිටි මේ අපූරු මිනිසා පසුගියදා සදහටම එය අත්හැර ගියේ නීරෝගී සාමාන්‍ය මිනිසකුට පවා ලෙහෙසියෙන් ජයගත නොහැකි අභියෝග කන්දරාවක්ම ජය ගැනීමෙන් පසුවය.

මියයන විට 78 හැවිරිදි වියෙහි පසු වූ පෝල් ඇලෙක්සැන්ඩර්ගේ කතාව ඕනෑම ආකාරයකින් ලොව ජයගත් දිරියසම්පන්න සියලු පුද්ගලයන්ගේ ජීවිත කතාවලට වඩා විස්මයජනකය. දඟකාර ළමාවියේ තෝතැන්නේ සිට මහලුවිය දක්වා ජීවිතයේ සියලු වයස් සීමාවන් යකඩ සිලින්ඩරයේදීම ගෙවා දැමුවත් ඔහු හිතේ හැටියට ජීවිතය වින්දේය.

හෙතෙම විශ්වවිද්‍යාලයීය උපාධිධාරියෙකි. නීතිඥයෙකි. නීති උපදේශකවරයෙකි. ලේඛකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. මිනිසුන්ට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ අභිප්‍රේරණ දේශකයෙකි. ආබාධිත වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයෙකි. පසුකාලීනව සිය සේවාදායකයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමෙන්, රාත්‍රී සමාජශාලාවලද හිතේ හැටියට රස්තියාදු ගැසීමෙන්, ටෙක්සාස් ප්‍රාන්තයේ නීති සංගමයේ විවිධ උත්සවවලටත් අඩුවැඩියකින් තොරව සහභාගි වීමෙන් ඔහු යකඩ සිලින්ඩරයෙන් හෝරා කිහිපයකට රෝද පුටුවට මාරු වූ අවස්ථාවන් ද විය. හෙතෙම මුහුදු වෙරළට ගොස් විවේක සුව විඳීමට ද අමතක නොකළේය. එවකට ඔහුගේ ගුරුහරුකම් උපදෙස් ලබා අද වන විට ජීවිත සාර්ථක කරගත් අමෙරිකානුවෝ ද අපමණ වෙති. ඒ සියල්ලටම වඩා සිත්ගන්නා කාරණාව වන්නේ ඔහු කදිම පෙම්වතකු වීමය. වරක් ඔහු සමඟ විවාහ ගිවිස ගැනීමට ද තරුණියක් ඉදිරිපත් වී සිටියාය. සරලව කියන්නේ නම් යකඩ සිලින්ඩරයක සිරුර ඔබාගෙන හිස පමණක් පිටතට දමාගෙන ජීවත් වූ මේ අපූරු මිනිසා සිය ජීවිත කාලයම ඉතා රසවත්ව ගෙවා දැමුවේ සාමාන්‍ය මිනිසකු පරිද්දෙනි.

‘පෝලියෝ පෝල්..!‘

ටෙක්සාස් වැසියෝ ඔහු ආමන්ත්‍රණය කරන්නේ එලෙසිනි. අමෙරිකාව පුරා ඔහු ප්‍රචලිත වූයේ ‘යකඩ පෙණහලු ඇති මිනිසා‘ නමිනි.

1946 වසරේ ජනවාරි 30 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවරදී ග්‍රීක සංක්‍රමණික මාපියන්ට දාව ඔහු උපත ලැබුවේ සාමාන්‍ය දරුවකු ලෙසය. ජීවිතය උඩු යටිකුරු කළ පෝලියෝ මාරයා ඔහු සොයා ආවේ අවුරුදු හයේදීය. එය සිදුවූයේ වසර 1952 ජූලි මාසයේ දීය. එවකට 6 හැවිරිදි වියෙහි පසු වූ මේ දඟකාර කොලුගැටයා ඩලස් නුවරට තදාසන්න ප්‍රදේශයක පිහිටි ඔහුගේ නිවෙසේ මිදුල වටා දුව පනිමින් සිටියදීය. ඔහු සිටියේ ගිම්හානය හිතේ හැටියට භුක්ති විඳිමිනි. මඩ වගුරුවල බැස දෙපාවල මඩ තවරා ගැනීමත්, කුඩා සියුමැලි දෙපා අතර තැළී පොඩිවී ගිය තණකොළ දෙස බලා හඬ නඟා සිනාසීමත් ඔහුගේ සුපුරුදු දින චාර්යාවේ හොඳම කොටස විය.

එහෙත් එක්තරා දිනෙක හදිසියේ මෙන් ඔහු වෙහෙසට පත් විය. ඔහුගේ හිස සහ ගෙල රිදුම් දෙන්නට විය. රතු වූ මුහුණින් යුතුව කලබලයෙන් නිවෙසට දිව ආ කොලුගැටයා මවගේ දෙපාමුල ඇද වැටුණේය.

‘මට පෝලියෝ කියලා අම්මා දැනගෙන හිටියා.‘ පසුකාලීනව පෝල් ඇලෙක්සැන්ඩර් සිය ඉරණම වෙනස් කළ සිදුවීම ගැන සිහිපත් කරමින් එසේ කීවේය. ‘මම දන්නේ නෑ අම්මා කොහොමද ඒක දැනගත්තේ කියලා. ඒත් එයා ඒක දැනගෙන හිටිය බව නම් සහතිකයි.‘

50 දශකයේ මුල් භාගය යනු පෝලියෝ වයිරසය අමෙරිකාව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ වකවානුව විය. ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් අමෙරිකාවේ පෝලියෝ ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබූ අතර, පෝල් ඇලෙක්සැන්ඩර් ආසාදිතයකු වූ වසරේදී පමණක් අමෙරිකාවේ පෝලියෝ රෝගීන් තුන්දහසකට වඩා ජීවිතක්ෂයට පත්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකින් ප්‍රකාශ විය. එවකට ටෙක්සාස් ප්‍රාන්තයේ පමණක් නොව තවත් ප්‍රාන්ත රැසක රෝහල් පෝලියෝ වයිරසයට ගොදුරු වූ දරුවන්ගෙන් පිරී ගොස් තිබිණි. හිටි හැටියේ කුඩා දරුවන් අප්‍රාණිකව ඇද වැටීම එවකට අමෙරිකාවේ සුලබ සිදුවීමක් බවට ද පත් ව තිබිණි. පෝල්ගේ මාපියන් ඔහු ඩලස් නුවර පාක්ලන්ඩ් රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පෝල්ගේ දෑත් දෙපා එන්න එන්නම අප්‍රාණික වෙද්දීය. ඒ වන විට ඔහු දින 6ක් තිස්සේ නිදි යහනට වී පින්තූර පොත් පාට කරමින් කාලය ගෙවා දමමින් සිටියේය.

පාක්ලන්ඩ් රෝහලේ පෝලියෝ රෝගීන් සඳහාම වෙන් වූ වාට්ටු කිහිපයක්ම ස්ථාපිත කර තිබිණි. පෝල් රෝහල්ගත කරද්දී පවා ඔහු සම්පූර්ණයෙන්ම අංශභාගයට ගොදුරු වී සිටි අතර, පෙණහලු සොටුදියරවලින් පිරී පැවැතීම නිසා හුස්ම ගැනීම පවා දුෂ්කර වී තිබිණි. වෛද්‍යවරු කීවේ දරුවා මරණාසන්නව සිටින බවය. පසුව එක්තරා වෛද්‍යවරයකු ඔහුගේ පෙණහලු අවහිරතා වැළැක්වීමට ස්වසනාධාර යන්ත්‍රයක් සවි කළේය. එතැන් සිට කුඩා පෝල් හුස්ම ගත්තේ එම යන්ත්‍රයේ පිහිටෙනි. ඒ වන විට පෝලියෝ වයිරසය මාරාන්තික තත්ත්වයට පත්වූ දරුවන් සඳහා භාවිත කිරීමට එවැනි ස්වසනාධාර යන්ත්‍රවලින් පාක්ලන්ඩ් රෝහල පිරී තිබිණි. එවැනි යන්ත්‍රවල ආධාරයෙන් හුස්ම ගත් වාට්ටුවේ සිටි දරුවන් අතළොස්ස අතරින් ජීවිතය රැක ගැනීමට සමත් වූයේ පෝල් පමණි. එහෙත් ඔහුට ඒ සඳහා මුළු ජීවිත කාලයම යකඩ සිලින්ඩරයක ගෙවා දැමීමට සිදු වී තිබිණි.

‘මගේ ජිවිතය ත්‍රාසජනක හා ප්‍රාතිහාර්යයේ සංකලනයක්.‘ පෝල් පසු කලෙක එසේ කීවේය.

අමෙරිකාවේ බෝවෙන රෝග පාලනය සහ මැඬ පැවැත්වීමේ මධ්‍යස්ථානයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීව් කොචිට අනුව 50 දශකයේ මුල් භාගයේදී පෝලියෝ වයිරසය හඳුන්වනු ලැබුවේ ජනතාව තැති ගැන්වූ ගෝලීය වසංගතයක් හැටියටය. සුෂුම්නාවේ ස්නායු සෛල විනාශ කරමින් සිරුර පුරා වේගයෙන් පැතිරී යන මේ වයිරසයට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් පවා ගොදුරු වී තිබිණි. අවසානයේ 1955 දී ජොනාස් සෝක් පෝලියෝ නිවාරණ එන්නත සොයා ගෙන වීරයකු බවට පත්වෙද්දී එය මුළුමනින්ම ගෝලිය වසංගතයක් බවට පත්ව තිබිණි.

මාස දහ අටක්ම පාක්ලන්ඩ් රෝහලේ කාලය ගත කළ පෝල් සහ ඔහුගේ යකඩ පෙණහල්ල නිවෙසට රැගෙන ඒමට ඔහුගේ මාපියෝ ට්‍රක් රථයක් සහ ජෙනරේටරයක් කුලියට ගත්හ. 1954 වසරේ මුල් භාගයේදි අමෙරිකාවේ දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කැප වූ ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගයෙන් සහ භෞත චිකිත්සකවේදිනියක වූ සුලිවාන්ගේ උපකාරයෙන් ඔහු ස්වෝත්සාහයෙන් හුස්ම ගැනීම සඳහා සිය උගුරේ මාංසපේශීන් භාවිත කිරීමේ ක්‍රමය ප්‍රගුණ කළේය. පෝල්ට පළමු අභියෝගය බාර දුන්නේ මේ භෞතචිකිත්සකවරියයි. යකඩ පෙණහලු නැතිව තනිව මිනිත්තු තුනක් හුස්ම ගැනීමට සමත් වූවා නම් බලු සුරතලෙක් තෑගි දෙන බවට ඇය පොරොන්දු වූවාය. පෝල් ඒ අභියෝගය බාර ගත්තේය.

‘මම ඇය කියා දුන් ක්‍රමවේදයට අනුව උගුරේ මාංශපේශී පාවිච්චි කරලා වාතය ගිලලා ඒවා මගේ පෙණහලු තුළට ඔබා ගත්තා. එක වතාවකට මිනිත්තු තුනක් බැගින් ඒක කළා. හුස්ම ගන්න තියෙන බය මඟ හරවා ගත්තා. ඒ ක්‍රමය සාර්ථක වුණා. මම අභියෝගය ජය ගත්තා. මගේ තෑග්ග මට ලැබුණා. මම ඌට ‘ජින්ජර්‘ කියලා නම තැබුවා. යකඩ පෙණහල්ලෙන් පිටතට ඇවිත් එළිමහනේ ගැවසෙන්න තරම් මේ ක්‍රමය සාර්ථක කරගන්න මට හරියටම අවුරුදු 3ක් ගියා. මම ඒ විදිහට පුරුදු වෙලා රෝද පුටුවක ආධාරයෙන් ඇවිදින්න ගියාම මිනිස්සු හිතුවේ මම චුවිංගම් එකක් හපනවා කියලයි. ඒක මට එක්තරා විදිහකට කලාවක් වුණා.‘ පෝල් ඇලෙක්සැන්ඩර් පසු කාලෙක එසේ කීවේය.

පළමු අභියෝගය එසේ ජයගත් ඔහුට තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබිණි. සැබැවින්ම යකඩ පෙණහල්ල ඔහු ශාරිරීකව ජීවත් කරවද්දී මානසිකව ඔහු ජීවත්වීමට හුරු වූයේ අභියෝග ජය ගැනීමෙනි. ඔහුට තිබුණේ 50 දශකයේ මුල් භාගයේදී පෝලියෝ වයිරසයට ගොදුරු වූ කිසිදු දරුවකුට නොතිබූ තරම් ආත්ම ශක්තියකි. යකඩ සිලින්ඩරය අසල ඔහුගේ හිස අද්දර සටහන් පොතක් සහ බොත්තම් ඔබන ජාතියේ දුරකතනයක් තබා තිබිණි. අග කෙළවර පෑනක් ඇලවූ සිහින් ප්ලාස්ටික් බටයක් මුවෙහි රඳවාගෙන ඔහු යකඩ සිලින්ඩරය අසල ඔහුගේ හිස අද්දර තැබූ සටහන් පොතේ අකුරු ලියන්නට පුරුදු විය. ඒ බටයෙන්ම බොත්තම් ඔබා පිටතට හඬ නැඟෙන සේ සකස් කර තිබූ දුරකතනයෙන් සිය මිතුරන්ට ඇමතුම් ලබා ගැනීමට පුරුදු විය. මුල් කාලයේ ඔහුගේ දවස ගෙවුණේ එලෙසිනි.

පසුකාලෙක ඔහු ලේඛකයකු ලෙස දොරට වැඩියේ මේ මිනිත්තු තුනේ සහ බලු පැටවාගේ කතාව පාදක කරමින් සිය ජීවිත කතාව ලියමිනි. ‘බල්ලෙක් වෙනුවෙන් මිනිත්තු තුනක්‘ පොතේ නම එය විය. ඔහුට පළමු අභියෝගය බාර කළ භෞතචිකිත්සකවේදිනිය සුලිවන්ගේ නමට පොත පුදනු ලැබුවේය. පෑන ඇලවූ සිහින් බටය මුවෙහි රඳවාගෙන සටහන් පොතේ මෙන්ම ඒ බටයෙන්ම පරිගණකයේ බොත්තම් ඔබමින් ඔහුට පිටු 155කින් යුතු මේ පොත ලියන්නට වසර 6ක් ගත විය.

පෝල් ඇලෙක්සැන්ඩර් යනු තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්නා පුද්ගලයකු විය. එවැනි විටෙක ඔහු වැළැක්වීමට කිසිවකුට නොහැකි විය. කිසිදාක පාසල් නොගොස් ඩලස් නුවර උසස් විද්‍යාලයේ විශිෂ්ට සාමර්ථ්‍ය සහිතව විභාගය සමත් වූ පළමු සිසුවා ඔහු විය. ඔහු එය කළේ අවශ්‍ය සටහන් කටපාඩම් කර ගනිමිනි. ඉන් නොනැවතී උසස් අධ්‍යාපනයට යොමු වූ හෙතෙම 1978 දී ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධිය ලැබුවේය. අනතුරුව ඊට වසර 6කට පසු නීති උපාධිය සමත් වූයේය. උගුරේ මාංසපේශීන් ආධාර කරගෙන මුවින් හුස්ම ගැනීමේ ක්‍රමය සාර්ථක කරගත්තාට පසු මිතුරන් ඔහු රෝද පුටුවක හිඳුවා චිත්‍රපට නැරඹීමට සිනමා ශාලාවලට ගියහ. රාත්‍රී සාදවලටත් සහභාගි වූහ. ඔහු සිය පවුලේ පෙන්තකොස්ත නිකායට අයත් දේවස්ථානයේ පූජාවලටත් සහභාගි විය.

ඔහුට ක්ලෙයාර් මුණ ගැසුණේ 1967දී ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන අතුරුතුරදීය. එවකට 21 හැවිරිදි වියෙහි පසු වූ පෝල්ගේ ආබාධිත තත්ත්වය ප්‍රේමයට බාධාවක් නොවීය. ඔවුහු විවාහ ගිවිස ගත්හ. එහෙත් ඔවුන්ගේ පෙම් කතාව ඇගේ මවගේ සිත් ගත්තේ නැත. දිනක් ඔහු ඇගේ නිවෙසට දුරකතන ඇමතුමක් දුන් විට ඊට ප්‍රතිචාර දක්වනු ලැබුවේ ක්ලෙයාර්ගේ මව ය. සිය දියණිය ඔහුට විවාහ කර නොදෙන බව ඇය පුන පුනා පෝල්ට කී අතර, ඇගේ සිත නොරිදෙන ආකාරයට ඇගෙන් වෙන්වන ලෙසට බැගෑපත් වූවාය. ඔහු එය අකුරටම ඉටු කළේය. ‘මට අවුරුදු ගාණක් ගියා ඒ දුකෙන් මිදෙන්න‘ එසේ කීවත් පෝල්ට සිය ජීවිත කාලය පුරාම ඇය සිහිපත් වන්නට ඇත.

ක්ලෙයාර්ගේ පෙම් පළහිලව්වෙන් පසු මේ යකඩ පෙණහලු ඇති මිනිසා කිසිදාක ප්‍රේමයක් ගැන සිතුවේම නැත. විවාහ වූයේ ද නැත. එහෙත් අවුරුදු 35ක දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ ඇප උපස්ථාන කළ කැතරින් ජයිනස්ට ඔහු ඉතා සමීපව සිටි බව නම් ඔහුගේ සොහොයුරු පිලිප් ඇලෙක්සැන්ඩර් දැන සිටියේය. කලින් කලට පෝල්ගේ ආවතේව කටයුතු කිරීමට විවිධාකාරයේ පුද්ගලයන් සිටියද ඔවුන්ගේ රැකියාව මාස කිහිපයකට හෝ වසර කිහිපයකට සීමා වූයේ පෝල් සමඟ කටයුතු කිරීම එතරම් පහසු කාර්යයක් නොවූ නිසාය.

පෝල්ට අපූරු පුරුද්දක් තිබිණි. ඔහු නිරතුරුවම තමාට සේවය කරන්නන් ද ඔහුගේ වැඩකටයුතුවලට පොළඹවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකි. ‘මට කරන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි..? ඔහු නීති උපාධිය හදාරද්දී සිටි සහායකයන්ටත් නීතිය ඉගෙන ගැනීමට සිදුවිය. ඔහුට කැතරින් මුණ ගැසුණේ ඉන් පසුවය.

කැතී දියවැඩියා රෝගියෙකි. ඇගේ ඇස් පෙනීම ද ඉතා දුර්වල වී තිබිණි. එහෙත් එක්තරා දිනෙක ඔහු විසින් පළ කරනු ලැබූ පුවත්පත් දැන්වීමකට අනුව ඇය මේ රැකියාවට පැමිණියාය.

‘එතකොට පෝල් නීති උපාධිය සම්පූර්ණ කරලයි තිබුණේ. එදා ඉඳලා ඔහු අවුරුදු 30ක්ම නීතිඥයකු විදිහට වැඩ කරද්දිත්, ඊට පස්සේ තවත් අවුරුදු 5ක කාලයකුත් කැතී හිටියේ ඔහු සමීපයේ. ‘පෝල්ගේ සොහොයුරු කීවේය.

‘කැතී තමයි ඔහුට හරියටම ගැළපුණු සහායිකාව වුණේ. ඇය ඔහුට වඩා මුරණ්ඩුයි. අන්තිමට පෝල්ට සිද්ධ වුණා කැතී කියන විදිහට ඉන්න.‘

පසුකාලීනව යකඩ පෙණහලු ඇතුළත් විශාල සිලින්ඩරය නවීකරණය විය. කෘත්‍රිම ස්වසනයට වෙන්ටිලේටරය වෛද්‍ය විද්‍යාවට එකතු විය. එහෙත් පෝල්ට ඒ ගැන කිසිදු විශ්වාසයක් තිබුණේම නැත. ඔහු කීවේ සුපුරුදු යකඩ සිලින්ඩරයේ ජීවත් වීම ඔහුට වඩා හොඳ බවය. ඇතුළත දකින්න වීදුරු කවුළු කිහිපයක් ඇති, මුළුමනින්ම සීල් තැබූ මේ කහ පැහැති යකඩ සිලින්ඩරය පෙනුමෙන් සබ්මැරීනයක් මෙනි. එය පෝල්ගේ නිත්‍ය වාසස්ථානය ද විය. ඉන් ඉවත්වීමට ඔහුට සිතුණේම නැත. වෛද්‍ය විද්‍යාවේ නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කළද, යූටියුබ්, ටික් ටොක් වැනි පසුකාලීනව තාක්ෂණයේ නව යුගය ඔහුගේ සිත් ගත්තේය.

70 හැවිරිදි වියට පා තබද්දී ඔහු අමෙරිකාවේ ජනප්‍රියතම ටික් ටොක් වීරයකු බවට පත් විය. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට එක් වී මාස තුනක් යෑමටත් පෙර පෝල්ගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ගියේය. ඔහු දිනපතාම ටික්ටොක් ගිණුමට වීඩියෝපට මුදා හැරීමට පුරුදු වූ අතර, ඒවා වේගයෙන් ව්‍යාප්ත වී ගියේය.

පෝල්ට වැඩිම කාලයක් සමීපව සිටි ඔහුගේ ජීවිතයේ ලොකුම කොටස්කාරිනිය වූ කැතී ජීවිතයෙන් සමුගත්තේ මීට වසර 5කට පෙරය. එය ඔහුගේ ජීවිතය කඩා වැටීමකට ලක් වූ සිදු වීමක් බවත් ඔහුගේ සොහොයුරු කීවේය. ඉන් පසුව ඔහුට ඇප උපස්ථාන කිරීමට පැමිණි 15 දෙනකු වැඩි දිනක් සිටියේ නැත.

‘කැතී රෝගි වුණාට පස්සේ ඔහුට අලුත් සේවකයකු සෙවීම ගෘහස්ථ සෞඛ්‍ය ඒජන්සියට ගොඩාක් දුෂ්කර වුණා. 15 දෙනෙක් විතර ඇවිත් වැඩ කළා. ඒත් ඒ හැමෝවම පෝල් හරවා යැවුවේ හැරෙන තැපෑලෙන් වගේ. ඊට පස්සේ තමයි එඩ්වර්ඩ් අර්හබෝර් ආවේ. ඔහුට අපි කිවුවේ මෝසස් කියලයි. මෝසස්ගේ පෙනුම, කතාව වගේම වැඩ කටයුතු පවා පෝල්ගේ සිත් ගත්තා. එයා නොහිටියානම් පෝල් ජීවිතය දාලා යන්නේ මීට කලිනුයි. එයාට තව යාළුවෝ දෙන්නෙක් හිටියා. ස්ටීව් හා ගැරී කොක්ස් සහෝදරයෝ. අපි හතරදෙනා තමයි අන්තිම කාලයේ පෝල්ව බලා ගත්තේ.‘ පෝල්ගේ සොහොයුරු පිලිප් එසේ කීවේය.

කොවිඩ් නියුමෝනියා ආසාදිතව පෝල් ඇලෙක්සැන්ඩර් රෝහල්ගත කර තිබුණේ පසුගිය පෙබරවාරියේදිය. එහෙත් ඔහුගේ මරණය කොවිඩ් හේතුවෙන් සිදු වූයේදැයි මෙතෙක් තහවුරු වී නැත. අවසානයේ පසුගිය 11 වැනිදා මේ විස්මිත මිනිසා සදහටම ජීවිතයෙන් සමුගත්තේ වැඩිම කාලයක් යකඩ පෙණහලුවලින් හුස්ම ගත් මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියමිනි. ඔහු එසේ වාර්තා පොතට එක් වූවද, පැරණි තාලයේ කෘත්‍රිම ස්වසන සිලින්ඩරයේ ආධාරයෙන් වැඩිම කාලයක් ජීවත් වන තවත් පුද්ගලයකු අමෙරිකාවේ ඕකහෝමා ප්‍රාන්තයේ සිටී. ඇය මර්තා ලිලියර්ඩ් ය. ඇයට පෝලියෝ වයිරසය ආසාදනය වූයේ පෝල්ට එය ආසාදනය වී ඊළඟ වසරේදීය. එවකට ඇය පස් හැවිරිදි වියෙහි පසු වූවාය. එහෙත් ඇයට යකඩ පෙණහලු සවි කර ඇත්තේ තවත් වසර 5කට පසුවය. මේ වන විට 76 හැවිරිදි වියෙහි පසුවන මර්තා යකඩ සිලින්ඩරයේ ආධාරයෙන් ජීවත්වෙමින් සිටින කාලය අවුරුදු 66කි. ඇයට පෝල්ගේ ගිනස් වාර්තාව බිඳ දැමීමට නම් තවත් වසර 7ක් ජීවත්විය යුතුව තිබේ.

පසුගියදා ඩලස් නුවර පැවැති පෝල්ගේ අවමංගල උත්සවයට විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔහු මිහිදන් කරනු ලැබුවේ ජීවිතයේ වැඩිම කාලයක් ළඟින් සිටි කැතීගේ සොහොන අසලින්මය. ඒ මත තැන්පත් කළ සොහොන් ගලේ පෝල්ගේ නමට පහළින් කැතීගේ නම ද කොටා තිබේ. එහි ඇය හඳුන්වා ඇත්තේ ලොව හොඳම උපස්ථායිකාව හැටියටය. දෙදෙනාගේ නම් දෙක අතර යකඩ සිලින්ඩරයේ රූපයක් ද කොටා තිබිණි.

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division