ජීවන ගමන ගැන හෙළි කරන කේන්දරේ භාව දොළස | සිළුමිණ

ජීවන ගමන ගැන හෙළි කරන කේන්දරේ භාව දොළස

මෙලොව ජනිත වන ඕනෑම අයෙකුට ලග්නයක් හිමි වන බව අපි දනිමු. එම කේන්දරය කොටු දොළහකින් සමන්විත වන අතර එම එක් එක් කොටුවක් භාවයක් ලෙසින් හඳුන්වයි. ඒ අනුව භාව දොළසක් පවතින බව පෙනේ.

1 - භාවය

මෙය ලග්න භාවය ලෙස හඳුන්වන අතර සියුම් නුවණ, හිස, මොළය පිළිබඳ විනිශ්චයක් මෙයින් විග්‍රහ කෙරේ. ශරීරයේ රූප ලක්ෂණ ගති පැවතුම් තම චරිතය මෙම භාවයෙන් දක්වනු ලැබේ. මෙම ස්ථානය කල්ප ස්ථානය ලෙස පැරණි මුල් ග්‍රන්ථවල දක්වා ඇත. 1 භාවය ලග්න ස්ථානය ලෙසද හඳුන්වන අතර ආයුෂ හා ශරීර ශක්තිය පිළිබඳවද මෙයින් කියැවේ.

2 - භාවය

ධනය හා සම්බන්ධ වන නිසා ධන ස්ථානය නමින් ද විවාහ ජීවිතයෙන් පසු භාවය ගැන කිව හැකි නිසා කුටුම්භ ස්ථානය ලෙස ද හඳුන්වනු ලැබේ. ධනය, සැප, කීර්තිය මෙන්ම මාරක ආදිය කියා පායි. දේපළ අයිතිය, ගෘහ ජීවිතයේ කටයුතු ගැන විස්තර ද දක්වයි. එමෙන් ම මිල මුදල් හා කතා කිරීමේ ශක්තිය පිළිබඳව ද කියා පායි. 

3 - භාවය

වික්‍රම ගැන කියවෙන බැවින් වික්‍රම ස්ථානය ලෙසින් ද සහෝදරයන් ගැන දක්වන නිසා සහෝදර ස්ථානය ලෙස ද හඳුන්වයි. විශේෂයෙන් තම සහෝදරයන්, ධෛර්ය, වික්‍රමය, එඩිතර බව, ආයුෂ ගැනද මෙම භාවය මඟින් පැහැදිලි කර ගත හැකිය. තවද මවු පාර්ශ්වයේ නෑ හිතවතුන්, අසල්වැසියන් විශේෂයෙන්ම බාල සහෝදරයන් ගැන ද ප්‍රකාශ කරයි. මෙය සහජ ස්ථානය ලෙස ද හඳුන්වන අතර සහජ ඥානය, කීර්තිය, ගමන් බිමන් පිළිබඳවද නිවේදනය කෙරේ.

4 - භාවය

මෙය මාතෘ ස්ථානය, සුබ ස්ථානය, බන්ධු ස්ථානය යන නම්වලින් හඳුන්වයි. මවුපිය නෑදැයන්, සැප සම්පත්, නායකත්වය යනාදිය පෙන්නුම් කරයි. එමෙන් ම මවුපියන්ගෙන් ලැබෙන උරුමයන් විදහා දක්වයි. නිවස, ඉඩකඩම්, යානවාහන පටන් ගන්නා කරුණු අවසානය වැනි කරුණු පිළිබඳව දැක්වේ.

5 - භාවය

බුද්ධි ස්ථානය, පුත්‍ර ස්ථානය යන නම්වලින් මෙම භාවය හඳුන්වයි. පුත්‍රයන්, මිතුරන්, නෑදැයන්, සැපත හා සතුට මෙයින් පෙනේ. බුද්ධිය, දර්ශනය, ශිල්ප ශාස්ත්‍ර, ආදර සම්බන්ධතා, දරුවන් පිළිබඳව මේ ස්ථානයෙන් ප්‍රකාශ වේ. එමෙන් ම පෙර ආත්මය, කාමය, ලාභ, බලාපොරොත්තු, මුදල් යෙදවීම් පිළිබඳව ද කියැවේ.

6 - භාවය

රෝග ස්ථානය, සතුරු ස්ථානය ලෙස හඳුන්වන 6 වන භාවයෙන් සතුරන්, ලෙඩ රෝග, දුක් හානි පිළිබඳව පැවැසිය හැකිය. දැසි දස්සන්, ගව වැනි සතුන් පාලන කටයුතු, ණය ගනුදෙනු, තම නැන්දා මාමා පිළිබඳව විද්‍යමාන වේ.

7 - භාවය

කලත්‍ර ස්ථානය විවාහක ස්ථානය ලෙස සලකන මෙම භාවය මඟින් භාර්යාව, ස්වාමියා, සැප සම්පත්, ධනය, මරණය, ජය ලැබීම පිළිබඳ කරුණු ගෙනහැර දක්වයි. එමෙන් ම හවුල් ව්‍යාපාර, ගිවිසුම්, තරග, ලිංගික ක්‍රියා පිළිබඳ කරුණු මෙයින් දැක්වේ.

8 - භාවය

මාරක ස්ථානය ලෙස හඳුන්වන මෙම භාවය මඟින් ආයුෂ, රෝග, භාර්යාව, ගමන් බිමන් පිළිබඳව පෙන්වයි. එමෙන් ම මානසික භාවය, විවාහයෙන් පසු ලැබෙන දායාදයන්, හවුල් ව්‍යාපාරවලින් ලැබෙන ලාභ පාඩු, මාරක තත්ත්වයන් විදහා දැක්වේ. බාධක කරදර, හදිසි ධන ලාභ, විවාහයෙන් පසු ලිංගික ජීවිතය පිළිබඳව ද මෙයින් කියැවේ.

9 - භාවය

භාග්‍ය ස්ථානය, තපස් ස්ථානය ලෙස ද මෙම භාවය හඳුන්වා ඇත. මනා හික්මීම, ධර්ම ඥානය, ප්‍රසිද්ධිය, ආගමික භක්තිය, වැඩිහිටි ගෞරවය, පින් දහම්, වන්දනා කටයුතු මෙන්ම විදේශගත වීම් පිළිබඳ තොරතුරු මෙම භාවයෙන් ප්‍රකාශ වේ. එමෙන්ම පෙර පින, පියා, උසස් අධ්‍යාපනය පිළිබඳව කිව හැකිය.

10 - භාවය

කර්ම ස්ථානය, පීතෘ ස්ථානය මෙන්ම අභිමාන ස්ථානය ලෙස ද හඳුන්වන මෙම භාවය තුළින් ආයුෂ, රැකියාව, කීර්තිය, මිතුරන්, සහජ හැකියා, පියා පිළිබඳව තොරතුරු කියා පායි. ව්‍යාපාර තත්ත්වය, ලෞකික වශයෙන් ලබන බලය ද මින් කියැවේ.

11 - භාවය

අය ස්ථානය, ලාභ ස්ථානය ලෙසින් හඳුන්වන මෙම භාවයෙන් ඉගෙනීම, ධනය, ප්‍රසිද්ධිය, ආදායම්, වැඩිමහල් සහෝදරයා, යහළුවන්, විවාහය, ලැබීම් පිළිබඳව ද කරුණු හෙළි කරයි. බලාපොරොත්තු ඉටු වීම, දරු පල, සශ්‍රීකත්වය යන කරුණු පිළිබඳව ද 11 භාවයෙන් කිව හැකිය.

12 - භාවය

වැය ස්ථානය ලෙසින් හඳුන්වන මෙම භාවය ව්‍යසන ලෙඩ දුක්, නඩුහබ, දුගී බව වධ බන්ධන, ආත්ම විනාශය මෙන් ම වියදම් පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරයි. විදේශ චාරිකා මෙන් ම මතු ආත්මය පිළිබඳව ද තොරතුරු මෙයින් දැක්වේ. ඇවිදීම, මංගල යහනේ සැප, රහස්, සතුරු කරදර, බන්ධනාගාරගත වීම් ද මෙයින් කියැවේ.

මෙම භාව දොළොස අනුව පලාපල කථනයේදී විශේෂයෙන් ම ග්‍රහයන්ගේ පිහිටීම් පිළිබඳව අවබෝධ කර ගත යුතුය. එම ග්‍රහයන්ගේ ස්වක්ෂේත්‍ර, උච්ච, මිත්‍ර, නීච, සතුරු, සම තත්ත්වයන් අනුව සහ ග්‍රහ දැකීම් හෙවත් දෘෂ්ටි අනුව ලැබෙන පලාපලයන් විවිධ වනු ඇති බව භාවයන් විමසා බැලීමෙන් පෙනේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විදුහල්පති උපුල් ජය ශ්‍රී ද සිල්වා

Comments