වැඩට දක්ෂ අංක 4 හිමියෝ | සිළුමිණ

වැඩට දක්ෂ අංක 4 හිමියෝ

මෙහිදී හෘද අංක 4 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 4 හිමි ඔබ තමන්ගේ ජීවිතයේ සෑම දෙයක්ම පිළිවෙළක් ඇතුව කිරීමට කැමැති අය වෙයි. වෙනස්වීම්වලට ඔරොත්තු නොදෙන ඔබ සෑම දෙයකම ස්ථාවරත්වයක් අපේක්ෂා කරයි. ක්‍රමානුකූලවත් පිළිවෙළටත් ලස්සනටත් වැඩ කටයුතු කිරීම ඔබගේ ස්වභාවයයි. යම් වැඩක් පටන්ගත් තැන සිට අවසානය දක්වා ක්‍රමානුකූලව පියවරෙන් පියවර අවසානය දක්වා රැගෙන යයි. හෘද අංක 4 හිමියන් සෑම දෙයකම හොඳ නිමාවක් දැකීමට ප්‍රිය කරයි. 

ඔබගේ ජීවිතයේ අභියෝග ප්‍රශ්න ගැටලු ද නැතුවාම නොවේ. නමුත් ඔබ තර්කානුකූලව බුද්ධිමත්ව ප්‍රායෝගිකව තමන්ගේ ගැටලු ප්‍රවේශමෙන් විසඳා ගැනීමට උත්සාහ දැරිය යුතුය. වැඩ කටයුතුවලට දක්ෂභාවයක්ද හෘද අංක 4 හිමියන් තුළ පවතී. නිතරම කුමන හෝ වැඩක යෙදීමටද ඔබට සිදු වෙයි. ඔබට පැවරුණු රාජකාරිවලට අමතරව තවත් බොහෝ දේවල් කිරීමට සිදුවිය හැකිය. එසේම ඔබ තමාට අවශ්‍ය වැඩ කොටස් පමණක් සොයා බලා කිරීමට උනන්දු විය යුතුය. ප්‍රමාණවත් තරම් විවේක ගැනීමට ද මතක තබා ගැනීම වැදගත්ය. ඔබට ඉතාමත් සංවේදී සිතක් ඇත. සහකරුගේ සහකාරියගේ ආදරය ඔබ ඉතාමත් තදින් අපේක්ෂා කරයි. ඔවුන් නිරතුරු ඔබ ළඟින්ම දැවටී සිටිනවාට ඔබ කැමැතිය. ආදරයේදී පුංචි හෝ දෙයක් වුණත් ඔබ ඒ ගැන වඩාත් වැඩිපුර සිතයි. නමුත් අන් අයගේ සිත් රිදවීමට ඔබ කිසිසේත් පෙලඹෙන්නේ නැත. සුළු දෙයකින් පවා කම්පාවට පත්වන ගතියක් තිබේ.

බොරුව වංචාව හෘද අංක 4 හිමියන් කිසි විටෙක අනුමත නොකරයි. තම ආත්ම ගරුත්වය රැකගෙන සමාජයේ ජීවත් වීමට අපේක්ෂා කරයි. ඉතාමත් නිහතමානී ගති පැවතුම්ද ඔවුන් තුළ පවතී. අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට දක්ෂය. වුවමනාවට වඩා අන්තගාමීව සිතීම දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැක. සිතේ සන්සුන් භාවය සහ සැනසිලිදායක බව ඔබ විසින්ම බොහෝ විට නැතිකර ගනී. සෑම දෙයක්ම මනාව කළමනාකරණය කරගෙන මධ්‍යස්ථව ජීවිතය ගෙන යනු ලබයි. අවනතභාවය මෙන්ම විනයගරුක බව ද ඔබ තුළ තිබේ. අන් අයගේ අදහස්වලට නම්‍යශීලීව සවන් දීම ඔබේ යහපත් ගුණයක් ලෙස කිව හැකිය. තම යුතුකම් ඉටු කරමින් ඉතාමත් යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට කැමැතිය. තම පවුල වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ස්වාමියෙක් බිරියක් ලෙස ඔබ සඳහන් කළ හැක.

ආදර්ශවත් දිවි පෙවෙතක් ගෙවන හෘද අංක 4 හිමියන් කාගේත් හොඳහිත දිනාගෙන සාර්ථකත්වය කරා ඉතා ඉක්මනින් ළගා විය හැකි බව සඳහන් කළ හැකිය.

හෘද අංක 5 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය ඒ. ජේ. දීපාලෝක

Comments