ශිෂ්‍යත්ව ජය මඟ පෙන්වන තෙද බලැති ගණ දෙවි පූජාවක් | සිළුමිණ

ශිෂ්‍යත්ව ජය මඟ පෙන්වන තෙද බලැති ගණ දෙවි පූජාවක්

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

අඟහරුවාදා හැන්දෑවක කොහොඹ පැළයක් හෝ ගසක් මුල පිරිසිදු කර කහ වතුර ඉස මල් පහන් තබා කොහොඹ ගස පේ කරගෙන මිනිසකුගේ ඇඟිල්ලක ප්‍රමාණයට කපාගත් කොහොඹ ලී කැබැල්ලක් ගණපති ජීවම් මන්ත්‍රයෙන් ජීවම් කර වන්දනාමාන කිරීමෙන් පස්වැන්නේ ශිෂ්‍යත්වය ඇතුළු ඕනෑම විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ට ගණ දෙවියන්ගේ මහානුභාවසම්පන්න ආශිර්වාදය හිමිවෙයි.

කොහොඹ ලී කැබැල්ල කපාගන්නා හා වත්පිළිවෙත් අරඹන දිනය අඟහරුවාදා දිනයක් වීම ඉතා සුබදායක වන අතර, රාහු කාලය මඟ හැර එම කටයුතු ඇරඹීමට කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

කපාගත් කොහොඹ ලී කැබැල්ල කහ වතුරෙන් නහවා පිරිසිදු කර සුදු රෙදි කැබැල්ලක ඔතා සකසා ගන්න. ඉන් පසු නිවසේ පිරිසිදු තැනක ආසනයක් සකස් කරන්න. ඒ මත කෙසෙල් කොළයක් එළා රතු සහ කහ වර්ණය ඇතුළු මල් වර්ග 05ක් තබා බෙලි කොළ ස්වල්පයක් එම ආසනය මත තබන්න. කොහොඔ ලී කැබැල්ල එම බෙලි කොළ මත තැන්පත් කරන්න. පිරිසිදු ගිතෙල් හෝ පොල්තෙල්වලින් ගණ දෙවියන් අරමුණු කරගෙන පහනක් දල්වන්න.

ඉන් අනතුරුව සුවඳ දුම් පතුරුවා පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර පිරිත් කියා ගණ දෙවියන්ට පින් දෙන්න. ඒ සමඟම මෙහි සඳහන් ගණපති ජීවම් මන්ත්‍රයෙන් 108 වාරයක් කොහොඹ ලී කැබැල්ල ජීවම් කරගන්න. අනතුරුව මේ වැඩ සිටින්නේ ජීවමාන ගණ දිව්‍ය රාජයාම යැයි විශ්වාසයෙන් දරුවා විභාගයට පිටත් වන දිනය තෙක් මෙය දැකීමට හා හැකි පමණින් වතාවත් කිරීමටත් පාඩම් කටයුතු ආරම්භයට පෙර මෙය ස්පර්ශ කිරීමටත් ඉඩ දෙන්න. දරුවාගේ පොත් මේසය මත හෝ වෙනත් ඕනෑම සුදුසු තැනක මෙය තැන්පත් කරන්න. ඔබ නොසිතූ ලෙස සියලු ජයග්‍රහණයන් ලබා දෙනු ඇත.

විශ්වය තුළ පවතින අසීමිත ශක්තීන් අතර විග්නේෂ්වර (ගණ දෙවි) ශක්තිය අති ප්‍රබලය. එක් දිනකට ලොව පුරා බැතිමතුන් ‘ඕම් නමෝ විග්නේෂ්වරාය‘ යනුවෙන් විශ්වයට මුදා හරින කෝටි සංඛ්‍යාත උතුම් ශක්තිය අධ්‍යාපනය ලබන ඔබේ දරුවාගේ යහපත පිණිස ⁣ලබා ගැනීම මෙම උතුම් පූජාවේ පරමාර්ථයයි. නිරතුරුවම අපි සිහි කරන්නා සේ මෙවරද අප ඔබට සිහිපත් කරන්නේ මෙම පුද සිරිත් පැවැත්වීමට පෙර තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර අඩුම තරමින් කරණීයමෙත්ත සූත්‍රය හෝ සජ්ඣායනා කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රධාන දෙවි දේවතාවුන්ට පින් දිය යුතු බවයි.

ගණපති ජීවම් මන්ත්‍රය

අත්ති ගණපති ආදි ගණපති සිද්ධි ගණපති ශිව ශිව ගණපති කාරණ ගණපති කාරිය ගණපති කාර්ය කරණ ගණපති වා වා සර්ව කාර්ය ෂට් ගුරු ගණපති වා වා ඓයුං ගණපති කිලියුං ගණපති සෞවුං ගණපති ශක්ති ගණපති වාලය් ගණපති වශිය ගණපති එන් වසමාක එන් මුන් සෙය් සෙය් වසි වසි වසීකරං වසි ශිව ස්වාහා.

Comments