රුව ලස්සන කරන්න උදවු කරන ග්‍රහයෝ | සිළුමිණ

රුව ලස්සන කරන්න උදවු කරන ග්‍රහයෝ

ලස්සන වෙන්න  උදවු කරන ග්‍රහයන්  ඔබේ කේන්ද්‍රයේ ඇත්දැයි දැනගන්න

ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම  සම්පත් එස්. කල්පගේ

සිකුරු සඳු  රවි බුධ කුජ ලස්සන  වෙන්න  උදවු කරයි

සිකුරු  රූප සොබාව නංවන්න උදවු කරන ග්‍රහයෙක්

 

ලස්සන රූ සපුවකට අප කවුරුත් කැමැත්තෙමු. ප්‍රසන්න පෙනුමකින් යුත් සේම මනා අඟපසඟකින් යුත් ශරීරයකට හිමිකම් කීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් ආශාවකි. ජ්‍යොතිෂය අනුව රූ සපුව ඇතිවන්නේ කෙලෙස ද යනු විමසීම වටී.

ජ්‍යොතිෂය වූ කලී ඉතා සුවිශේෂ වූ ශාස්ත්‍රයකි. මේ තුළින් පුද්ගල ජීවිතයේ සියලු සන්ධිස්ථානයන් පිළිබඳ මනාව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත. එනම් ජ්‍යොතිෂය යනු තුන්කල් දක්නා ලද ශාස්ත්‍රයකි. රෝගාබාධ, රැකියාව සහ හැකියාව, අධ්‍යාපනය, විවාහය, ධනය, ආදායම, වියදම, අනාගතය, දරු පල රූ සපුව හෙවත් ලස්සන වීම ආදි මෙකී නොකී සියලුම දේ මේ උතුම් ශාස්ත්‍රයෙන් අපට අනාවරණය කර ගත හැකිය.

වර්තමානයේ මාධ්‍ය මඟින් සහ පුවත්පත් මෙන්ම සමාජයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ රූ සපුව පිළිබඳවය. සමාජයේ බොහෝ දෙනා ලස්සන වීමට කැමැතිය. මේ සඳහා උදවු කිරීමට ද බොහෝ දෙනා පෙළගැසී සිටිති. ඒ අතරින් කාන්තාව රූ සපුව හෙවත් ලස්සන ගැන කතා කිරීමේදී සුවිශේෂි චරිතයකි. කාන්තාවගේ මුහුණ පුන් සඳකට සමාන කරමින් අලංකාර කවි මෙන්ම රසවත් ගීත ද නිර්මාණය වී ඇත.

ලස්සන වීමේ රහස් ඔබගේ ජන්ම පත්‍රය තුළින් විමසා බැලීමේ හැකියාව ඇත. පුරපස සඳු සිකුරු යන ග්‍රහයන් හඳහනේ බලවත්ව සුබ දෘෂ්ටි සහිතව සුබ ස්ථානයන්ගේ පිහිටා සිටීමත් රවි සහ බුධ ග්‍රහයන්ගේ පිහිටීමත් රූ සපුව ගැන කතා කිරීමේදී ඉතාම වැදගත්ය.

රූපය වැඩි කරන තවත් ග්‍රහ පිහිටීමක් නම් සඳු බලවත් වීමයි. සඳු බලවත් වන ක්‍රම කීපයකි. රාශි බලයෙන් ස්ථාන බලයෙන් මෙන්ම අව පක්ෂයේ පුර පක්ෂයේ වීමෙන් ද සඳු බලවත් විය හැකියි. සඳු කාන්තා කේන්ද්‍රයක ඉතාම සුබව පිහිටිය යුතු වැදගත්ම ග්‍රහයෙකි.

සිකුරු ග්‍රහයා රූප ස්වභාවය ඔප් නංවා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්නකු ලෙස හඳුනාගත හැකිය. සුන්දරත්වය ලැබෙනුයේ සිකුරු ග්‍රහයාගේ බලය අනුවය. සිකුරු බලවත් වීමට බලපාන හේතු කීපයකි. විශේෂයෙන්ම සිකුරු පිහිටන්නේ කී වැනි කොටුවේ ද යන්න මෙහිදී වැදගත් වෙයි. රවි ග්‍රහයා ඉන් ඉතා වැදගත්ය. රවි ග්‍රහයා කුජ සමඟ එකතු වීම නියත වශයෙන්ම ලස්සන රූපයකට හිමිකම් කීමට අවස්ථාව ලබා දේ. රවි සහ කුජ එකට සිටිමින් සම සප්තමව (එක එල්ලේ) සිටිමින් රූමත් රූපයක් ලැබීමට උපකාරි වන ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙහිදී 6, 8, 12 ස්ථානවල රවි සහ කුජ නොසිටීම හොඳයි. එලෙස සිටියහොත් දරදඬු බව ඇතිවන අතර රූපය යට වේ. පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ 6 වැන්නේ රවි සහ කුජ සිටීම උස මහත ශරීරයක් ලබා දේ. එම නිසා පුරුෂයකුගේ රූපයට සාපේක්ෂව ආරෝහ පරිණාහ දේහයකට උරුමකම් කියනා බැවින් එය යහපත් පිහිටීමකි.

ඉතාම සරලව පැවසුවහොත් පුර පක්ෂයේ පෝයට දින අටක් පමණ තිබියදි සඳු බලවත් වන අතර පෝය ගෙවී සතියක් පමණ යන තෙක් මෙම බලය තිබෙයි. අනෙක් දින දුර්වල යැයි මෙයින් ගම්‍ය නොවේ. මක් නිසාද හඳහනක බලය එක් ග්‍රහයකුගේ අතේ පමණක් රඳා නොපවතින අතර සියලු ග්‍රහයන්ගේ පිහිටීම යම් යම් තත්ත්වයනට ඍජුවම බලපැවැත්වෙන බවද අප මතක තබාගත යුතුය.

ජ්‍යොතිෂය ශාස්ත්‍රයේ පෙන්වා දෙන ආකාරයට රවි කුජ සිකුරු සංයෝගය ඉතාම බලසම්පන්නය. මෙම යෝගය තිබෙන අය ඉතා ලස්සන අතර ස්ථානයට අනුව අනෙක් සැප සම්පත් ද ලබති. මෙම ග්‍රහයෝ තිදෙනාම 6 9 10 11 යන ස්ථානවල පිහිටීම ඉතා වැදගත්ය. අනෙක් තැන්වල පිහිටීමෙන් ලස්සන වූවත් වෙනත් අඩුපාඩු සහිත විය හැකිය. කෙසේ වෙතත් සිකුරු ග්‍රහයා කොටු 12ටම නරක නැත.

එහෙත් විශේෂයෙන් ලස්සන ගැන කතා කරන විට 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 12, 11 යන තැන්වල යෙදී තිබීම සුබයි. ජ්‍යොතිෂය විද්‍යාවේදී බුධ ග්‍රහයා හඳුන්වන්නේ ළමයකු ලෙසය. බුධ ග්‍රහයාගේ ලස්සන වෙන ආකාරයකට පිහිටීමට හැකියාවක් ඇත.

බුධ 1 වැන්නේ පිහිටීමෙන් වයසට වඩා ළාබාල පෙනුමක් උරුම වේ. බුධ 4 වැන්නේදි බුද්ධිමත් බව සහ රූපය ලැබෙන අතර බුධ 6 වැන්නේදි ලස්සන රූප සම්පත්තියක් ද ලැබේ.

ගුරු ග්‍රහයා ද ලස්සනට උදවු වෙතත් එය එතරම් ප්‍රබලව දක්නට ලැබෙන්නේ නැත. ශරීරයේ උස් මිටි බව පාලනය කරන විශේෂයෙන්ම තරබාරු බව ඇති කරන ග්‍රහයකු ලෙස ද ගුරු ග්‍රහයා හැඳින්වෙයි. සෙනසුරු බලවත්ව සිටීම යහපත් නමුත් රූමත් බව වැඩි කරන ස්ථානයන් පැහැදිලිව දක්නට නොමැත.

මෙලෙස කෙටියෙන් විස්තර කෙරුණ ද ඔබේ ජන්ම පත්‍රය දෙස පුළුල්ව අවධානය යොමු කිරීමෙන් මෙම කාරණා ඔබට සරලව තේරුම් ගත හැකිය. මෙම කරුණු මෙලෙස සරලව දැක්විය හැකි නමුත් අලංකාර රූපයක් ලැබීමට මෙම ග්‍රහ පිහිටීම් සියල්ලේම මනා සංකලනයක් තිබිය යුතු බව දැක්විය හැකිය.

අප මෙලෙස කොපමණ සඳහන් කළද කොපමණ ලස්සන තිබුණත් ගතිගුණ යහපත් නැත්නම් වැඩක් තිබෙනවාද යන්න සිතා බැලිය යුතුයි. මේ සියල්ල සමඟ කාන්තාවකට හෝ පුරුෂයකුට තිබිය යුතු හොඳම ගුණාංගය විය යුත්තේ ගුණ ධර්මයි. ඔහු හෝ ඇය ගුණදහම්වලින් ස්වයංපෝෂිත නොවුණහොත් එය කනගාටුවට කරුණකි.

එසේනම් පූර්ව ආත්ම භවයේ අප කී කළ දේවල් මත මේ ආත්ම භාවයේ අප ලද රූ සපුවට අදාළ ග්‍රහ බලය ඔබේ ජන්ම පතේ සඳහන් වී ඇත. කෙනෙකුට ඉතා අලංකාර මනා වූ රූ සපුවක් ලැබෙන්නත් තවත් කෙනෙකුට එය නොලැබෙන්නත් තවත් අයකුට සාමාන්‍ය රූපයක් ලැබෙන්නත් අදාළ වූ ග්‍රහ බලපෑම් ඔබේ ජන්ම පතේම නිවැරැදිවම සටහන් වී ඇත. අප එය අවබෝධ කර ගැනීම තුළින් ඉහත සඳහන් ආකාරයට ජීවිතය ගොඩනඟා ගත හැකිය.

Comments