කාටවත් බය නැති - ග්‍රහ ලොව සෙන්පති කුජ මණ්ඩලය ඔබේ අල්ලේ පතුරයි බලය එක එල්ලේ | සිළුමිණ

කාටවත් බය නැති - ග්‍රහ ලොව සෙන්පති කුජ මණ්ඩලය ඔබේ අල්ලේ පතුරයි බලය එක එල්ලේ

සිකුරු ග්‍රහයාගේ බලයට අයත් වන සිකුරු මණ්ඩලය පිළිබඳව පසුගිය ලිපියෙන් විස්තර කළා මතක ඇතැයි සිතමි. මෙවර මම, ඔබව දැනුවත් කරන්නේ කුජ ග්‍රහයාගේ බලය පතුරන ස්ථාන දෙකක් පිළිබඳවයි.

ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා කුජය. ශක්තියෙන් යුතු සටන්කාමී ග්‍රහයෙකු වන කුජ ග්‍රහයාට අල්ලේ ස්ථාන තුනක් හිමිය. ඉහළ කුජ මණ්ඩලය, පහළ කුජ මණ්ඩලය, කුජ තලාව යන ස්ථාන කුජගේ බලය පතුරවන ස්ථාන තුනයි. ඒ අතරින් ඉහළ කුජ මණ්ඩලය, පහළ කුජ මණ්ඩලය පිළිබඳව අද මම ඔබට හඳුන්වා දෙමි. අන් අයට යටත් වීමට කැමති නැති, අන් අයව යටත් කරගෙන තමන්ගේ බලය පෙන්වීමට උනන්දු වන කුජ කලබලකාරී මානසික තත්ත්වයෙන් යුතුය. ඕනෑම බාරධුර කටයුත්තකට ඉදිරිපත් වීමට බිය නැති, දුක - සැප සමබරව විඳීමටද කැමති ඔහු කෙරෙහි නිසැකයෙන්ම පවත්නා විශිෂ්ටතම බල සම්පන්න ගුණය නම් තමන්ගේද ආරක්ෂාව සලසා ගනිමින් සතුරන්ට පහර දීමේ ඇති ශක්තියයි. කුජට අයත් ස්ථාන වූ ඉහළ කුජ මණ්ඩලය බුධ මණ්ඩලයටත් චන්ද්‍ර මණ්ඩලයටත් අතර පිහිටා ඇති අතර පහළ කුජ මණ්ඩලය, ගුරු, සිකුරු මණ්ඩලය අතර පිහිටා ඇත. එමෙන්ම අල්ලේ මැද පිහිටි කොටස කුජ තලාවයි. 

මේ අයුරින් එම ස්ථාන තුනම නියමාකාර ලෙස සලකා බැලීමෙන් එම මණ්ඩලවල සුබ අසුබතාව දැනගත හැකිය. මෙහිදී ඉහළ කුජ මණ්ඩලය පුද්ගලයාගේ සිරුර පිළිබඳ තොරතුරුත් ඒ හා සමානව බැඳුණ ගතිගුණ හා චරිත ලක්ෂණත් ප්‍රකට කරන අතර පහළ කුජ මණ්ඩලයෙන් කෙනෙකුගේ මානසික තොරතුරු හා බැඳුණ ගතිගුණ හා සටන්කාමී බවත් පෙන්නුම් කෙරේ. මේ අනුව එම කුජ ග්‍රහයාට අයත් ස්ථානවල බල දුබලතාව පිළිබඳව සලකා බැලීමෙන් පුද්ගලයාගේ පලාපල විග්‍රහ කළ හැකි වේ.

ඉහළ කුජ මණ්ඩලය මනාව උස්ව වැඩී තිබේ නම් එය ඉතාම වටිනා සුබ පිහිටීමකි. ධෛර්යවන්තකම, කඩිසරකම ආදී ලෞකික දියුණුවට හේතු වන යහපත් ගුණාංග ඇතිවීමට එම මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය උදවු දෙයි. සටන්කාමීන් වශයෙන් කැපී පෙනෙන එවැන්නන්ට තේජාන්විත ගතිගුණත් උත්පත්තියෙන්ම පිහිටයි. නම්බුවට මෙන්ම කීර්තියට ඔවුන් ඉතා කැමතිය. සටනකින් ජය ලැබීමට නොහැකි බව ඔවුනට පෙනී ගියත් එයින් අධෛර්යයට පත් නොවී තවදුරටත් සටන් වැදීමේ ආත්ම ශක්තියක් ඔවුන් තුළ ඇත. කඩිසරභාවය හා කලබලකාරි බව ඔවුන් තුළින් කැපී පෙනේ. එක විට වැඩ රාශියක් කිරීමටත් ඔවුන් දක්ෂ වේ. කුජ මණ්ඩයේ තරු, ත්‍රිශූල, ත්‍රිකෝණ, සෘජු රේඛා ආදී සලකුණු එකක් හෝ වැඩි ගණනක් ඇතිනම් මණ්ඩලයේ ශක්තිය ප්‍රබල වේ. මණ්ඩලය විශාලම පිහිටීමද බලවත් වීමට හේතු වෙයි. මෙලෙස පිහිටි පුද්ගලයින් හැම කටයුත්තකදීම ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කිරීමට උත්සාහ ගනී. හැම කෙනෙකුගේම ප්‍රසාදයට හේතු වන අාකාරයේ ක්‍රියාකාරීකම් පෙන්වන ඔවුන් ත්‍යාගශීලිය. ස්ථිර අධිෂ්ඨාන ශක්තියක් ඇති නිසාම දුෂ්කරතා, වෙහෙස මහන්සිය, විරුද්ධතා ගැන කිසිවක් නොසලකා තම අභිප්‍රාය ඉටුකර ගැනීම සඳහා නොපසුබටව ක්‍රියා කරයි.

කුජ මණ්ඩලය දුබල වීම නැතිනම් පහත් ආකාරව පිහිටීම තුළින් පෙන්වන අසුබ පලද වේ. කලබලකාරී ස්වභාවය, හදිසි තීරණ ගැනීම, ක්ෂණික කෝපය මෙබඳු අය කෙරෙහි කැපී පෙනෙන දුර්වලකම් වේ. නොයෙක් විට විවාහ ජීවිතය ද අවුල් සහගතය. විවාහ වන්නේද ප්‍රමාදවය. ව්‍යාජ තර්ජන කරන්නෙක් වේ. අරගලයක් ඇතිවුවහොත් පසුබසී. ඉහළ කුජ මණ්ඩලයේ දූපත්, දැල් සටහන්, කුරුස ආදී ලකුණු අසුබය. අර්ෂස්, වකුගඩු, මුත්‍රාශය ආශ්‍රිත රෝග ද ඇතිවිය හැක. තමන් නිර්දෝෂි යයි සමාජගත කරමින් සමාජය පිළිකුල් කරන ක්‍රියාකාරකම් කරන අයගේද කුජ මණ්ඩලය පහත්ව පිහිටයි.

පහළ කුජ මණ්ඩලය ගුරු, සිකුරු මණ්ඩල දෙක අතර පිහිටි පහළ කුජ මණ්ඩලය බලවත්ව පිහිටි පුද්ගලයා ඉතා යහපත් ගතිගුණ ඇති අයෙක් විය යුතුය. හොඳ ශරීර ශක්තියකුත්, ඥාන ශක්තියකුත් උපතින්ම පිහිටන ඔවුන් ඉතාමත් නිර්භීතය. කිසිම අවස්ථාවකවත් හිතට වහල් වී ක්‍රියා නොකරන ඔවුන් නිදහස් අදහස්වලට ගරු කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව ඕනෑම වැඩකට අත ගසන ඒ අය දියුණුව ළඟා කරගන්නේත් තමන්ගේම උත්සාහයෙනි. පහළ කුජ මණ්ඩලය දුර්වල වී ඇත්නම් ඔහු හෝ ඇය මනසින් දුර්වල මෝඩ අයෙක් වෙන්නම ඕන. සුළු දෙයකදී වුවද කෝප සහගත වී මිනී මැරුම් ආදියටද යොමු වන්නේ මෙවැනි අයයි. කාන්තාවන්ට නම් ඔසප් දෝෂ ඇති වීමටත්, පිරිමි පක්ෂයට නම් මුත්‍රාශය ආශ්‍රිත ලෙඩ රෝග වැලඳීමටත් කුජ මණ්ඩලයේ දුබලකම් හේතු විය හැකිය. එමෙන්ම ඔවුන් පාපකාරී මිතුරන් ඇසුරට යොමු වන බැවින් නීති විරෝධි ක්‍රියාවන්ට අසුවී සිරගත වීම් ආදියටද යොමු විය හැක. කෝප වූ විට අවසිහියෙන් ක්‍රියා කරන ඔවුන් පසුව කළ වැරදි පිළිබඳව පසුතැවිලි වෙති.

කුජ මණ්ඩල දෙකම බලවත්ව පිහිටි පුද්ගලයා ඉතාමත් වාසනාවන්ත වේ. ඕනෑම විෂයක් පිළිබඳව අවබෝධයක් ඔවුන් සතුව ඇත. එවැනි අය නිර්භීත පුද්ගලයන් වන නිසාම යුද සේවය, පොලිස් සේවය වැනි රැකියාවලට බොහෝ දුරට ගැළපේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

Comments