යහපත් ප්‍රතිඵල දෙන ශුභ ග්‍රහයෝ | සිළුමිණ

යහපත් ප්‍රතිඵල දෙන ශුභ ග්‍රහයෝ

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

ජෙ‍්‍යාතිෂයේදී ශුභ ග්‍රහයන් ලෙස සඳු, ගුරු, සිකුරු යන ග්‍රහයන් හඳුන්වයි. සඳු ග්‍රහයා දිව්‍ය මාතාව මෙන් පිළිගනී. සඳු බලවත් වීම ජන්මියා ලස්සන කරවීම සහ යහපත් සිතුවිලි ඇති කරවයි. පුර චන්ද්‍රයා සියලු යහපත් දේ ජන්මියාට ලබා දෙයි. පුර චන්ද්‍රයා බලවත් වූ විට ලෞකික සැප සම්පත් අතින් යහපත් වේ. ශුභ ගමන් යාමට යහපත් වේ. ජන්මියා ප්‍රිය උපදවන ලස්සන සෞම්‍ය තැනැත්තෙක් බවට පත් කරයි. ඉතා ඉවසිලිවන්ත ගති ඇති වේ.

චන්ද්‍රයාට හතර වැන්න හොඳම ස්ථානයක් වේ. යහපත් ගෙවල් දොරවල් යාන වාහන මෙන්ම මවගෙන් ලැබෙන දේපළවලට ද උරුමය හිමිවේ.

ජ්‍යොතිෂයේදී හඳුන්වන ශුභ ග්‍රහයන් අතරින් ගුරු ග්‍රහයාට ද ප්‍රධාන තැනක් හිමි වේ. සෑම දෙයක් ම පතුරුවන ග්‍රහයා ගුරු වේ. ජන්මියාට සියලු යහපත් දේ ගුරුගෙන් ලැබේ. උසස් ඉගෙනීම, නීරෝගිකම, ප්‍රසිද්ධිය, විශ්වාසවන්තකම, ස්ථිරත්වය, උසස් ගුණධර්ම ගුරුගෙන් හිමි වේ. ගුරුට 'ලග්නය' හොඳම ස්ථානයක් වේ. ගුරු ලග්නයේ සිටි විට හොඳ ස්ථුල ශරීරයක් ඇති නීරෝගි කෙනෙක් වේ. ධනය කීර්තිය ගෞරවය උසස් ඥානය ලබාදේ.

ජ්‍යොතිෂයේදී හඳුන්වන ශුභ ග්‍රහයන් අතරට සිකුරු ග්‍රහයා ද ප්‍රධාන තැනක් ගනී. සියලු ශුභ පල ජන්මියාට ලබා දෙයි. ලස්සන ප්‍රියමනාප බව, තරුණකම, ආලය, වාසනාව ආදී සියලුම සැප සම්පත් සිකුරු බලවත්වූ අයට හිමි වේ.

සිකුරුට හත්වැන්න සුදුසුම ස්ථානය වේ. ලස්සන ප්‍රියමනාප ස්වාමියන්, භාර්යාවන්, මිල මුදල් ලැබේ. නිසි වයසේදී විවාහය ද සිදු වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ද හිමිවේ.

ශුභ ග්‍රහයන් ලෙස හඳුන්වන සඳුගෙන් කුලීර යෝගය නිර්මාණය වේ. ගුරු සහ සඳු යන ග්‍රහයන් දෙදෙනා මඟින් ඉතා ප්‍රබල ගජකේශරී යෝගය නිර්මාණය කරයි. මෙයත් ජන්මියාට ශුභ තත්ත්වයක් උදාකරන ප්‍රබල යෝගයකි.

ශුභ ග්‍රහයන් වන ගුරුගෙන් භූමිපාල යෝගය, රණහංස යෝගය, පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස යෝගය නිර්මාණය වේ. මෙම යෝගවලින් උපන් අය රාජ සැප ලබන පින්වත් දූ දරුවන් ලබන අය වෙති. රූපයෙන් ලස්සන ඉතා ඥානවන්ත, ප්‍රතිපත්තිගරුක සැමටම උදවු උපකාර කරන ගුණවත් බලවත් පුද්ගලයන් බවට පත්වේ. සිකුරු ග්‍රහයාගෙන් මාලවී යෝගය නිර්මාණය වේ. මෙම යෝගයෙන් උපන් අය කාගේත් සිත් ඇදගන්නා ඉතා රූමත්, ධනවත් හොඳ දූ දරුවන් ලබන හොඳ නිවාස යානවාහනවලට හිමිකම් කියන කලා හැකියාවෙන් යුත් ඉතා සැප පහසු ජීවිත ගතකරන ජන්මීන් බවට පත්වේ.

මෙම ශුභ ග්‍රහයන් ඉතා බලවත් ආකාරයෙන් සිටි විට නියම ආකාරයෙන් ශුභ පල ලබාගත හැකි වේ. ජන්ම පත්‍රයේ මෙම ග්‍රහයන් සිටින ආකාරය අනුව ලැබෙන ශුභ පල වෙනස් විය හැකි වේ.

 

 

Comments