ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැඟීමට මනා පිටිවහලක් | සිළුමිණ

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැඟීමට මනා පිටිවහලක්

පානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය යථාවත් කරගනු ලබන්නේ කෙසේද, ආර්ථිකමය වශයෙන් ඉදිරියට යායුත්තේ කෙසේද යන කාරණාව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය යුතුය. ජපානය සමඟ ඇති මිතුදම පසුගිය කාලයේ යම් පළුදු වීමක් සිදු වූයේ නම් එය යළි අලුත් වීමක් මේ සංචාරයේදි සිදු විය. ඒ හරහා අපට ලැබෙන ප්‍රතිලාභ කවරේද යන්න වඩා වැදගත් වෙයි. මෙහිදී වැදගත් වන්නේ ජපානය යම් රටකට ආධාරයක් හෝ තාක්ෂණයක් ලබා දෙන්නේ නම් ඒ ජපානයේම තාක්ෂණයයි. 

වත්මන් ජනාධිපතිවරයා නිවැරැදි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඔවුන් වටහා ගෙන ඇත. ඒ අවබෝධය ඉතා පැහැදිලි තැනකට පැමිණ ඇති බවට සාක්ෂි සපයමින් මෙවර සංචාරය ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. ජපන් අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරුන් සියලු දෙනා හා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් එය පැහැදිලි වෙයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමේ සංඥාව ලබා දී ඇත. ඒ නිසා අපිට ජපානය සමඟ ඉතා හොඳින් වැඩ කිරීමට හැකි වෙයි. අපිට ජපානය ඉවත් කර ගමනක් යා නොහැකියි. ජපානය අපිට ලබා දී ඇති ණය ආධාරය, අඩු පොලිය මෙන්ම එහි ප්‍රතිලාභ ලබාගෙන කොටසක් ගෙවීමට කාලයක් ලබාදී ඇත. එසේම නියමිත ප්‍රතිලාභ ඉලක්කවලට පමණක් ගලා යාම සුවිශේෂ කරුණකි.

තුන්වැනි ලෝකයේ රටවල ලොකුම ප්‍රශ්නයක් වන්නේ ලැබෙන ණය ආධාර නියමිත පරමාර්ථවලට නොපැමිණීමයි. ජපාන ණය ආධාරය ලබා දීමේදී ඔවුන් ඒ සඳහා වගබලා ගනියි. ජපානය කිසිදු රටකට අවහිර බාධා කරන රටක් හෝ ද්විතීක පරමාර්ථයක් ඇතිව ගනුදෙනු කරන රටක් නොවෙයි.

නිරායාසයෙන්ම ජපානයෙන් විශාල සැලකීමක් ලංකාවට ඇත. ඒ නිසා ජපානය සමඟ අපි සමීපව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යය. උදාහරණයක් ලෙස ගත් විට ජපානය අපිට යම්කිසි ව්‍යාපෘතියකට ණය ආධාර සපන්නේ ඒ ව්‍යාපෘතිය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි. එය ආර්ථිකමය වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් නම්, ඒ ව්‍යාපෘතිය ඉදිරිපත් කරන රටේ ව්‍යාපෘති යෝජනාව 100% ජපානය පිළිනොගනී. ඔවුන් එය තමන්ගේ විශේෂඥ දැනුමත් සමඟ පිරික්සයි. එයින් පසුව ඔවුන්ට අවශ්‍ය නම් ව්‍යාපෘතිය වෙනස් කිරීමක් කරයි. ජපානය සමඟ කටයුතු කිරිමට බිය විය යුතු නැත. ලෝකයේ කිසිදු රටක් ජපානය සමඟ කටයුතු කර අවදානමකට ලක් වී නැත.

ජපානය සමඟ වැඩ කළහොත් නිසැක ප්‍රතිලාභ අත්වෙයි. ජනාධිපතිවරයා විදේශ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් ඒ සඳහා නීත්‍යනුකූලභාවයක් ලබා දීමටත් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමට කටයුතු කර ඇත. එමඟින් ද්විපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට හේතු විය හැකියි. අපේ රට වෙනස් වීමට උත්සාහ කිරීමේ අභ්‍යන්තරය කුමක්ද, එය ආර්ථිකයේ දියුණුව ද, නැතිනම් පොදු මහජනතාවගේ සුබසාධනය ද එසේ නැතිනම් වෙන දෙයක් ද යන්න සලකා බැලෙයි. ඔවුන්ගේ සමුළුවට පවා ආමන්ත්‍රණය කිරීමට ජනාධිපතිවරයාට අවසර ලැබීම අප ලද භාග්‍යයකි.

ලංකාව හා ජපානය අතර ඇත්තේ දිගු මිතුදමකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය සුන්නද්ධූලි වී ගිය පසු තවදුරටත් සම්බාධක පනවා ජපානයට දඬුවමක් දෙන්න අවශ්‍ය බව අනෙකුත් රටවල් පැවසූ අවස්ථාවේදී ජපානය වෙනුවෙන් පෙනී සිටියේ එවකට මුදල් අමාත්‍යවරයා ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයායි. එදා ඔහුගේ කතාව මුළු සමුළුවම පිළිගත්හ. ලෝකයේ සාමය ස්ථාපිත වී ඇති ජපානයටත් සාමය ඉගැන්නුවේ අපේ රට බව ඉතිහාස ගතවන කරුණකි.

රටක් වශයෙන් ආර්ථිකමය බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ පසුව ජපානය ඉදිරිපත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි සභාපතිත්වය සඳහාය. ජපානය අපිට ලබා දී ඇති ණය වුවත් ඒවා අධාර වශයෙන් ගැනීමට හැකියි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජපාන අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලීය. මේ සැහැල්ලු දුම්රිය ආයෝජනයටම ඩොලර් බිලියන 2කට ආසන්න වෙයි. ආපසු ගෙවීමට වුවත් එහි සහනධාර කොන්දේසිය 25% වඩා වැඩියි. එය ණයක් වුවත් ආධාරයක් ලෙස ගණනය කිරීමට හැකිවන්නේ එය 0.5 පොලියට 15 වසරකයට පසුව ගෙවීමටත් ආරම්භ කර වසර 25 පුරා ගෙවීමට හැකිවන දැවැන්ත ව්‍යාපෘතියක් වන හෙයිනි. එහි ඇති වැදගත් කරුණක් වන්නේ ජපන් ආයෝජන රටකට පැමිණීම ලෝකයේම අවධානයට ලක්වීමයි. ජපන් ආයෝජන රටකට එන්නේ පොකුරක් ලෙසය. එය ආර්ථිකයට සම්පත් ගෙන දෙන දැවැන්ත ආයෝජන ගණනාවකි.

යම් විදෙස් ව්‍යාපෘතියක් මෙරටට ලැබේ නම් ඒ ව්‍යාපෘතිය දෙපාර්ශ්වයම එකඟතාවකින් තොරව අවලංගු කිරීමට නොහැකි වන ලෙස නීතිමය ප්‍රතිපාදන සකස් කරන බවට ජනාධිපතිවරයා ජපානයට පොරොන්දු විය. ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතත් ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි. ආයෝජනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට, දේශපාලන චින්තනය ඉවත් කිරීමට, එහි ප්‍රතිඵල ඒ රටට නියමාකාර­‍ෙයන් ලබා ගැනීමෙන් රටට ස්වාධීනත්වය ඇති කිරීමට හැකි වෙයි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නැවත ලබා දෙයිද යන කරුණ වැදගත් වෙයි. සැහැල්ලු දුම්රියේ විශාල වටිනාකමක් ඇත. එය තදාසන්න ප්‍රදේශවලට විකල්ප මාර්ගයකි. මෙවැනි යටිතල පහසුකම් සංවර්ධන අපේ රටට අත්‍යවශ්‍ය වෙති.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කර වැඩි දියුණු කරගත යුතුයි. අපේ ආර්ථිකයේ බොහෝ තැන් නිවැරැදි කරමින් යන බවට පැහැදිලි පිටිවහලක් ඉන් හිමි වෙයි. ලෝකයේ උද්ධමනය අතින් වැඩිම රටවල් අතරට ලංකාව පැමිණ තිබුණි. ආර්ථිකමය ගැටලු සමඟ රැකියා විරහිතභාවය දේශීය කෘෂිකර්මාන්තය වැනි ගැටලුවලට මෙයින් යම් විසඳුමක් ලැබෙයි. අපේ රටේ ආර්ථිකමය ගැටලුකාරී තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි.

අපි කැමැති වුවත් නැතත් ණය ප්‍රතිව්‍යුහත කිරීමේදි ජපානයේ උපදෙස් අපිට ඉවත දැමීමට නොහැකි වෙයි. අපේ රටේ මුළු ආදායමෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන කිහිපක් නඩත්තු කිරීමට වෙන්වෙයි. ඒවා ලාභ ලබන තත්ත්වයට වහා වෙනස් විය යුතුයි. මන්ද මේ ආයතන නඩත්තුව වෙන්නේ ජනතා මුදලිනි.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යනු එක්තරා ලෙසකින් වැරැදි නිවැරැදි කිරීමකි. ප්‍රතිව්‍යුහගතකරණය නොකර ඩොලර් සංචිත ප්‍රමාණයක් ණය ආධාර වශයෙන් ලබාගෙන අපේ රටේ පවතින හිඟය පියවා සුපුරුදු දේම කරන්නේ නම් මේ රට මිට වඩා අගාධයකට යෑමක් සිදු වෙයි. ණය මත දුවන ණය කන්දක් බවට පත් වෙයි. ඒනිසා වැදගත් වෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණයයි.

අපි ආයෝජන පෙළ ගැසිය යුතුයි. ආයෝජන නැවත ගෙවීමට සිදු වෙයි. ඒ ගෙවීමේදී ආයෝජන ප්‍රතිලාභවලින් ගෙවීමට වගබලාගත යුතුයි. ඒ නිසා ආයෝජනවල ප්‍රමුඛතාවක් තිබිය යුතුයි. ජපානයේ වුවත් දේශීය ණය ලබා ගැනීම් සිදුවෙයි. මේ සංචාරයේදී ව්‍යවසායකයන්ගේ වට මේසයක් ජනාධිපතිතුමාට සකස් කර තිබීම ලොකු ගෞරවයකි. ටෝකියෝ නුවර පැවැති එය අතිශයින්ම වැදගත් වූ අතර, විශාල ප්‍රසිද්ධියක් එතුමාට ලැබුණි.

ජපන් ව්‍යවසායකයන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරිමට හැකි විය.

ජනාධිපතිතුමා ලංකාවට පැමිණ. ආයෝජනය කරන ලෙස ඉල්ලීමක් කළේය. ජපන් ආයෝජනවල වටිනාකම ජනාධිපතිවරයා ඉතා හොඳින් දන්නා කරුණකි. එ් නිසා අපි ප්‍රතිපත්ති රාමුවක් ඇතුළත් වුණත් ජපන් ව්‍යවසායකයන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි නම් එය අපිට ලොකු වටිනාකමකි. දකුණු ආසියාවේ විවෘතම රට ලංකාවයි. මෙය විවෘත රට බවට පත් කළේ 1977 වසරයි. අපි ප්‍රාග්ධන ගිණුම පමණක් විවෘත කර නැත. වෙළෙඳ ගිණුම ඇතුළු අපේ ප්‍රධාන ගිණුම් විවෘත කර තිබෙයි. 

අපි ඓතිහාසිකව කොටස් වශයෙන් හෝ මුළුමනින්ම යටත් කරගත් රටක් වෙයි. අපේ රටේ වටිනාකමක් නැතිනම් වසර 500ක් මේ රට යටත් කරගෙන ප්‍රතිලාභ ලබා ගැනීමට විදේශිකයෝ කටයුතු නොකරති. මෙහි වටිනාකම වෙළෙඳාම පමණක් නොවෙයි. ආසියාවේ වෙළෙඳ මාර්ගය සම්බන්ධයෙන් නැතුවම බැරි රටක් බවට ලංකාව සපථ කර අවසානයි. එහි භාවිතයේ අඩුවක් පසුකාලීනව විය. ඒවා සමඟ සලකා බැලීමේදි ගෝලීය ආර්ථීකයේ පිබිඳීමක් සිදු විය. ආසියාව තුළ දැවන්ත විපර්යාසයක් විය. චිනය යම් තරමක් වෙළඳ පොළ විවෘත කිරීමට කටයුතු කළේ සොවියට් දේශය කඩා වැටුණාට පසුවය. නමුත් සෝවියට් දේශය කඩා වැටුණු පසුව චිනය පසෙකට වී ගුළිවී නොසිටි බව පැහැදිලිය. හැකි පමණින් ව්‍යවසායකත්වයකට පණ පෙවීම ආරම්භ කරන ලදි. ලෝකයේ ප්‍රබල ආර්ථිකමය ශක්තිමත් රටවල් පහ දහය ඇතුළට අපේ ආසියාතික රටවල් පැමිණිම ලංකාව අමතක කර යා හැකි මොඩලයක් නොවෙයි. අප ඉදිරියේ ව්‍යාවසායකයන් සහ සංවර්ධන ව්‍යාපෘති සමඟ ඩිජිටල් ආර්ථිකයකට පැමිණීම ඉදිරියේදි සිදු වෙයි. ඒ දොරටුවෙන් ඇතුළු වීමට අප සූදානම් විය යුතුයි. මේ අවස්ථාවේ එවැනි ආර්ථිකයට ගොඩ ඒමට අවශ්‍ය කරන පසුබිම ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ සකස් කර ගත යුතුයි.

රට ගොඩනැඟීමේ දී මේ ජපාන මැදිහත් වීම ඉතා වැදගත් වෙයි. ජපානය මැදිහත් වුවාට පසුව ඔවුන්ගේ තාක්ෂණය අපට ලබා දෙයි. ණය ලබා දීමේදී හොඳ අධ්‍යයනයකින් පසු ව එය සිදු කරයි. මේ ක්‍රමවේදය හොඳින් අනුගමනය කළ යුතුයි. එසේ වුවහොත් අපිට ජපානය වැනි රටක් විය හැකියි. අපිට ඇති ස්වභාවික සම්පත් මානව සම්පත් සාගරය නිසාම ජපානයට වඩා දියුණු වන රටක් බවට පත්විය හැකිය. පටු කෙටි මාර්ග ඔස්සේ යනවාට වඩා දිගුකාලීන සැලසුම් සමඟ ගමන් කරන ජපානය සමඟ වැඩ කළහොත් අපිට කිසිදු දිනක යළි වැර­ැදීමක් සිදු නොවනු ඇත.

Comments