අන්තර්ජාලේ ජංජාල කරන අසත්‍ය තොරතුරුවලට වැට | සිළුමිණ

අන්තර්ජාලේ ජංජාල කරන අසත්‍ය තොරතුරුවලට වැට

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරීම් මඟින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීමේ අරමුණින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර තිබේ. නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන ක්‍රියා මෙම පනතේ විධිවිධාන මඟින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශයක් මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, අසත්‍ය ප්‍රකාශයක් මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාන් ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතාන්විතව නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදු කිරීම සන්නිවේදනය කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම ආදිය ඊට ඇතුළත් කර ඇත. මේ වන විට මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජ මාධ්‍ය තුළ ඇති වෙමින් පවතින නිසා ඒ

පිළිබඳව ආගමික නායකයන්ගෙන් හා සිවිල් ක්‍රියාධරයන්ගෙන් අපි අදහස් විමසුවෙමු.

ආගමික හා ජනවාර්ගික කොටස්වලට හිරිහැර වෙන්න ඉඩ නොතැබිය යුතුයි
- අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි

“වර්තමානය වනවිට සමාජ මාධ්‍ය ජාල මඟින් විවිධ පුද්ගලයන්ට නින්දා කිරීම මෙන්ම අහේතුකව විවිධ චෝදනා නඟමින් අපහාස සිදු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ආගමික සංහිඳියාවට, ආගමික පැවැත්මට නින්දා වන ඒ වගේම ශාස්තෘන් වහන්සේලාට, සංඝයාට, බෞද්ධ සංස්කෘතික උරුමයන්ට නින්දා අපහාස වන ආකාරයට කටයුතු කරන අතරම ඊට ඇති ගෞරවය කෙලෙසන ආකාරයටත්, භක්තිය හීන වන ආකාරයටත් ඉතාම සංවිධානාත්මක ව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ එවැනි ක්‍රියාවන්ට දායක වූ පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ ආකාරයත් අප හොඳින් දන්නා කාරණයක්. මේ පිළිබඳ මැනැවින් සොයා බලා කටයුතු කළ යුතුයි.

හිතුමතේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට, පොදු මහ ජනතාවගේ පිළිගැනීම්වලට මෙන්ම අහේතුකව ඇතැම් දේශපාලඥයන්ට නින්දා අපහාස සිදු කිරීමට තිබෙන ඉඩකඩ ඇරිය යුතුයි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඕපාදූප සෙවීම, අන්‍යයන්ට නින්දා අපහාස කිරීම වර්ධනය වෙමින් අති ආකාරයක් අප දකිනවා. ඒක මේ රටේ ඉදිරි පැවැත්මට ඒතරම් හොඳ දෙයක් නෙමෙයි. විදේශ රටවල් අරන් බැලුවොත් මේ විදියට අනුන්ගේ ඕපාදූප සොයමින් නින්දා අපහස සිදු කරන සමාජයක් නෑ. ඒ නිසා අපේ රටේ පොදු යහපතට බාධා පමුණුවන එහි පැවැත්මට ගැටලු මතු කරන මෙවැනි ක්‍රියා මාර්ග වැළැක්වීමට කටයුතු කළ යුතුය කියන අදහස අපි කවුරුත් ඉන්නවා. ඒ වගේම නීති සම්පාදන කරන ආයතනය විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන උදවිය සිය වරප්‍රසාදවලට මුවා වෙලා යම් යම් අවශ්‍යතාව උඩ උවමනාවෙන්ම නින්දා, අපහාස, බොරු චෝදනා එල්ල කරන ආකාරයත් අපි දකිනවා. ඒ අය පොදු සමාජයට නීති අණපනත් හඳුන්වා දෙනවා වගේම ඔවුනුත් නිවැරදි විය යුතුයි. සාමාන්‍ය ජනතාවට නීති පනවමින් ඔවුන් ඒ නීති නොතකා ක්‍රියා කළොත් ඒවා යථාර්ථවත් වන්නේ නැහැ. ඒ නිසා මේ සඳහා ආදර්ශය සපයන ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන දේශපාලනයේ යෙදෙන පිරිස්, වගේම දේශපාලන පක්ෂ මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න ඕන. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වගේම ආගමික කොටස් පිළිබඳවත් සහ ජනවාර්ගික කොටස් පිළිබඳවත් සැලකීමේදී ඔවුන්ට චෝදනා හිරිහැර ඇති වෙන්න ඉඩ නොතැබිය යුතුයි. ප්‍රධාන වශයෙන් වාර්ගික සිතුම් පැතුම්වලට වගේම ඔවුන්ගේ ආගමික භක්තිය පිළිබඳ නිදහසේ කටයුතු කරන්න ඔවුන්ට තිබිය යුතු අයිතිය ආරක්ෂා කළ යුතුයි.

රටේ ප්‍රජාව තුළ වේදනාවක්, භේදයක් ඇති කරන ප්‍රකාශ විශේෂයෙන් ජනවර්ගික හා ජාතික සිතුම් පැතුම්වලට හා ආකල්පවලට ගැරහීම. අගවිනිසුරුවන්, මහෙස්ත්‍රාත්වරුන් වැනි ගෞරවනීය පුද්ගලයන්ට අපහාස කිරීම බලවත් සමාජ බිඳවැටීමකට හේතු වෙනවා. එනිසා මෙවැනි නීති හඳුන්වා දෙනවා වගේම ඒ නීති අණ පනත් සකස් කරන උදවිය ඒ පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත් වෙනවා.

මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම සෑම අතින්ම යහපත්
- ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දර්ශනශූරී පාතේගම ඤාණිස්සර හිමි

 “අපේ රටට තිබෙන ප්‍රශ්නය නීතිය දැමීම පිළිබඳව නෙමෙයි. දැමූ නීති ක්‍රියාත්මක නොකිරීම ගැටලුව. ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවන ලෙස මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම සෑම අතින්ම යහපත්. අපහාස නීතිය පවා ඉවත් කර ඇති තත්ත්වයක් තුළ මිනිසුන් ඉතාම පීඩාවට පත්වන ආකාර අප දකිනවා. සමාජ ජාල මාධ්‍යයන් මඟින් කිසියම් අයෙකුට අපහාසයක් සිදු කළ විට ඊට අදාළව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒව කාටවත් ඕන ඕන ආකාරයට ක්‍රියාත්මක කරන්නට බැහැ. ඒ නිසා මෙවැනි නීති සම්මත වෙන එක හොඳයි. පොදු මහ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එනු ලබන ඕනෑම නීතියක් හොඳයි. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ කවරාකාරයෙන් ද ඒවා අර්ථ නිරූපණය වන්නේ කවර ආකාරයෙන් ද යන්න ඒ තුළ අන්තර්ගත පැවතීම අත්‍යවශ්‍යයි. අපට තිබෙන ප්‍රශ්න නීති දැමිය පිළිබඳව නෙමෙයි. දාපු නීති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බොහෝ දෙනා වරදවා වටහා ගන්න කාරණයක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ විචාරයක් නැතිව කටට එන ඕනෑම දෙයක් කියන එකට හෝ ලියන එකට නෙමෙයි. එහෙම නම් ඕනම පිස්සෙක්ට වුණත් පුළුවන් ඕනම අදහසක් ප්‍රකාශ කරන්න. ඒ වගේම ඕනම සංවිධානාත්මක කල්ලියකට පුළුවන් විනාශකාරි අදහස් පතුරවමින් සමාජය නොමඟ යවන්න. ඒ නිසා හිතුණු හිතුණු පළියට ඕන දෙයක් කියන්න පුළුවන් කියල එයින් අදහස් වෙනව කියලා කවුරු හිරි හිතනවා නම් ඒක වැරදියි. මානව සම්බන්ධතාවලට පටහැනි, මානව වටිනාකම් පිළිනොගන්නා, ඊට ගෞරව නොකරන සමාජ පැවැත්මට හානිකර අදහස් මත පළ කරන්න පුළුවන් කියන අදහසක් ඉන් කියවෙන්නේ නැහැ.

ඒ සෑම දෙයක්ම ආචාරධර්මවලට යටත්. ඕන කෙනකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ඒ අදහස් නිවැරදි වෙන්න ඕන. රටක පොදු මහජන යහපතට හේතුවන නිවැරදි අර්ථකාමී අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම තමයි බුදුන් වහන්සේ ගූතභාණී සූත්‍රය හරහා දේශනා කළේ. ඒ නිසා අදහස් ප්‍රකාශ වෙන්න ඕනේ සමාජයේ පොදු යහපත පිණිසයි. එහි කිසිදු වරදක් නෑ. නමුත් ඒ අදහස් නිවැරදි වෙන්න ඕන සමාජ යහපත පිණිස ද රජයට අනුගතව ද පක්ෂයට අනුගතව ද කියන කාරණය පැහැදිලි වෙන්න ඕන.

හින්දු ජනතාවත් බෞද්ධ ජනතාවත් භේද කරන්න සමහරු උත්සාහ කරනවා
- ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුශර්මා

රට අමාරු තත්ත්වයක ඉඳලා දැන් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. දැන් තමයි මිනිස්සුන්ට ටික ටික තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමකට පැමිණ තිබෙන්නේ. ඒ නිසා ඒකට බාධා පැමිණෙන කිසිදු වැරදි දෙයක් වෙන්න හොඳ නැහැ. සමහරු උත්සාහ කරනවා හින්දු ජනතාවත් බෞද්ධ ජනතාවත් නැවත භේද බින්න කරන්න. මේ තිබෙන සාමය නැති කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ රට නැවත භේද බින්න කරන්න විදේශගත පාර්ශ්ව කටයුත කරනව නම් බොරු ප්‍රචාර ඒ සඳහා යොදා ගන්නව නම් ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ.

තමන්ගේ සාක්කුවට සල්ලි කීයක් හරි වැටෙනව නම් ඕන දෙයක් කරන්න සමහරු කටයුතු කරනවා. ඒ නිසා එවැනි ක්‍රියා වළක්වා ගන්න යම් යම් නීති ගෙන එන්න ඕන නම් ඒවා ගෙනාවට වරදක් නැහැ.

වැරදි කරන අය හඳුනාගෙන පවතින නීතිය යටතේම දඬුවම් දෙන්න
- ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා

සමාජ මාධ්‍ය ජාලය කියන්නේ නූතන සමාජයට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. මේ තුළින් සිදුවන යහපත අසීමිතයි. මේ හරහා රට පුරා තිබෙන යහපත් මෙන්ම අයහපත් තොරතුරු ක්ෂිණිකව දැනගන්න පුළුවන්. අයහපත් දේ වශයෙන් කෙනකුගේ පුද්ගලික ප්‍රතිරූපයට හානි කරන්න, වෛරය වපුරුවන්න, ජාතීන් අතර ආගම් අතර භේද ඇති කරන්න ආදී සිදු කරන්න පුළුවන්. නමුත් මේකට විකල්පය මේවා තහනම් කර ඒවා සඳහා නව නීති පනවා දඬුවම් ලබාදීමම නෙමෙයි. එවැනි දේ සිදු කරන පුද්ගලයන් හැඳින ගෙන දැනට පවතින නීතිය යටතේම දඬුවම් ලබාදෙන්න පුළුවන්. අලුතෙන් නීති දාල මේවට වැටකඩුලු බඳින්න ගියාම එමඟින් වෙනත් ප්‍රයෝජන ගන්න පුළුවන්. උදාහරණයකට තමන් කිසියම් පුද්ගලයකු සමඟ අමනාප නම් ඒ පුද්ගලයව මෙවැනි දේ සඳහා උපක්‍රමශීලීව හසු කරලා දඬුවම් ලබාදී ඒ පුද්ගලයව නැති කරන තැනට වැඩ කටයුතු කරන්න අනුබල දීමක් වුණත් මේ හරහා සිදු විය හැකියි. එනිසා අලුත් නීති අවශ්‍ය නැහැ. මේ තියෙන නීති රෙගුලාසි යටතේ ඒ සඳහා ක්‍රියා කරන්න ඕනතරම් ප්‍රතිපාදන තියෙනවා.

අනෙක් අතට දියුණු යුරෝපීය රටවල්වල ආගම් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම එතරම් ලොකු සමාජ ප්‍රශ්නයක් විදියට සලකන්නේ නැහැ. මොකද ඕනම කෙනෙක්ට නිදහස තිබෙනවා තමන් අදහන හෝ අනුගමනය කරන ආගම පිළිබඳ ස්වාධීන අදහසක් දරන්න. එය අන්‍යයන් මත බලෙන් පැටවීමට උත්සාහ ගැනීම පමණයි වරදක් වන්නේ. නිදසුනක් ලෙස කෙනෙක් කියන්න පුළුවන් මගේ අම්මයි තාත්තයි තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මයි තාත්තයි කියලා. ඒක වැරදි නැහැනේ. මොකද ඔහුට හෝ ඇයට අනුව ඒ තමයි හොඳම අම්මා තාත්තා. ඒ විදියට තව කෙනෙක්ට කියන්න පුළුවන් මගේ ආගම තමයි මේ ලෝකේ තියෙන හොඳම ආගම; එහි ශාස්තෘවරයා තමයි හොඳම ශාස්තෘවරයා කියලා. ඒකට තවත් කෙනෙක්ට හිත රිදෙයි. නමුත් ඉන් තවත් ආගමකට අගෞරව කරනව නෙමෙයිනේ. ඒ එයාට දැනෙන දේ. ඒ නිසා කිසියම් මට්ටමකට තමන්ගේ ආගම සම්බන්ධයෙන් මතිමතාන්තර ඉදිරිපත් කරන්න අයිතියක් තියෙන්න ඕන. ඒ වගේ දේවල්වලට ඉඩදීමෙන් මිනිසුන්ගේ විඥානය පුළුල් වෙනවා. නිදහස පුළුල් වෙනවා. ඔවුන් ආකල්පමය වශයෙන් දියුණු වෙනවා. ඒ සිතීමේ නිදහස මිනිස්සුන්ට තියෙන්න ඕන. එහෙම වුණාම තමයි නිර්මාණශීලී සමාජයක් ගොඩ නැඟෙන්නේ. රටක් ඉදිරියට යන්නේ. ඒ නිසා මේ වගේ දේවල්වලට නව නීති ගෙන එන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා තිබෙන නීති හොඳටම ප්‍රමාණවත් කියන එකයි මගේ අදහස.

ප්‍රබල සංවාදයක් ඕනෑ
- ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත” නමැති නීති කෙටුම්පතක් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් 4 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණය කළ බව ප්‍රකාශිතයි. එහෙත් කැබිනට් තීරණ මාධ්‍ය නිවේදනයේ අඩංගු සාරාංශය මත පදනම්ව සමස්ත කෙටුම්පත ගැන අදහස් දැක්වීම දුෂ්කරයි. දැනටමත් රටේ ක්‍රියාත්මක වන නීතිවලින් ආවරණය වන වැරදි ගණනාවක් මේ පනතේ ද වැරදි ලෙස දක්වා තිබීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නෑ. උදාහරණ හැටියට: වංචා කිරීම; අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම; ළමා අපයෝජනය; ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම. විවිධ වැරදි විශාල සංඛ්‍යාවක් එකම පනතේ ඇතුළත් කිරීමෙන් එය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාකූලතා ඇති විය හැකියි.

මෙහි තවත් වරදක් ලෙස දැක්වෙන්නේ “අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම” යන්නයි. 2002 වසරේ රනිල් වික්‍රමසිංහයන් අගමැතිව සිටියදී සාපරාධී අපහාසය (criminal defamation) අපේ රටේ නීති පොත්වලින් ඉවත් කරන ලැබුවා. ශිෂ්ට ලෝකයේ බොහෝ රටවල අපහාසය සම්බන්ධ වැරදිවලට පොලිසිය හෝ නීතිපතිවරයා සම්බන්ධ වන්නේ නැහැ. 2002ට පෙර සාපරාධී අපහාසය ජනමාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට හිරිහැර කිරීම සඳහා දේශපාලකයන් විසින් අවභාවිත කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් තිබූ නිසයි එම තීරණය ගනු ලැබූයේ. එම පසුබිම තුළ යළිත් වරක් අපහාසය අපරාධමය වරදක් කිරීමට මේ පනතෙන් උත්සාහ කරනවා නම් 2002 තැබූ ඉදිරි පියවර ආපස්සට ගැනීමක් වීමේ අවදානම තිබෙනවා. නමුත් කෙටුම්පතේ යෝජිත වැරදි අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක වන්නේ “ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම” යන්නයි. යම්කිසි තොරතුරක් සත්‍ය හෝ අසත්‍ය බවට නිර්ණය කිරීමේ තීරක බලය ලබන්නේ කවුද? ජනමාධ්‍ය අමාත්‍යවරයාද? අධිකරණ විනිසුරුවරයෙක්ද? ආගමික නායකයෙක්ද? අදාළ විෂය පිළිබඳ සරසවි මහාචාර්යවරයෙක්ද? මෙම යෝජිත නීතිය සම්මත වුණොත් පවතින රජය කරන සියලු ප්‍රකාශ එලෙසින්ම සන්නිවේදනය කිරීමට සිදු විය හැකියි. ඕනෑම ප්‍රශ්නයකදී රජයේ ස්ථාවරය ගැන විකල්ප සාකච්ඡා කිරීම සහ විසංවාදය ‘නීති විරෝධී’ යයි විග්‍රහ කිරීමේ අවදානමක් ද තිබෙනවා. සත්‍යය පිළිබඳ ඒකාධිකාරය ආණ්ඩුවට හෝ අධිකරණයකට හිමිවේ නම්, එවිට අප තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විය හැකිද?

මාධ්‍යවේදීන් හොඳින් දන්නා පරිදි, වත්මන් සංකීර්ණ සමාජයේ යම් තොරතුරක් සත්‍යාපනය කිරීම (verification) අභියෝගාත්මක කාර්යයක්. එසේම බලයේ සිටින රජය සත්‍ය යයි කියා සිටින හැම දෙයක්ම සැබැවින්ම සත්‍ය වන්නේ නැහැ. උදාහරණයක් ලෙස කොරෝනා වසංගත සමයේ ‘ධම්මික පැණිය’ සිහිපත් කළොත්, එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරිය සහ රජය ප්‍රමුඛව එය ප්‍රතිකර්මයක් ලෙස ප්‍රවර්ධනය කරද්දී වෛද්‍ය-සෞඛ්‍ය වෘත්තිකයන් සහ ජනමාධ්‍යවලින් කොටසක් එය දිගටම ප්‍රශ්න කළා. අවසානයේදී ධම්මික පැණියේ බොරුව හෙළිදරව් වූයේ එය පානය කළ විශාල ජන පිරිසකට රෝගය වැළඳීමෙන්.

දුස්තොරතුරු (disinformation) නීති මගින් පාලනය කිරීමට තැත් කිරීම බෙහෙවින්ම අභියෝගාත්මක බව ලෝකයේ රටවල් ගණනාවක මෑතකාලීන අත්දැකීමයි. මහජන සංවාදය නොරුස්සන අධිකාරිවාදී රාජ්‍යයන්හි නම් ආණ්ඩුවේ තොරතුරු අවිවාදයෙන් පිළිගැනීමට ජනමාධ්‍යවලට සහ පුරවැසියන්ට සිදු වනවා. ශ්‍රී ලංකාව මේ අහිතකර දිශාවකට තල්ලු වීමට පෙර යෝජිත නීති කෙටුම්පත පුළුල් මහජන සංවාදයට ලක් කිරීම ඉතා වැදගත්.

අලුත් නීති එපා තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න
- සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සභාවේ මහ ලේකම් ශේක් අරකම් නුරාම් මව්ලවිතුමා

රටක මෙවැනි නීති කෙටුම්පතක් ගේනවා නම් පළමුවෙන්ම ඒ රටේ පූජ්‍ය පක්ෂයෙන් වගකිව යුතු පාර්ශ්වවලින් හා ජනතාවගෙන් ඒ පිළිබඳව විමසීමක් කළ යුතුයි. නමුත් අප කිසිවකු ඒ පිළිබඳව දැනුම්වත් වී නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක්. ඒ අය කියන්නේ ජනතා නියෝජිතයෝ විදියට ඒ අය තමයි පාර්ලිමේන්තුවේ නීති අණපනත් හදන්නේ කියලා. ඇත්තටම අද ඔවුන්ට ජනතාපාරමාධිපත්‍ය බලයක් නැහැ. ඔවුන් ජනතාව නියෝජනය කරනාව කීම එනිසා පිළිගන්න පුළුවන් අදහසක් නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි නීති කඩිමුඩියේ ගෙන එන්නේ ඇයි කියන්න අපට අවබෝධයක් නැහැ. අනෙක් අතට නීතිය ජාති කුල උස් පහත් කම් නැතිව සැමට සමානව ක්‍රියාත්මක වෙනව නම් තිබෙන නීතිය ප්‍රමාණවත්. 2012 සිට දිගටම ඉස්ලාම් ආගම පිළිබඳ හා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන නොයෙකුත් බොරු චෝදනා, වෛරී ප්‍රකාශ, හා විවිධ හිරිහැර සිද්ධ වුණා. ඒ සඳහා අයිසීසීපීආර් පනත යටතේ කටයුතු කළ හැකිව තිබුණා. නමුත් ඒ සඳහා කිසිදු පියවරක් ගත්තෙත් නැහැ. කිසිවෙක් අත්අඩංගුවට ගත්තෙත් නැහැ. අප පොලිසියට ගොස් කොතරම් පැමිණිලි භාර දුන්නත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු වූයේ නැහැ. අපේ අදහස නම් අලුත් නීති අවශ්‍ය නැහැ තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්.

Comments