නැණ ප්‍රභාවේ ආලෝකයෙන් අනාගතය දකින මහාචාර්යවරයා | සිළුමිණ

නැණ ප්‍රභාවේ ආලෝකයෙන් අනාගතය දකින මහාචාර්යවරයා

සැප්තැම්බර් 14 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී හැටහය වැනි වරටත් පවත්වනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මානයෙන් මෙවර පිදුම් ලබන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ය. ඊට සමගාමී ව දෙමළ මාධ්‍ය වෙනුවෙන් කේ. ෂද්ධානාදන් හා ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් ද සාහිත්‍ය රත්න සම්මානයට පාත්‍ර වීමට නියමිතය.

කම්පිත වෙණ තතක් ළය පාරවන්නේ යම් සේ ද; ප්‍රේමයෙන් මුසපත් වෙණ තතක් ජීවිතය සුසර කරන්නේ යම් සේ ද ජීවිතය ගැන ඒ තරමට ම ඉසියුම් හා දැනෙන ලෙසින් උගන්වන ගුරුවරයෙක් වෙයි. තමන් පිළිසිඳ දත් දේ අප වෙත ප්‍රදානය කරන්නට මේ ගුරුවරයාට වෙලාවක් කලාවක් ඇවැසි නැත. හේ නිරන්තරයෙන් ම ඒ වෙනුවෙන් ම කැප වුණේ ය. පොතට හසු නොවූ විශ්වීය සුන්දරත්වයත්, තියුණු බවත් අපට කාවද්දමින් අප වෙනස් මිනිසුන් කරන්නට හේ සිය දිවියෙන් වැඩි කාලයක් කැප කළේ ය. අප ඒ ගැන මතක් කරද්දී ඒ ගැන වගක් හෝ නැති සේ තව තවත් දැනුම ම ප්‍රදානය කරන්නේ ය. එබැවින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හේ ගුරුවරයෙකි; සිය ශිෂ්‍ය පරම්පරාවේ හදවත හඳුනා ගත්තෙකි; ඒ හදවත් සුමට කරන්නට ජීවිත කාලය කැප කෙරූවෙකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නාමය ඉදිරියේ මේ සියල්ලට පර්යාය පද සේ අප සලකන්නේ ඒ නිසා ය. දිවියේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මානය සංස්කෘතික අමාත්‍යාංශයෙන් සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී මෙවර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වෙත පිදෙන්නේ කාලයක් තිස්සේ කළ ඒ කාර්යභාරයට කෙරෙන ඇගයීමක් වශයෙනි.

හේ ආදරණීය ගුරුවරයෙකි; ඉවසිලිවන්ත ගුරුවරයෙකි; කාලමානයකින් තොර ව ඇහුම්කන් දෙන්නෙකි; සහෘදයත්වයේ සහකම්පනය යනු කිමෙක්දැයි කියා දුන් ගුරුවරයෙකි. බන්ධනයේ ස්වභාව ගැනත්, විශ්වයේ ස්වරූපය ගැනත් විශ්වීය ගනුදෙනුවේ සුන්දර සුයාමයත් හේ පිළිසිඳ දත්තෙකි. ඕනෑ ම දෙයක අහුපෑවත ගන්නේ කෙසේ ද යන්න ගැන හේ මනාව සවිඥානික ය. බොහෝ දෑ දැක නොදුටු සේ යෑමත්, බොහෝ දෑ අසා නොඇසූ සේ යෑමත්, අප බොහෝ දෙනකුගේ ස්වභාවයයි. ඒවායේ සූක්ෂ්මතා අපෙන් ගිලිහී ගොස් ඇත්තේ අප නොදැනුවත්ව ම ය. එහෙත් ජීවීතය ඇත්තේ ඒ කුඩා දේහි බවත්, ඒ දේවල් අපෙන් ගිලිහී යෑම නිසා අප කෙතරම් අසංවේදී මිනිසුන් වී ඇත් ද කියාත් අපට නිරන්තරයෙන් මතක් කරන ගුරුවරයෙක් වේ නම් ඒ මහාචාර්ය සුනන්දයන් ය. ඔහු වන් ගුරුවරයකුගේ අනුදැක්ම හා විශ්වීය සැරිසැරීම ඔස්සේ යම්කිසි ඥානයක් ලබන්නට වාසනාව ලත් පරම්පරාවේ සිටීම මා ජීවිතයේ ලද භාග්‍යයකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියූ පමණින් එය සන්නිවේදනයේ දැනුමේ මෙන්ම ගුරු භූමිකාවේ ද සන්නාමයකි. සූක්ෂ්මතාව හා නිර්මාණශීලීත්වය ගැන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් තරම් කතා කරන්නට හැකි අයෙක් සිටීදැයි සැකයෙකි. සාහිත්‍ය ලෝකයේ බොහෝ අහුමුලු පිරික්සමින්, වරෙක ඒවාට පෙර ගමන් පතමින් තවත් විටෙක ඒවා සදය උපහාසයට ලක්කරමින් සාහිත්‍ය ලෝකයේ පියවි සිහියෙන් සරන මෙකල්හි ජීවමාන සාහිත්‍යධරයන් අතර ප්‍රමුඛයකු ලෙස හේ හැඳින්වීම යුක්තියුක්ත වන්නේ මේ නිසා ය.

මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍රයන් ව්‍යාවෘත නෙක සාහිත ඉසව් අතර නැත්තේ මොනවාද යන්න ගැටලුවකි. හේ වරෙක සන්නිවේදකයෙකි. ඔහුගේ කටහඬ ඇසූ පමණින් හඳුනන පරම්පරාවක කොටස්කරුවන් වන අප ඒ නිවැරදි උච්ඡාරණිත හා සංදිග්ධතාවලින් තොර භාෂා භාවිතය ගැන ගෞරවයක් ඇත්තෝ වෙමු. තවත් විටෙක පුරාතන සාහිත කෙතේ සැරිසරන ඔහු ඒ සැණින් විදෙස් සාහිත කෙතට එළැඹෙන්නේ සිතා ගත නොහැකි තරම් අවබෝධයකිනි. ඒ සියලු සාහිත ධාරා ඔහු ළඟ වඩාත් සුඛනම්‍ය වන්නේ සිතාගත නොහැකි තරම් වේගයකිනි. ලියන ලියැවිල්ලේ එක් වදනකුදු අහක දමන්නට කියා දෙයක් නැත. ඒවා ඒ තරම් ම ඔපමට්ටම් සහිත ව ලියන ලද මහා ලෝබකමකින් යුතුව පරිහරණය කරන ලද වචන පැසකි. ඔහුගේ වාක් කෝෂය එතරම් ම පොහොසත් ය. විටෙක පුවත්පත් කලාවේ සරන ඔහු අතින් ලියැවුණු තීරු ලිපි ඇතුළු මුළුමහත් ලිපි කන්දරාව මෙතෙකැයි ගිණිය නොහැකි ය. ඔහුගේ ගද්‍ය රීතිය නිර්මාණාත්මක ය, ව්‍යක්ත ය, උපහාසාත්මක ය, ව්‍යංගාර්ථවත් ය. කිව යුතු දේ කියන්නට ඔහු කිසි විටෙකත් මැළි වූයේ නැත. ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන් ද දශක හයකට අධික කාලයක් තිස්සේ හේ මේ සමාජය සවිඥානික කරන්නට තනන්නේ සුමුදු හදවත් පිළිබඳ නොතිත් බලාපොරොත්තුවකිනි. පුවත්පත්වලට වරින්වර ලියන ලද විචාර එක්තැන් කොට කෘති කිහිපයක් ම ඔහු සංග්‍රහ කර ඇත්තේ ය. සාරගර්භ වූ, සර්වකාලීන වූ ඒ කෘති ලිපි සරණි ලෙසින් සංරක්ෂණය කිරීමේ වගකීම හේ තමා ම දරන්නේ ද නව පරපුරකට මේ දේවල් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයෙනි. පැරැණි අලංකාරිකයෝ කීවේ ලේඛකයා පූර්ණත්වයට පත්වන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාසය යන ත්‍රිවිධ අංගයන්ගේ සුසංයෝගයෙන් බව ය. මේ තුන ම පදමට මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් පිහිටා ඇතැයි සිතෙන්නේ ඔහුගේ ලේඛන පරිශීලනය කරන විට ය. ඒවා සරල ය; ඒ සරල බව යට ඇති ගැඹුර මිනිය නොහැකි තරම් ය. පාරිභාෂික වදන් බහුල ව යොදා ගැඹුරින් ලිවීම අපහසු නොවන බවත්, ගැඹුරු දේ සරල ව ලිවීම අපහසු බවත් ලේඛකයෝ දනිති. ගැඹුරෙහි පැණි රස ගල්වන්නට හැම ලේඛකයකුට ම නොහැකිය. සුනන්දයෝ ඊට මනා සුරුවකු ම වෙති.

නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, කවියකු, නාට්‍යකරුවකු, ශබ්දකෝෂ කර්තෘවරයකු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු, පරිපාලකයකු හා ජනමාධ්‍ය විශාරදයකු ලෙස හැම විෂය භූමියක ම හේ සම්මානනීය භූමිකාවකට පණ පෙවුවේය. ජනසන්නිවේදන විෂය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දීමේ ලා මූලික වූ තිදෙනෙක් වෙති. ඒ මහාචාර්ය විමල් දිසානායක, ආචාර්ය එඩ්වින් ආරියදාස සමඟ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ය. වියතුන් සබා මැද සරා උපයාගත් ධනයක් සේ දැනුමෙන් හා අත්දැකීමෙන් දිදුලන්නේ වුව ද නිහතමානීත්වයේ පහසෙන් සජ්ජිත වූ හේ වැනි තවත් අය සිටී නම් ඒ අතළොස්සකි.

ඔහු උපදින්නේ 1938 ජනවාරි 28 වැනිදාක ය. මාටින් හෙන්රි ද මැල් සහ ලිලියට් මාග්‍රට් වෛද්‍යරත්න සුනන්දයන්ගේ මවුපියන් ය. වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු වූ බැවින් වරින්වර තමාගේ පදිංචිය මාරු කරන්නට සිදුවීම එක්තරා අන්දමකට තමන් වෙත අත්දැකීම් පෘථූලත්වය සඳහා ලැබුණු වරප්‍රසාදයක් යැයි හේ සිතූ බව මා හා වරක් පවසා තිබේ. එබැවින් කොළඹ ආනන්දය සේම මහනුවර ධර්මරාජය ද සුනන්දයන් බිහි කිරීමේ ලා මූලික පදනම දැමූ පාසල් වෙති. අද කැලණිය විශ්විවිද්‍යාලය ලෙස හඳුන්වන, එදා විද්‍යාලංකාර පිරිවෙනට අනතුරුව ඇතුළු වෙන ඔහු ඒ ගමනෙහි සම්මානිත මහාචාර්ය ධුරය දක්වා ගමන් කරන්නේ සිය කැපවීමත්, සත්‍යාභ්‍යාසයේත් ඵලයක් ලෙසිනි. 1964 දී පැවැති රාජ්‍ය සාහිත්‍යය සම්මාන උලෙළේදී ඔහුගේ කුළුදුල් නවකතාව වන හෙවණැලි ඇද මිනිස්සු නවකතාව විශිෂ්ටතම නවකතාව ලෙසින් රාජ්‍ය සම්මානිත විණි. එවකට ඔහු වයස අවුරුදු 26ක තරුණයෙකි. එතැනින් නාට්‍යකරණයට පිවිසෙන ඔහු හෙන්රික් ඉබ්සන් නම් නෝවිජියානු නාට්‍ය රචකයාගේ නාට්‍යයක් ගැහැනියක් නමින් සිංහල රඟමඬලට හඳුන්වා දුන්නේ ය. එතැනින් ඇරඹෙන ඔහුගේ නිර්මාණ දිවිය එක් ක්ෂේත්‍රයක් අරඹයා නවතින්නේ නැත. එය විවිධ ඉසව්හි සරන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වඩාත් ආලෝකවත් කරමිනි. ඒ වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍යය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ඔහු පුද ලබා තිබේ. ඒ සියල්ලටත් වඩා පරම්පරා කිහිපයක් ආලෝකවත් කළ ගුරුවරයකු ලෙස හෙතෙම තබා ඇති ලකුණ අද්විතීය ය.

මා දශක දෙකක් තිස්සේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් දෙස බලා සිටිමි. එය භාවනාවකි. මුලින් ම මට හමුවෙන මහාචාර්යතුමා දේශන ශාලාවට එන්නේ බිමට නොරිදෙන සේ පා තබමිනි. හේ කතා කරන්නට පටන් ගනී. මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැත. එසේ කියන්නට හේතුව සංසාරයේ අක්මුල් හෝ දිග පළල ගැන අවබෝධයක් නැතිවා සේම මහාචාර්යතුමාගේ දේශනවල ද අගමුලක් නොපෙනුණ බැවිනි. අනතුරුව ඒ අගක් මුලක් නැති දේශන මට හසුවන්නට පටන් ගත්තේ ය. ධර්මාලෝක ශාලාවේ, (මේ ශාලාවම සමහරු හඳුන්වන්නේ ලෙනින් ශාලාව කියාය) මහාචාර්යතුමා හොඳට පෙනෙන තැනක වාඩිවී ඒ දේශනය අසා සිටීමෙන් එකල මට අතරමං වූවා වැනි හැඟීමක් දැනුණු බැව් මතක ය. ඒ හිස් බවෙන් හා වික්ෂිප්ත බවෙන් යුතු ව දේශන ශාලාවෙන් පිටතට එන මා හුදෙකලාව ඒ ගැන සිතන්නට පටන් ගත්තෙමි. ඒ අතරමං වීම හෝ වික්ෂිප්ත බව ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයක් යැයි කියන්නට මම මැලි නොවෙමි. ඒ වික්ෂිප්ත හා අතරමං වීම වැනි හැඟීම් යනු ජීවිතයට අත්‍යවශ්‍ය දැනීම් බව මම විශ්වාස කරමි.

සුනන්දයන් ආලෝකය හෙව්වේ තමන් ඇතුළිතිනි. අපි බොහෝ දෙනෙක් අපේ ජීවිතවල ආලෝකය පිටතින් සොයා ඇවිදින්නෝ වෙති. එහෙත් තමන්ගේ ආලෝකය ඇත්තේ තමන් ඇතුළත ම බැව් පසක් කරගත් ගුරුවරයෙක්ගේ සෙවණ යනු සංසාරයකි. බොහෝ සාහිත්‍ය පොතපත කියැවීමෙන් පසුව ද, බොහෝ දේවල් ගැන ලිවීමෙන් පසුව ද දැනෙන්නේ හා පසක් වන්නේ අපගේ ම අල්ප බව ය. කියවා ගන්නට කොතරම් නම් දේවල් ඉතිරි ව තිබේ ද? ලියා ඇති දේ මොනතරම් අල්ප ද? හරියට සංසාරය වගේ ම ය. සංසාරයේ අපි මේ ගෙවන මොහොත, මොනතරම් ස්වල්ප ද? ඒ අල්පශ්‍රැත බව දැනෙන සෙවණක් වේ නම් ඒ මේ මහැදුරුතුමන්ගේ සෙවණ වැන්නකි. ඔහුගේ ලේඛන කියවන විට ජාතක කතා කියවන විටෙක මෙන් අපට අප ව පෙනෙන්නට පටන් ගනී. එතරම් විදුහුරු ලේඛනයක් ගොඩනඟා ගන්නට ඔහු කියැවූ දස දහස් ගණනක පොතපත ප්‍රදීපාලෝකය දල්වන්නට ඇත.

මේ සටහන ලියාගෙන යද්දී මට එක්තරා සිද්ධියක් සිහිපත් වේ. මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන්ගේ "ජීවක වත" මා කෙතෙක් වාරයක් කියවා ඇත්දැයි මට මතකයක් නැත. ඒ තරම් ම එය කියවා ඇත්තෙමි. ඒ පොත දකින හා අතට ගන්නා සෑම වාරයක ම ඊනියා විචාරකයන් ගැන මගේ මුවට නැ‍ඟෙනා සෝපාහාස සිනාව නම් තවමත් මට වළක්වාගත නොහැකි ය. ඒ විචාරවාදීන් එදා නොකියා කීවේ මහාචාර්යතුමාට 'යම්කිසි පිස්සුවක්' වැලඳී ඇති බව ය. සත්‍යයකි, මම ද ඒ හැඳින්වීමට එකඟ ය. එහෙත් ඒ පිස්සුව නොවැලඳීමෙන් ගිලන් වූ සමාජයක් වෙනුවට මම කොන්දේසි විරහිතව මහාචාර්යතුමා අසලින් සිට ගන්නෙමි. කරුණාකර ඒ "යම්කිසි පිස්සුව" සාදා ගැනීමට මට උදව් කළ මැනවි; මම මහාචාර්යතුමාගෙන් ආයාචනාත්මක ව ඉල්ලා සිටිමි.

පටාචාරා සියල්ල අහිමි ව ඇඳිවතත් රහිතව බුදුන් වහන්සේ හමුවන්නට ගිය කල උන්වහන්සේ කීවේ කිසිවකු නොමළ ගෙයකින් අබ සුඟක් රැගෙන එන ලෙස ය. ගෙයක් ගෙයක් පාසා ගිය පටාචාරා අබ නැතිව ම බුදුන් වහන්සේ හමුවට පැමිණියා ය. "පිස්සු" යන්න ද එසේ ම ය. එය ද නොවැළඳුණු කෙනෙක් නැත; එමෙන් ම එය පිළිගන්නා කෙනෙක් ද නැත. එකී මෙකී සියලු පිස්සු අතරින් "පරිකල්පනීය පිස්සුව" කෙතරම් ආහ්ලාදජනක ද යන්න ගැන වැඩිපුර ම දන්නේ මහැදුරු සුනන්දයන් විය යුතුය. ඉඳින් මම කොන්දේසි විරහිතව ඒ පිස්සුව වැලැඳ ගැනීමට මඟ බලමි.

"ජීවක වත" පරිකල්පනීය ඉසව්ව ගැන වඩාත් ම හොඳ ඔත්තුව ලැබෙන්නේ එය මෙකලට ආදේශ කර බලද්දීය. සුනන්දයන් කියන්නේ අපට ජීවකයකු නැති බව ය‍‍; නැති වුවත් එය අවැසි ම යුගයක් බව ය. ජීවක වතෙන් අප හඳුනන ජීවකයා බිම්බිසාර රජුගේ පුතා වන අභයරාජ කුමාරයාට දාව සාලවතී නම් නගරසෝභිනියට උපන් කෝමාරභච්ච ය. එහෙත් මේ ඒ වෙදැදුරු ම ද නොවේ යැයි සි‍තේ.

මේ ඔබ මා දන්නා ජීවක වෙදැදුරු ද නොවේ. පූජාවලියෙහි එන ජීවකගෙන් ප්‍රතිනිර්මිත ව මේ යුගයට ගැළපෙන වෙදැදුරකු අවැසි බව පමණක් දනිමි. දිසාපාමොක් ඇඳුරිඳු ජීවක වෙදැදුරුට කියන්නේ බෙහෙතකට ගත නොහැකි වල් පැලෑටියක් සොයාගෙන එතොත් ගම රට බලා යන්නට ඉඩ දෙන බව ය. ඔහු මිහිපිට බෙහෙතකට ගත නොහැකි වල් පැලෑටියක් හෝ නැති බව ඉගෙන ගනී. ඒ මිනිසාත්, සතා සීපාවාත්, ගහකොළත් අතර ඇති සංයෝගය කිසිවකුටත් බිඳහෙළිය නොහැකි බව ය.

නිර්මාණකරුවාගේ පරිකල්පනීය ඉසව්වට "කාලය" අදාළ ම නොවන බව පෙනෙන්නේ මෙවන් නිර්මාණ පරිශීලනය කරන විට ය. එදා බුදුන් කල මෙන් ම අද ද ජීවක ඉසිවර අවැසිව තිබෙනවා නොවේද?

නුඹ ගිය මඟ නොගිය 
වෙදෙක් ඇත්නම් ලොව 
හේ ජීව අසිරිය 
නොදත්තා වූ කෙනෙක් වෙත්ම ය 
බුබුළක් සේ බි‍ඳෙන 
සිරුර නම් වූ කූඩුව 
සුරකිනයුරු කියන 
නුඹය ජීවක නමැති ඉසිවර....

කෘතිය පුරා මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් ඒත්තු ගන්වන්නේ ඉසිවර ජීවකයකුගේ අවශ්‍යතාව ගැන ය. අද බොහෝ දොස්තරලා ද ලෙඩ්ඩු ය; සාමාන්‍ය අපට වඩා ලෙඩ්ඩු ය. ඒ කායික ව්‍යාධියෙන් නොව මානසික ව්‍යාධියෙනි. මානසික ව්‍යාධිය නතර වන්නේ කායික ව්‍යාධියෙනි. මේ ගැන ඇන්ටන් චෙකොව් ද ලස්සනට ලියා ඇතැයි සිහිපත් වේ. "හයේ වාට්ටුව" හැකි නම් කියවා ගනු මැනවි. "අන්දරේයි යෙෆිමිච්" දොස්තර මෙන් අද බොහෝ දොස්තරලා සිය වාට්ටුවල ම නැවැත්විය යුතු දොස්තරලා බවට පත්වෙමින් සිටින්නේ නොවේද? එහෙත් අන්දරේයි යෙෆිමිච්ලාට වෙදකම් කරන්නන්ට නම් සුනන්දයන් වැනි; විචාරකයන්ට අනුව "යම්කිසි පිස්සුවකින්" පෙළෙන්නන් කැඳවිය යුතු දිනය වැඩි ඈතක නොවනු ඇත.

පරිකල්පනයෙන් කියැවෙන නිර්මාණවලට කාලයක්, දීපයක්, දේශයක් නැත. ඒවා සර්වකාලීන ය; සර්ව භෞමික ය. "ජීවක වත" ඇතුළු ඒ ගණයේ කෘති ගැනෙන්නේ මේ වර්ගයට ය. ඒ ගණයේ කෘති බොහොමයක් මහාචාර්ය සුනන්ද ලියා ඇත. පරිකල්පනය මූලික ක්‍රියා තුනක ඵලයකි. ඒ ක්‍රියා තුන නිර්මාණකරණට බෙහෙවින් වැදගත් ය. ඒවා නම් "සිදුවීම් සිතට කාවැදීම, ඒ සිදුවීම් ස්මෘතියෙහි ප්‍රතිනිර්මාණය වීම හා ඒ ස්මෘති සටහන් ඔස්සේ නව සංකල්ප රූ බිහිවීම ය. ඕනෑම සාහිත්‍ය නිර්මාණයක අගය රඳා පවතින්නේ ඊට මුල් වූ වස්තුවෙහි ස්වායත්ත වටිනාකම මත නොව ඒ වස්තුව සාහිත්‍ය නිර්මාණයකට පරිවර්තනය කර ඇති ආකාරය අනුව ය. මෙවැනි පරිවර්තන කාර්ය කෙතෙක් සාර්ථක ද යන්න තීරණය වන්නේ රචකයාගේ පරිකල්පනයේ ද සීමා මායිම් අනුව ය. කාව්‍යයක වටිනාකම රඳා පවතින්නේ කාව්‍ය වස්තුව මත නොව කවියාගේ පරිකල්පනය මත බව වර්ඩ්ස්වර්ත් පවසන්නේ ඒ නිසා ය. මඳ සුළඟට පවා හැඬවෙන තත් ඇති වීණාවක් මෙන් නිර්මාණකරුවාගේ හදවත සංවේදී වීම අවැසි වන්නේ ඒ නිසා ය. නිර්මාණාත්මක ලේඛකයා සාමාන්‍යයෙන් අසාමාන්‍ය බවක් දකින්නේ ඒ අනුව ය. මහාචාර්ය සුනන්ද සිය නිර්මාණාවලිය පුරා ම ස්පර්ශ කරන්නේ ඒ යථාර්ථය ය.

නිර්මාණකරුවන්ට "යම්කිසි පිස්සුවක්" තිබීම සාමාන්‍ය කරුණකි. ඒ "යම්කිසි පිස්සුව" නැති යම් අයෙක් වේ ද ඒ අය නිර්මාණකරුවන් නොවන බව මා කියන්නට මැලි නොවන්නේ ඒ නිසා ය.

මේ සියල්ල එකට එක් කරමි. එක මිටකට ගනිමි. මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් සොයන්නේ පුද්ගල ආලෝකය බැව් දනිමි. පාවුලෝ කොයියෝ සෙව්වේත් එය ම ය. මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍රයන් ද ඒ පුද්ගල ආලෝකය පිළිබඳ ඡායාමාත්‍ර සොයමින් සිටින බැව් දනිමි. පුද්ගල රශ්මි ප්‍රභාව ගැන ඔබට දැනීමක් ඇතිවන තැන මහාචාර්ය සුනන්දයන් හමු වෙන බැව් ලියා තබමි. සියලු අහුපෑවත එක්තැන් කළ කල සාහිත්‍ය රත්න සම්මානයට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආඩම්බරයක් එක් කරන බව ද සටහන් කරමි.


Comments