මම ඒ කාලේ හොඳ මිනිහෙක් නෙමෙයි - මරණ බය මාව මිනිහෙක් කළා... | සිළුමිණ

මම ඒ කාලේ හොඳ මිනිහෙක් නෙමෙයි - මරණ බය මාව මිනිහෙක් කළා...

පූරු අදහස් ඇති, අපූර්ව හැකියාවන් ඇති මිනිසුන් නිසා අප ජීවත්වන ලෝකය ලස්සන වන බවට කියමනක් තිබේ. මේ දිහ හැරෙන්නේද එවැනි වූ අපූරු අදහස් ඇති, අපූර්ව හැකියාවන්ගෙන් පිරිපුන් එක්තරා සමාජ සත්කාරයකට දායක වූ උතුම් මිනිසෙකු ගැනය. මේ කතාවේ ඇති විශේෂත්වය වන්නේ තම ජීවිතයේ තරුණ අවදියේදී සමාජයට බරක් වූ ජීවිතයක් ගත කරමින් සිටි ඔහු අද වන විට සමාජයට වැඩදායී යහපත් ජීවිතයක් ගත කරන චරිතයක් ලෙසට වෙනස් ව අපූරු මිනිසෙකු බවට පත්වූ ආකාරයය.

ජීවිතයේ කොයි තරම් වැරදි සිදුවුණත්, දැන-නොදැන කොතරම් වැරදි සිදු කළත් අද වන විට අපගේ මේ කතා නායකයා සමාජයට වැඩදායී, ආදර්ශවත් ජීවිතයක් ගත කරනවාද යන ආදර්ශවත් පුවත මේ හරහා හෙළිදරව් කරයි. ඔහු වීදි ගායකයෙකු ලෙස කටයුතු කර උපයා ගත් මුදල් වැය කර තමන් ජීවත් වන ප්‍රදේශයේ පිහිටි වතුපිටිවල රෝහලට රුධිර මීටර් පරීක්ෂණ උපකරණ කට්ටල් 200ක් පරිත්‍යාග කිරීමේ මහඟු පුණ්‍යකර්මය ඔහු විසින් සිදුකර ඇත. එලෙස වීදී ගායකයෙකු ලෙස කටයුතු කර උපයා ගත් මුදල් වැය කර මෙවැනිම පුණ්‍ය කටයුතු රැසක්ම ඔහු විසින් සිදු කර ඇති අතර විවිධ ප්‍රදේශවල වැඩිහිටි නිවාසවල දිවි ගෙවන වැඩිහිටියන් වෙනුවෙන් හා විවිධ හේතු මත අසරණ වී සිටින පුද්ගලයන් වෙනුවෙන් තමන් උපයන මුදල්වලින් සැලකිය යුතු කොටසක් සෑම මසකදීම වැය කර ආහාර,බෙහෙත් ලබා දීම සඳහා කටයුතු කිරීම ඒ අතර සඳහන් කළ යුතු තවත් උතුම් වූ පුණ්‍යකර්මයන්ය. 

අනුරාධපුර ප්‍රදේශයේ පවුලක එකම දරුවා ලෙස උපන් ඔහු ට්‍රිෂාන් මංජුලයි. එහෙත් බොහෝ අය ඔහුව හඳුනන්නේ "ෆ්ලැට් ෆෝර්ම්' (Flat Form) හෙවත්‘ ෆැලැටා‘ යන අන්වර්ථ නමිනි. වීදි ගායකයෙකු ලෙස කටයුතු කරමින් මේ වන විට නිට්ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන ඔහු හතළිස් අට හැවිරිදි තිදරු පියෙකි.

ට්‍රිෂාන්ම සඳහන් කරන පරිදි ඔහු තම තරුණ කල ජීවිතය ගත කර ඇත්තේ තමාටවත්, තම පවුලේ අයටවත්,සමාජයටවත් යහපතක් වන ආකාරයකින් නොවේ. ජීවත් වීම සඳහා හොරකම හැර බොහෝ නරක වැඩ තමා අතින් සිදු වූ බව ඔහු කියයි. “විවිධ නරක වැඩ කරමින් ඒ හරහා මම මුදල් ඉපැයුවා.ඒ දවස්වල මට මුදල් අඩුපාඩුවක් තිබුණේ නෑ. ඇත්ත වශයෙන්ම මගේ ගාව ඉතාම යහමින් මුදල් තිබුණා.” කොහොම වුණත් එක දවසක් මට පපුවේ අමාරුවක් හැදිලා මාව අනුරාධපුර රෝහලට ඇතුළත් කළා. ඒ වෙලාවේ මට හැදිලා තිබුණේ හෘදයාබාධයක්. ඒ රෝගී තත්ත්වය නිසා මට ගොඩාක් අමාරු වුණා.ඒ අවස්ථාවේ මගේ ජීවිතය බේර ගන්න වෛද්‍යවරු මාව අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා යන්ත්‍රයකට පවා මාව සම්බන්ධ කළා. පපුවේ අමාරුව වැඩි වෙන කොට මගේ හද ගැස්ම එන්න එන්නම අඩු වුණා.”

ප්‍රතිකාර ලබමින් රෝහලේ ගත කළ කාලය ට්‍රිෂාන්ගේ ජීවිතයේ අදහාගත නොහැකි පෙරළියක් සිදු වුණු සංක්‍රාන්තිමත් කාලයක් ලෙස හඳුන්වා දිය හැකි අතර ක්‍රම ක්‍රමයෙන් තමා මරණය කරා එළැඹෙමින් සිටින බව ඔහු වටහා ගත්තේය.

“මට ඒ වෙලාවේ තේරුණා මම මැරෙන්නයි මේ යන්නේ කියලා. කතෝලිකයෙක් වුණත් බෞද්ධාගම ගැන යම් ප්‍රමාණයකට අවබෝධයක් ලබා ගෙන තිබුණු නිසාම මැරෙන මොහොතේදී හොඳ දෙයක් මතක් කළොත් ඊළඟ ආත්මයේදී හොඳ විදිහට උත්පත්තියක් ලබන්න පුළුවන් කියලා මම තේරුම් ගත්තා.ඒ නිසා මට අමාරු වැඩි වෙන කොට මට පුළුවන් උපරිමයෙන් උත්සාහ කළා හොඳ සිතුවිල්ලක් හිතට ගන්න. ඒ වුණාට කිසිම විදිහකට හොඳ සිතුවිලි මගේ ඔළුවට ආවේ නැහැ. ඒ වන තෙක් මම කරපු හැම නරක වැඩක්ම චිත්‍රපටියක් වගේ මට පෙනෙන්නට ගත්තා. මම පුදුම විදියට බය වුණා. සත්‍ය වශයෙන්ම ඒ බය තව තවත් මාව අසරණ කළා.”

“මරණ බය විටින් විට මගේ ඔළුවට ආවා. හරියට එලොව ගිහින් මෙලොව ආවා වගේ. මේ සංක්‍රාන්ති කාලය තුළ ජීවිතය ගැන අලුතින්ම හිතන්න මම පුරුදු වුණා. වචනයෙන් කියන්න බෑ. ඒ බය මෙහෙමයි කියලා. මගේ අදහස නම් මේ රටේ ඉන්න සෑම මනුස්සයෙකුටම ඒ මරණ බය දැනෙන්න ඕනේ. එහෙම උනොත් මේ රටේ කවුරුත් වැරදි කරන එකක් නෑ. එදා මම මැරෙන්නේ නැතිව බේරිලා රෝහලෙන් ගෙදර එනකොටම තීරණය කළා එතෙක් මගේ අතින් සිදු වුණු සියලුම නරක වැඩ නවත්වන්න. ඒ වගේම කාටවත් කරදරයක්, හිරිහැරයක් සිදු නොකර මගේ ඉදිරි ජීවිතය තුළදී සාධාරණව මුදල් හම්බ කරන බවටත් මම එදා තීරණය කළා.”

“්‍ට්‍රිෂාන් මංජුලගේ වචනයෙන්ම කියනවා නම් ඔහුගේ ජීවිතයේ ‘යූ ටර්න්‘ එක එසේත් නැතිනම් හිරේ, විලංගුවේ පවා වැටෙමින් නරකාදියක ගෙවුණු ඒ අපල සමය වෙනස් කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහුට වැලඳුණ එකී හෘදයාබාධයයි.

“මගේ අතීත ජීවිතය දිහා බැලුවහම මම කිසිසේත්ම හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි . ඇතැම් අවස්ථාවල හිරේ පවා ඉන්න මට සිදුවුණා. මම කරපු හොඳ දේවල් තිබුණේම නැති තරම්. මගේ අවශ්‍යතාව වෙනුවෙන් මුදල් හම්බවෙනවා නම් මම ඒ වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න පසුබට වුණේ නැහැ.”

කෙසේ වුවත් තමන්ට බල පෑ හෘද යාබාධ යෙන් සුවය ලැබීමෙන් අනතුරුව ජීවිතය යහපත් අයුරින් ගත කරන බවට වූ අධිෂ්ඨානය සමඟ ට්‍රිෂාන්ට ශ්‍රී ලංකා යුද හමුදා වාදක කණ්ඩායම සමඟ එක් වීමේ අවස්ථාව උදා විය. ඒ අනුව වසර 08ක පමණ කාලයක් ඔහු එම වාදක කණ්ඩායම සමඟ කටයුතු කළේය. එම කාලය තුළ ගායනය මෙන්ම සංගීත භාණ්ඩ වාදනයත් ඔහු විසින් ඉගෙන ගත් අතර පසුව එම වාදක කණ්ඩායමින් ඉවත් වී පෞද්ගලික ආයතනයක ප්‍රදර්ශනාගාරයක මැනේජර්වරයෙකු ලෙස සේවයට එක් විය.

ඔහු එම ප්‍රදර්ශනාගාරයේද වසර තුනක පමණ කාලයක් සේවය කළේය. ඒ අතරතුර කොරෝනා වසංගතයෙන් මුළු රටම පීඩාවට පත් වූ අභාග්‍ය සම්පන්න පරිච්ඡේදයක් ආරම්භ වූ අතර එහි බලපෑමට තදින්ම මුහුණ දුන් ප්‍රදර්ශනාගාරය වසා දැමීමට සිදුවීමත් සමඟම ට්‍රිෂාන්ටද එතෙක් කර ගෙන ගිය තම රැකියාව අහිමි වී ගියේය.

“මම ඒ ආයතනයේ ප්‍රදර්ශනාගාරයේ රැකියාව කරද්දීත් සාධාරණ විදිහට අමතර ආදායමක් හොයා ගන්න නිවාඩු දවස්වලදී වාදක ශිල්පියෙකු හැටියට වගේම ගායන ශිල්පියෙකු හැටියටත් කටයුතු කරන්න වීදිය එහෙමත් නැත්නම් මහ පාර තෝරා ගත්තා. කොරෝනාවේ බලපෑමෙන් එතෙක් කරගෙන ආ රැකියාව අහිමි වීමත් සමඟම ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට ඒ කටයුත්ත දිගටම කරන්න සිදු වුණා. ඇත්ත වශයෙන්ම කියන්න සතුටුයි එලෙස වීදි ගායකයෙකු වගේම වාදකයෙකු ලෙස කටයුතු කිරීමට එදා මම ගත් තීරණය මගේ ජීවිතය තවත් වෙනසකට ලක් කළ නිවැරදිම වූ තීන්දුවක්. එදා ඒ විදියට ගත්තු ඒ තීරණය නිසා තමයි අද මට වීදි ගායකයෙකු හා වාදකයෙකු ලෙස ජනතාවගේ ආදරය මෙන්ම ගෞරවයද හිමි වී තිබෙන්නේ.” ජීවත් වෙන්නට අරගල කරන පාරේ දුවන මිනිසුන් වෙනුවෙන් ඔවුනගේ මහන්සිය නිවන්නට මට හැකි නම් එය මහඟු කාර්යයක් බව මම වටහාගෙන තිබුණා. මට තියෙන ලොකුම හීනය තමයි මිනිසුන් ගොඩාක් වට කරගෙන ඔවුන්ට සතුටක් ගෙනෙන සැනසීමක් ගෙනෙන සංගීතයෙන් ඔවුන් පිනවන එක. ජීවත් වෙන්නට වෙරදරන මිනිසුන්ට හයියක් වෙන්නට මට හැකි වුණා කියලා මම සතුටු වෙනවා. ඒ වගේම ජනතාව මගේ වටේ ඒකරාශී වූ පසු මම ඔවුන්ට මගේ ජීවිත කතාව මුල සිට කියා ඔවුන්ටත් ආදර්ශවත් ජීවිතයක් ගත කරන්නට මා දන්නා අයුරින් මඟ කියා දෙනවා.”

“මේ විදිහට කටයුතු කරන විට මට දකින්න ලැබුණා, පිටරට වීදියක දරුවෙක් ගිටාර් එක වාදනය කරමින් ඒ හරහා තම දක්ෂතාවය පෙන්නනවා වගේම මුදලුත් උපයනවා. අසරණ අයට පිහිට වනවාත් දුටුවා. යූ ටියුබ් එකෙන් තමයි මම ඒ බව දැක්කේ. පිටරට ගැහැනු ළමයෙක් ඒ විදියට හරිම වෙනස් ඒ වගේම ආකර්ෂණීය ආකාරයට Street Music කරන ආකාරය දැක්කම තමයි මට හිතුණෙ මමත් ඒ විදිහට සින්දු කියලා, ඒ මඟින් ලැබෙන ආදායමින් මට පුළුවන් උපරිමයෙන් ඇති නැති අසරණ පුද්ගලයින්ට උදව් උපකාර කරනවා කියලා. එවැනි දෙයක් මීට පෙර අප රටේ කිසිම වීදි කලාකරුවෙකු කරන්නට ඇතැයි මා හිතන්නේ නෑ.”

ඒ අනුව ඔහු අද ඉතාම සාර්ථක ලෙස වීදිය තුළ තම හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින අතර ඒ හරහා ලැබෙන ආදායමින් මුලදී සඳහන් කළ ආකාරයේ පුණ්‍ය කටයුතු රාශියකම නිරත වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුම වන කාරණාවකි. 

“මම මේ වන විට වීදී කලාකරුවෙක් විදිහට වැඩ කරනවා. ගිනි අව්වෙ පිච්චෙමින්,වැස්සට තෙමෙමින් තමයි මම මේ වෘත්තියේ නිරත වන්නේ.” “මේක හරිම වෙහෙසකර රැකියාවක් වුණත් මම සතුටින් එය කරනවා”

“වීදි කලාකරුවෙකු ලෙස උපයන මුදලින් සමාජ සත්කාරක කටයුතුවලද නිරත වුණත් අදටත් මම ජීවත් වෙන්නේ කුලී නිවසක. ඒ වගේම කුලියට ගත් ත්‍රීවීලය තමයි මේ සංගීත කටයුතුවල නිරත වන්න සැබෑ ලෙසටම මට හයියක් වෙලා සිටින්නේ. ඒ හම්බ කරන මුදලින් පිං දහම් කරගෙන ඉතිරිවන යම් මුදලක් වෙතොත් ඉන් මගේ ගෙවල් කුලී වගේම ත්‍රීවීලයේ කුලියත් ගෙවනවා.”

කුලියට ගත් ත්‍රි රෝද රථය තම ගමන් සගයා කර ගනිමින් මේ වන විට ජනප්‍රිය වීදි කලාකරුවෙකු බවට පත් වී සිටින ට්‍රිෂාන් මංජුල එහෙමත් නැතිනම් කවුරුත් ආදරේට ෆ්ලැට්ෆෝර්ම් (Flat Form) ලෙස හඳුන්වන මේ ආදරණීය කලාකරුවා තව තවත් ජනප්‍රිය වී ඇති තවත් හේතුවක් වී තිබෙන්නේ වීදියේ ඔහු සංගීත කටයුතු සිදු කරන තැන ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇති අපූරු වූ අදහසක් ඇති පුවරුව හේතුවෙනි. “නැතිනම් ගන්න- තියෙනවනම් දාන්න” එම පුවරුවේ සඳහන්ව ඇති ඒ අපූරු වදන් පේළියයි.

“මම දැන් උපයන මුදල් නැති බැරි මිනිසුන් සහ ඔවුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලබා දෙනවා. ඊට පසුව ඉතිරි වෙන මුදලක් තියෙනවා නම් එම මුදල තමයි මම මගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ. මම ගිටාරය ප්ලේ කරනවා ඊට අමතරව සින්දු කියනවා. මම හිතනවා ඒ මඟින් ගායනය,වාදනය රස විදින මිනිස්සු යම් සතුටක් ලබනු ඇතැයි කියා. නොයෙකුත් ප්‍රශ්න කරදර, බාධක මැද ජීවිතය විඳවන මිනිස්සුන්ව මේ විදියට මොහොතකට හෝ සතුටු කරන්නට ලැබෙනවා නම් ඒකත් ලොකු පිනක් කියලයි මට නම් හිතෙන්නේ."

ට්‍රිෂාන් මංජුලගේ ඇති ලොකුම බලාපොරොත්තුව නම් ශ්‍රී ලංකාව තුළ Street Music නම් වූ සංකල්පය තවදුරටත් හොඳින් වැඩෙන්නට සැලැස්වීමයි.

“මගේ සංගීතය එහෙමත් නැතිනම් මේ Street Music කියන සංකල්පය මට තව,තවත් ඉදිරියට ගෙනි යන්න ඕනැ. මම විශ්වය ගොඩක් විශ්වාස කරන කෙනෙක්. විශ්වයෙන් මට ලැබුණු හැමදේටම මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”

පළමු හෘදයාබාධයෙන් සුවය ලැබූ ට්‍රිෂාන් එතැන් සිට තම ජීවිතය අන් සියලුම දෙනාට වෙනස් මඟක් ගත් පරිච්ඡේදයක් ලෙස අලුතින් ලියන්නට වෙහෙසක් ගත්තේය. මේ අතර දෙවන වරටත් හෘදයාබාධයකට මුහුණ දීමට ඔහුට සිදු වුණු අතර මෙවරත් ලැබූ ප්‍රතිකාරවලින් පසු තවදුරටත් ජීවත් වීම සඳහා වාසනාව උදා කර ගත්තේය.

ට්‍රිෂාන්ගේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ හදිසියේම හමුවූ දොස්තර විරන්ජිත් තාඹුගලය. ඔහු ට්‍රිෂාන්ගේ දක්ෂතාවය දැක ට්‍රිෂාන්ව වේදිකාවට කැඳවාගෙන ගිය අතර රට වටා පැවැත්වෙන් සංදර්ශනවල ගී ගයමින් එම මුදල් අසරණයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරයි. මේ වැඩසටහන හරහා කලාකරුවන් රැසක් හදුනාගැනීමේ අවස්ථාව උදා වු බවද ඒ හරහා තමන්ට අවස්ථා රැසක් ලැබුණ බවද ට්‍රිෂාන් කෘතඥතා පූර්වකව සිහිපත් කළේය. එමෙන්ම යටියන පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් මහඟු උදව් උපකාර ලැබෙන බවද ගෞරව පූර්වකව සිහිපත් කළේය.

මේ අතර විදී කලාකරුවෙකු ලෙස තමන් ඉපැයූ මුදල් යොදවා වතුපිටිවල රෝහලට අවශ්‍ය වෛද්‍ය සැපයුම් කට්ටල තොගයක් පරිත්‍යාග කළ ට්‍රිෂාන් මංජුල පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකළ වතුපිටිවල රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය චින්තක දිනේෂ් කුමාර සඳහන් කර සිටියේ ක්‍රිෂාන් විසින් සිදු කරන ලද සමාජ ‍මෙහෙවර සියල්ලම ජනතාව විසින් අගය කරනු ඇති බවයි. එපමණක්ද නොව ඔහු අන් සියලුම කලාකරුවන්ට ආදර්ශයක් වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Comments