ප්‍රේමය සතුට කරුණාව ගැන කියන සිකුරු මණ්ඩලය | සිළුමිණ

ප්‍රේමය සතුට කරුණාව ගැන කියන සිකුරු මණ්ඩලය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

අල්ලේ පිහිටි ග්‍රහ මණ්ඩල අතරින් තවත් ග්‍රහ මණ්ඩලයක් පිළිබඳවයි අද ඔබව දැනුම්වත් කරන්නේ. ඒ සිකුරු මණ්ඩලයයි. සිකුරු ග්‍රහයාගෙන් විහිදෙන විශ්ව ශක්තීන් අල්ල හිමියාට කුමන ආකාරයෙන් බලපානවාද යන්න නිගමනය කළ හැක්කේ පුද්ගලයාගේ සිකුරු මණ්ඩලය පරීක්ෂා කිරීමෙනි. අනෙකුත් ග්‍රහ මණ්ඩල අතරින් විශාලම ග්‍රහ මණ්ඩලය මෙයයි. මහපට ඇඟිල්ලත්, මැණික් කටුව ප්‍රදේශයත් අතර ඇති උස්ව හෝ පහත්ව ඇති ප්‍රදේශය සිකුරු මණ්ඩලයට අයත් වෙයි. මෙය ජීවන රේඛාවෙන් වෙන්වීම විශේෂ ලක්ෂණයකි.

ප්‍රේමයේ ආස්වාදය, ලෞකික ජීවිතයේ සතුට, කරුණාව, දයාව, පරිත්‍යාගශීලී බව ආදී ගුණාංග සිකුරු මණ්ඩලය නියෝජනය කරයි. ක්‍රීඩා, සංගීතය වැනි කලාත්මක දේ සඳහා ඇති ළැදි බව සිකුරු මණ්ඩලය තුළින් විද්‍යාමාන වෙයි. සිකුරු මණ්ඩලය මනාව උස්ව රෝස පාටින් පිහිටා ඇත්නම් සිකුරු ග්‍රහයාගේ බලපෑම වඩාත් ප්‍රකට වෙයි. එවැනි සිකුරු ග්‍රහයාගෙන් උසස් ප්‍රතිඵල වඩාත්ව හිමි වෙයි. ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන් සිකුරු මණ්ඩලය බලවත්ව ඉපදී ඇති අය වේ. බොහෝ සමාජ සේවකයෝ, මානව හිතවාදීහු මෙම මණ්ඩලය යහපත්ව බිහිවූ අය වෙති. සිකුරු මණ්ඩලයේ සිරස්ව හෝ හරස්ව රේඛා විහිදී ඇත්නම් සිකුරුගේ බලපෑම්වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ප්‍රකට වේ.

එමඟින් පුද්ගලයා ධනවත් භාවයට පත්වෙයි. එමෙන්ම දේපළ ඉඩකඩම් යානවාහන මෙන්ම සුවපහසු ගෙවල් දොරවල් ද හිමිකර ගැනීමට වාසනාව උදා වේ. අන් අය අතර ජනප්‍රිය වීමටත්, සමාජයේ ගරුබුහුමන් ලැබීමටත් හේතු වෙයි. කලා ක්ෂේත්‍රයන්හි නියැළි සිටින අයගේ සිකුරු මණ්ඩලය බලවත්ව පිහිටා ඇති අයුරු දැකගත හැකිය. මොවුන් හට බොහෝ කටයුතුවලදී ප්‍රධානත්වය හිමි වෙයි. අන්‍යයන්ගේ සිත් ඇදගන්නා කතා විලාසයත් ප්‍රියමනාප දේහ විලාසයත් නිසා කුමන ස්ථානයකදී වුව ද කාගේත් ප්‍රසාදයට ලක්වේ. බොහෝ විට ව්‍යාපාර කටයුතුවලදී ඔවුන් තුළ ඇති ප්‍රසන්න බව සහ සුහදතාව නිසා එම කටයුතු දියුණු කරගැනීමට නිරායාසයෙන්ම හැකියාව ලැබෙයි. සැරසිලි භාණ්ඩ, සංගීත භාණ්ඩ, මල් අලෙවිය, රූපලාවණ්‍ය කටයුතු, සුඛෝපභෝගී භාණ්ඩ ආදී කලාවට සම්බන්ධ ව්‍යාපාර තුළින් ඔවුනට දියුණුව ළඟාකර ගත හැකි වේ.

සිකුරු මණ්ඩලය මනාව උස්ව පිහිටා ඇති අයට විරුද්ධ පාර්ශ්වයේ අයගේ ආකර්ෂණය ලබා ගැනීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නොවේ. මේ නිසා ඔවුනට පෙම් සබඳතා බහුලව ගොඩනැෙඟන්නට හැකිය. මෙවැනි සබඳතා දුරදිග යාමෙන් බොහෝ විට පවුල් ජීවිතයේ ප්‍රශ්න ද ඇති විය හැකිය.

සිකුරු මණ්ඩලය ප්‍රමාණයට වඩා උස්ව පිහිටීමද එතරම් සුබ නොවේ. අති ධාවන කාමභෝගි බව එමඟින් ප්‍රකට වේ. මේ නිසා නොමනා සම්බන්ධතා හේතුවෙන් සමාජ රෝග පවා ඇති විය හැක. කාන්තාවක අතක සිකුරු මණ්ඩලය වඩා උස්ව තිබීම සුබදායක නොවේ. වැරදි කාම සේවනයේ යෙදෙන අය තුළ මෙම ලක්ෂණ දැකිය හැකි අතර ඔවුන්ගේ විවාහ ජීවිතය ද බොහෝ විට අසාර්ථක වේ.

සිකුරු මණ්ඩලය දුර්වල වීම හෙවත් පහත් ආකාර වීම, සිරස්ව හරස්ව රේඛා නොපිහිටීම, සිකුරු ග්‍රහයාගෙන් ලැබෙන බලපෑම හීන බව ප්‍රකට කිරීමකි. එවැනි ලකුණු ඇති අය උදාසීන, අන් අයගේ ආදරය නොලබන දුර්වල ශරීරයක් ඇති අය වෙති. දුෂ්ට ගතිගුණ ඇති මෙවැන්නෝ සමාජයේ අගෞරවයටත්, අවඥාවටත් ලක් වෙති. අධ්‍යාපන කටයුතු සහ ශාස්ත්‍රීය කටයුතු පිළිබඳවද දක්ෂතාවක් නොපෙන්වයි. සැපවත් ජීවිතයක් ගත කිරීමට සිහින මැව්වද උදාසීන බව නිසා එයින් ප්‍රතිඵලයක් නොලබයි. විවාහ ජීවිතය ද සාර්ථක නොවන අතර ජීවිතය අතෘප්තිකර ආකාරයෙන් ගෙවනු ඇත. සිකුරුගේ බැල්මක් නැති වූ විට පුද්ගලයාට සෝදුක්, කනස්සල්ල හා දුක් පීඩා ඇති කරනු ඇත.

නිදසුනක් ලෙස සඳහන් කළහොත් සිකුරු ග්‍රහයා පියකරු බවේ හා ආකර්ෂණ බවේ බලයයි. මනාව පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි කාන්තාව නිවසට භාග්‍යයක් වෙයි. නිවසේ හැම කාර්යයක්ම සතුටු සිතින් සැහැල්ලුවෙන් නොපිරිහෙළා ඉටු කරන ඔවුහු නිතර සතුටින් කාලය ගත කරති. ස්වාමි පුරුෂයාට මෙන්ම දරුවන්ට ද ඇත්තේ ඉමහත් ආදරයකි. ආගමට, දහමට දැඩි භක්තියක් ඇත. කුඩා වුවත්, විශාල වුවත් නිවස අලංකාර ලෙස තබා ගැනීමට යුහුසුලු වෙති.

සාර්ථක ප්‍රේම සම්බන්ධයක් මත සිදුවන විවාහයක් සහ සැපවත් විවාහ ජීවිතයක් සිකුරු මණ්ඩලය මත වැටෙන කතිර ලකුණින් පෙන්නුම් කරයි. එහි වැටෙන තාරකා ලකුණක් වගේම සුබ පල දෙයි. විනෝදකාමි ගතිය එම අයගේ ජීවිතයේ කැපී පෙනෙන ලකුණක් වෙයි. ආදරය සම්බන්ධ කටයුතුවලදී නොයෙකුත් ආරවුල් ඇතිවන නිසා සිකුරු මණ්ඩලයට දැල් සලකුණු කොටු සලකුණු සුබ නොවේ.

Comments