එදා මහ ගංවතුරේ කිලෝමීටර් ගාණක් ඔසවාගෙන ගිය ගැබිනි බිරිය මෙදා දරුවාත් සැමියාත් දමා ගිහින් | සිළුමිණ

එදා මහ ගංවතුරේ කිලෝමීටර් ගාණක් ඔසවාගෙන ගිය ගැබිනි බිරිය මෙදා දරුවාත් සැමියාත් දමා ගිහින්

ගාල්ල නෙළුව හිනිඳුම කොඩිකන්ද වත්ත තේවතුයාය පහළින් එක් පසකින් ගලා යන වලවේ ගඟත් අනෙක් පසින් තෙරක් නොපෙනෙන තේ වතු යායත් පෙනෙයි. ඒ මනරම් දර්ශනය ඈතින් සිට විඳින්නෙකුට මනස්කාන්ත වුව ද වතු යායේ ඉහත්ත කුඩා පැල්පත්වල ජීවත් වන මිනිසුන්ගේ ජීවිත එතරම් සොඳුරු නැත. කොඩිකන්ද වත්තේ පැලක ජීවත් වූ එස්. සුරේෂ් කුමාර නම් වන සැබෑ පියෙකුගේ කතාව පිළිබඳව අපි මින් පෙර අසා ඇත්තෙමු. පියෙක් කියන්නෙම මහමෙර තරම් බර ඉවසන්නෙකි. විඳි දුක් නොපෙනෙන්නට සඟවන්නෙකි. සුරේෂ් කුමාර එවැන්නෙකි. මේ දයාබර පිය සෙනෙහස ගැන පුවත දිග හැරෙන්නේ මීට වසර දෙකකට පෙරය. එය එදා සමාජ මාධ්‍ය උණුසුම් කළේය.“ගැබ්බර බිරිය කර තියන් ගංවතුර මැද්දේ කිලෝමීටර් 22ක් පයින්ම ගිය සැමියකුගේ කතාව" ලෙසින් එය රට පුරා මොහොතකින් ප්‍රචාරය විය. එදා වලවේ ගඟ දොගොඩ තලා ගලායන වතුරේ බැස බිරිය ඔසවාගෙන ඉසිඹුවක් නොමැතිව ගිය ඒ නොනිමි සෙනෙහසේ මහිම ගැන බොහෝ දෙනා කතා කරන්නට විය.

එහෙත් පසුගිය සතියේ අපට මේ ආදර කතාව ගැන අසන්නට ලැබුණේ හදකම්පාවට පත් වන පුවතකි. එනම් ‘ගැබ්බර බිරිය කරේ තියාගෙන කිලෝ මීටර් 22ක් පයින් ගිය සැමියාව බිරිය විසින් අත්හැර යයි”. යනුවෙනි. මේ පුවතේ පසුබිම කතාව සහ මේ විසල් සෙනෙහසේ කථානායකයා එස්. සුරේෂ් කුමාර් ( 31) අපට මුණගැසුණේ හරියටම 2021 ජුනි මාසයේ 4වැනිදා ය. එවකට සුරේෂ්ගේ බිරිය සත් මස් ගැබිනියකි. සිය බිරිය කුසේ වේදනාවකින් පෙළෙන බව දැනගත් වහාම ඔහු එය පවුල් සෞඛ්‍ය සේවිකාවට සැල කළේය. ඇගේ උපදෙස් අනුව බිරිය වහා රෝහලට ගෙන යා යුතුය.එදින වැසි දිනයකි. වලවේ ගඟ දෙගොඩ තලා ගලන්නට විය. සුරේෂ් හිතට වීරිය ගත්තේය. මොරසූරන වැස්ස තුට්ටුවකට මායිම් නොකර බිරිය චාන්දනී සිය දෑතින් ඔසවා ගත්තේය. කොඩිකන්ද වත්තේ සිට හිනිදුම දක්වා මහමඟ දණක් වතුරින් යට වි තිබිණි.

ඔහු කුස තුළ සිටින දරුවාත් තම බිරියත් විශ්වාසයෙන් සිය දෑතට ගෙන උඩුගම රෝහල කරා පයින් ම ගියේය. එය අති දුෂ්කර ගමනක් වුව ද ඇය හෝ ඇගේ කුසේ සිටින දරුවාගේ බර ඔහුට නොදැණේය. “එදා එයා ඔසවාගෙන ගිය බර මට දැනුණේ නැහැ. මම ගියේ සමාජ මාධ්‍යවලට පේන්න නෙවෙයි. මගේ දරුවා බේර ගන්න. ඒත් මහත්තයෙක් මම එයාව උස්ස ගෙන යනවා දැකලා ඒක ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඉන්පස්සේ අපිට හුඟක් අය කතා කළා. මිනිස්සු අපිට හුඟක් උදව් උපකාර කළා. ගෙදර එක්කෙනා සල්ලි අතට ලැබුණාට පස්සේ වෙනස් වුණා. හැමෝම දුන්න තෑගි මුදල් ටිකත් අරගෙන එයා වෙන කෙනෙක් එක්ක ගියා. සුරේෂ් හඬමින් කීවේය.

“එයා ටික ටික වෙනස් වුණේ සල්ලි හම්බ වුණ නිසා. දරුවව ගණන් ගත්තේ නැහැ. කිරි දෙන්නවත් එයාට උනන්දුවක් තිබුණේ නැහැ. අපි ජීවත් වුණේ හිනිඳුම කොඩිකන්ද වත්තේ. එයා මාව දාලා ගියාම මම ඒ ගෙදරින් අයින් වෙලා දරුවත් අරන් හලාවත අක්කර 35ක වත්තක් බලාගන්න ගියා. ඒ වත්තේ පොඩි ගෙදර දැන් මම දුවත් එක්ක ඉන්නේ. දරුවා එක්ක රස්සාවක් කර ගන්න බැරිව මම හුඟක් දුක් වින්දා. ඒත් මම දරුවට කොහොම හරි කන්න දුන්නා. සුරේෂ් කුමාර කීවේය.

මේ කොඩිකන්ද වත්තේ ජීවත් වූ සුරේෂ් කුමාරත් චාන්දනීත් එක් වහලක් යටටවී මාස 08ක් ගෙවී ගිය තැන ඇය ගැබ්බර විය. එවකට සුරේෂ් කුමාර 28 වැනි වියෙහි වන අතර, චාන්දනීට වයස අවුරුදු 25 ක් විය. ඔවුහු කුස තුළ සිටින දරු පැටියාගේ කිරි සිනහ දකින්නට පෙරුම් පිරුවෝය. එහෙත් ඒ සිඟිති දියණියට මාස නවයක් ගත වූ තැන චාන්දනී සුරේෂ් සහ දියණිය අතහැර දමා ගියාය. ඇය නිවෙසින් ගියදා පටන් කොඩිකන්දේ ගෙපැල අතහැරදමා ඔහු සිය බිරිය ඇස ගැටෙන මානයක් සොයමින් සිඟිති දියණියත් සමඟ ඉබාගාතයේ ඇවිදින්නට විය. ඔහු නොයෙක් ගැහැට මැද සිය සිඟිති දියණිය රැක බලා ගත්තේය. ඔහු මිහිදන් වූ අතීතය පිළිබඳව තවමත් කඳුළු සලන්නේය “මම තාම එයාට ආදරෙයි. එයා හැර වෙන ලෝකයක් නැතුව මම හිටියේ. ඒත් එයාගෙයි මගෙයි දුව ගැන හිතලා මම ජීවත් වෙනවා. ඔහුගේ විඩාබර නෙත බොහෝ දේ පවසයි.

ඔහු එදා හත්මසක් ගත වී තිබූ චාන්දනීගේ දරු ගැබ නිසා ඇයට ගංවතුරේ ඇවිද යාමට නොහැකි වූ හෙයින් ඇය ඔසවාගෙන උඩුගම රෝහල දක්වා පයින්ම ගිය ඒ දුෂ්කර ගමන සිහිපත් කළේය.

“අපේ කුලී නිවෙස තිබුණේ හිනිඳුම, වලවේ ගඟ කිට්ටුව කොඩිකන්ද වත්තේ. එදා මහ වැස්ස වැහැලා හතර වටේම යටවෙද්දි අපි හුඟාක් අසරණ වුණා. මගේ දරුවා ගැන. එයා බඩ රිදෙනවා කිව්වා මම බය වුණා. මොනවා කරන්න ද? යන්න වාහනයක් නැහැ; පාරට වතුර දාලා. මිඩ් වයිෆ් නෝනා කිව්වෙ චාන්දනීව පැය 5ක් ඇතුළත ඉක්මනින්ම රෝහලකට අරගෙන යන්න කියලයි. ඉතින් මම හිතුවේ ඒක ගැන ම විතරයි. කිලෝමීටර් 22ක් ඇතුළත වරින්වර මම එයාව උස්සගෙන ගංවතුරේ බැහැලා ආවෙත් ඒ හින්දමයි.

කොවිඩ් තදින්ම පැතිරුණු නිසා රටේ පවතින සෞඛ්‍ය නීති හේතුවෙන් රැකියාවට යෑමට නොහැකි නිසාත් සුරේෂ් කුමාරත් එදා තමන් වාසය කරන කුලී නිවසේ රැඳී සිටියේය. දිනය 2021 ජුනි 04 වැනිදාය. ගැබිනියක වූ චාන්දනීගේ හැසිරීමේ වෙනසක් දුටු සුරේෂ් කුමාර පවුල් සෞඛ්‍ය සේවිකාවට මේ බව දැනුම් දුන්නේය. චාන්දනීගේ වහා රෝහල්ගත කරන ලෙස ඇගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව එදා ඇය රැගෙන හිනිඳුම රෝහලට ඔහු යෑමට පිටත් වුවද ඒ ගමන අති දුෂ්කර විය. වලවේ ගඟ පිටාරයමින් ගංවතුර සියලු මාර්ග වසාගෙන ගලායන නිසා ගිලන් රථයකට ඒමේ හැකියාවක් නොවීය. ඔවුන් සිටි නිවෙසේ සිට හිනිඳුම රෝහලට කිලෝමීටර 04ක පමණ දුරක් විය. චාන්දනීව රැගෙන සුරේෂ් කුමාර රෝහලට යාම සඳහා උත්සුක වූයේ චාන්දනීව මෙන්ම කුසේ සිටින තම දරුවාගේ ජීවිතවල අවධානමක් ඇති නිසාය. බිරිය දෑතින් ඔසවාගෙන පැය දෙකක පමණ කාලයක් ගෙවා හිනිඳුම රෝහලට පැමිණි කුමාරට ඉසිඹුවක් ලැබුණේ විනාඩි කිහිපයකි.

හිනිඳුම රෝහලෙන් ඇය උඩුගම රෝහලට රැගෙන යන ලෙස පැවසුවේය. “මම ආයේ එයාව උස්සගෙන හිතේ හයියෙන් පයින්ම උඩුගමට ගියා.” සුරේෂ් කුමාර කිවේය.

හිනිඳුම රෝහලේ සිට උඩුගම රෝහල දක්වා ඇති දුර කිලෝමීටර් 18ක් පමණ ය.

“මම ගෙදර ඉඳලා හිනිඳුම රෝහල දක්වා ගෙදර එක්කෙනාව අරගෙන ආ විදියටම උඩුගම රෝහලට අරගෙන ගියා. මට තිබුණේ හිතේ හයිය විතරයි. මම මගේ දරුවා කොහොම හරි බේර ගන්නවා කියලා හිතුවා” යළිත් චාන්දනීව දෝතට ගත් සුරේෂ් කුමාර උඩුගම රෝහල වෙත ගියේය.

ගංවතුරින් යට නොවූණ තැනකින් ඇය සීරුවට බිමින් තබා විඩාව මඳක් නිවාගෙන කුමාර හිනිඳුම සිට කිලෝමීටර 18ක් උඩුගම රෝහලට ගියේය. හිනිඳුම සිට උඩුගමට යන මඟදී සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේට මේ යුවළ මුණ ගැසුණේය. ඒ අවස්ථාවේදීම ඔහු මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් සහ සටහනක් තැබුවේය. ඉන් අනතුරුව නොයෙක් මාධ්‍ය තුළින් මේ කතාව පිළිබඳව පුවත් මවන්නට විය. 2021 ජුනි මාසයේ 4 වැනි දින මුලින්ම සමාජයට නිකුත් කරන ලද මේ වාර්තාව නිසා රටම ඔවුන් හඳුනා ගන්නා ලදී. ෂෙහාන් නැවත වරක් සිය ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳ කතාබහට ලක් කර ඇත. ‍ෙෂහාන් සඳහන් කරන ආකාරයට “ගාල්ල හිනිඳුම ගංවතුර තර්ජනයට ලක්වන ගමක්. එදා අඩි දෙකක් විතර ජලය තිබුණා. හිනිඳුම රෝහලෙන් භාරගෙන නැති නිසා මීටර් හත්සියයක් අටසියයක් පමණ පයින් යනවා දැක්කා. අපි හිනිඳුම දේවස්ථානයේදී නතර කරගෙන එතැනින් එහාට යන්න එපා කිව්වා. කන්‍යාරාමයෙන් නතර වෙන්න කිව්වත් නතර වෙන්න එකඟ නොවුණ නිසා නැවත ඒ යුවළ උඩුගම බලා පයින් ගියා. අඩි දෙකක් පමණ ගංවතුරේ. මීටර් 200ක් තුන්සියයක් පමණ ඔසවාගෙන ගියා කියලා අපි දැක්කා.

පොලිස් නිලධාරීන් පිහිට වෙලා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙටි වෙලාවකින් සමාජ මාධ්‍යවල මේ පුවත ප්‍රචාරය වුණා. ඉන්පසුව මේ පවුලේ විස්තර සොයාගෙන ගිහින් මේ අයට හුඟක් මිනිස්සු උදව් උපකාර කළා. විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ආධාර හිමි වුණා. මේ අයට ජංගම දුරකතනයක් පවා අරන් දුන්නා. ඉන්පසුව වෙනත් කාන්තාවන්ද සුරේෂ්ගේ බිරිය බව පවසමින් ඉදිරිපත් වී ඔවුන්ටත් ආධාර උපකාර කරන ලෙස පැවසූ බව ද ඔහු පවසයි.

වතු පාලන අධිකාරියෙන් ඔවුන් පිළිබඳ සුබවාදි ආකල්පයක් නැති බවත් මේ ප්‍රතිලාභ ලැබීමෙන් අනතුරුව වත්තේ රැකියාවට නොයෑම නිසා එම වත්තෙන් ඉවත් වීමට පවා ඔවුන්ට සිදු වූ බව ද පවසයි. මේ දෙදෙනා ඒ වන විටත් විවාහ වී නොසිටි හෙයින් වගකිවයුතු පාර්ශ්ව විසින් එනම් පොලිසිය හා විහාරස්ථානය මැදිහත්ව සුරේෂ් සහ චාන්දනී විවාහ කරදීමේ කාර්ය භාරය ඉටුකර ඇති බව ද ‍ෙෂහාන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. ජනතාවගේ උදව් උපකාර නිසා තේවත්තේ සේවය කිරීම මඟ හැර ඇති බවත් එයින් වත්තේ නතර වීමට ඇති අවකාශය අහිමි වී ඇති බවත් එහිදී සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් අනතුරුව ජංගම දුරකතනයක් නොතිබුණු ඔවුන්ට එය ලබාදීමට ඇතැමුන් කටයුතු කර තිබෙන බව පැවසුවත් සුරේෂ් මේ වනතෙක් සමාජ මාධ්‍ය පිළිබඳ එතරම් දැනුමක් ඇත්තකු නොවන බව ද පවසයි. එසේම මේ සිදුවීමෙන් පසුව සුරේෂ් කුමාරට ද වෙනත් පවුල් සහ දරුවන් සිටින බව ඇතැම් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුවත් තමාට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් නොමැති බව කුමාර පවසයි.

“මට වෙන අය ඕන නැහැ. මම ආදරේ කළේ එයාට. එයා මාව දාලා ගියේ දරුවාට මාස නවයේදී. එදා ඉඳලා මම දරුවාව තනියෙන් හදාගත්තා. අවුරුදු එකහමාරකට පමණ පස්සේ බිරිය ඇවිල්ල දරුවාව එක දවසක් ගෙනියන්න ඉල්ලුවා. මම දුන්නා. දවසකින් එයා දරුවා ගෙනත් දෙයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒත් ආවේ නැහැ. මම හැමතැනම දරුවව හෙව්වා.ඉන්පස්සේ දවසක් දරුවාව ගේනවා කියලා බිරිය විතරක් තනියම ආවා. මම දරුවා කෝ කියලා ඇහුවාම එයා ඒකට හරියට උත්තරයක් දුන්නෙ නැහැ. එක දවසක් එයා මම හිටපු තැන නැවතිලා ආයේ ගියා. දරුවවත් අරන් එනවා කියලා.

දරුවා නැතුව තනියම ඇවිත් දරුවා ඉන්න තැනක් දන්නේ නැහැ කිව්වාම ඒ වෙලාවේ මට දරුවා නැතුව ජීවත් වෙලා මොකටද කියලා හිතුණා. දරුවා ඉන්න තැන දන්නෑ කිවුවහම මට කේන්ති ගියා. මම එයාගේ කොණ්ඩෙන් ඇල්ලුවා, එයා කෑ ගැහුවා. ඒ වෙලාවේ මිනිස්සු ගත්තේ එයාගෙ පැත්ත. ඒත් මම හැමතැනම දරුවා හොය හොයා ගියා. දරුවා පිටිගල පැත්තේ ඉන්නවා කිව්ව නිසා මම උදේ 7ට බස් එකේ නැඟලා ගියා. ඊට පස්සේ දරුවා ඉන්න තැන මම හොයා ගත්තා. මම දරුවා අරගෙන ආවා. දරුවා හිටපු ගෙදර අය කිව්වා බිරියට දුරකතන ඇමැතුම් ආවාම කරදර කළොත් දරුවව හඳුන්කූරුවලින් පුච්චනවා කියලා. දරුවාගේ කකුල්වල ඒ පැල්ලම් තවමත් තියෙනවා. මට වෙන කවුරුත් ඕන නෑ. මට ඕන මගේ දරුවව හොඳට උගන්නලා දොස්තර නෝනා කෙනෙක් කරන්න. මට ජිවිතේ බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතය දරුවා තමයි.එයාගෙන් තොර ජීවිතයක් මට නැහැ.

මට වෙන ගෑනු ඕන වුණා නම් මං මේ දරුවා මෙච්චර ආදරෙන් බලා ගන්නේ නැහැ යැයි ඔහු දියණිය තුරුලුට ගෙන කීවේය.

දුවගේ කන තාම විදලා නැහැ. ගෙදර එක්කෙනාගෙ උපන්දිනේ 9 වැනි මාසෙ 21 වැනිදා. එදාට මං දුවගෙ කන විදිනවා. මම හිතනවා; එදාට මගේ දරුවගේ අම්මා එයි කියලා. ඔහු තවමත් ඇය එනතුරු මඟ බලාගෙන සිටින්නේය.

“ මට කියන්න තියෙන්නේ එක දෙයයි. සමාජ මාධ්‍යවල දකින දෙයින් ඉක්මනින් තීන්දු ගන්න එපා ඊට වඩා හාත්පසින්ම වෙනස් කතා ජිවිත ඇතුළේ තියෙන්න පුළුවන්.

මේ විදිහට දරුවෝ දාලා යන්න එපා. ඒ අයට අම්මගේ ආදරේ ඕනෑ. මගේ දරුවාට වුණ දේ වෙන දරුවන්ට වෙන්න එපා. සුරේෂ් කුමාර කඳුළු පිරි නෙතින් දියණිය දෙස බැලූවේය. ඔහුගේ හඬ බිඳී ගොස්ය. ඒ විවාහය දෙදරා යාමට හේතු සාධක කවරේද යන්න අපි කිසිවෙක් නොදනිමු. එහෙත් වින්දිත පාර්ශ්වයට ඇඟිල්ල දික් කරනු වෙනුවට ප්‍රශ්නයේ සැබෑ තතු සොයා බැලිය යුතුය. සමාජයේ ජීවත්වන අප සියලු දෙනා කළු හෝ සුදු චරිත පමණක්ම නොවන්නේය. පුද්ගල චරිතය වෛවර්ණය. සංස්කෘතික බැඳීම්වලින් එකට බැඳී සිටිය ද එකිනෙකාගේ අදහස් උදහස් සිතුවිලි ගමන් කරන්නේ වෙනස් ආකාරයටය. සුරේෂ් කුමාර සහ චාන්දනී ද එක නිවසේ ජීවත් වූ දෙදෙනෙකි. මේ පියා කාත් කවුරුත් නැති පළාතක දරුවා සමඟ තනිව සිටින්නේය. එදාවේල සරිකර ගත නොහැකිව තැවෙන්නේය. ඔවුන් ගේ සිතුම් පැතුම් වෙනස් විය හැකිය මම එයාට තවමත් ආදරේ කරනවා. මම විශ්වාස කරනවා එයා තේරුම් අරගෙන නැවත එයි කියලා.වෙනස්කම් කරලා දාලා ගියාට “මම තාම එයාට ආදරෙයි“සුරේෂ් කුමාර පවසයි.

නොගැළපීම් ඔවුන් දුරස් කරන්නට ඇත. එහෙත් සුරේෂ් කුමාර තවමත් චාන්දනි එන තුරු මඟ බලා සිටින්නේය. මේ රටේ ඉන්න ආදරණීය මිනිසුන්ට මේ දරුවා වෙනුවෙන් යමක් කළ හැකි නම් එය ඔහුට මහත් සේ අස්වැසීමකි.මාපියන් අතර කුමන දේ සිදුවුවත් අවසානයේ තැළෙන්නේ පොඩි වන්නේ පොඩි හිත්ය. වයස අවුරුදු දෙකක් ඉක්ම වූ ඔවුන්ගේ පුංචි දියණියට මවකගේ සෙනෙහස අවැසිම කාලයකි මේ. එය කිසිවකුට පිරිමැසිය නොහැකි අඩුවකි.

 සුභද්‍රා දේශප්‍රිය

ඡායාරූප - අන්තර්ජාලයෙනි

Comments