රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලැබූ නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේලා | Page 2 | සිළුමිණ

රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලැබූ නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේලා

නීලගිරි සංරක්ෂණය කිරීම ඇරැඹීමෙන් පසුව

නුරාධපුරයේ බොහෝ දාගැබ් පිහිටා ඇත්තේ එකිනෙකට නුදුරෙනි. එහෙත් පොලොන්නරුවේ දාගැබ් ඇතුළු පූජනීය ස්ථාන පිහිටා ඇත්තේ සැලකිය යුතු දුරකින් යුක්තවය. අම්පාරේ ද එවැනිම බෞද්ධ පූජනීයත්වයට පාත්‍ර වූ පුදබිම් දක්නට තිබේ. ඒ අම්පාර බුද්ධංගල හා දීඝවාපියත්, පොතුවිල් මුහුදු මහා විහාරය හා පානමට වන්නට පිහිටා ඇති කුඩුම්බිගලත් ලාහුගල පිහිටා ඇති මඟුල් මහා විහාරය හා නීලගිරි සෑයත් ප්‍රධාන වේ. අනුරාධපුරයට වඩා දුරින් පොළොන්නරුවේ දාගැබ් ඇතුළු පූජනීය පෙදෙස්ද ඊටත් වඩා එකිනෙකට දුරින් අම්පාර දිස්ත්‍රික්කයේ මේ පුදබිම්ද පිහිටා තිබේ. ඒ අතුරින් මේ වන විට නීලගිරි සෑය හැරෙන්නට අනෙක් සියලු ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණයන්ට පූර්ණ වශයෙන්ම නතුව තිබේ. නීලගිරි සෑයේද පුරාවිද්‍යා කටයුතු ආරම්භ කර දශක කිහිපයකි.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ඒ. එම්. සෝකාට් විසින් පළමුවරට 1928 දී මේ දාගැබ ගවේෂණය කළේය. දීර්ඝ කාලයක් වරින් වර දාගැබේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු සිදු කළ අතරත් 1979 වසරේදී පසුව 1983 වසරේදීත් එහි කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කළ ද ත්‍රස්තවාදී තර්ජන එල්ලවීමත් සමඟ සියලු කැණීම් හා සංරක්ෂණ කටයුතු ඇන හිටියේය.  

බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ යුද්ධය අවසන් වීමෙන් පසු යළිත් එහි කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ විය.

විශේෂයෙන්ම වර්ෂ 2011 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් නීලගිරි පුරාවිද්‍යා ගවේෂණයක් කළහ.

මහාචාර්ය සෝමදේවගේ ගවේෂණයෙන් පසු 2012 දී නැවත නීලගිරි දාගැබේ විධිමත් පුරාවිද්‍යා කැණීම් ආරම්භ කෙරුණි. එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් මත එම කැණීම් සිදුවිය. එහිදී හෙළි වූ කරුණක් වූයේ හත්වන සියවසේදී දාගැබ විශාල කිරීමට කළ ප්‍රතිසංස්කරණයේදී එක්කළ ගඩොල් කංචුකයක් පසුව කඩාවැටී ඇති බවයි. පුරාවිද්‍යා කැණීම් ඇරඹුණේ කඩාවැටුණු ගඩොල් කන්ද අතරිනි.

එම කැණීම තුළින් ලෝහ කරඬු, පළිඟු කරඬු, ගල් කරඬු, මැටි කරඬු සහ වීදුරු කරඬු වශයෙන් හමු වී ඇත.

2011 වර්ෂයේදී සිදු කළ කැණීමෙන් දාගැබේ ගර්භයේ ගරාවැටුණු කොටස තුළ තිබී රන් කරඬුවක් හමු විය. එය ගල් කරඬුවක් තුළ මැටි කරඬුවක් ද, මැටි කරඬුවක් තුළ රන් කරඬුවක්ද එම රන් කරඬුව තුළ රන් මංජුසාවක් ද, එම මංජුසාව තුළ ධාතුන් වහන්සේ යැයි අනුමාන කළ හැකි කොටස් ද වශයෙන් හමු විය. රන් කරඬුව පතුලේ රේඛාමය වශයෙන් සටහන් කර තිබූ නෙළුම් මල් සංකේතය හේතුවෙන් එය සුවිශේෂි පූජනීය වස්තුවක් සේ සලකන ලදි.

තරමක් විශාල ප්‍රමාණයේ පාත්‍ර හැඩයේ මැටි බදුනක් තුළ තිරුවානා කැට ගල් තට්ටුවක් අතුරා ඒ මත පාත්‍ර හැඩයේ තවත් කුඩා මැටි බදුනක් තැන්පත් කර තිබුණි. රන් පැහැ ධාතු කරඬුව ඒ තුළ තිබී හමුවිය. කැණීම් මඟින් සොයා ගන්නා විට විශාල මැටි බඳුන සහ කුඩා මැටි බඳුන ස්තූප ගර්භයේ ගඩොල් අතරට හිරවී කැබලිවලට කැඩී තිබුණි. පාත්‍රය තුළින් කරඬුව මතුකරගත් අතර. එය උස සෙ.මි. 27වන කුඩා ප්‍රමාණයේ දාගැබක හැඩය ගනී. ගර්භය හා පාදම වශයෙන් කොටස් දෙකකින් සමන්විත මේ කරඬුව පාදම කොටසේ මධ්‍ය තුළ රන් පැහැති ඉතා අලංකාර කැටයමෙන් යුතු පියන සහිත මංජුසාවක් තැන්පත් කර තිබුණි. 

සොයාගත් ශෛලමය කරඬුව තුළ බහා තිබුණේ රන්පත්‍රවලින් කළ කරඬුවකි. එය අලංකාර කැටයමෙන් යුත් පියන සහිත මංජුසාවකි. එම මංජුසාව තුළ සිලින්ඩරාකාර හැඩයෙන් යුත් කුඩා ප්‍රමාණයේ රන් පැහැති කොපු තුනක් හමුවිය. ඒ කැණීම් සිදු කළ පුරාවිද්‍යා නිලධාරි සම්පත් ගරුසිංහයන්ටය. එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වු සෙනරත් දිසානායකයන්ගේ අධීක්ෂණයෙන් හා උපදෙස් මත එම රන් පැහැති කොපු වැඩිදුර විමර්ශනයට ලක් කෙරිණි. එයින් පසු එහි ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බව පසක් විය. ඊට අමතරව පළිඟු කරඬු 10ක් ද හමුවිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගත් මෙම ධාතුන් වහන්සේ සහිත කරඬුව ඊට පසු ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කරන ලදි.

2016 වසරේ සිට අඛණ්ඩව මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි. එහි සංරක්ෂණ කටයුතු සිදු කරද්දී මෙන්ම කැණීම් සිදු කරද්දී තවත් වටිනා පුරාවස්තු හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (කැණීම්) සමින්ද පෝරඹගේ පවසයි.

ඒ අනුව ප්‍රඥා පාරමිතා ලියූ ජේතවන රන්පත්ඉරු හා ස්වර්ණඵලක පිණ්ඩද හමු වූ බව ඔහු පෙන්වා දෙයි. දැවැන්ත වෘක්ෂ පවා වැවී අසලකටවත් යා නොහැකි ලෙසින් දාගැබ වල් වැදී ගරා වැටී තිබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අප්‍රතිහගත ධෛර්යය මත එහි සංරක්ෂණ කටයුතු වැඩි අවධානයකින් සිදු කෙරිණි.

ගරා වැටුණු එම දාගැබේ උස මීටර් 21කි. විෂ්කම්භය මීටර් 60.5කි.

සිදු කළ ගවේෂණයේදී හා කැණීම්වලදී සිරිපතුල් ගල්, භික්ෂු විනය කිරීම කළ පෝයගෙය, ගොඩනැඟිලි පාදම් රාශියක්, භික්ෂූන් වාසය කළ කුටිවල පාදම්ද හමු වී ඇත. දාගැබේ වාස්තු විද්‍යාත්මක විශේෂත්වය නම් ප්‍රාකාර බැම්ම මත ගොඩනැඟිලි දෙකක නටබුන් හමුවීමයි. 

නීලගිරි දාගැබ පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මොනරාගල සිට සියඹලාණ්ඩුව දක්වා ගමන් කර එතැනින් පොතුවිල් මාර්ගයේ ගොස් මහකළුගොල්ල හුළංනුගේද පසුකර ගිය විට ලාහුගල හමු වේ. ලාහුගල ප්‍රධාන මාර්ගයේ 10 කණුවෙන් හැරී කොන්ක්‍රීට් පාරේ කී.මී. 3ක් පමණ ගමන් කළ විට හැඩ ඔය හමුවේ. එය පසුකර මඳ දුරක් ගිය විට මේ පුරාවිද්‍යා බෞද්ධ පුදබිමට ළඟා විය හැකිය. නැඟෙනහිර පළාතේ දෙවැනි විශාලතම දාගැබයි. එය දෙවෙනි වන්නේ සොළොස්මස්ථානයන්ට අයත් දීඝවාපියට පමණි.

නීලගිරි සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලද තම දායකත්වය සපයා තිබේ.

අතීතයේ නීලගිරි අයත් භූමි ප්‍රදේශය රෝහණ රාජධානියේ ප්‍රධාන පුදබිමක් වන්නට ඇතැයි සැලකේ.

නීලගිරි කැණීම් සිදු කෙරීමේදී ස්තූප මළුවේ තිබී ඡත්‍ර 10කට ආසන්න ප්‍රමාණයක් ද ඡත්‍ර දණ්ඩ 2ක්ද, සූපගලක්ද හමුවී තිබේ. සිරිපතුල් ගල් 44ක් හා ආසන ගල් 15ක්ද මේ වටා තිබී මතු විය. ඉදිකිරීම් සාධක අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි කළ දාගැබක් බව හෙළිවී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද කැණීම් මඟින් ගරා වැටී තිබූ පස් හා ගඩොල් අතර තිබී රන් කරඬු 39ක්, පළිඟු කරඬු 245ක්, වීදුරු කරඬු 12ක් හා රිදී කරඬු 4ක් වශයෙන් ධාතු කරඬු 300ක් ලැබී ඇත. මෙරට ස්තූප කැණීමකින් හමුවූ වැඩිම කරඬු සංඛ්‍යාව මෙය වේ.

මෙම සියලුම කරඬු ධාතුන් වහන්සේ තැන්පත් කිරීම උදෙසා නිර්මාණය කර ඇති බව එම නිර්මාණ ලක්ෂණවලින් තහවුරු වේ. ධාතු කරඬු බොහොමයක් හමුවන අවස්ථාව වනවිටත් ගරාවැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් විවෘත වී ඒවාහි තිබූ ධාතූන් කොටස් අස්ථානගතව පැවැතිණ. ඒ අතරින් ආරක්ෂිතව පැවැති කරඬු කිහිපයක පමණක් ධාතුන් කොටස් ආරක්ෂා වී තිබේ. මෙම ධාතූන් කොටස් කරඬු තුළ තැන්පත් කිරීමේදී ඒ සඳහා විශේෂ ආවරණයක් නිර්මාණය කර ඇත. එනම් ධාතු බහාලීම සඳහා ධාතු මංජුසා නිර්මාණය කර තිබේ. විවිධාකාර හැඩයෙන් නිර්මාණය කර ඇති මෙම ධාතු මංජුසාවන් නිර්මාණයට අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ඇත්තේ රන් හා රිදී ලෝහයන් හා පාෂාණය. මෙම ධාතු මංජුසා අතර පෙට්ටි හැඩයේ මංජුසා 7ක්, සිරිපතුල හැඩයේ මංජුසා 3ක්, සුර වර්ගයේ මංජුසා 10ක්, අර්ධ ගෝලාකාර පියන් සහිත මංජුසා 4ක්, පාෂාණමය මංජුසාවක් හා පත්‍ර එතීම් 1ක් වශයෙන් වර්ග 28ක් දක්නට ලැබේ.

මෙම ධාතු මංජුසා 28 අතරින් විශේෂී මංජුසා 4ක් හඳුනාගත හැකිය. ඉන් ත්‍රිත්වයක් සිරිපතුල හැඩයට නිර්මාණය කර ඇති අතර අනෙක් මංජුසාව හතරැස් පෙට්ටියක් ආකාරයෙන් නිමවා එහි පියන මධ්‍යයේ සිරිපතුල ලාංඡනයක් කොටා ඇත.

නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීම් කටයුතු මගින් විශාල සිරිපතුල් එකතුවක් සොයා ගැනීමට හැකිවූ අතර මේවා දාගැබ් සලපතළ මළුවෙහි පේසා වළලුවලට ඉතා ආසන්නයේ ඒ වටා තැන්පත් කර තිබී ඇත. පේසා වළලු මත තැන්පත් කර ඇති සිරිපතුල් ගල් කිහිපයක්ද මේ අතර තිබිණි. සිරිපතුල් ගල් විකාශනයේ ප්‍රාථමික අවධියේ සිට දියුණු අවස්ථාව දක්වා විවිධ ප්‍රමාණයෙන් සහ කැටයමෙන් අලංකාර සිරිපතුල් ගල් 43 කැණීම් මඟින් සොයා ගන්නා ලදි. දාගැබ් ගරාවැටුණු අවධියේදී එම ගඩොල් කැබලි සිරිපතුල් ගල් මතට ඇද වැටීමෙන් සිරිපතුල් ගල් කිහිපයක්ම කැබලිවලට කැඩී තිබී හමු විය. 

ඊට අමතරව කැණීම් කටයුතු මඟින් දාගැබ වටා සලපතළ මළුවේ තැන්පත් කර තිබූ ආසන ගල් විශාල සංඛ්‍යාවක්ද සොයා ගෙන ඇත. සලපතල මළුවේ තැන්පත් කර තිබු සිරිපතුල් ගල්වලට සමගාමීව ඒවා අතරට වන්නට මෙම ආසන ගල් ද තැන්පත් කර තිබූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෝල්ඩින් තීරු සහිත මෙවැනි චතුරස්‍රාකාර ගල් පුවරු 16ක් මේ වන විට සිදු කර ඇති කැණීම් මඟින් සොයා ගෙන තිබේ. ක්‍රි.පු. යුගයේ සිටම බුද්ධ වන්දනාව සඳහා මෙම ප්‍රදේශවල ජීවත්වූ බෞද්ධ වැසියන් විවිධ බෞද්ධ සංකේත භාවිත කරන්නට ඇති බවට ඉතා පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක ලෙස මේවා ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව සලපතළ මළුව මත ගඩොල්මය වේදිකාවක් ඉදි කර ඒ මත මෙම මල් ආසනය තබා ඇත. දාගැබ් නටබුන්ව පැවති කාලයේදී මෙම මල් ආසනය ද ඒ සමඟ පෙරළී කොටස් දෙකකට කැඩී ඇති අතර 1970 දශකයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙම ස්ථානයේ සිදු කර ඇති සංරක්ෂණ කටයුතුවලදී පැරණි සාධක සැලකිල්ලට ගෙන නැවත එම ස්ථානයේම ස්ථාපිත කර ඇත. 

දාගැබේ සිට කී.මී. 3ක් නුදුරින් නීලගිරි කන්දේ ලෙන් සංකීර්ණයක් හඳුනා ගෙන තිබේ. එක් ලෙනක පැරණි සිතුවම් කොටස්ද ඇත. මේ විහාරය භාතිකාභය තිස්ස (ක්‍රි.පූ. 1 සියවස) රජුගේ කාලයේ ද පැවතුණු බවට සාක්ෂි තිබේ. ඔහුගේ බිසව වූ චූලසීවලී දේවිය විසින් නීලගිරි සෑයට (උත්තර සීවලී පබ්බත විහාරයේ) කළ පූජාවක් ගැන සඳහන් සෙල්ලිපියක් නුදුරින් හමුවී ඇත.

ක්‍රි.ව. 276-302 සමයේ විසූ මහසෙන් රජුගේ දවස “කුලබරිය” මහා විහාරයේ පැවැති අරියවංශ සූත්‍ර දේශනාවකට වැය කිරීමට අවශ්‍ය වුණු කහවණු පූජා කිරීමක් ගැන නීලගිරි සෑ කැණීමේ කටයුතුවලින් හෙළිදරව් වී තිබේ. එසේම කූටකණ්ණ තිස්ස රජුගේ පුත් උපරාජ භාතික තිස්ස රජුගේ දියණි, මහා රාජිනි චූල සීවලි බිසව, උත්තර සීවලි පර්වත විහාරයට පූජාවක් කළ බවත් හෙළි වී ඇත. දෙවැනි ජෙට්ඨ තිස්ස රජුගේ (ක්‍රි.ව. 300-339) රාජ්‍ය පාලන කාලයේදී භික්ෂුන් වහන්සේලාට පූජාවක් සිදුකළ බවක් ද හෙළි වී ඇත.

ක්‍රිස්තු පූර්ව අවධියේ මහාදාඨික මහානාග රජු විසින් නීලගිරි සෑය ඉදිකරන්ට ඇතැයි අනුමාන කරන අතර නීලගිරි සෑය විශාල කරමින් ක්‍රි.ව. 1, 2 කාලයේදී කංචුකයක් නිර්මාණය කර ඇත. පසුව එම කංචුකය දිරාපත්වී ගරාවැටී තිබේ. කංචුකය නිර්මාණය කිරීමේදී එයට දායක වූ පිරිසට ස්තූපය අභ්‍යන්තරයේ එනම් මධ්‍යයේ ධාතු කරඬු තැන්පත් කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ඒ ස්තූප ගර්භ අභ්‍යන්තරයේ පූජ්‍ය වස්තු තැන්පත් කිරීමට නම් ගර්භය සිදුරු කරගෙන ස්තූපයේ මධ්‍යයට පිවිසීමට සිදුවීම නිසාය. එම නිසා කංචුකයේ තැනින් තැන කුඩා කුටි නිර්මාණය කර ඒවා තුළ පූජ්‍ය වස්තු තැන්පත් කළ බව අනුමාන කළ හැකිය. ඒ අනුව ධාතුන් සහිත කරඬු හා වෙනත් පූජ්‍යය වස්තු මැටි හා ශිලාමය බදුන් තුළ තැන්පත් කර එම බදුන් කංචුකයේ නිර්මාණය කරන ලද කුටිවල තබා එම කුටිය වැසෙන පරිදි ඉහළින් ගල් පුවරුවක් යොදා ඇත.

රෝහණ රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව රාජ අනුග්‍රහය නොමැති වීම හා ප්‍රදේශය ජන ශුණ්‍යවීම නිසා මෙම ස්තූපය වල් බිහිවී ගරා වැටීමට ලක්ව ඇත.

කෙසේ වුවත් මේ වන විට නීලගිරි සංරක්ෂණය සිදු කෙරෙන අතර එහි තිබූ ධාතුවහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව රාජ්‍ය අනුග්‍රහය ඇති ස්ථානවලට පමණක් එම ධාතූන් වහන්සේ වැඩම කරවති.

නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේ එළැඹෙන පොසොන් පුන් පොහෝ දින එනම් 3 වෙනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිට රාජ්‍ය ගෞරව හා ආරක්ෂාව යටතේ හෝමාගම දක්වා වඩමවනු ලැබේ. එතැන් සිට ධර්ම රශ්මි කලාපය දක්වා දළදා මාලිගාවේ හස්තියකු මතින් පොසොන් කලාපය දක්වා වැඩමවනු ලැබේ. මේ කාර්යයේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ය. ඒ සඳහා සහාය ලබා දෙනු ලබන්නේ ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකයන්ය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංගයන්ගේ අධීක්ෂණයෙන් මේ සියලු කටයුතු සිදු කෙරේ. ජූනි මස 5 වෙනිදා දක්වා නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේ පොසොන් කලාපයේ වැඩසිටිනු ලැබේ. මහජන වන්දනාවට තෙදිනක් පාත්‍ර වීමෙන් පසුව 5 වෙනිදා යළිත් ආරක්ෂිතව හා ගෞරවාන්විතය එය වඩමවනු ලබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (කැණීම්) සමින්ද පෝරඹගේ සිළුමිණට කීය.

Comments