ජීවිත වෙනස් කරන ග්‍රහ වස්තු | සිළුමිණ

ජීවිත වෙනස් කරන ග්‍රහ වස්තු

- සෞරග්‍රහ මණ්ඩලයේ භෞතිකවත් නැති රාහු කේතු ගැනත් දැනගන්න
- ග්‍රහලෝකවල බලපෑම මනුෂ්‍යයන්ට ලැබෙන්නේ ඒවා පිහිටා ඇති දුර සහ කළ හැකි බලපෑම අනුවයි

පාසල් යන අවධියේ දී භූගෝල විද්‍යාව විෂය හදාරන විට ඔබ හඳුනාගත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු පිළිබඳව ඔබට තවමත් මතක ඇතැයි සිතමි. එදින අප හඳුනාගත් පරිදි සූර්යයා අපට ආසන්නතම තාරකාව වේ. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහ වස්තු සූර්යයා වටා පරිභ්‍රමණය වේ. ප්ලුටෝ, 2003 U.B 313, සෙරස්, චාරොන් යන නම්වලින් හැඳින්වෙන වාමන ග්‍රහ ලෝකද සූර්යයා වටා පරිභ්‍රමණය වේ. 

සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයක්ම තමා වටා භ්‍රමණය වන ගමන් තම කක්ෂ මාර්ගය ඔස්සේ සූර්යයා වටා පරිභ්‍රමණයේද යෙදේ. ඔබගේ ජන්ම පත්‍රයේ සඳහන්ව ඇති උත්තරායන සිසිර ඍතුව, දක්ෂිණායන වර්ෂා සෘතුව ආදී වූ ඍතු නිර්මාණය වනුයේ මෙම පරිභ්‍රමණය හේතු කොටගෙනය. ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගැඹුරු භූගෝල විද්‍යාත්මක සංකල්ප ඔස්සේ ක්‍රියාත්මක වන නිවැරදි දර්ශනයක් බව ඔබට මේ මඟින්ද තහවුරු වනු ඇත.

සෑම ග්‍රහලෝකයක්ම සූර්යයා වටා පරිභ්‍රමණය වුවද සෑම උපග්‍රහයෙක්ම තමාට අයත් ග්‍රහ ලෝකය වටා පරිභ්‍රමණය වේ. අපගේ චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වනුයේ එම සිද්ධාන්තයට අනුවය. භුගෝල විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලය හඳුන්වනවාට වඩා වෙනස් වූ ආකාරයකට ජ්‍යොතිෂයේදී සෞරග්‍රහ මණ්ඩලය හඳුන්වනු ලබයි. පෘථිවිය මූලික කර ගනිමින් සෙසු ග්‍රහ වස්තු විහිදී ඇති ආකාරය එම ඉගැන්වීම්වල සඳහන් වේ. ඒ අනුව සූර්යයා මෙන්ම චන්ද්‍රයාද ග්‍රහ වස්තු සේ සලකා ව්‍යාවහාර කරනුයේ ඒවායින් ලැබෙන බලපෑම් පිළිබඳ නිවැරදි සටහන් තබාගත හැකි වන බැවිනි. ජ්‍යොතිෂයේ දැක්වෙන ග්‍රහ මණ්ඩලය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන්ගෙන් සමන්විතය. පෘථිවියට අයත් එකම උප ග්‍රහයා වන සඳුට පෘථිවියේ සිට ඇති දුර කිලෝ මීටර 384 403 ක් පමණි. රවි හෙවත් සූර්යයාට පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 150ක පමණ දුරක් තිබෙන අතර බුධ ග්‍රහයාට කි.මී. මිලියන 92ක් ද, සිකුරුට කි. මී. මිලියන 42ක් ද, අඟහරුට කි.මී. මිලියන 78ක්ද, බ්‍රහස්පතීට කි. මී. මිලියන 628ක්ද, සෙනසුරුට කි.මී. මිලියන 1277ක්ද, යුරේනස්ට කි.මී. මිලියන 2721ක්ද, නෙප්චූන්ට කි.මී. මිලියන 4348ක්ද පෘථිවියේ සිට දුර පවතී.  

ඉහත සංඛ්‍යා දෙස බලන විට පෘථිවිවාසී මනුෂ්‍යයන්ට සහ මානුෂ චර්යාවන්ට සඳුගේ බලපෑම කෙතරම් ලැබෙනු ඇත්දැයි සිතාගත හැක්කේ සඳු හා පෘථිවිය අතර ඇති අඩු දුර ප්‍රමාණය දැකීමෙනි. ඒ පරිද්දෙන්ම සෙසු ග්‍රහලෝකවල බලපෑම පෘථිවිවාසී මනුෂ්‍යයන්ට ලැබෙනුයේ ඒ ඒ ග්‍රහ ලෝක පිහිටා ඇති දුර සහ ග්‍රහ ලෝකයට කළ හැකි බලපෑම යන සාධක පදනම් කරගෙනය. සෑම ග්‍රහ වස්තුවකින්ම එකම ආකාරයේ බලපෑමක් පෘථිවිවාසී මනුෂ්‍යයන්ට නොලැබෙන බව මේ අනුව පැහැදිලි කරගත යුතුය. පෘථිවිවාසී මනුෂ්‍යයන්ගේ විවිධ චර්යාවන් සැකසී තිබෙනුයේද ග්‍රහ වස්තුවල බලපෑම මත බව පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු දැරූ මතයයි.

සෞරග්‍රහ මණ්ඩලයේ කොතැනකවත් දක්නට නොලැබෙන රාහු සහ කේතු යනු කවරෙක්ද? ඒවා ග්‍රහ වස්තු නොවන අතර ගණිතමය ස්ථාන දෙකක් හඳුන්වන නම් වේ. වෙනත් ග්‍රහ වස්තුවලින් ලැබෙන බලපෑම් විස්තර කරන පරිදිම රාහු සහ කේතු වෙතින් ලැබෙන බලපෑම්ද විස්තර කෙරේ. කිසියම් අයෙකු උපත ලැබූ අවස්ථාවේ ග්‍රහලෝක පිහිටියේ කුමන රාශියකදැයි ජන්ම පත්‍රයේ අදාළ කොටු තුළ සඳහන් කරන්නා සේම දරුවා ඉපදෙන වේලාව වන විට රවි, චන්ද්‍ර, පෘථිවි ගමන් මාර්ගයට අනුව රාහු සහ කේතු සිටින ස්ථානයන්ද කේන්දර කුණ්ඩලියෙහි අදාළ ස්ථානයන්හි සලකුණු කරයි. ඒ අනුව රාහු සහ කේතු වෙතින් එන බලපෑම්ද ගෙනහැර දැක්වේ.

නව ග්‍රහයන්ගේ හැසිරීම් මත පෘථිවිවාසී මනුෂ්‍යයන්ට විවිධ ආකාරයේ බලපෑම් ඇති වේ. ඒවා කෙබඳුදැයි විවරණය කරන්නට පිටිවහලක් කර ගනු ලබන්නේ ඉහත දැක්වූ ග්‍රහ වස්තු පිහිටා ඇති ආකාරයයි. ග්‍රහ වස්තු සියල්ල භෞතික වස්තූන් වුවද ජ්‍යොතිෂයෙන් ප්‍රයෝජන ගත් පුරාණ ආචාර්යවරු එක් එක් ග්‍රහ වස්තු වෙනුවෙන් විවිධ ආකාරයේ රූපමය සංකේත හඳුන්වා දී ඇත. එම ග්‍රහයාගෙන් මනුෂ්‍යයන්ට ලැබෙන බලපෑම සංකේතවත් කරමින් සුදුසු රූප ලබා දී ඇත. ඒ අනුව වඩාත් පහසුවෙන් ග්‍රහ බලපෑම් හඳුනා ගැනීමට අපට අවස්ථාව සැලසී ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, අසෝක විජයසේකර

Comments