කතා නැතිව සහකරු සොයන අපූරු වේදිකාව | සිළුමිණ

කතා නැතිව සහකරු සොයන අපූරු වේදිකාව

ඉකුත් වස‍රේ හමුවට සහභාගී වූ තරුණ තරුණියන් පිරිසක්

- විවාහ අපේක්ෂාවෙන් මෙතෙන්ට එන්නෙ පිරිමි දරුවො තුනකට එක ගෑනු දරුවයි. ඒ නිසා මේ පණිවිඩය රටටම යා යුතුයි 
- ඉකුත් වසර 18 තුළ ඔවුන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව අතර විවාහ 500ක් සිදුවුණා
- ලංකාවේ ජනගහනයෙන් 9%ක් ශ්‍රව්‍යාබාධිතයි.

හජන පුස්තකාල පරිශ්‍රය වෙනදාට වඩා ලස්සන වී ඇතැයි සිතේ. බලාපොරොත්තු පිරී ගිය තරුණ තරුණියෝ දල්වාගත් දෑසින් යුතුව ඔබ මොබ සැරි සරති. එකිනෙකා දකිති. ඔවුන්ගේම වහරකින් අදහස් බෙදා ගනිති. ගතවෙමින් ඇත්තේ ජීවිතයේ කෙදිනකවත් ලෝකයේ මිහිර නෑසූ ඒ නිසාම කථනය නුහුරු වූ මේ තරුණ පිරිස ඔවුන්ගේ ජීවිත ඉරණම්කරුවා හෝ ඉරණම්කාරිය හමුවනු ඇතැයි අපේක්ෂාවෙන් ගතකළ තවත් එක් ආදරණීය දවසකි. මේ අසිරිය දකිමින් සිටින ඔවුන්ගේ මාපියන්ගේ අපේක්ෂා සහිත දෑස් දකිමින් හිඳිමි. 

ඒ දැකුම මහා සංවේගයක් දනවයි. මේ හමුවේ අපේක්ෂාව ශ්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් සහ ඔවුන්ගේ මාපියන් එක් තැනකට ගොනුකර ඔවුන්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දීමේ සත්කාරයය. එය සංවිධානය වන්නේ ‘ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය‘ විසිනි. එම සංගමය පිහිට­ුවන්නේ වර්ෂ 1971 සැප්තැම්බර් මස 12 වැනිදා ය. අවුරුදු පනහකටත් එපිටය. සංගමය පිහිටුවීමට මුල්වන්නේ රාගම බිහිරි විද්‍යාලයේ එවකට විදුහල්පතිනිය වූ ෂ්‍යාමෙන් මෙන්දිස් කන්‍යා සොයුරියය. ඇය ජාත්‍යන්තර අත්දැකීම් සහ දැනුම සහිතව මේ රටේ ශ්‍රව්‍යාබාධිත දරු පිරිස වෙනුවෙන් කැප වූ කාන්තාවකි. ඇයගේ උපදෙස් ප්‍රකාරව ‘ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය‘ පිහිටුවීමේ පරමාර්ථය ශ්‍රව්‍යාබාධිත දරු දැරියන්ගේ සුභසිද්ධිය සහ අනාගත ජීවිත රැකවරණය සැලසීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ ජනගහනයෙන් සියයට 09ක් ශ්‍රව්‍යාබාධිතය. දළ වශයෙන් ඒ ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවයි. හඳුනාගෙන ඇති පරිදි පූර්ණ බිහිරි පුද්ගලයින් සංඛ්‍යාව 10,323කි. කාන්තාවන් සංඛ්‍යාව 2,008කි.

මේ මොහොත එහි උච්චම බලාපොරොත්තු දනවන මෙහොතය. දශක දෙකට වැඩි කාලයක් ලෝකය නොදැක්ක සිය දරුවන් උස් මහත් කර ඔවුන්ගේ ජීවිතයේ අනාගතය සුරක්ෂිත කිරීමේ බලාපොරොත්තුව සහිතව ඔවුහු මෙතැනට පැමිණ සිටිති. එහෙත් මේ අත්දැකීම මේ රටේ සාමාන්‍ය අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් අත්දැකීමට අපේක්ෂා කරන තත්ත්වයක් නොවන බව සිතමි. සිය තරුණ දරුවා විවාහයක් වෙනුවෙන් සමාජයේ යම් උපස්ථරයක් සඳහා විවර වූ ස්වයංවර අවස්ථාවකට මුදා හැරීමට මේ අම්මලා තාත්තලාට සිදු වී තිබේ.

තරුණ පිරිස අතර ඇස්වලින් සිනාසෙන තරුණ තරුණියන් පෙනේ. තැනෙක අපේක්ෂා සුන් වූ දෑස් ය. ඒ සිනා සුසුම් අතර උපේක්ෂා සහිත වූ තාත්තා කෙනෙක් ලඟ නැවතු­‍ෙණමි. ඔහු ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමයේ සභාපතිවරයාය. ඔහුටත් ශ්‍රව්‍යාබාධිත දරුවෙක් සිටින්නේය. “සංගමයේ සාමාජිකත්ව‍ෙය් ඉන්න සෑම අම්මා කෙනකුටම තාත්තා කෙනකුටම අඩුම තරමින් එක් බිහිරි දරුවෙක් හෝ ඉන්නවා. සංගමයේ මුල්ම සාමාජිකයෝ මිය ගිහින්. දැන් ක්‍රියාකාරීව 2000ක් විතර මවුපිය පිරිසක් සංගමයත් එක්ක ඉන්නවා. මේ තමයි දැනට අපේ දරුවන් වෙනුවෙන් අපි කරන විශාලම ඉසව්ව. ඒ තමයි විවාහ වෙන්න බලාපොරොත්තු වන දරුවො ඉන්න මවුපියො එක තැනකට කැඳවලා ඒ අයව මුණගැස්සීම. ඒ මුණගස්වලා විවාහයට අවශ්‍ය පසුබිම හදලා දීම.

මේ කටයුත්ත කරන්න අපි ආරම්භ කළේ වර්ෂ 2005 දි. විවාහ අපේක්ෂක දරුවො 25-30 ක් විතර එදා ආවා. අවුරුද්දට සැරයයි කළේ. මොරටුවේ අපේ සංගම් මූලස්ථානේදි මේ හමුව පැවැත්වූවා. දැන් මවුපියන්ගේ ඉල්ලීමට අවුරුද්දට තුන් පාරක් මේ හමුව පවත්වනවා. මේ පවත්වන්නේ මේ අවුරුද්දේ දෙවැනි හමුව. තුන්වන හමුව 2023 නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිතයි.

එතනදි මෙතෙන්ට එන දියණිවරු, පුත්තු ඒ අයගේ අම්මලා තාත්තලා එක්ක ස්ටේජ් එකට නගිනවා ඔවුන්ගේ නම කියනකොට. ඒ අයව හැම මවුපියෙක්ම දකිනවා. තොරතුරු දුරකතන අංක ප්‍රකාශ වෙනවා. ඔවුනොවුන් සාකච්ඡා කරලා අවශ්‍ය විවාහ කටයුතු දරුවන්ට කරලා දෙනවා. “ ඒ සභාපති තාත්තා අපට කීවේය. ඔහුට අනුව මේ සමාජ සත්කාර සේවාව පටන් ගෙන මේ වනවිට ගෙවී යන 18 වසර තුළ ඔවුන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව අතර විවාහ 500කට වඩා සිදු වී තිබේ. 

මේ ස්ථානයට පැමිණෙන නව සාමාජිකයින් ඔවුන්ගේ පෝරමයක් පුරවා දිය යුතුය. එම පෝරමය ඔවුන්ගේ උපන් අවුරුද්ද අනුව ගොනු කරනු ලැබේ. එසේ ගොනුකර සෑම හමුවකදීම පැමිණෙන පිරිසට එම දරුවන්ගේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ. මේ හමුවේ සැබෑ ප්‍රතිඵල ලෙස විවාහයක් එළි දකීනම් ඒ මාස කීපයකිනි. එම විවාහ නැවත සංගමය වෙත වාර්තා වන්නේ නැත.

“දැනට අපට තියන එක ගැටලුවක් තමයි විවාහ අපේක්ෂාවෙන් මෙතෙන්ට එන්නෙ පිරිමි දරුවො තුනකට එක ගෑනු දරුවයි. ඒ කියන්නෙ ගොඩාක් ශ්‍රව්‍යාබාධිත ගෑනු දරුවන්ට මේ පණිවිඩය ගිහින් නෑ. රැකියාවකට නොගිහින් ගෙදර ඉන්න ශ්‍රව්‍යාබාධිත ගෑනු දරුවකුට ලෝකය විවර වෙන්නෙම නෑ.. ඒ නිසා මේ පණිවිඩය රටටම ගියොත් ලොකු සේවයක් වේවි.” ඒ සංගමයේ ලේකම් ඩේමියන් ප්‍රනාන්දුය.

මේ වනවිට ශ්‍රව්‍යාබාධිත තරුණ පිරිස් සිය මවුපියන් සමඟ සංවිධානය වෙමින් තමන්ගෙන් ගිලිහී ගිය සමාජ වරප්‍රසාද මනුෂ්‍යයින් වශයෙන් අත්පත් කරගැනීමේ සටනක් අරඹා ඇත. රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා කරන අරගලය ඉන් එකකි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් පිළිගත හැකි රැකියා අවස්ථා ලබා දීමට මැදිහත් වීම තවත් එක් කටයුත්තකි. එහෙත් මේ සමාජය මීට වඩා මේ මිනිසුන් විෂයෙහි නම්‍යශීලී නොවිය යුත්තේ දැයි මගෙන්ම විමසමි.

තවත් මවක් මා අසලය. ඇය නම් අසීමිත ප්‍රීතියෙනි. ඇය සුජීවා ප්‍රියදර්ශනීය. සිය ශ්‍රව්‍යාබාධිත දියණිය සඳුනි ධනේශා සමඟ ඇය කොළඹ මහජන පුස්තකාලයේ මේ හමුවට පැමිණ ඇත්තේ ඇල්පිටියේ සිටය. දියණියගේ වයස අවුරුදු 24කි. “අනේ හරිම සතුටුයි. එයාට කැමැත්ත ඇතිවුණු දරුවො කීප දෙනෙක්ම හිටියා.” ඒ අම්මා සිනාසෙමින් කීවාය. දුව කලින් ගාර්මන්ට් එකක වැඩට ගියා. ඒත් එයා සමාජය එක්ක මුහුවෙන්න කැමති වුණේ නෑ. තනියම ඉන්නයි කැමති. දැන් ගෙදර ඉඳන් අත්කම් චිත්‍ර නිර්මාණ කරනවා ස්වයං රැකියාවක් විදිහට. එයාට ශ්‍රවණාබාධයක් විතරයි තියෙන්නෙ. පුංචිම කාලේ ඒ කියන්නේ 2001 අවුරුද්දේ වෛද්‍යවරු කිව්වා ඔපරේෂන් එකක් කරන්න කියලා. ඒකට වියදම ලක්ෂ 28ක්. ඒක හොයාගන්න ගොඩාක් උත්සාහ කළා. ලංකාවේදි කරන්න බැරි වුණු ඒ සැත්කම කරගන්න අපට වත්කමක් තිබුණෙ නැ. මෙයාට අවුරුදු 12 වනවිට ලංකාවේ ඔපරේෂන් එක කරන්න ගත්තා. ඒත් ඒ වෙනකොට ඒ සැත්කමට දුවගේ වයස වැඩියි. ඒ දවස්වලට මම ගොඩාක් දුක හිතුණා. කතා කරන ළමයි දිහා බලාගෙන ඉඳලා මෙයා හොරෙන්ම ගේ ඇතුළට ගිහින් අඬනවා. එතකොට මමත් අඬනවා. ඒක දැකලා ආයේ දුව ඇවිත් මාව සනසනවා. “ ඒත් දැන් ඒ අම්මලා තාත්තාල සහ ඒ දියණිය ඒ තත්ත්වය පිළිගෙනය. එමෙන්ම දැන් අයගේ සිත ගිය තරුණයෙක් ද හමුවී තිබේ.

“ මෙච්චරකල් මෙයා කැමති කෙනෙක් හොයාගන්න හරිම අමාරුවෙන් හිටියෙ. විවාහ යෝජනා ආවා. එයාට ගමේ අය ගොඩාක් ආදරෙයි. වචනයකින්වත් වැරැද්දක් නෑ. මගේ ගමේ ශ්‍රව්‍යාබාධිත කෙනකුට ඉන්නේ මෙයා විතරයි. ඒ නිසාම ලොකු අවධානයකුත් තියනවා.” 

“දුවට කතා කරන්න පුළුවන් ආමි එකේ වැඩ කරන පුතෙක් යෝජනාවක් ගෙනාවා. කතා කරන්න බැරි පුතකුගෙන් යෝජනාවක් ආවා. ඒත් ඒ කිසිම එකකට කැමති වුණේ නෑ. මෙයා බලන්නේ ලස්සන. ” ඒ අම්මා මහා හයියෙන් සිනාසුණාය. ඉන් එපිට ඉන්නේ හැඩකාර යෞවනයකුගේ අම්මා සහ තාත්තාය. තාත්තා ඩබ්ලිව්. ප්‍රමිලාල්ය. අම්මා නයනා කුමාරිය. ප්‍රමිලාල් ‘ශ්‍රී ලංකා බිහිරි ළමා දෙමාපිය සංගමයේ‘ නියෝජ්‍ය ලේකම්ය.

“කළුතර නාගොඩ තමයි ගෙවල්. පුතා ඩබ්ලිව්.ඉසුරු චතුරංග. වයස අවුරුදු 25යි. දැනට එයා රූපලාවණ‍ය පාඨමාලාවක් කරලා ඒ වෘත්තියේ පරිචයක් තියනවා. පරිගණක නිර්මාණ ශිල්පියෙක් ලෙස තමයි දැන් එයා වැඩ කරන්නේ. ගෙදර ලිට්‍රෝ ගෑස් ඒජන්සි එකක් කරගෙන යනවා.” ඔහු පුතා ගැන කියන්නේ ආඩම්බරයෙනි. මැණික් කර්මාන්තයේ යෙදී සිටි ඒ තාත්තා දැන් ඉන් විශ්‍රාම ගෙනය. ඔවුන්ට ලබන වසරේ උසස් පෙළට පෙනී සිටින තවත් පුතෙක් සිටී.

“පුතා ඉගෙන ගත්තේ සාමාන්‍ය පාසලක. අධ්‍යාපන කටයුතුත් ඔහු හොඳට කළා. ඒත් සාමාන්‍ය පෙළ ලියන්න ඉද්දි ඔහු කහ ඉරක් මත දී අනතුරට ලක් වුණා. පාදය ඉතාම නරක විදිහට තුවාල වුණා. ඒ අනතුර ඔහුගෙ ඉදිරි අධ්‍යාපනයට බලපෑවා. ඔහු කවදාවත් කතා කරන්න බෑ කියලා දුක් වෙච්චි දරුවෙක් නෙමෙයි. මට මතකයි එකම එක දවසක් කිව්වා මට කතා කරන්න බෑ නේද කියලා. එදායින් පස්සෙ කවදාවත් දුක් වුණේ නෑ අපට පේන්න.

පුතා නිරූපණ ශිල්පියෙක් වෙන්න කැමැත්තෙන් හිටියා. අපිට දරුවා ගැන ඕන එකම දෙයයි. ඔහු ඉක්මනින් විවාහ වීම අපි බලාගෙන ඉන්නවා. මොකද අපට පුළුවන් කාලේ එයාලගේ දරුවො ලොකු මහත් කරලා දෙන්න පුලුවන්නම් අපිට හිත සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුලුවන්.” ඒ තාත්තා කීවේය.

එහෙත් මේ රූමත් තරුණයා දැන් වසර හතක් තිස්සේ මේ හමුවට එන්නේය. තවමත් ඔහුගේ සිත පැහැර ගැනීමට සමත් තරුණියක් මේ උප සමාජයෙන් ඔහුට හමු වී නැත. ඔහු නර්තනය පුහුණුවන අවධියේ සිත් ගිය තරුණියක ගැන මහා ආශ්වාදයෙන් පසු වී ඇත. එහෙත් ශ්‍රවණාබාධිත මේ තරුණයා කෙරෙහි ආලයක් ඇයගේ සිත් තුළ ඉපදී නැත. ඒ මතකයත් සමග ඔහු මේ භූමියේ සිය අනාගත සහකාරිය සොයන්නේය.

“පුතා හරියට නීට් එක හොයනවා හැමදේම. එයාගෙ කැමැත්ත නැතිව අපි කිසිම බලපෑමක් කරන්නේ නෑ. ඒත් හිතේ තියන රූපය හින්දා එයාගේ අනාගතය දවසින් දවස පහුවෙනවා.” මෙතෙක් වෙලා නිහඬව සිටි ඒ තරුණයාගේ අම්මා කීවාය.

මාලා ජයසේකර පුරා හය වසරක් මෙතෙන්ට සිය දියණ­ියත් කැටුව එන අම්මා කෙනෙකි. ඇය දිවුලපිටියේය. දියණිය රුවන්කා පතිරණය. දැන් ඇයට අවුරුදු 28කි. ඇයත් රාගම ශාන්ත ජෝශප් ශ්‍රව්‍යාබාධිත පාසලේ අධ්‍යාපනය ලද තරුණියකි.

“මෙයා කැමති වෙන්නෙ නෑ... අදත් හිත ගිය දෙන්නෙක් විතර හිටියා. ඒ දරුවන්ටත් කැමති වෙයි ද දන්නෙ නෑ. හම්බවෙන කෙනාගෙන් මුලින්ම අහන්නේ අරක්කු බොනව ද කියලා. පාටියකට ගිහින් ටිකක් බොනවා කියලා කිව්වත් වැඩේ ඉවරයි....” ඒ අම්මා සිනාසෙන්නීය. දැන් මේ හිත ගිය දරුවො ගැන ගෙදර ගිහින් ටිකක් බලන්න ඕන. “

මෙතනින් හොඳ සේවයක් වෙනවා. ඇත්තටම මේ දරුවා එකලසක් කරලා දෙන්න දැනුත් මම පරක්කු වැඩියි. ඒත් තවම බලාපෙරොත්තු අත්හැරලා නෑ. ඇය දැන් යන්න සූදානම් වෙමිනි. ඇයට සමු දී විඩාබර මුහුණක් සහිත වියපත් අම්මා කෙනෙක් ලඟ නවතිමි.

ඇයගේ ගම හොරණ පැල්පොලය. නම ලලිතා රන්දෙණිය ය. ඇය පැමිණ ඇත්තේ ඇගේ 40 හැවිරිදි ශ්‍රව්‍යාබාධිත පුතාට සහකාරියක සොයා ගැනීම සඳහාය. පුතා දිලාන් චමීරය. ඇය පුරා වසර දහයක් තිස්සේ සිය පුතා ද සමඟ මෙම ස්ථානයට එන්නීය. දැන් පුතා මැදිවියත් ඉක්මවා ගොස්ය. එහෙත් තවම ඔහුගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වී නැත. එහෙත් බලාපොරොත්තු අත්හැරගෙන නැත.

“පුතා කරන්නේ ටිංකරින් වෑල්ඩින් වැඩ... එයාට තැන්පත් ධනයක් තියනවා එයාම හම්බකරලා ඉතිරි කරපු. එයා හොයන්නේ ගෙදර එක්ක ඇවිත් නවතින්න පුලුවන් දුවෙක්. “ ඒ අම්මාගේ ප්‍රාර්ථනාව කවදා ඉටුවනු ඇතිදැයි වැටහෙන්නේ නැත. විඩාබරිත බැල්මකින් යුතුව ඇයගේ පුතු දිලාන් චමීර අත් වහරින් සල්ලාපයේ යෙදෙන තරුණ තරුණීයන් දෙස බලා සිටිනු දකිමි.

අව් රැසින් පොළව මත ඇඳෙන දිගු සෙවැනලිවලින් මහජන පුස්තකාල භූමියේ හරිත පලස තැන තැන අඳුරු වී ඇත. අප ආකල්පමය වශයෙන් තවමත් අඳුරු කුටිවල ජීවත්වන මිනිසුන් බව සිතෙන්නේ මෙවැනි අත්දැකීමක් ලබන විටය.


Comments