රතු නිවේදනය ගැන නොදැන ඕමානයේදී කොටු වුණු කුඩු සිද්දික් ගහපු ගේම | සිළුමිණ

රතු නිවේදනය ගැන නොදැන ඕමානයේදී කොටු වුණු කුඩු සිද්දික් ගහපු ගේම

මෙරට මත්කුඩු ජාලයේ ඔටුණු පලන් කුප්‍රකට කුඩු රජවරු කිහිප දෙනා අතර ඉහළින්ම සිටින ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන සිටින්නේ මොහොමඩ් සිද්දික්ය. පකිස්තානයේ සිට මෙරටට මත්කුඩු ගෙන ඒමේ ජාවාරමේ සියයට 50ක පමණ බලයක් රඳවා ගෙන ඇතැයි කියනු ලබන්නේද මොහොමඩ් සිද්දික්ය. පකිස්තානයේ සිට ඉන්දියාවට ගොඩබිම් මාර්ග ඔස්සේ රැගෙන විත් එතැන් සිට තූත්කුඩිය හරහා ධිවර බෝට්ටුවල සඟවා ගෙන මෙරටට හොරොයින් රැගෙන ඒමේ ජාවාරම උඩුයටිකුරු කරමින් පකිස්තානයේ සිට ආනයනික භාණ්ඩ කන්ටේනර් වල සඟවා විශාල වශයෙන් මෙරටට හෙරොයින් රැගෙන ඒමට අලුත් මාර්ගයක් පවා මත්කුඩු ජාවාරම්කරුවන්ට හඳුන්වා දුන්නේ ද ඔහුය. ඒ හැරුණු කොට කිලෝ සිය ගණනින් පකිස්තානයේ සිට බෝට්ටු මගින් මත්කුඩු ගෙන එන මඟ ද කියාදුන්නේ යැයි කියැවෙන්නේ ද මොහොමඩ් සිද්දික්ය. 

මත්කුඩු ජාවාරම් ජාලයේ කුප්‍රකට චරිතයක් වන මොහොමඩ් සිද්දික්ට ඇති දේශපාලන මෙන්ම පොලිසියේ සම්බන්ධකම් ද බොහෝය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඇති කුඩු රජවරුන්ගේ ලිපි ගොනු අතර තිබුණු සිද්දික්ගේ ලිපි ගොනුව පවා කලකට පෙර අතුරුදන් වන්නේ ඔහුට ඇති එම පොලිස් සම්බන්ධකම් හේතුවෙනි. එකල ඔහුගේ නාමය ලියැවී තිබෙන්නේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේය. එසේ තිබියදී ඔහුගේ ලිපිගොනුව අතුරුදන් කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම සේවයේ නිරතව සිටි පොලිස් ලොක්කෙකි. ඒ එම පොලිස් ලොක්කා සහ මොහොමඩ් සිද්දික් ලෝකයේ ප්‍රසිද්ධ ම ක්‍රීඩාවක මෙරට ක්‍රීඩා සමාජයක නිලතල හොබවමින් එක මේසයේ අසුන් ගන්නා අයවූ වූ බැවිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එකල ලොකු පුටුවක සිටි එම නිලධාරියා සිද්දික්ගේ ගොනුව අතුරුදන් කරවන්නේ සිද්දික් අහිංසක ව්‍යාපාරිකයෙක් බවත් ඔහු මත්කුඩු ජාවාරමට කිසිදු සම්බන්ධකමක් ඇති අයෙක් නොවන බවත් සඳහන් කරමින් ලිපි ගොනුව අධ්‍යයනය කිරීමට යැයි කියා සිය භාරයට ගනිමිනි. එදා ඒ නිලධාරියා අතට ගත් එම ගොනුව අදටත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සොයා ගන්නට ඇත්තේම නැත. ඒ වෙනුවට ඇත්තේ පසුකාලයේ සිද්ධික් වෙනුවෙන් සකස් කළ අලුත් ගොනුවක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ පැරන්නන් නම් හොඳින්ම දන්නේය.

මේ වන විට මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් ලබමින් සිටින කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදා ද මොහොමඩ් සිද්දික්ගේ ගෝලයෙකි. සිද්දික්ට වඩා ලොකු දේශපාලන හයියක් වගේම පොලිස් හයියක් ද වෙලේ සුදාට තිබුණේය. පොලිසියේ ඔහුට තිබුණු ලොකුම හයිය එකල තිබුණේ පොලිසියේ ලොකුම තනතුරේය. එම පොලිස් ලොක්කා අද ජීවතුන් අතර නැත්තේය. එම නිලධාරියා පොලිසියේ ඉහළම තනතුරේ රැඳී සිටියදී බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ තට්ටු නිවාස සංකීර්ණයක ඉහළ මහලේ තරුණ දේශපාලනඥයකු සහ වෙලේ සුදා සමඟ එකට මත්පැන් බොමින් වෙලේ සුදා සුද්ධවන්තයෙක් කරවන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කළ බලපෑම් ගැන දන්නා අය අදටත් පොලිසියේ සිටිති. මත්කුඩු ජාවාරම,දේශපාලනය හා පොලිසිය එකිනෙකට බැඳී ඇත්තේ එලෙසිනි.

මාකදුරේ මධුෂ් ඩුබායි සිට මෙරටට රැගෙන ආ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි කාලය තුළ ඔහු සමඟ මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි දේශපාලනඥයන් ගැන ද තොරතුරු ගොන්නක්ම එළියට දැම්මේය. එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවල රැඳී සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරලාට නම් එම දේශපාලනඥයන් කවුරුන්දැයි කියන්නට අමුතුවෙන් වුවමනා නැත. ඒ එම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න තිබියදී ආණ්ඩු පෙරළියක් සිදුවෙමින් මෙම නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසිවෙමින් එකී දේශපාලනඥයන්ට හොඳ රැකවරණයක් ලැබෙන්නට වූ බැවිනි.

මොහොමඩ් සිද්දික් ගැන මෙවන් සටහනක් තබන්නට සිදුවන්නේ ඉන්දියානුවෙක් ලෙස වෙස්ගෙන ඕමානයේ රැඳී සිටියදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකට අනුව ඔහු ඕමාන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව සිටින බැවිනි. ඉන්දියානු විදෙස් ගමන් බලපත්‍රයක් ඇතැතිව ඔහු සිට ඇත්තේ “ මොහෙමඩ් ජලාල්“ නමිනි.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන මෙරටට තොරතුරු මුලින්ම ලැබෙන්නේ පසුගිය 18 වෙනිදාය. ඒ බව 20 වෙනිදා වන විට තහවුරු වන්නේ සිද්දික් පමණක් නොව, ඔහුගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් වන මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක ද ඉන්දියානු අත්අඩංගුවට පත්ව සිටිතැයි කියාය.

මේ තිදෙනාම සිටියේ ඉන්දියාවේ නේපාල දේශසීමාවට කිට්ටු ගම්මානයකය. ඒ ව්‍යාපාරික වෙස් ගෙනය. තිදෙනාම එහි රැඳී සිට ඇත්තේ ඉන්දියානුවන් ලෙසිනි. මෙම තිදෙනාව අත්අඩංගුවට ගැනීම සිදු වූයේ කෙසේ දැයි පැහැදිලි නැතත් මොහොමඩ් සිද්දික් ඕමානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව නම් මේ වන විට මෙරට වගකිවයුතු අංශ පවා තහවුරු කරගෙන හමාරය. එහෙත් මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක තවමත් අත්අඩංගුවේ සිටින්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඔවුන් ගේමක් ගසා නිදහස ලබා ඇතැයි කියැවෙන බැවිනි. මොහොමඩ් සිද්දික් ඕමානයේදී කොටු කර ගත්තේ යැයි කියැවෙන්නේ ද මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ බවය. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමෙන් පසු ලබාගත් ඡායාරූප දෙකක් ද මාධ්‍යට අනාවරණය වී තිබුණේය.

එබැවින් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ යැයි කියන්නට බැරිය. එහෙත් ඉන්දියාවෙන් හෝ නේපාලයෙන් හෝ ඕමානයෙන් හෝ මේ දෙදෙනාව අත්අඩංගුවට ගත් බවක් තහවුරු කරන්නේ නැත. ඒ නිසාම ඔවුන් අත්අඩංගුවේ තවමත් සිටින්නේදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. එහෙත් මොහොමඩ් සිද්දික් තම අත්අඩංගුවේ සිටින බව ඕමානය නිල වශයෙන් ජාත්‍යන්තර පොලිසිය මඟින් දැනටමත් ඉන්දියාව දැනුම්වත් කර හමාරය. ඒ ඕමාන් ආරක්ෂක අංශ විසින් සිද්දික්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවෙන් නිකුත් කළ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයකට අනුව වූ බැවිනි. එම රතු නිවේදනය සිද්දික්ට එරෙහිව නිකුත් කර ඇත්තේ ඉන්දියාවේ හිරෙන් පැන ගිය සිදු වීමක් මුල්කරගෙනය.

ඒ කතාව හා බැඳුණු කතා බොහොමයකි. ඊට ආරම්භයක් ලබා දෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉදිරියේ පොලිසිය 90 දසකයේ අග භාගයේදී නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී ඔවුන්ට එරෙහිව කඳවුරු බැඳි කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන ප්‍රියන්ත ජයකොඩිය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස තමාට යා හැකි ඉහළම පොලිස් තනතුර දක්වා ගොස් අද වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු පවසන හැටියට නම් ශ්‍රී ලංකාව මත්කුඩු ජාවාරම ජාත්‍යන්තරයට රැගෙන ගිය පුද්ගලයා වන්නේ සිද්දික්ය.

සිද්ධික්ගේ රාජධානිය පිහිටා තිබුණේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල හා සරසවිපාය මඳක් පසුකරමින් ටෙක්නිකල් හන්දිය දෙසට ගමන් කිරීමේදී දකුණු පසින් හමුවන මොහිදින් මස්ජිද් මාර්ගයේ මඳ දුරක් ගමන් කිරීමේදී හමුවන නිවාස සංකීර්ණය තුළය. ඒ ඔහුගේ උපන් ගමය. 

“අනූව දසකයේ මැද භාගය වනකොට හෙරොයින් ජාවාරම කොළඹ නගරය තුළ හිස ඔසවමින් සිටි කාලයයි. පෑලියගොඩ සිට ඹරුගොඩවත්තේ “තමිල්නාඩුවට“ සංක්‍රමණය වී සිටි එම්. වාප්පු බාලන් නොහොත් “තෙල් බාලා“ සහ බොරැල්ල ගෝතමී පාර සිය රජදහනක් කරගෙන සිටි උපාලි රංජිත් නොහොත් “සොත්ති උපාලි“ තමයි ඒ කාලේ මත්ද්‍රව්‍ය ලෝකයේ කිරුළු පලන් රජවරුන් ලෙස අභිෂේක ලබා සිටියේ. මොහොමඩ් සිද්ධික්ගේ වැඩිමහල් සොයුරු අෂ්රොෆ් මේ වකවානුවේ හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටු වුණා. සිද්ධික් වගේම අෂ්රොෆ් මරදාන ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පුද්ගලයන් හැටියට තමයි කටයුතු කළේ. අෂ්‍රොෆ් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව දුන්න අය ලෙස සිද්ධික් සැක කළේ ටවර් රඟහල අසල පදික වේදිකාවේ වාහන කණ්නාඩි විකුණන තරුණයෙක්. තොට ළඟ පදිංචි “නසූර්“ කියන කුලී ඝාතකයා ලබා මහා දවාලයේ එම තරුණයාව මරදාන ටවර් රඟහල ආසන්නයේදීම වෙඩි තබා ඝාතනය කිරීම සිද්දික්ගේ මෙහෙයැවීම මත සිදු වුණා. “ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රියන්ත ජයකොඩි එම ඉතිහාසය සිහියට නඟන්නේ එසේය.

සිද්දික්ගේ මුදල් බලය හමුවේ සැබෑ ඝාතකයා සඟවා මත්කුඩු ලෝලියෙක් ඝාතකයා ලෙස මෙම නිලධාරීයා විසින් භාරගෙන නීතිමය පියවර ගත්ත ද බොරුවට වැඩි ආයුෂ නොවීය. එකල පාතාල අපරාධ මර්දනය කිරීමට විශේෂ පොලිස් ඒකකයක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තවය. පාතාල අපරාධකරුවන් රැසක්ම මට්ටු කරනු ලැබුවේ එම ඒකකයෙනි. එහි ප්‍රධානියාව සිටියේ ප්‍රියන්ත ජයකොඩිය. ඔහුගේ තොරතුරු ජාලය විශාලය. ඒතුළින් මරදානේ ඝාතනයේ සැබෑ තතු ඔහුට ලැබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස “නසූර්ව“ කොටු කරගන්නේ වෙඩි තැබූ සැබෑ පිස්තෝලය ද සමඟිනි. ප්‍රශ්න කිරීම් හමුවේ නසූර් හැම දෙයක්ම වැමෑරුවේය. සිද්දික්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව තමා එම ඝාතනය කළ බව ඔහු කීවේය. ඒ අනුව සිද්දික් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු පැන්නේ ඉන්දියාවටය.

සිද්දික් එතැන් සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන්නට ගත්තේ දැවැන්ත චරිතයක් බවට පත්වෙමිනි. ඉන්දියාවේ චෙන්නායි නුවර රැඳී සිටිමින් ඔහු ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන මත්කුඩු පකිස්තානු ජාවාරම්කරුවන් මඟින් ඉන්දියාවට ගෙන්වා ගෙන තූත්තුකුඩියේ සිට බෝට්ටු මඟින් මෙරටට ගෙන්වීමේ ජාවාරම මහා පරිමාණයෙන් මෙහෙයැවූයේය. තූත්තුකුඩියේ සිට රැගෙන එන මත්කුඩු ගොඩබෑමේ එකල ආරක්ෂක මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ වයඹ මුහුදු තීරයේ උඩප්පුවය.

මේ ජාවාරම කරගෙන යාමට සිද්ධික්ට හයියක් දෙන්නේ ඔහු දැන හඳුනාගෙන සිටි පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකි. ඒ අතර “අත්තාබායි“ නමැති පකිස්තානුවා ද සිටියේය. කියැවෙන ආකාරයට අනුව නිතර ම ශ්‍රී ලංකාවට යන එන තැනැත්තෙක් වූ අත්තාබායි සිංහල භාෂාව පවා කතාබහ කිරීමට හැකියාව ඇති අයෙකි.

තැනැත්තෙක් වූ අත්තාබායි සිංහල භාෂාව පවා කතාබහ කිරීමට හැකියාව ඇති අයෙකි.

“අනූව දසකයේ අග භාගයේදී ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ කීර්තිමත් නිලධාරියෙක් ලෙස සැලකෙන පොලිස් අධිකාරී ශංකර් දිවාල් විසින් මොහොමඩ් සිද්දික්ව චෙන්නායිවලදී අත්අඩංගුවට ගන්නවා හෙරොයින් කිලෝ 20ක් එක්ක. නඩු විභාගයකින් පස්සේ චෙන්නායි මහාධිකරණය මොහාමඩ් සිද්දික්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනවා. ඔහුව සිරගත කරන්නේ ඉන්දියාවේ සෙයිලම් බන්ධනාගාරයේ. “ මොහොමඩ් සිද්දික් ඉන්දියාවේ හිරේට ගිය හැටි ප්‍රියන්ත ජයකොඩි කියන්නේ එසේය.

බන්ධනාගාරය තුළ සිටිමින් සිද්දික් නිකම්ම හිටියේ නැත. පකිස්තානුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්කුඩු ජාවාරම කරගෙන ගියේය. ඒ අතර මෙරට ඔහුගේ ගෝලයින් සමඟද සම්බන්ධකම් පවත්වනු ලැබුවේය. ඒ අතර ඔහු ඉන්දියාවේ හිරෙන් පළායන්නට ද සැලසුම් සකස් කළේය. 2002 වසරේදී ඔහු සෙයිලම් බන්ධනාගාරයෙන් ද පැන්නේය. එම බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ රැඳවූවන් කිහිප දෙනෙකු සමඟ එක්ව බන්ධනාගාරය තුළ පිපිරවීමක් කර එල්.ටී.ටී.ඊ.යේ පිරිසක් සමඟ පලා ගිය බවට වූ තහවුරු නොවූ තොරතුරු ද ඒ අතර ඇත්තේය. එහෙත් ප්‍රියන්ත ජයකොඩි පවසන්නේ සිද්දික් පලා යන්නේ ඔය කියන හැටියට පිපිරවීමක් කර නොවෙන බවය.

සිද්දික්ට එරෙහිව ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ ඔහු හිරෙන් පැනීම මුල්කරගෙනය.

ධිවර බෝට්ටුවක නැඟී කාටත් හොරා හලාවත හෝඩුවාවෙන් ගොඩබැසි සිද්දික් සිය නවාතැන්පොළ බවට පත්කරගත්තේ පිළියන්දල කටුවාවල පිහිටි සුඛෝපභෝගී නිවසකි. එකල ප්‍රභූවරු සහ ධනපතීන් වැඩි වශයෙන් භාවිතා කළ මිල අධිකම ජිප් රථයක් වූ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් ද මිලදී ගෙන ඔහු ගමන් බිමන් ගියේ එහි නැඟීය. රෙදි ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි සිද්ධික් ගැන වැඩි කල්යන්නට මත්තෙන් ප්‍රියන්ත ජයකොඩිට තොරතුරක් ලැබුණේය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසිනි. එම තොරතුර සම්බන්ධයෙන් සිය නිලධාරින් යොදා දීර්ඝ විමර්ශනයක් සිදුකර අවසානයේදී පිළියන්දලදී සිද්දික්ව කොටු කරගනු ලබන්නේ 2003 වසරේ පෙබරවාරි 06 වෙනිදාය. ඒ ඔහු ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයේ නැඟී ගෝලයන් සිවු දෙනෙක් සමඟ ගමන් කරමින් සිටියදීය. ඒ හැම දෙනෙක්වම අත්අඩංගුවට ගන්නේ හෙරොයින් ග්‍රෑම් 20ක් සහ පිස්තෝල දෙකක් ඇතුළු අත්බෝම්බයක් ද සමඟිනි.

සිද්දික්ව මෙසේ අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉන්දියාව ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබී ඇත. සිද්දික් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික අදහස් පවා එකල හුවමාරු වී තිබේ. ඒ එරට මහාධිකරණය විසින් නියම කර ඇති සිරදඩුවම ක්‍රියාත්මක කිරීමට සිද්දික්ව එරටට බාරදෙන ලෙස ඉල්ලමිනි.

“සිද්දික්ව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට උදර්පනය කර ඔහුට චෙන්නායි මහාධිකරණය විසින් පනවා තිබුණු සිර දඬුවමට යටත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියත් උදර්පන නීතිය සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ඇති සංකීර්ණ භාවය හේතුවෙන් එම කාර්ය හරිහැටි ඉටු කර ගැනීමට හැකිවුණේ නැහැ. ඔය අතරේ තමයි ප්‍රාදේශීය අපරාධ මෙන්ම දූෂණ මර්දනය සම්බන්ධයෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටි පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියාව සිටි මාව ශ්‍රී ලංකා පොලිසියේ දඩුවම් සංචිතය ලෙස සැලකෙන බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ස්ථාන ගාල් කිරීමක් කරන්නේ. මෙම සිද්ධිය හේතුවෙන් සිද්දික් ඉන්දියාවට උදර්පනය කිරීමේ වැඩපිළිවෙළ ඇන හිටියා.“ දේශපාලනඥයන්ගේ අමනෝචිත වැඩ නිසා එදා සිද්දික්ව ඉන්දියාවට භාරදීමට නොහැකි වූ ආකාරය ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙන්නේ එලෙසය.

සිද්දික් වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටියේ නැත. විශාල වශයෙන් මුදල් වියදම් කර රටේ ඉන්න ඉහළම නීතීඥවරුන්ගේ සහය ලබා ගත්තේය. ඒ අනුව මහාධිකරණයෙන් ඇප ලබාගත් සිද්ධික් බන්ධනාගාරයෙන් එළියට ආ සැණින් රටින් පැන්නේය. ඒ පැන ගත් සිද්ධික් නැවත මතුවන්නේ ඩුබායි හා පකිස්තානයෙනි. එතෙක් කලක් ඉන්දියාව හරහා මෙරටට බෝට්ටු මඟින් රැගෙන ආ මත්කුඩු පකිස්තානයේ සිට කෙළින්ම මෙරටට රැගෙන ඒමේ දොරටුව සිද්දික් විසින් විවෘත කරනු ලබන්නේ ඒත් එක්කමය. පකිස්තානයේ සිට කෙළින්ම ඔහු මෙරටට මත්කුඩු තොග ගෙන එන්නට වූයේ එටින් රැගෙන එන භාණ්ඩ කන්ටේනර් තුළ සඟවාය. විවිධ ක්‍රම භාවිත කරමින් විශාල ප්‍රමාණයන්ගෙන් මත්කුඩු පකිස්තානයේ සිට සිද්දික් ගෙන එන්නට වූයේ මත්කුඩු තොග මෙරටට ගෙන එන අලුත් මඟ ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු විමර්ශන අංශ නිලධාරීන් පවා අන්දමන්ද කරවමිනි. එහෙත් වැඩිකල් සිද්දික්ට ඒ සෙල්ලම කරගෙන යන්නට ඉඩක් නොවීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එකල සේවයේ නිරතව සිටි රටම දන්නා නිලධාරියෙක් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට සිද්දික්ගේ අලුත්ම සෙල්ලම ගැන ඉව වැටුණේය. 2010 වසරේ දෙසැම්බ්ර් 09 වෙනිදා කොළඹ වරාය භූමියේ තිබුණු අර්තාපල් කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 36ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නේ ඒ අනුවය. පකිස්තානයෙන් ආනයනය කළ එම අර්තාපල් කන්ටේනරය තුළ හෙරොයින් තොග සැඟව තිබෙන්නේ සැබෑ අර්තාපල් අතර තිබුණු රබර් අර්තාපල් අස්සේ සඟවා තිබියදීය.

පකිස්තානයේ ආනයනය කළ අල ලූනු අස්සේ පමණක් නොව, බොහෝ භාණ්ඩ අතර සිද්දික් සඟවා සිද්දික් මත්කුඩු තොග පිටින් එවුවේය. බෝල්ට් ඇණ අස්සේත් ඇඹුරුම් යන්ත්‍ර අස්සේත් සඟවා මෙරටට මත්කුඩු ගෙන ආවේ කිලෝ සිය ගණන්වලිනි. ශ්‍රී ලංකා රේගුව ද වරක් ඇඹරුම් යන්ත්‍ර අස්සේ රැගෙන ආ සිද්දික්ගේ හෙරොයින් කිලෝ 85ක් අල්ලාගෙන තිබුණේ ඒවා වරායෙන් පිටකර රැගෙන යාමට සූදානම් කර තිබියදීය.

මේ අතර 2012 වසරේදී නියෝමාල් රංගජීවට කොටු වන්නේ වෙලේ සුදාගේ හොඳම ගෝලයා වූ දිල්රුක්ෂ නමැති මත්කුඩු ජාවාරම්කරුය. ග්ලෝබල් ටවර් අසලදී කොටු වන ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒතුළ තිබෙන වතුර මෝටරයක් ගැන රංගජීවට ඇතිවන්නේ තදබල සැකයකි. ඒ ජලමණ්ඩලයේ කරාම ජලය ලැබෙන ගල්කිස්සේ නිවෙසක සිටින දිල්රුක්ෂට වතුර මෝටරයක අවශ්‍යතාවක් මතු නොවන බැවිනි. ඒ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ පකිස්තානයේ සිට මත්කුඩු තොගයක් වතුර මෝටර් තුළ සඟවා මෙරටට ගෙන්වා ඇති බවය. ඒ තැන සොයාගෙන රංගජීව යන්නේ කොළඹ බණ්ඩාරනායක මාවතේ නිවෙසකටය. පකිස්තානයෙන් ආනයකය කළ වතුර මෝටර් 232ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් එම නිවසේ ගොඩගසා තිබී සොයාගත්තේය. ඒ හැම මෝටරයක් අස්සේම හොරොයින් සඟවා රැගෙනවිත් ඇති බව විමර්ශනවලින් පෙනී ගියේය.

මෙම නිවෙස සිද්දික්ගේ බිරියගේ සහෝදරයාගේය. සිද්දික්ගේ බිරියගේත් මෙම වතුර පොම්ප හා සම්බන්ධයක් පැවතුණේය. රංගජීව ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බණ්ඩාරනායක මාවතේ නිවෙස පරීක්ෂා කරන විට ඇය සිටින්නේ දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක නිවෙසකය. ඇය එම නිවෙසින් එදිනම පැන ගන්නේ සිංගප්පූරුවටය. ඇය නැවතත් මෙරටට අඩිය තබන්නේ වතුර මෝටර් සිද්ධියෙන් නිදොස් වෙමිනි. ඒ වෙනුවෙන් සිද්දික් වැයකර ඇති මුදල අති විශාලය.

සිද්දික් ගැන නැවතත් ලොකු කතාබහක් ඇති වන්නේ නම් ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය කැලණියේදී කළ ආන්දෝලනාත්මක මත්කුඩු වැටලීමත් සමඟිනි. 2014 වසරේ ජුනි 11 වෙනිදා කැලණිය විහාරය ආසන්න ප්‍රදේශයේදී හොරොයින් කිලෝ 85ක් සොයාගන්නේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීය. එහිදී පුද්ගලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත්තේය. මෙම වැටලීම ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශනයන් කිරීමේදී හෙළිවන්නේ මෙම මත්කුඩු තොගයේ පිටුපස සිටින්නේ වෙලේ සුදා සහ සිද්දික් බවය. ඒ වන විට ඔවුන් දෙදෙනාම සිටියේ ඩුබායිවලය. එහි සිට ඔවුන් දෙදෙනා මත්කුඩු මෙරටට එව්වා පමණක් නොව, මෙරට සිට සීසෙල්ස්, මාලදිවයින වැනි රටවලට ද පැටෙව්වේය. ඒ වෙනුවෙන් ඔවුන් මෙරටට මත්කුඩු පකිස්තානයෙන් මෙරටට එව්වේ කිලෝ සිය ගණන්වලිනි. ට්‍රැක්ටර් ඇංජින්වල ද සඟවා ඒ කාලය තුළ ඔවුන් කිලෝ 1000කට වැඩි හෙරොයින් තොගයක් මෙරටට ගෙන ආ බව ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අනාවරණය කර ගත්තේය. එම ට්‍රැක්ටර් ඇංජින්වලින් 26ක් කැලණියට කිට්ටුවපාත ගබඩාවක තිබී සොයා ගන්නේ ද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසිනි.

වෙලේ සුදාටත් සිද්දික්ටත් ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කිරීමට මෙරට බලධාරීන් පියවර ගන්නේ ඒත් එක්කමය. ඒ අතර ඉන්දියාවෙන් ද සිද්දික්ට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙන්නේ ඉන්දියාවේ හිරෙන් පැන්න චෝදනාවටය. ලෝකේ වටේම සිද්දික් කරක් ගැසුවේ එම රතු නිවේදන තිබියදීය. ඒ වෙනත් නම්වලින් පෙනී සිටිමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රවලිනි. එසේ ජාත්‍යන්තර පොලිසියට පවා හසු නොවී කට්ටි පනිමින් සිටි වෙලේ සුදාටත් සිද්දික්ටත් වැඩ වරදින්නේ 2014 අග බාගයේදීය. ඒ ඔවුන් දෙදෙනා ඩුබායි සිට පාකිස්තානයට පැමිණ සිටියදී එරට ආරක්ෂක අංශ විසින් කළ යම් සුවිශේෂී මෙහෙයුමකට ඔවුන් හසුවන බැවිනි. ඒ වන විට සිද්දික් පකිස්තානයෙන් ද විවාහයක් කරගෙන සිටියේය. ඒ එරට සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුගේ නැඟණියක්වය. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් සිද්දික් ලොකු බලයක් ගොඩනඟා ගත්තේ ඒ ඔස්සේය. එම මත්කුඩු ජාවාරම්කරු සිටියේ ඇෆ්ගනිස්ථාන් දේශ සීමාවට ආසන්න ප්‍රදේශයකය. සිද්දික් මෙන්ම වෙලේ සුදා ද එරට ආරක්ෂක අංශ වෙත කොටු වන්නේ එහිදීය. මේ අයගෙන් මුලින්ම මෙරටට භාරදෙන්නේ වෙලේ සුදාවය. ඒ ජනාධිපතිවරණ උණුසුමත් සමඟිනි. ඒ වන විට සිද්දික්ව බේරා ගැනීමට පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අතර ලොකු උනන්දුවක් තිබුණත් පකිස්තානු ආරක්ෂක අංශ සිද්ධික්ව මෙරටට පිටුවහල් කිරීමට තීරණය කරනු ලබන්නේ ඔහු ඉන්දියාව සමඟ ද සම්බන්ධකම් පවත්වන්නෙක් වූ බැවින් පකිස්තානයේ ජාතික ආරක්ෂාවට සිද්ධික් තර්ජනයක් බව සලකාය. ඒ අනුව සිද්දික්ව මෙරටට බාර දෙන්නේ 2015 වසරේ ජනවාරි අගය. ඒ ජනාධිපතිවරණය අවසන්ව කෙටි දිනකට පසුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පකිස්තානයට ගොස් සිද්ධික්ව රැගෙන එනු ලබන්නේ දැඩි ආරක්ෂාවක් සහිතවය.

ඒ වන විට සිද්ධික්ට එරෙහිව මෙරට අධිකරණයේ මත්කුඩු සම්බන්ධයෙන් විභාග වෙමින් තිබුණේ නඩු හතර පහක් පමණි. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඝෘජුවම ඔහුට එරෙහිව චෝදනා එල්ල කරමින් තිබුණේ එක් නඩුවක් පමණි. ඒ ප්‍රියන්ත ජයකොඩි ඇතුළු කණ්ඩායමක් 2003 දී අවි ආයුධ සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවය. ඒ හැරුණු කොට සෙසු නඩු පැවතුනේ මත්කුඩු ජාවාරමට ආධාර හා අනුබල දීමේ චෝදනාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස හයකට වැඩි කාලයක් රඳවා ගෙන සිටි සිද්දික්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ඔහුට එරෙහිව ඇති නඩු කටයුතු අවසන්වන තුරුය. ඒ නැවතත් ඔහු රටින් පලායාමට ඇති හැකියාව ගැන සලකා බලාය. ඒ වන විට බොරලැස්ගමුවේ දී මත්කුඩු සම අත්අඩංගුවට ගත් නඩුව විභාගයට ගෙන තිබුණේ කොළඹ මහාධිකරණයේය. ග්‍රෑම් 20ක් ප්‍රියන්ත ජයකොඩි ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගත්ත ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්නට වූ වාර්තාවට අනුව එවා ඇති ශුද්ධ හෙරොයින් බවර ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 03ක් විය. සිද්දික් ඇතුළු පස් දෙනාට එරෙහිව නඩු පවරා තිබුණේ එම ප්‍රමාණයටය. ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය අවසන් වන්නේ 2018 වසරේ සැප්තැම්බර් 13 වෙනිදාය. ඒ වන විට ඔහුට එරෙහිව පැවති නඩු රැසක් අවසන්ව තිබුණේ කිසිදු චෝදනාවක් ඔහුට නොමැතිවය. ඒ අතර එක් නඩුවකට ඇප ලැබී තිබුණත් බොරලැස්ගමුවේ නඩුව විභාගයට ගෙන තිබුණු බැවින් ඊට ඇප නොලැබුණු බැවින් සිද්ධික් සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරය තුළය.

සිද්දික් සිතන්නේ දැන් තමා නිදහස් බවය. ඉන්දියානුවෙක් ලෙස වෙස්වළාගෙන ඔහු නිදහසේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින්නේ ඉන්දියාවෙන් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවක් නොදැනය. එම රතු නිවේදනය කෙරෙහි ඉන්දියාව පවා වඩාත් අවධානයක් යොමු කරනු ලබන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකේය මත්කුඩු ජාවාරම්කරුවන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන බව එරට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් කළ විමර්ශනයකදී හෙළිවීමත් සමඟිනි. කිඹුලා ඇල ගුණා ඇතුළු මෙරට ප්‍රධාන පාතාල අපරාධකරුවන් රැසක්ම මේ වන විට ඉන්දියානු විමර්ශන අංශ අත්අඩංගුවේ පසුවන්නේ එබැවිනි. සිද්දික් ගැන මතකය ඉන්දියානු ආරක්ෂක අංශවලට අලුත් වන්නේ කිඹුලා ඇල ගුණා ඇතුළු අත්අඩංගුවේ සිටින අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හා විමර්ශනවලින් සිද්දික් ගැන තොරතුරු එළියට එන්නට වූ බැවිනි. සිද්දික් ගැන සොයන්නට ගන්නේත් ඔහු ඉන්දියානුවෙක් ලෙස වෙස්වළාගෙන සිටින බවත් හෙළිවන්නේ එහිදීය. ඒ අනුව ජාත්‍යන්තර පොලිසියේ සිද්දික්ට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය පවා යාවත්කාලීන කිරීමට ඉන්දියානු ආරක්ෂක අංශ පියවර ගත්තේය. අනාවරණය වන ආකාරය අනුව ඕමානයේදී සිද්දික් කොටුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙතෙක් ඉන්දියාවට සිද්දික්ව ඕමානයෙන් භාරදී නැත. තතු දත් තොරතුරු අනාවරණය කරනු ලබන්නේ මේ වන විට ඊට අදාළ උදර්පනයන් සිදුවෙමින් පවතින බවය.

Comments