කෝටිපති නිවෙසේ මෙහෙකාරිය ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් | සිළුමිණ

කෝටිපති නිවෙසේ මෙහෙකාරිය ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී පසුගියදා කාන්තාවක් මිය ගියාය. ඒ පොලිස් පිරිසකගේ පහර කෑමකිනි. පොලිස් ස්ථානය තුළ රඳවා ගෙන අමානුෂික ලෙස පහරදී එසේ පොලිස් පිරිසක් විසින් මරා දැමුවේ වතුකරයේ සිට කොළඹ නිවෙසක බැලමෙහෙවර සඳහා පැමිණි මෙහෙකාරියකි. ඒ, ඇය සේවය කළේ යැයි කියනු ලබන නිවෙසක සිදු වූ සොරකමක් මුල්කරගෙනය. ඇගේ මරණය පොලිස් පහරදීමකින් සිදු වූ ඝාතනයක් බව අධිකරණය විසින් තීන්දු කරනු ලබන්නේ ඉකුත් සතියේදීය. ඒ අනුව ඊට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග නිකුත් කිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අගොස්තු 28 වෙනිදා එම ඝාතනයට වගකිව යුතු එක් චුදිතයෙක් මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඔහු වැඩ තහනමකට ලක්වූ වැලිකඩ පොලිසියේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි. අජිත් කුමාර නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයාව අගෝස්තු 29 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ මෙම ඝාතනයට වගකිවයුතු සෙසු අයව ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය නිසාය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සමඟ වැඩතහනමට ලක්ව සිටි සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක්ව ද පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගත්තේය. ඒ යැයි කියා තවමත් මෙම ඝාතනය හා බැඳී සිටින සෑම චුදිතයකුම අත්අඩංගුවට ගෙන හමාර නැත.

මෙම ඝාතනය වැලිකඩ පොලිසිය තුළ සිදුවන්නට ඇත්තේ පසුගිය මැයි 11 වෙනිදාය.පොලිස් පිරිසකගේ ප්‍රහාරයකින් එදා ඝාතනය වන්නේ බදුල්ල, දෙමෝදර, නාවලවත්තේ පදිංචිකාරියක් වූ ආර්. රාජ්කුමාරි නමැති 42 හැවිරිදි තිදරු මවකි. පොලිස් ස්ථානයේ රඳවාගෙන අමානුෂික ලෙස ඇයට පහරදී මරා දැමීමෙන් පසු පොලිස් පිරිස ඇගේ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් දමන්නේ මහ මඟ වැටී සිටියෙක් ලෙසිනි. එසේ කාත්කවුරුත් නැති අයෙක් ලෙස රෝහලට ඇගේ සිරුර දමන්නේ පොලිස් පහර දීම සඟවා කතාව වෙන පැත්තකට හරවන්නට අවශ්‍ය පසුබිමක් ද සකස් කරගෙනය. ඉතා සැලසුම්සහගතව කළ ඒ ක්‍රියාවට ඇතැම් පොලිස් ලොක්කන්ගෙන් ද ලැබෙන්නේ ලොකු පිටිවහලකි. මෙහිදී පොලිසියට මෙම මරණය යට ගසන්නට ඉඩක් නොලැබෙන්නේ සිවිල් සංවිධාන කිහිපයක් ඉදිරියට ආ බැවිනි. ඒ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ද ඉදිරියෙන්ම සිටියේය.

රාජ් කුමාරිව පොලිසිය අත්අඩංගුවට ගන්නේ ද ඇයට එරෙහිව පොලිස් පොත්වල ඒ වන විට කිසිදු පැමිණිල්ලක් ලියා නැති මොහොතකය. ඒ රටම දන්නා බලවන්තියක් වන සුදර්මා නෙත්තිකුමාර නමැති චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම ව්‍යාපාරික කාන්තාව විසින් ඇගේ නිවෙසේ සිදු වූ සොරකමක් ගැන කටවචනයෙන් කළ දැනුම්දීමකට අනුවය. ඒ ගැන තවදුරටත් ඇත්තේ කරුණු තහවුරු කරමිනි. වැලිකඩ පොලිසියේ නිලධාරීන්ට සුදර්මා නෙත්තිකුමාරගෙ නිවෙසේ සිදු වූ බව කියන සොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට ලොකු උනන්දුවක් ඇතිවන්නේ ද එකී බලවතුන්ගෙන් පොලිසියට ලැබෙන්නට වූ දුරකතන ඇමතුම්වලට අනුවය. නීතිය අවනීතියක් කරගනිමින් වැලිකඩ පොලිසියේ නිලධාරීන් සුදර්මාගේ නිවෙසේ සිදුවූ සොරකමක් ගැන ලොකු උනන්දුවකින් කටයුතු කරනු ලබන්නේ එබැවිනි. ඒ පැමිණිල්ලක් සටහන් කළහොත් උසාවියට අනිවාර්යයෙන්ම යායුතු වූ බැවිනි.

සොරකම සිදුවූයේ යැයි කියන සුධර්මා නෙත්තිකුමාරගේ නිවෙස පිහිටා ඇත්තේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය කුරේ පාරේ රෝයල් ගාර්ඩන්හි පිහිටි නිවෙසකය. ඇය එහි පදිංචිව සිටින්නේ සිය සැමියා සමඟිනි. මෙම නිවෙසේ වසරකට වැඩි කාලයක් රාජ් කුමාරි සේවය කර ඇති බව කියැවෙයි. ඇය මෙම නිවෙසින් වෙනත් නිවෙසක සේවයට යන්නේ මැයි 03 වෙනිදාය. සුදර්මා නෙත්තිකුමාර පොලිසියේ උදවියට කියා ඇති ආකාරයට අනුව නිවෙසේ සොරකම සිදුව ඇත්තේ මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් අතර කාලය තුළය. මුලින් ඇය පොලිසියට පවසා ඇති අකාරයට අනුව සොරා ගැනීමට ලක්ව ඇත්තේ රන් මුදුවක්, සුවඳ විලවුන් බෝතලයක් සහ සපත්තු කුට්ටමකි. ඇය එහිදී කියා තිබුණු හැටියට ඒවාගේ වටිනාම රුපියල් ලක්ෂ පහ හයකට වඩා වැඩි වටිනාකමකි. ඇය සිය සැමියා සමඟ රටින් බැහැරව සිටියදී මෙහෙකාරිය විසින් මේ දේවල් සොරාගෙන ගොස් ඇතැයි ඇය සැක කළාය. මේ ගැන වැලිකඩ පොලිසියට ඒ ගැන විමර්ශනයක් පවත්වා සොරාගත් මුද්දත් සුවඳ විලවුන් බෝතලයත් සපත්තු කුට්ටමත් සොයා දෙන්නැයි කියන්නේත් මැයි 11 වෙනිදාය. පොලිසිය මෙහිදී බලවතුන් ඉදිරියේ වැඩ පෙන්වන්නට සූදානම් වන්නේ රාජ් කුමාරි ඒ වන විට සිටින්නේ කොහේදැයි මුලින්ම සොයා බලමිනි.

සිය නිවෙසේ මෙහෙකාරකමට ඇයව සුදර්මා ගෙන්වා ගන්නේ නිවෙස්වලට මෙහෙකාර සේවයට කතුන් සොයා දෙන බ්‍රෝකර්වරයකු හරහාය. ඔහු මහේන්ද්‍ර සුරේෂ් නමැත්තෙකි. සුධර්මාගේ නැතිවුණු මුදුව සොයා දීමේ කොන්ත්‍රාත්තුව භාරගත් වැලිකඩ පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාගේ වගතුග සොයා ගන්තේ සුධර්මාගේ ද සහාය ඇතිවය. ඒ වන විට සුරේෂ් සිටින්නේ මෙහෙකාර සේවයට වතුකරයේ සිට මගී බස් රථයකින් කොළඹට පැමිණෙමින් සිටින කාන්තාවක් මුණ ගැසීමට පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළට ගොසිනි. ඒ බව දැනගත් පොලිස් නිලධාරීන් පිටකොටුව බස් නැවතුම්පොළට ගොස් සුරේෂ්ව බෙල්ලෙන් අල්ලා ගන්නේ පාතාල අපරාධකරුවකුව ලොකු මෙහෙයුමක් දරා අත්අඩංගුවට ගන්නා ලෙසිනි. ඒත් එක්කම දෑතට මාංචු දමා සුදු පැහැති මෝටර් රථයකට සුරේෂ්ව ගොඩකර ගන්නේ දෙකතුනක් ඔහුට අනිමිනි. එම මෝටර් රථය පවා ඒ සඳහා ලබාදී ඇත්තේ සුධර්මාය. එය කුලියට ගත් මෝටර් රථයකි. මේ වැඩේට ඇය මෝටර් රථය දී ඇතැයි කියැවෙන්නේ රියදුරු ද සමඟිනි.

සුරේෂ් කියන හැටියට එම මෝටර් රථයේ ඒ වන විට රැඳී සිට ඇත්තේ රියැදුරු හැර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 01 වෙනිදා අත්අඩංගුවටගත් නිලධාරීන් තිදෙනා අතර සිටි සැරයන්වරු දෙදෙනා ඔවුන්ය. ඒ අය සිටියේ සිවිල් ඇඳුමෙනි. නිල ඇඳුමින් සැරසුණු කිසිවකුත් ඒ අතර සිට නැත. ඔවුන් සුරේෂ්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ රාජ් කුමාරි දැන් සිටින්නේ කොහේදැයි කියාය.

ඒ වන විට රාජ් කුමාරි සේවයේ නිරතව සිටියේ බොරැල්ල කොටා පාරේ පිහිටි නිවෙසකය. ඇය එහි සේවයට එන්නේ මැයි 03 වෙනිදාය. ඒ තැන ඇයට සොයා දෙන්නේ ද සුරේෂ්මය. ඒ නිසා ඇය සේවය කළ තැන සුරේෂ් දැන සිටියේය. ඒ තැනට සුරේෂ් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව රැගෙන ගියේය. එවිට වේලාව මධ්‍යාහන 12.30ට පමණ ඇත. එහිදී පොලිස් නිලධාරීන් ඒ නිවෙසට ගොස් මුලින්ම මුණ ගැසෙන්නේ එහි ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරියාවය. අජිත් විජේසිංහ නමැති එම ආරක්ෂක නිලධාරියාව මුණ ගැසෙමින් සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරීන් තමන් වැලිකඩ පොලිසියේ යැයි කියා හඳුන්වා දෙමින් “ මේ ගෙදර කුමාරි කියල කෙනෙක් වැඩ කරනවද” යැයි විමසනු ලැබීය. ආරක්ෂක නිලධාරියා ඊට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් “ හොරකමක් ගැන එයාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. අපිට එයාව භාරදෙන්න“ යැයි පවසමින් ඇයව සිය භාරයට ගැනීමට කටයුතු කළේය.

ආරක්ෂක නිලධාරියා සිය හාම්පුතුන්ව ද දැනුම්වත් කර රාජ් කුමාරිව පොලිසියට භාරදෙන්නේ සොරකමක් ගැන ඇයව අවශ්‍ය බව කී නිසාය. සුධර්මාගේ වාචික පැමිණිල්ලට අනුව පොලිසිය රාජ් කුමාරිව සොරකු ගානට දමා හැසුරුණත් එම නිවෙසේ උදවිය නම් පවසන්නේ ඇය සිය හැම වැඩක්ම විශ්වාසවන්තව කඩිසරව කළ තැනැත්තියක් බවය.

කාන්තාවක් අත්අඩංගුවට ගැනීමකට යාමේදී අනිවාර්යයෙන්ම ඒ සඳහා කාන්තා නිලධාරිනියකගේ සහාය ලබාගත යුතු වූවත් මෙම නිලධාරීන් දෙදෙනා රාජ් කුමාරිව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නීතිය තඹේකට මායිම් නොකරමිනි. රාජ් කුමාරිව එසේ නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත්තා පමණක් නොව, මෝටර් රථයට දමා සුරේෂ්ගේ දෑත්වලට දමා තිබුණු එක් මාංචුවක් ගලවා ඇගේ අතකට දැමුවේය. ඒ අනුව සුරේෂ් සහ රාජ් කුමාරි එක් මාංචු කුට්ටමකින් සිරකර තැබීමට පොලිස් නිලධාරීන් දෙදෙනා කටයුතු කළහ.

“සුධර්මා මැඩම්ගේ ගෙදරින් ඔයා තමයි මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකම් කළේ. ඒවා දැන් කෙහේද තියෙන්නේ” පොලිස් නිලධාරීන් දෙදෙනා රාජ් කුමාරිව මෝටර් රථයේ තබාගෙන ප්‍රශ්න කරන්නට ගත්තේ එසේය.

“අනේ සර් මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මම කිසිම ගේකින් හොරකම් කරලත් නැහැ. ඕනෙ නම් මම වැඩ කරල තියෙන හැම ගෙදරකටම ගිහින් මා ගැන හොයල බලන්න. සුධර්මා මැඩම්ගේ ගෙදර වැඩ කරන්න බැරි නිසයි මම අයින් වුණේ. ඒ තරහට වෙන්න ඇති මට මේ වගේ චෝදනාවක් කරල ඇත්තේ” යැයි කියමින් ඇය පොලිස් නිලධාරීන් හමුවේ සුධර්මාගේ නි‍ෙවසේ වැඩ කරන්න බැරි හේතුව පවා කීවේය.

ඒ කිසිවකට මේ නිලධාරීන් ඇහුම්කන් දුන්නේ නැත. ඔවුන් විශ්වාස කළේ සුධර්මාව පමණි.

“'වැලිකඩ පොලිසිය ඇතුළේ තියාගෙන මටයි රාජ් කුමාරිටත් පොලිසියෙන් නොසෑහෙන්න පහර දුන්නා. එක නිලධාරියෙක් ‘තට්ටේ’ තියන කෙනෙක්. අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්. කෙට්ටු උස නිලධාරියා රාජ් කුමාරිට මල්ගස්වලට වතුර දාන බටයකින් පහර දෙනවා මං දැක්කා.“ මේ දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ මෙන්ම අධිකරණය හමුවේ ද මේ වන විටත් සුරේෂ් පවසා හමාරය. පොලිස් මෘගයන් කොටු වෙන්නේ සුරේෂ්ගේ මෙම සාක්ෂියෙනි.

සුරේෂ් කියන ආකාරයට අනුව ඔවුන්ට පහර දෙමින් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන විට සුධර්මාද ඒ තැනට ඇවිත් ගොස් ඇත්තේය. ඒ හැරුණු කොට ඇගේ මරණින් පසු හෝ ඒ ආසන්න කාලයකදී සුධර්මා කොටා පාරේ නිවෙසට ද ගොස් ඇති බවට තොරතුරු ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට ලැබී ඇත. ජයවර්ධන නමින් පෙනී සිටි පොලිස් නිලධාරියකු සමඟ කාන්තාවන් දෙදෙනෙක් මැයි 16 වෙනිදා කොටා පාරේ නිවෙසට ගිය බවට තොරතුරක් ද ඒ අතර ඇත්තේය. මේ දේවල් ඇත්තේ තවදුරටත් විමර්ශන තත්ත්වයේය. කොටා පාරේ නිවෙසේ ආරක්ෂක කැමරා දර්ශන ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදු වූයේ සුධර්මාගේ බලපෑම් නිසාදැයි කියා විශේෂ අවධානයක් ද විමර්ශන නිලධාරීන් යොමු කර හමාරය. ඒ මෙම සිදුවීම් මාලාව තුළම සුධර්මාගේ හැසිරීම ගැන ලොකු ගැටලුවක් විමර්ශනවදී පෙනී ගොස් ඇති බැවිනි.

“ පොලිසියෙන් අපිට ගහන වෙලාවේ ‘සුධර්මා මැඩම්’එතැනට ආවා. ඇවිත් පොලිස් නිලධාරීන්ට කිවුවා ගහන්න එපා ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා.” යැයි ද සුරේෂ් කුමාර පවසන්නේය.

මේ වන විට පොලිස් නිලධාරීන් රාජ් කුමාරිටත් සුරේෂ්ටත් නොසෑහෙන්න තළා තිබුණේය. රාජ් කුමාරි පොලිස් පහරදීම් ඉවසා ගැනීමට නොහැකිව බිම වැටී වෙව්ලන්නට ගන්නේ ඔය අතරතුරදීය. එහිදී කලබල වන පොලිස් නිලධාරීන් ඇයව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට දැඩි වෙහෙසක් ගන්නේ වැඩේ වැරදුණු බව දැන බියට පත්වය. බැරිම තැන ඇයව ඉක්මනින්ම රැගෙන යන්නේ කොළඹ ජාතික රෝහලටය. ඒ රැගෙන ගොස් ඇයව රෝහලට ඇතුළු කරන්නේ රාජගිරිය පැත්තේ තුවාල සහිතව බිම වැටී සිටියදී මෙම කාන්තාව රෝහලට රැගෙන ආ බව රෝහලට දැනුම් දෙමිනි. පෙනී යන ආකාරයට අනුව ඇයව එසේ රෝහල්ගත කරන විටත් ඇය සිට ඇත්තේ පොලිස් පරදීම්වලින් මියැදීය. ඒ වේදනාව දරා ගැනීමට නොහැකිවය.

පොලිස් රෙගුලාසිවලට අනුව එලෙස මහමඟ වැටී සිටි අයෙකු පොලිස් නිලධාරියෙක් විසින් රෝහල්ගත කරන්නේ නම් පොලිස් නිලධාරියා සිය සාක්කු සටහන් පොතේ ඒ බවට යම් සටහනක් තබා රෝහල් පොලිස් මුරපොලට ඒ බව වාර්තා කළ යුතුය. එහෙත් ඒ කිසිවක් මෙහිදී සිදුවූයේ නැත. මෙසේ පොලිසිය හැසුරුණේ ඇයි දැයි තවමත් හෙළිවී නැත. එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් නිලධාරියා මෙම සිදුවීමෙන් ඇඟ බේරා ගැනීමට සූදානම් වන්නේ තමා එදින පාර්ලිමේන්තු රාජකාරියේ නිරතව සිටියේ යැයි කියාය. පාර්ලිමේන්තු රාජකාරි ඔහු ඉටුකරනු ලබන්නේ ඒ අවට රැඳී සිටිමිනි. එසේ නොමැතිව ඔහු වෙනත් පළාතක රාජකාරි සඳහා යන්නේ නැත. සුධර්මාගේ වාචික පැමිණිල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට හොරා අපරාධ අංශයේ නිලධාරීන් විභාග කරන්නට ගියේ යැයි කීම විහිළුවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් හමාරය. ඒ පොලිස් ස්ථානාධිපතිවරයාට හොරෙන් පොලිසියක් ඇතුළේ කිසිවක් සිදු නොවන බැවිනි. රාජ් කුමාරිව රෝහලට රැගෙන යන්නේ එදා සවස් කාලයේදීය. දහවල් පොලිසියට රැගෙන ආ රාජ් කුමාරිට පහරදී ඇය සිහිසුන්ව බිම වැටුණු පසු රෝහලට රැගෙන ගිය බවත් පොලිස් ස්ථානාධිපතිවරයා නොදැන සිටියේ යැයි කීමම ඔහු පොලිස් ස්ථානාධිපතිධුරයක් දැරීමට කිසිසේත්ම සුදුසු නොවනු ඇත. පොලිස්පතිවරයා විසින් ඔහුව පොලිස්පතිධුරයෙන් ඉවත්කර වෙනත් නිලධාරියෙක් ඒ වෙනුවට වැලිකඩ පොලිසියට පත්කර ඇත්තේ ඒ නිසාම විය හැකිය.

සුධර්මාගේ නිවෙසේ සොරකමකට අත්අඩංගුවටගත් මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේ රැඳී සිටියදී මියයාමක් ගැන පොලිසිය ඇතුළෙන්ම තොරතුරු මාධ්‍යයට ගිය විට ඒ ගැන පසුදින පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසන විට එම මාධ්‍යවේදීන්ගේ ඇඟට ගොඩවී තිබුණේ එවැනි මරණයක් වැලිකඩ පොලිසියේ සිදුවී නැති බවට ගෝරනාඩු කරමිනි.

වැඩේ පත්තුවීමෙන් පසු පොලිසිය පැත්තෙන් මේ ගැන නිල තොරතුරු එදා වාර්තා වන්නට ගත්තේ පොලිස් ප්‍රශ්න කිරීමක් අතරතුර රාජ් කුමාරි හදිසියේම හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක්වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගිය බවය. ඒ කොතනකවත් ඇයට පහරදීමක් ගැන පොලිසිය පැත්තෙන් කීවේ නැත. ඒ හැම දෙයක්ම සැඟවීමට වැලිකඩ පොලිසිය ගත්තේ දැඩි උත්සාහයකි. ඊට ඇතැම් පොලිස් ලොක්කන්ගෙන් ද ලැබුණේ ආශීර්වාදයකි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි දැනගත් පළමු අවස්ථාවේදීම පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න එහි ඇත්ත නැත්ත ගැන යම් විමර්ශනයක් පවත්වා ඒ ගැන වාර්තාවක් ලබාදෙන ලෙසට දැනුම් දෙන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. එම ඒකකයේ එකල අධ්‍යක්ෂවරයාව සිටි ඩී. එස්. වික්‍රමසිංහ පුද්ගලිකවම එම විමර්ශනයට මැදිහත් වන්නට වූයේ පොලිසියට මෙම සිදුවීම කළුපැල්ලමක් බව පැහැදිලිවම පෙනී යන්නට වූ බැවිනි.

රාජ් කුමාරිව අත්අඩංගුවට ගැනීමේ සිට ඇයට පහරදී මරා දැමීම දක්වා බොහෝ තොරතුරු සාක්ෂි සහිතව අනාවරණය කරගත් විශේෂ විමර්ශන කාර්යාංශය ඒ ගැන පොලිස්පතිවරයාට වාර්තාව ලබා දෙන්නේ ඒ හැම දෙයක්ම ඊට ඇතුළත් කරමිනි. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේත්, රාජ් කුමාරි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින උප පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනා වැඩ තහනමට ලක්වන්නේත් කොස්තාපල්වරයකු සහ කාන්තා කොස්තාපල්වරු දෙදෙනෙක් වැලිකඩ සිට ස්ථානමාරුවීම් ලබන්නේත් ඒ අනුවය.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනය භාරදෙනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. ඒ විධිමත් විමර්ශනයක් මේ සම්බන්ධයෙන් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර යන නිලධාරීන්ට උපදෙස් දෙමිනි. ඒ අනුව මෙම විමර්ශනය එම නිලධාරීන් විසින් පවරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවාටය. මේ වන විට මෙම පොලිස් ඝාතනයේ විමර්ශන ඉහළ ප්‍රගතියක් කරා රැගෙන ගොස් තිබේ නම් ඒ මෙරිල් රන්ජන් ළමාහේවාගේ උනන්දුව හා හයිය හේතුවෙනි.

සුධර්මා නෙත්තිකුමාර සිය නිවෙසේ සිදුවූ බව කියන හොරකම ගැන සවිස්තරාත්මක පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරනුයේ මේ අතරතුරදීය. ඒ ජුනි 10 වෙනිදාය. ඇය එහිදී පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් කාලය තුළ නිවෙසේ සොරකමක් සිදුව ඇති බවය. තමාට අයත් රන් භාණ්ඩ, සුවඳ විලවුන්, රූපලාවණ්‍ය භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව ඇය එහිදී ඇය සඳහන් කර ඇත්තේ සොරකම්කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් 1,914,000බවකි. මෙම භාණ්ඩ සැබෑ ලෙසම රාජ් කුමාරි සොරාගත්තේ ද? නැතිනම් වෙනත් දෙයක් ඊට සිදු වුණේදැයි දන්නේ ඇයත් සුධර්මාත් පමණි. ඒ ගැන දැන් කිසිදු විමර්ශනයක් සිදුවන බවක් දැනගන්නට නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කරන විට රාජ් කුමාරිගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි. ඇගේ මරණයට හේතුව කියන්නට පවා බොහෝ කාලයක් ගතවී තිබුණේය. ඇගේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පවා මාස ගණනක් ගතවන්නේ ද එබැවිනි. එම අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රාජ් කුමාරිගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හෝ ඒ හා සමාන බලයකින් පහරදීම හේතුවෙන් ඇගේ මාංසපේශිවලට ඇතිවූ හානිය මත ශරීරය තුළට රුධිරය වාහනය වීමෙන් සහ කම්පනයෙනි. ඒ අනුව අධිකරණය මේ වන විට තීන්දු කර ඇත්තේ මෙම මරණය ඝාතනයක් බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඝාතකයන් අල්ලන්නැයි කියා දිගින් දිගටම අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ලබන්නේද එබැවිනි. දැන් මෙම ඝාතනයට ඝෘජුවම සම්බන්ධ නිලධාරීන් සිවු දෙනෙකුම අත්අඩංගුවට ගෙන හමාරය.

ඒ අය රාජ් කුමාරිට මෙසේ අමානුෂික ලෙස පහරදී මරා දැමීමට යොදාගත් බව කියන උද්‍යාන රබර් බටය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැලිකඩ පොලිස් භූමියේ මුල්ලකට විසිකර තිබියදී සොයා ගත්තේය. එම රබර් බටය, මෙන්ම ඇගේ කෙස්ගස් යැයි සැකකරන කෙස්ගස් කිහිපයක් සහ රුධිර සාම්පලයක් ද මේ වන විට ඇත්තේ රස පරීක්ෂක භාරයේය. ඒ එම රබර් බට කොටසේ ගෑවී තිබුණු කෙස්ගස් සහ රුධිර සාම්පල් රාජ් කුමාරිගේ ඩී.එන්.ඒ. හා ගැළපේදැයි පරීක්ෂා කර බැලීමටය. එහි වාර්තාවත් නුදුරු දිනකදී ලැබුණු විට මෙම නිලධාරීන්ට අත්වන ඉරණම ගැන අධිකරණය තීන්දු කරනු ඇත.

Comments