කොරෝනා තිඹිරි ගෙයි මර බියෙන් ගෙවූ දවස් දහය | සිළුමිණ

කොරෝනා තිඹිරි ගෙයි මර බියෙන් ගෙවූ දවස් දහය

ලොක්ඩ­වුන් කිරී­මෙන් පසු වූහාන් නග­රයේ මාර්ග බාධක දමා තිබූ අයුරු

ලෝකයටම මුව ආවරණ පැලැන්ඳූ ගෝලීය කොවිඩ් වසංගතය 2019 මාර්තු මාසයේදී ලංකාවට ද ආවේ ඒ ආගන්තුක වයිසරය පිළිබඳ විශාල භීතියකින් රටම කලඹමිනි. ඒ මාරාන්තික වයිරසයේ නිර්මාතෘ ලෙස ලෝකයම ඇඟිල්ල දිගු කළේ චීනයටය. ඊට හේතුව චීනයේ වූහාන් නගරයේ පිහිටි හන්කෝ මාළු වෙළෙඳපොළ එම මාරාන්තික වයිසරයේ තිඹිරි ගෙය බව ලොව පුරා ප්‍රකට වීමය. වූහාන්හි වාසය කළ පුද්ගලයන් 41 දෙනකු 2019 දෙසැම්බර් මස 31 වැනිදා අනපේක්ෂිත ලෙස රෝගී වීම හේතුවෙන් රෝහල්ගත කළ අතර, එය මෙවැනි මහා ගෝලීය වසංගතයක ඇරඹුම යැයි චීන රජය හෝ චූහාන් නගරය අයත් හුබෙයි පළාත් ආණ්ඩුව කිසිසේත් නොසිතන්නට ඇත. එහෙත් එදා ඉතා ශීඝ්‍රයෙන් චීනයෙන් ලොව පුරා පැතිර ගිය මේ බිහිසුණු වයිරසයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට කෝටි හතකට ආසන්නය. 

මුල් අවස්ථාවේ තවත් නිව්මෝනියා රෝගයක් ලෙස හඳුනාගත් එම රෝගය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජනවාරි 2 වැනිදා නව කොරෝනා වයිරසය ලෙස නම් කෙරුණු අතර, ජනවාරි පළමු වැනිදා චීනයේ අදාළ මාළු වෙළෙඳසැලට මුද්‍රා තැබුව ද ඒ වන විටත් විදුලි වේගයෙන් වයිරසය ව්‍යාප්ත වෙමින් තිබිණ. ඒ වන විට ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් චීනයේ වූහාන් නගරයේ විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබමින් සිටි අතර, චූහාන්හි විශ්වවිද්‍යාල 7ක ඉගෙනුම ලබමින් සිටි සිසුන් 24 දෙනකු සහ ඔවුන්ගේ පවුල්වල අය සමඟ ශ්‍රී ලාංකිකයන් 33 දෙනකු ඒ වන විට ජීවත් වූයේ වූහාන් නගරයේය. බහුවිධ අනන්‍යතාවක් සහිත එම කණ්ඩායමට දමිල ජාතිකයන් තිදෙනෙක්, මුස්ලිම් ජාතිකයන් හත්දෙනෙක් සමඟ සිංහල ජාතිකයන් විසිතුන් දෙ‍ෙනකු ඇතුළත් විය. ශ්‍රී ලංකා රජය මැදිහත්වී ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නට කටයුතු කළ ද ආගන්තුක වයිරසය පිළිබඳ මර බියෙන් ඔවුන්ට දින දහයක් එහිම ගතකරන්නට සිදු විය. ලෝකය පුරා විදුලි වේගයෙන් පැතිර යන වයිරසයට ගොදුරු වී තමන්ටත් එහිදීම මිය යන්නට වේද යන බිය ඔවුන්ගේ සිත් තුළ නොතිබුණා විය නොහැකිය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උපුල් ප්‍රියන්ත ගමගේ ඒ 33දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වූ අයෙකි. ජීවිතයේ කිසිදාක නොවිඳි භීතියක් සහ අවිනිශ්චිත බවක් සිතට දැනුණු ඒ දින දහය ගැන ඔහු මෙසේ හෙළි කළේය.

“ඒ වන විට මම චීනයේ වූහාන්හි පිහිටි මධ්‍යම චීන ශික්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටියේ. ආචාර්ය උපාධිය සඳහා මම එහි ගියේ 2017 අගෝස්තු මාසයේ. 2020 ජුලි මාසයේ උපාධිය අවසන් කිරීමට නියමිතව තිබුණා. නමුත් මට මුහුණ දෙන්න සිදු වුණේ ජීවිතයේ කවමදාවත් නොවිඳි අත්දැකීම් සමුදායකට. වූහාන් කියන්නේ චීනයේ වාණිජ අගනගරය ලෙස සැලකෙන හුබෙයි පළාතේ පිහිටි චීනයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. ලෝකයේ මුල්පෙළේ විශ්වවිද්‍යාල ඇතුළුව එහි එහි විශ්වවිද්‍යාල 89ක් පිහිටා තියෙනවා. වූහාන් නගරය වඩාත්ම සුන්දර සකුරා මල් ගොමුවලින් පිරෙන වසන්ත කාලයට. වූහාන් නගරයේ ප්‍රසිද්ධම සකුරා උයන පිහිටා තිබෙන්නේ ලෝකයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක්, මිලියනයක් පමණ ඉගෙනුම ලබන වූහාන් විශ්වවිද්‍යාලය තුළයි.

ආගන්තුක වයිරසයට බියෙන් හුබෙයි පළාතේ බලධාරීන් ජනවාරි 23 වැනිදා වූහාන් නගරය අඟුළු ලෑමෙන් උපුල් ගමගේ ද සිය බිරිය සහ දරුවා සමඟ නවාතැනට කොටු විය.

“ජනවාරි 23 වැනිදා උදේ දහය වෙද්දි වූහාන් නගරයම පාළු වුණා. පළාත් ආණ්ඩුව විසින් නගරයෙන් පිටවීම හෝ ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබුණා. ඒ වෙද්දි අලුත් අවුරුද්ද ලබන්න තිබුණේ දවස් දෙකයි. වෙනදා ඒ කාලෙට පාරවල් කඩසාප්පු පිරිලා ඉතිරිලා යනවා. නමුත් නගරය වහනවා කියලා නිවේදනය කරපු ගමන් එකපාර විශාල පිරිසක් නිවෙස්වලින් පිටතට ඇවිත් වෙළෙඳසැල්වලට ගිහින් බඩු මිලදී ගන්න පටන් ගත්තා. ඒ හැම තැනකම තිබුණේ විශාල ගාලගෝට්ටියක්. එතැන් සිට ගතවුණේ ඉතා අවදානම් සහ අවිනිශ්චිත කාලයක්. දෙසැම්බරයේදී ශීත ඍතුවේ නිවාඩුව ආරම්භ වූ නිසා වූහාන් විශ්වවිද්‍යාලවල ඉගෙනගනිමින් සිටි ලංකාවේ සිසුන් බොහෝ දෙනෙක් ඒ වන විටත් ලංකාවට ඇවිත් තිබුණු නිසා වූහාන්වල ඉතිරි වෙලා හිටියේ සුළු පිරිසක් පමණයි. මම ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේ ඒ වන විට ශ්‍රී ලාංකිකයකුට හිටියෙ මම විතරයි. එහෙම ඉතිරි වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් වහාම මවුබිමට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස අපි විදේශ කටයුතු අමාත්‍යාංශයටත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයටත් විද්යුත් තැපෑලෙන් ලිපි යොමු කළා. පැයක් ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිළිතුරු ලෙස එවූ ඊමේලයේ සඳහන් වී තිබුණේ හැකි ඉක්මනින් බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඊළඟ පැයේදී බීජිං නුවර වැඩබලන තානාපති යෝගනාදන් කන්දසාමි මහතාගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියාතික රටවල් පිළිබඳ වගකීම දරන කාන්ත් දීපන් මහතාත් දුරකතනයෙන් මා අමතා කීවේ හැකි ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අවස්ථාවේ සිට නිරායාසයෙන්ම අපි එකිනෙකාට ද විශාල වගකීමක් පැවරුණා. මුලින්ම අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලාංකික කණ්ඩායම හඳුනාගෙන ඔවුන් එකට එක්කර ගැනීමයි. වූහාන් හි ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ගිහාන් 'වූහාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ' නමින් සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළා. පළමු දවසෙම අපි 29ක් හඳුනා ගත්තා.

23 වැනිදා හවස 5 සිට පසුදා උදේ 9 දක්වා රජය ගුවනින් විෂබීජ ප්‍රතිරෝධක සාන්ද්‍රණ මුදා හැරියා. 24 වැනිදා වෙද්දි වූහාන් නගරයේ පමණක් නිල මරණ සංඛ්‍යාව 25ක්, ආසාදිතයන් 849ක් බව රජය නිවේදනය කළා. අපේ හිතේ තිබුණු බය තරමක් තුරන් වුණේ මියගිය සියලු දෙනා බෝ නොවන රෝගවලින් සහ වෙනත් රෝගවලින් පෙළුණු හෝ වයස්ගත අය බව තානාපති කාර්යාලය නිවේදනය කළාට පසුවයි.

විදේශිකයන්ට රටින් පිටවීමට ජාත්‍යන්තරව ඇති නීති තහවුරු කිරීමට චීන රජය බැඳී සිටින බව පිළිගත්තත් චීන බලධාරින් දන්වා සිටියේ අඩුම තරමින් අපට වෙනත් නගරයකට හෝ යෑමට ඉඩදිය නොහැකි බවයි. අපේ බලාපොරොත්තු සුන් කරමින් ජනවාරි 25 චූහාන් ගුවන්තොටුපළ ද වසා දැමුණා. එදා චීන අලුත් අවුරුදු දවස. එදාම එක්සත් රාජධානියේ ඩේලිමේල් වෙබ් අඩවිය, මේ වසංගතයෙන් මිලියන 65ක් පමණ මිය යා හැකි බවට භයානක අනාවැකියක් පළ කළා. එදා සිට මුළු නගරයම සොහොන් පිටියක් වගේ පාළු වුණා. චීන සෞඛ්‍ය බලධාරින් වයිරසය පැතිරීම පාලනය කිරීමට කඩිනමින් සෞඛ්‍ය පුරුදු කිහිපයක් සමාජගත කළා. රෝගීන්ගෙන් රෝහල් පිරෙන්නට පටන් ගත්තා. ඒ වෙද්දි දෙස් විදෙස් හැම මාධ්‍ය­‍ෙය්ම ප්‍රධාන පුවත බවට පත්වුණේ මේ වසංගතය පිළිබඳ ප්‍රවෘත්ති.”

ආචාර්ය උපුල් ගමගේ පැවසූ පරිදි ජනවාරි 25 වැනිදා එවකට ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ ඔවුන් අමතා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මත විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම චූහාන්හි සිටින සියලු සිසුන් වහාම ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි. එහෙත් චීන බලධාරීන් ඒ වනවිටත් කිසිවෙකුට නගරයෙන් පිටවීමට හෝ ඇතුළු වීමට අවසර ලබාදී නොතිබූ බැවින් එය එතරම් පහසු කටයුත්තක් නොවීය. මාරාන්තික වයිසරස චීනයේ අන් නගර වෙත ද පැතිර යද්දී වූහාන්හි කොටුවී සිටි ශ්‍රී ලාංකිකයෝ මර බියෙන් මෙන්ම ආහාර සහ ජල හිඟය ඇතුළු අතුරු අර්බුද රැසකින් ද පීඩා විඳින්නට වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් අතර වයස අවුරුදු 4ත් 6ත් අතර කුඩා දරුවන් සිවුදෙනකු සහ ගැබිනියක ද විය.

“වූහාන් නගරය අඟුලු දා දවස් 8ක් ගතවෙද්දි නගරයේ මිය යන සහ රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබුණා. මේ අතරෙ චීන රජය දින 10ක් තුළ ඇඳන් දාහක් බැගින් රෝහල් 2ක් ඉදිකිරීමට පටන් ගත්තා. බිය, අවිනිශ්තතාව සහ අවදානමින් අපේ සිත් පිරී තිබෙන අතරේ චීන- ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවලට ගැටලුවක් ඇති නොවන අයුරින් මවුබිමට යෑමට කටයුතු සුදානම් කර ගැනීමේ අභියෝගය ද අප සමඟ තිබුණා. කෙසේ හෝ 31 වැනිදා හවස ශ්‍රී ලංකා ගුවන් යානයක් වූහාන් වෙත ගොඩබෑමට අවසර ලැබුණු බව දැනගැනීමට ලැබීම අපිට මහත් සැනසීමක් වුණා. නමුත් වූහාන් සිට කිලෝමීටර් 70ක දුරින් පිහිටි ටියැන්හෙ ගුවන්තොටුපළට යෑම සඳහා ඒ වන විට කිසිදු ප්‍රවාහන මාර්ගයක් තිබුණෙ නැහැ. සියලු මාර්ග වසා දමා ඇති නිසා පෞද්ගලික කුලී රථ සමාගමක්වත් ගුවන්තොටුපළට යන්න කැමති වුණේ නැහැ. ඒ අවස්ථාවේ අපේ කණ්ඩායමේ සාමාජික, ගිහාන් විශ්වවිද්‍යාල 7ක සිටි අපේ පිරිස එකතු කර ගැනීමට සහ 33 දෙනකු රැගෙන යා හැකි වාහනයක් සොයා ගැනීමට පමණක් නොව වසා දමා ඇති මාර්ග ඔස්සේ ගුවන්තොටුපළට ගමන් කිරීමටත් චීන බලධාරීන්ගෙන් අවසර ලබා ගත්තේ වසර ගණනාවක් චීනයේ ගතකිරීමෙන් ඔහු ගොඩනඟා ගත් සබඳතා මතයි.

ජනවාරි 31 වැනිදා අප සියලු දෙනාගේම ජීවිතවලට තීරණාත්මක දිනයක් වුණා. එදා හවස 4ට පමණ අප වූහාන් නගරයෙන් පිටවෙද්දි ඒ පරිසරය වෙළාගත් අන්ධකාරය මට තවම මතකයි. ගුවන් ගමනට බෝඩින් කිරීම සඳහා සිරුරේ උෂ්ණත්වය පරීක්ෂා කරන විට මට මහත් ගැටලුවකට මුහුණ දීමට සිදු වුණා. අනිත් 32ගේම උෂ්ණත්වයේ ප්‍රශ්නයක් නොවුණත් මගේ සිරුරේ උෂ්ණත්වය අධික බව යන්ත්‍රයේ සටහන් වීම නිසා නැවත වරක් වෛද්‍යවරයකු විසින් මාව පරීක්ෂා කරනු ලැබුවා. ඒ අවස්ථාවේ මම දැඩි මානසික පීඩාවකට සහ නොසන්සුන්තාවකට පත්වුණා. ඊට හේතුව මට උණ වැලඳී ඇත්නම් අපේ ගුවන් ගමනට කිසිසේත් අවසර නොලැබෙන බව දැන සිටි නිසයි. කෙසේ හෝ දෙවැනි වර උණ පරීක්ෂා කිරීමේදී මගේ සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය අගයේ තිබුණා. අප සියලු දෙනාම සැනසුම් සුසුම් හෙළුවේ ගුවන්යානයට නැඟුණ පසුවයි. 16 දෙනකුගේ කාර්ය මණ්ඩලයක් සහිතව පැමිණි එම ගුවන් යානය මානුෂීය උපකාර සඳහා පැමිණි ගුවන් යානයක් ලෙස නම් කර තිබුණා.”

ඒ ගුවන් ගමන ආචාර්ය උපුල් ඇතුළු කණ්ඩායමට කිසිදා නොවිඳි අත්දැකීමක් බවට පත්විය. විශේෂ සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීතිරීතිවලට මුළුමනින් යටත්ව මෙරටට පැමිණි ඔවුහු ඉන්පසු දින 14ක නිරෝධායන කාලයක් ද ගතකළහ. වූහාන් නගරය අඟුලු දැමූ දා සිට මෙරටට පැමිණෙන තෙක් ඔවුන් මුහුණ දුන් අත්දැකීම් බොහෝය. ඒ සියල්ල සැකෙවින් සැමටම දැනගන්නට දැන් අවස්ථාව සැලසී ඇත. දින 14ක නිරෝධායන කාලය තුළදී ඔහු වූහාන්හිදී ලැබූ අත්දැකීම් ලියන්නට පටන් ගත්තේය. 'ගිනිපිග් කළේ ඇයි නුඹ මා කොරෝනා' කෘතිය ඔහු අතින් නිර්මාණය වන්නේ එලෙසිනි.

“ගිනිපිග් කියන්නේ මුල් කාලයේ ස්වාභාවික පරිසරයේ හිටපු සතෙක් නෙවෙයි. ඒ සතාගේ චරිත ලක්ෂණය මොකට හරි බයවුණාම එක තැන නවතින එක. අපි නොහිතපු විදිහට කොරෝනාව ලෝකයත් අපිවත් එක තැන නතර කළා. ඒ නිසයි මම මේ පොතට ඒ නම යොදා ගත්තේ. මුහුණු පොතේ මගෙ හිතවතියක් මට යෝජනා කරපු නම් 3ක් අතරින් තමයි මම ඒ නම තෝරගත්තෙ. මේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ මම අත්විඳි සිදුවීම් මට හැඟෙන දැනෙන විදිහට. නමුත් මේ සිදුවීම් අත්විඳපු තවත් අයට ඔවුන්ගේම කතාවක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේ පොතේ මම ලිවුවාට වඩා නොලියූ දේ බොහෝමයි. ඒ හැමදේම ඉදිරි කෘතියකින් ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකයෙක් ඇත්තටම රැකියාවක් කරන කෙනකුට වඩා විශාල වැඩක්, මෙහෙවරක් රටට ලෝකෙට කරනවා.

ආචාර්ය උපුල් විසින් රචිත මේ කෘතිය තුළ මාරාන්තික කොවිඩි වයිසරයට තිඹිරිගෙය වූ වූහාන් හිදී ඔහු අත්විඳි සිදුවීම් රැසක් පිළිබඳ කියැවේ. එමෙන්ම නොපෙනෙන වයිරසයක් හමුවේ මතුවූ මනුස්සකම් සහ අමනුස්සකම් ගැන අතුරු කතා ද මේ තුළ වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් ප්‍රියන්ත ගමගේ විසින් 'ගිනිපිග් කළේ ඇයි නුඹ මා කොරෝනා' කෘතිය ජුලි 12 වැනිදා බදාදා සවස 2.30ට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවනාගාරයේදී ජනගත වේ.

Comments