මිනිස් මොළයෙන් පණ ඇති පණුවෙක් සොයාගත් ඔස්ට්‍රේලියාවේ විස්මිත සැත්කම | සිළුමිණ

මිනිස් මොළයෙන් පණ ඇති පණුවෙක් සොයාගත් ඔස්ට්‍රේලියාවේ විස්මිත සැත්කම

වෛද්‍ය විද්‍යාවේ අපූරු හාස්කම් ගැන ලොව විවිධ රටවලින් විවිධාකාර පුවත් වාර්තා වේ. එවැනි විස්මිත පුවත් අතරට ඉකුත් දා අලුතින් එක්වූ පුවත වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලෙනි. ඒ, ලොව පළමු වරට සැත්කමක් අතරතුරදී මිනිස් මොළයකින් සජීවී පණුවෙක් සොයා ගනිමිනි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඔස්ට්‍රේලියානු ජාතික 64 හැවිරිදි කාන්තාවකගේ මොළයේ පටක අතර සිටි අඟල් 3ක් පමණ දිග පරපෝෂිත පණුවෙක් සැත්කමක් අතරතුරදී පිටතට ගැනීමට වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් සමත් වූහ.

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැවක් ආශ්‍රිතව ජීවත් වූ එම කාන්තාව සති කිහිපයක් තිස්සේ උදරයේ ඇති වූ වේදනාව, කැස්ස සහ රාත්‍රියේ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණවලින් පීඩා විඳීම නිසා 2021 වසරේ ජනවාරි මස අවසානයේදී පළමු වරට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය රෝහලකින් ප්‍රතිකාර ලබා ඇත. ඉන් මාස කිහිපයකට පසුව ඇය පෙර කී රෝග ලක්ෂණවලට අමතරව අමතක වීම සහ විෂාදයෙන් ද පෙළෙන්නට වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අගනුවර රෝහලකට MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දුන්නාය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව එම රෝගියාගේ මොළයේ දකුණු මස්තිෂ්ක පටලවල අසාමාන්‍ය යමක් ඇති බව අනාවරණය කරගන්නට වෛද්‍යවරු සමත් වූහ.

ඇයගේ රෝගී තත්ත්වයට සැබෑ හේතුව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ 2022 වසරේ ජූනි මාසයේ ඇය සැත්කමට මුහුණ දෙමින් සිටියදීය. 

රෝගී කාන්තාවගේ මොළයේ ස්කෑන් පරීක්ෂණවලින් අසාමාන්‍ය ලෙස පෙන්නුම් කළ ප්‍රදේශය ස්පර්ශ කරමින් ශල්‍යකර්මයේ නිරතව සිටි ශල්‍ය වෛද්‍ය හරිප්‍රියා බන්දිට එක්වරම කිසියම් අසාමාන්‍ය දෙයක් දැනීමට පටන් ගෙන ඇත. මොළයේ තුවාල වූ පටක අතර අඟල් 3ක් පමණ දිග ළා රතු පැහැති නූලක් වැනි යමක් දුටු ඇය කුඩා ශල්‍ය අඬුවක් භාවිත කර ඒ අසාමාන්‍ය දේ පිටතට ගත්තාය.

"දෙයියනේ, ඒක මොකක්ද ? ඒක නලියනවනේ කියලා මට හිතුණා. මම විතරක් නෙවෙයි අපි හැමෝම පුදුම වුණා. ඒ හිටියෙ පණුවෙක්. මොළෙන් එළියට ගත්ත ඒ පණුව හරිම ශක්තිමත් විදිහට හොඳින් දඟලමින් හිටියා. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවේ අපි හැමෝම තිගැස්මකට ලක් වුණා."

දුටු දසුනින් මවිතයට පත්වූ ශල්‍ය වෛද්‍ය හරිප්‍රියා බන්දි අනතුරුව කළ යුත්තේ කුමක්දැයි උපදෙස් ලබා ගන්නේ සිය හිතවත් වෛද්‍ය සගයකු මෙන්ම කැන්බරා රෝහලේ ආසාදන රෝග පිළිබඳ විශේෂඥයකු සහ ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ ANU) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ද වන විශේෂඥ වෛද්‍ය සංජය සේනානායකගෙන්ය. වෛද්‍ය සංජය සේනානායකගේ මව සහ පියා ශ්‍රී ලාංකිකයන් වන අතර, පියා ද වෛද්‍යවරයෙකි. මැලේසියාවේදී උපත ලැබූ වෛද්‍ය සංජය සේනානායක ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය.

"ඒ රෝගියාගේ මොළයෙන් එළියට ගත්තේ පණුවෙක් කියලා දැක්කම ශල්‍යාගාරයේ සිටි හැමෝම මවිතයට පත් වුණා. එය මීට පෙර කිසිම අවස්ථාවක මිනිස් මොළයකින් සොයා නොගත් නව ආසාදනයක්"වෛද්‍ය සේනානායක ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණේ එලෙසිනි.

"පසුගිය වසර 30 තුළ නව ආසාදන වර්ග 30ක් මතුවී ඇති බව අනාවරණය වී තිබෙනවා. එයින් හතරෙන් තුනක්ම සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ඇති බෝවන රෝග. එයින් අපිට පෙන්නේ මිනිස් ජනගහනය වේගයෙන් වැඩිවෙද්දී මිනිසා සහ සතුන් අතර චර්යාත්මක සබඳතාවත් වැඩිවෙන බව. ඒ හරහා මිනිසා සත්ව පරපෝෂී ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා." යනුවෙන් මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වා තිබුණේ ඔස්ට්‍රේලියාවේ ප්‍රකට පරපෝෂිත විද්‍යාඥයකු වන වෛද්‍ය මෙහෙරාබ් හුසේන් ය.

මෙම සිදුවීමට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවගේ මොළයෙන් සොයාගත් එම සජීවී පණුවා අයත් වන්නේ, Ophidascaris robertsi නම් මේ වටපණු විශේෂයට බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සුලබ විෂ රහිත සර්ප විශේෂයක් වන 'පලස් පිඹුරා ' (Carpet Python) ආශ්‍රිතව ජීවත් වන මෙම වටපණුවාට කාන්තාව ගොදුරු වී ඇත්තේ, ඇය ජීවත්වූ වැව ආශ්‍රිත ප්‍රදේශයට අවේණික තෘණ වර්ගයක් එකතු කිරීමට ගිය අවස්ථාවකදී බව විද්‍යාඥයෝ නිගමනය කරති. එම තණ වර්ග අතර පලස් පිඹුරා නිතර වාසය කරන බැවින් රෝගී කාන්තාව එහි බහුලව ඇති පරපෝෂිතයාගේ බිත්තරවල ගොදුරක් බවට පත්වන්නට ඇත. මෙම පරපෝෂිතයා එම කාන්තාවගේ මොළයේ මාස දෙකක පමණ කාලයක් ජීවත් වෙමින් සිටින්නට ඇති බව ද වෛද්‍යවරු පවසති.

වෛද්‍ය සංජය සේනානායක මෙම සිදුවීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරයි. ඒ අතර ප්‍රමුඛ වන්නේ විශේෂයෙන් මිනිසුන් සතුන්ගේ වාසභූමිවලට ඇතුළු වන විට සතුන්ගෙන් මිනිසුන්ට රෝග සහ ආසාදන වර්ධනය වීමේ අවදානම ඉස්මතු වන බවයි. එමෙන්ම එවැනි සතුන්ගේ වාසභූමිවල ආහාර සොයන පුද්ගලයන් ඒවා ස්පර්ශ කිරීමෙන් පසු අත් සේදිය යුතුය. සලාද හෝ ආහාර පිසීම සඳහා භාවිත කරන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් ද හොඳින් සේදිය යුතුය.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මෙම සිදුවීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ මේ සොයාගැනීම් මඟින් සතුන්ගෙන් මිනිසාට බෝවන ආසාදන පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමට අවස්ථාව එළැඹ ඇති බවයි. එමෙන්ම උදරයේ වේදනාව, කැස්ස, රාත්‍රියට දහදිය දැමීම, අතීසාරය වැනි රෝග ලක්ෂණ පරපෝෂි ආසාදනයක් විය හැකි බැවින් ඒ පිළිබඳ නොසලකා හැරීමෙන් වැළකිය යුතු බවටද වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

Comments