ජනාධිපතිවරු තුන්දෙනෙක් එක්ක ෂාරුක් ඛාන් හඳේ ඉඩම් ගත්තු අන්දම | සිළුමිණ

ජනාධිපතිවරු තුන්දෙනෙක් එක්ක ෂාරුක් ඛාන් හඳේ ඉඩම් ගත්තු අන්දම

ඳ ගවේෂණය ගැන අන් කවරදාකටවත් වඩා කතා වෙන්නේ දැන්ය. ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 රොකට්ටුවේ සාර්ථකත්වයත් සමඟ ජපානයත් සඳ තරණය කිරීමේ මෙහෙයුමට බැස්සේය. සඳ ජයගත් පස්වැනි රට බවට පත්වීමේ අපේක්ෂාවෙන් ජපානය ‘H-ILA‘ රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේ ඊයේ පෙරේදාය. පෘථිවියේ සිට කිලෝමීටර් තුන්ලක්ෂ අසූහතර දහස් හාරසියයක දුරින් පිහිටා තිබුණත්, පුර පසළොස්වක දාට අත පොවන මානයේ පෙනෙන ඇති සඳ ගැන අධ්‍යයනය කිරීමට ලෝකයේ ධනවත් රටවල් තරග කළ ද, ලොව ධනවත් රටවල් සඳ තරණය කරමින් එය අධ්‍යයනය කිරීමට තරග කළද, මේ අපූරු ආකාශ වස්තුව ගැන ශ්‍රී ලාංකිකයන් අතර උනන්දුවක්, කුතුහලයක් ඇති වූයේ යන්තම් බහ තෝරන වියේ සිටය.

රාත්‍රී කාලයේ හොඳින් සඳ මෝරා ඇති දිනවල මිදුලට වී මවගේ හෝ පියාගේ ඇකයේ හිඳ ‘අම්බිලි මාමා‘ කිය කියා අප තරම් සඳ ගවේෂණය කළ පිරිසක් ලොව කොතැනකවත් නැති බව සහතිකය. සඳ දෙසට අත දිගු කරමින් කුඩා වියේදී අප අසන තොරතෝංචියක් නැති ප්‍රශ්නවලට වැඩිහිටියෝ දුන් උත්තර සඳ තරණය කළ රටවල විද්‍යාඥයන් දන්නේ නම් ඔවුන්ට කට උත්තර නැති වන බවත් සහතිකය. ඇමෙරිකානු ඩොලර් මිලියන ගණන් වැය කරමින් සඳ ගවේෂණය කළ ද, අපට තරම් කරුණු කාරණා ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ ද නැත. විශේෂයෙන් සඳේ හාවා ගැන නම් ඔවුන්ට අල්ප මාත්‍රයක තරම්වත් දෙයක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. ඒවා දැන ගැනීමට අපට නම් ආයේ අමුතුවෙන් රොකට් අවශ්‍ය වූයේ ද නැත. 

පෘථිවියට වඩා හතරෙන් පංගුවක් කුඩා වූ මේ අපූරු ආලෝක තැටිය දෙස බලා ‘අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ‘ යැයි 50 දශකයේ අග භාගයේදී සී.ටී. ප්‍රනාන්දු ගැයූ ගීයත්, ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ‘ යැයි එවකට චන්ද්‍රා කබ්රාල් ගැයූ ගීයත් ඇතුළු තවත් ගීත ගණනාවක් සඳ අපේ යැයි හැඟෙන තරම් ළෙන්ගතුකමක් එවකට කුඩා වියේ සිට අප තුළ ඇතිවීම සිහිපත් වෙද්දී අද වැඩිහිටි වියෙහි පසුවන අපට තවමත් ආශ්වාදයක් දැනේ. සඳේ කිරි පැණි ඇතැයි අප තුළ කුඩා වියේදී තිබූ දැඩි විශ්වාසය පසුකාලීනව නව යොවුන් වියට පා තබද්දී දැනෙන හිරිමල් හැඟුම් සමුදාය අතරින් මැකී යන්නට වූයේ නිමල් ගුණසේකර ගැයූ ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි අහිංසකයි‘ ගීතයත් සමඟය. එය ලියා ඇත්තේ ලේක්හවුසියේම රැකියාව කළ නිමල් ජූලිගේ බවට ඉතිහාසයේ සඳහන් වේ. කොතරම් දකින්නට ලැබුණත් බාල, මහලු කවුරුත් සඳ, මුහුද, දුම්රිය හා ගුවන් යානා දෙසට නෙත් හෙළන්නේ හෝ ඒවා දෙස ආපසු හැරී බලන්නේ සහජාසයෙනි.

ඉහත සඳහන් පූර්විකාව ලියුම්කරු සටහන් කළේ ඊයේ පෙරේදා සිට කුඩා දරුවන් මෙන් සඳ ගැන විපරම් කරන වැඩිහිටියන් පිරිසක් ගැන කියන්නටය. කිසිදිනෙක සඳට පා තැබීමට හැකිවනු ඇතැයි නොසිතූ අවධියක ලොව කීර්තිමත් පුද්ගලයන් සහ හිටපු ජනාධිපතිවරු සඳෙන් ඉඩම් කැබැල්ලක් වෙන් කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යවල පුවත් පළවන බව කියන්නටය. එය නම් අපූරු ෆැන්ටසියකි. සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලට ගැනීමේ උන්මාදය සහ සඳ ඇතුළු ආකාශ වස්තූන්වලට අයිතිවාසිකම් කියන්නට වීම ලොව පුරා පැතිර ගියේ අමෙරිකානු ගුවන් හමුදාව 50 දශකයේ අගභාගයේදී ලොව පළමුවරට සඳ තරණය කිරීමේ උත්සාහයක නිරත වීමටත් පෙරය. එය සිදු වූයේ 1953දීය. චිලී ජාතික නීතිඥයකු වූ ජෙනාරෝ ගජාඩෝ වේරා සඳ අයිති තමාට යැයි කියා අපකීර්තියට පත්වූ පුද්ගලයකු බවට පත් විය. චිත්‍ර ශිල්පියකු සහ කවියකු වූ හෙතෙම ලොව පුරා කතාබහට ලක් වූයේ ද නළල් තල රැළි ගන්වන මේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟය.

අවුරුදු තුනක් ගතවීමට මත්තෙන් ජර්මනියේ මාටින් ජුවෙජන්ස් ද සඳට අයිතිවාසිකම් කියමින් ප්‍රකාශ කර තිබුණේ 1756 සිට සඳ ඔහුගේ පවුලේ උරුමයක් බවය.

කතාව දිග්ගැස්සිණි. චිලී ජාතිකයා සහ ජර්මන් ජාතිකයාගේ සඳේ අයිතිවාසිකම්වලට අභියෝග කරමින් එතෙක් ඉස්මතු නොවූ අතීත කතා රැසක් ද කරළියට එක් විය. 

ඊට වසර 17කට පෙර ජෝර්ජියාවේ ඩීන් ලින්ඩ්සේ සියලුම පිටසක්වළ වස්තූන් සඳහා හිමිකම් පෑමේ ඔප්පුවක් මුදල් ගෙවා ලබා ගෙන ඇති බව ද අනාවරණය විය. ඔහු 1936 වසරේ ජූනි මාසයේ 15 වැනිදා අමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර ප්‍රසිද්ධ නොතාරිස් වෙත ලිපියක් යවමින් එය ඉල්ලා ඇතැයි ද, ඔහුගෙන් ආකාශ වස්තූන් මිලදී ගැනීමට ජනතාවට යෝජනා කරන ලෙස ද සඳහන් කරමින් එම ලිපිය යොමු කර තිබෙන බව ඉතිහාසයේ සඳහන් වේ. අභ්‍යවකාශ වස්තූන් ගැන ඕනෑවට වඩා සිතීමේ ප්‍රතිඵලය ඔහු උන්මාදයට පත්කර තිබූ අතර, ඔහු ඊට පෙර අත්ලාන්තික් සාගරයට සහ පැසිෆික් සාගරයට ද හිමිකම් පෑ අරුම පුදුම ජීවියකු බව ද හෙළි විය. සඳට හිමිකම් කීමේ උන්මාදය ඉන් නැවතුණේ නැත. ඇමෙරිකාවේ චිකාගෝ නුවර පදිංචිව සිටි ජේම්ස් ටී. මැන්ගන් නමැති ග්‍රන්ථ කතුවරයකු විසින් වසර 1948දී ඉලිනොයිස් ප්‍රාන්තයේ ඉඩම් හා ඔප්පු ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී ‘Nation of Celestial Space‘ නමින් අභ්‍යවකාශයම ආවරණය වන පරිදි හිමිකම් පෑමේ ඔප්පුවක් සින්නක්කරයට ලියා ගත්තේය. එය කිසිදු රටක දේශපාලන ආධිපත්‍යයක් අභ්‍යවකාශයේ ස්ථාපිත කළ නොහැකි බව සහතික කිරීමට බවත්, ඔහු එය සිදුකර ඇත්තේ මානව වර්ගයා වෙනුවෙන් බවත් පසුව වාර්තා වී තිබිණි. එහි නීතිමය තත්ත්වය ගැන ගැටලු පැන නැඟුණත්, එහෙම පිටින්ම අභ්‍යවකාශ උන්මාදයෙන් ඉහවහා ගිය මේ මිනිසාගේ හිමිකම් පෑමේ ඔප්පුව ලියාපදිංචි කළ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඉඩම් හා ඔප්පු ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික තත්ත්වය පරීක්ෂාවට ලක් නොකළේ මන්දැයි කෙනකුට සිතෙන්නට බැරි නැත. එහෙත් සැබෑව නම් ඒ ඔප්පුවට කිසිදු නීතිමය බලයක් නොලැබීම පමණක් නොව සඳුට හා අභ්‍යවකාශයට අයිතිවාසිකම් කියන පුද්ගලයන් ප්‍රමාණය වැඩි වීමය. පුදුමය වන්නේ ඒ අතර රාජ්‍ය නිලධාරීන් ද සිටීමය. ජේම්ස් ටී. මැග්නන්ගේ උන්මාදයට එහා ගිය උන්මාදයකින් පෙළුණු ඉලිනොයිස් ප්‍රාන්තයේහිම තවත් වැසියකු වන රොබට් ආර්. කෝල්ස් නිව්යෝක් නුවර හේඩින් ග්‍රහලෝකාගාරයේ හිටපු සභාපතිවරයා ද ඒ අතර සිටියේය. ඔහුගේ උන්මාදය කොතරම් ද යත් සඳෙහි ඉඩම් කැබැලි කර විකිණීමේ අදහස මුලින්ම ඇති වූයේ ඔහුටය. ඇතැම් විට ග්‍රහලෝකාගාරයේ රාජකාරි කරද්දි ඇසූ දුටු ආකාශ වස්තූන් නිසා ඔහුගේ මනස මුළුමනින්ම ව්‍යාකූල වන්නට ඇතැයි ද උපකල්පනය කළ හැකිය. හෙතෙම අන්තර් ග්‍රහලෝක සංවර්ධන සංස්ථාව නමින් වෙනම ආයතනයක් බිහි කරමින් සඳෙහි අක්කරයක් ඩොලරයකට බැගින් කට්ටි කර විකුණන්නට පටන් ගත්තේ මුළු ඉලිනොයිස් ප්‍රාන්තයම අන්දමන්ද කරවමිනි. 

අනතුරුව සඳේ ‘ලෑන්ඩ් සේල්කරුවන්‘ අමෙරිකාව පුරා පැතිරී ගියේය. මේ අරුම පුදුම ‘ලෑන්ඩ් සේල්‘ ව්‍යාපෘතියට සිත වැටුණු එවකට අමෙරිකාවේ සිටි බොහෝ ව්‍යාපාරිකයන්ටද මේ උන්මාදය බෝ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඩෙනිස් හෝප් එවකට අමෙරිකාවේ සිටි ප්‍රබල ව්‍යාපාරිකයකු විය. ඔහු අසූව දශකයේ මුල් භාගයේදී චන්ද්‍ර තානාපති කාර්යාල කොමිසම නමින් ස්වකීය ව්‍යාපාරයක් ආරම්භ කළා පමණක් නොව දශක ගණනාවක් පුරා එය ජයටම කරගෙන ගියේය. 2009 වසරේදි අනාවරණය වූ පරිදි මේ ව්‍යාපාරිකයා සඳෙන් ඉඩම් කැබැලි මිල දී ගැනීමේ රෝගය වැලඳුණු පුද්ගලයන්ට අක්කරය බැඟින් වූ ඉඩම් කැබැලි මිලියන 2.5ක් අලෙවි කරමින් ධනපතියකු වූ බව ප්‍රචලිතය. ඔහු සඳෙන් ඉඩම් කැබැලි අලෙවි කර ඇත්තේ අක්කරය ඩොලර් 20 ටය. වැදගත්ම කාරණාව වන්නේ ශූර බුද්ධියකින් යුතු මේ ව්‍යාපාරිකයාට අමෙරිකාවේ සිටි කීර්තිමත් ජනාධිපතිවරුන් වන ජිමී කාටර් සහ රොනල්ඩ් රේගන් ද හසුවීමය. සඳෙහි සිතියමක් පෙන්වා ඇස් පියාගෙන අහඹු ලෙස සඳෙන් ඉඩම් වෙන් කිරීමට ඔහු උපන් හපනකු බව ද වාර්තා විය.

යේමනයේ පුද්ගලයන් තිදෙනකු නාසා ආයතනයට එරෙහිව උසාවි යෑමේ සිදුවීමක් ද වාර්තා වේ. ඔවුන් අධිකරණයට දන්වා ඇත්තේ අවුරුදු තුන්දහසකට පෙර සිය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ දායාදයක් වන අඟහරු ග්‍රහයා නාසා ආයතනය විසින් ආක්‍රමණය කරනු ලැබූ බවය. නඩුවට සිදුවූයේ කුමක්දැයි සඳහන් නොවේ. නිසැකවම එය විසි කරන්නට ඇත.

අතීත සිදුවීම් කෙසේ වුවද වර්තමානය වන විට සඳෙන් ඉඩම් කැබලි කට්ටි කර අලෙවි කිරිමේ උන්මාදයේ ප්‍රධානතම ව්‍යාපාරිකයා බවට පත් වී ඇත්තේ අමෙරිකාව කේන්ද්‍ර කරගත් The Lunar Registry ආයතනය බව අන්තර්ජාලයේ සඳහන් වේ. ඔවුන් මහපොළොවේ ඉඩම් කැබැලි කර අලෙවි කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙමින් ව්‍යාපාරය ව්‍යාප්ත කර ඇති අතර, අතිසංවේදී චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සඳෙහි එක් එක් කලාප විවිධ මිල ගණන් යටතේ අලෙවි කරමින් සිටී. මෙරට ඉඩම් කට්ටි කර අලෙවි කිරිමේ ව්‍යාපාර එම ඉඩම් අලෙවි කිරීමට භාවිත කරන ආකර්ෂණීය නම් ඒ අතර වේ.

Bay of Rainbows, Sea of Rains, Lake of Dreams, Taurus Mountains, Lake of Happiness යනාදි වශයෙන් ඔවුන් සඳෙහි එක් එක් ප්‍රදේශ නම් කරමින් සිය ව්‍යාපාරය ජයටම කරගෙන යන බව ද වාර්තා වේ. ඊයේ පෙරේදා ඉන්දියාවේ රූපෙෂ් මේසන් අක්කරයක ඉඩම් කැබැල්ලක් මිලට ගෙන ඇත්තේ Lake of Happiness නමැති ප්‍රදේශයෙනි. ඒ සඳහා ඔහු විසින් The Lunar Registry ආයතනයට ගෙවනු ලැබූ මුදල අමෙරිකානු ඩොලර් 29.07කි. ඔහුට ඔප්පුවක් සහ තම ඉඩම පිහිටි කලාපයේ අතිසංවේදි චන්ද්‍රිකා ඡායාරූපයක් ද එම සමාගම විසින් එවා තිබේ.

සඳෙන් ඉඩම් කැබැල්ලක් හිමිකර ගැනීම ඉන් ඔබ්බට ඇති දේ පිළිබඳ මානව වර්ගයාගේ කුතුහලය වැඩි කරන බවත්, සඳු යනු පෘථිවි වැසියන්ගේ අනාගත බලාපොරොත්තුවක් බවත් මේ ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සඳ මත ඉඩමක් මිල දී ගැනීම අවිනිශ්චිත අනාගතයක් සඳහා සූදානම් වීමේ හැඟීමක් ගෙන දෙන්නාක් බව ද රූපෙෂ් මේසන්ගේ අදහස වී ඇත. මේ සමාගම පිළිබඳ තොරතුරු හාරා ඇවිස්සීමේදී අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනකු ඇතුළු මේ උන්මාදය වැලඳුණු ලොව පුරා කීර්තිමත් පුද්ගලයන් 700කට ආසන්න පිරිසක් මුදල් ගෙවා සඳෙන් ඉඩම් කැබැලි වෙන් කර ගෙන ඇති බව සොයා ගත හැකි විය. එවකට ඩෙනිස් හෝප් සඳෙන් ඉඩම් කැබැලි විකුණා ඇතැයි වාර්තා වන අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජිමී කාටර් සහ රොනල්ඩ් රේගන්ට අමතරව ඉතිරි ජනාධිපතිවරයාගේ නම සඳහන් නොවේ. 

සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමේදී ඒ සඳහා පිරිනමන ආකර්ෂණීය ලිපිලේඛන අතර සඳට යෑමට විවෘත ‘බෝඩිං පාස්‘ පතක් ද වේ. ඊට නිදසුනක් ලෙස එම ආයතනයේ වෙබ් අඩවියේ පළ කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට පිරිනමනු ලැබූ එවැනි ‘බෝඩිං පාස්‘ පතකි. මුකේෂ් අම්බානිට එය පිරිනමා ඇත්තේ අද ඊයේක නොව 2017 අප්‍රේල් 19 වැනිදාය. ඒ අනුව බැලීමේදී සඳෙන් ඉඩම් කැබලි මිල දී ගත් පළමු ඉන්දියානුවා රූපෙෂ් මේසන් නොවන බව පැහැදිලිය. ඇතැම් වාර්තාවලට අනුව බොලිවුඩ් තිරයේ තවත් ප්‍රකට නළු නිළියන් රැසකට ද, ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයන්ට ද මේ උන්මාදය වැලඳී තිබෙන බව සොයා ගත හැකිය.

කරුණු හාරා ඇවිස්සීමේදී නොම්මර එකේ බොලිවුඩ් නළුවා වන ෂාරුක් ඛාන්ට ද සඳේ ඉඩම් තිබේ. සැබැවින්ම ඔහු එවැනි උන්මාදයකින් පෙළුණු පුද්ගලයකු නොවූවද, මේ ඉඩම් ඔහු වෙනුවෙන් මිල දී ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචි ඔහුගේ රසිකාවියක වන සැන්ඩි නමැති කාන්තාවක් විසිනි.

වසර 2009 දී ෂාරුක් සම්මුඛ සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කර තිබෙන අතර, ඊයේ පෙරේදා වනතුරු ඊට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැත.

ෂාරුක් ඛාන් පවසා ඇති පරිදි මේ රසිකාවිය ඔහුගේ සෑම උපන්දිනයකටම තෑගි කර ඇත්තේ සඳේ ඉඩම් කැබල්ලකි.

එය අපූරූ උපන්දින තෑග්ගකි. ඇය ඔහු වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ The Lunar Registry ආයතනයට මුදල් ගෙවා සෑම උපන්දිනයකටම සඳෙන් ඉඩම් කැබැල්ලක් මිල දී ගෙන ඇති අතර, එහි ඔප්පුව එම ආයතනය මගින් ෂාරුක්ට ලැබෙන්නට සලස්වයි. ඒ අනුව බැලීමේදී සඳේ වැඩිපුරම ඉඩම් ඇත්තේ ෂාරුක්ට බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

ලොව කිසිදු අධිකාරියකින් පිළිගෙන නොතිබුණද, නීතිමය ස්ථාවරයක් නොමැති වුවද මින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් ආයතනය වැනි බොහෝ සංවිධාන සඳ ඇතුළු ආකාශ වස්තූන් සඳහා හිමිකම් කියමින් ‘චන්ද්‍ර ඔප්පු‘, අඟහරු ඔප්පු‘ හෝ ඊට සමාන වෙනත් හිමිකම් සහතික හරහා එහි කොටස් විකිණීම සිදු කරමින් පවතින බවය.

ලොව කීර්තිමත් පුද්ගලයන්ට පමණක් නොව ඕනෑම අයකුට සඳෙන් ඉඩම් කැබැල්ලක් මිල දී ගැනීමට හැකි බවත් The Lunar Registry ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වේ. පසුගියදා චන්ද්‍රයාන් -3 රොකට්ටුව සඳ ගමන සාර්ථක කරගැනීම නිසා සිය වෙළෙඳාම ඉහළ ගොස් ඇතැයි ද, වෙබ් අඩවියට ප්‍රවේශ වීමට දැඩි තරගයක් නිර්මාණය වීම නිසා කාර්ය බහුල වී ඇති බව ද ඔවුන් සඳහන් කර තිබේ. මේ අතර කලින් ඩොලර් 29.07ට අලෙවි කළ සඳෙහි අක්කරයක ඉඩම් කැබැල්ලක මිල දැන් ඩොලර් 34 දක්වා ඉහළ දමා ඇති බවත් වාර්තා වේ.


Comments