ඉඩමේ දිග පැත්ත ඊසානයට නම් සුබ පල වැඩියි | සිළුමිණ

ඉඩමේ දිග පැත්ත ඊසානයට නම් සුබ පල වැඩියි

 

 ඉදිකිරීමක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේදී විවිධ දේ සොයා බැලේ. ඒ අතරින් වාස්තු ශිල්පීන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වන කරුණු වන්නේ ඉඩම්වල හැඩය හා එහි පෘෂ්ඨ ස්වභාවයයි. මේ දෙකරුණෙන්ම විශේෂ වූ වැදගත්කම් ඇතත් අද කරන වාස්තු විද්‍යා අධ්‍යාපනයේදී හා ග්‍රන්ථකරණයේදී ඉදිරිපත් කෙරෙන බොහෝ කරුණුවලට ඇත්තේ කෞතුක වටිනාකමක් පමණි.

ඉඩමේ හැඩය පිළිබඳ විසම, පණවා, බෘහත්, ශූර්පි, ශකට ආදී බොහෝ හැඩතල අද මිනින්දෝරුවන් විසින් කිසිසේත් භාවිතයට නොගනී. අද භාවිතයේ ඇත්තේ සමචතුරස්‍ර, ඍජුකෝණාස්‍ර, පතාකාර (ත්‍රැපීසියම් වැනි) දණ්ඩ, ත්‍රිකෝණ වැනි හැඩ සහිත බෙදුම් හැඩ පමණි. එබැවින් අපගේ අවධානයට ලක් විය යුත්තේ එවැනි හැඩතල පිළිබඳව පමණක් බව අපගේ සැලකිල්ලට ලක් විය යුතු වේ.

එසේම ශිමාකාර, භද්‍රාසන, ජලතලාකාර, ගංගාකාර, කුම්භාකාර ආදී ඉඩමේ පෘෂ්ඨ ස්වභාවය ද ආරම්භයේ පැවතියත් ඉදිකිරීම් අවශ්‍යතා අනුව මේවා සකස් කොට යම් මට්ටම් ස්වභාවයක් ඉඩමට ලබා ගැනීම සිදු වේ. මේ හේතුව නිසා අනේකවිධ පෘෂ්ඨ ස්වභාව පිළිබඳව බරපතළ ලෙස කරන අධ්‍යයනයෙන් ප්‍රතිඵලයක් අත්වන බවක් නොපෙනේ. එසේ වුවත් භූමියේ බෑවුම පවත්නා දිශාව ආදියෙහි ඇති වැදගත්කම අපගේ සැලකිල්ලට ලක් කිරීම අත්‍යවශ්‍ය බවද මෙහිදී පැහැදිලිව දැක්විය යුතුව තිබේ.

දැන් අප මේ කරුණු පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ පවත්නා තත්ත්වයන් හඳුනා ගැනීමට වෑයම් කරමු.

මේ සඳහාත් අපට බටහිර විද්‍යාවේ සහාය ලබා ගත හැකි වන්නේ වාස්තු විද්‍යාව ආදී විෂයනට එරෙහිව හඬ නඟන්නන්ගේ බලවත්ම අවිය බවට බටහිර විද්‍යාව පත්ව ඇති නිසාත් එය ඔස්සේ මේ කරුණු නිශ්චිතව දැක්වීම පහසු නිසාත් පමණි. නැතිනම් අපගේ පැවති සාම්ප්‍රදායික දැනුමට වඩා බටහිර විද්‍යාවේ සුවිශේෂ විශිෂ්ටත්වයක් ඇති නිසා නොවේ.

මෙහිදීත් අපට අවධාරණය කර ගත හැකි මූලික බටහිර විද්‍යාත්මක සංකල්පයන් වනුයේ 1911/12 සමයේ කළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයන් ලෙස හඳුනාගත් අන්තරීක්ෂ ශක්තිය ආශ්‍රිත කරුණු වේ. මෙකී ශක්තිය (සාපේක්ෂ වශයෙන්) ඊසාන දිශාවෙන් අප වෙත ලැබෙන බවත් මෙහිදී තාර්කිකව පැහැදිලි කර ගැනීම අපහසු නොවේ.

මෙකී අන්තරීක්ෂ ශක්තිය මනුෂ්‍යයාගේ කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික ජීවිතයට අතිශයින් යහපත් ලෙස බලපාන බවද මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතුව තිබේ. මේ හේතුව නිසා නි‍ෙවසට හැකි උපරීම අයුරින් අන්තරීක්ෂ ශක්තිය ලබා ගැනීමටත්, එසේ ලැබෙන ශක්තිය ප්‍රමාණවත් ලෙස රඳවා ගැනීමටත් අප විසින් මෙහිදී ද ඉඩම්වල හැඩය හා පෘෂ්ඨ ස්වභාවය ඇසුරින් උපක්‍රම යෙදීම අත්‍යවශ්‍ය වේ.

ඉඩම්වල හැඩතල පිළිබඳ අතිශයින් විධිමත් හා සරල විග්‍රහයක් සිදු කළ මහාචාර්ය ජිමෙන් සාමිතුමන් විසින් පළකොට තිබේ. මේ අනුව පොදුවේ ඊසාන දිශාවට දිගු වන ඉඩම් ශුභ ප්‍රතිඵල ගෙනෙන බව අපට වටහා ගත හැකියි. අනෙකුත් අනුදිශාවන් වන නිරිත, වයඹ හා ගිනිකොන දිගු වීමෙන් විවිධ අයහපත් ප්‍රතිඵල දක්වා තිබේ. විශේෂයෙන් නිරිත දිශාව දිගු වන විට රෝගාබාධ, ආර්ථික බිඳ වැටීම් ආදී බොහෝ බරපතළ දුර්විපාක ඇති වන බව දක්වා තිබේ. වයඹ දිගු වීමෙන් හිමිව තිබූ දේ නැති වීම, කීර්තිය අහිමි වීම, නිවාස පාළු වී යෑම, මානසික පීඩා වැඩිදියුණු වීම ස්වභාවයයි. ගිනිකොන දිගු වීමෙන් නඩුහබ, රාජ බිය, හදිසි අනතුරු, ස්ත්‍රී - දාරක පීඩා ආදිය ඇති විය හැකි බව දැක්වේ.

මෙසේ අතිශය සරල කර ගත් ඉඩමේ හැඩතල පිළිබඳ විග්‍රහය නූතන භාවිතයන් අනුව මනාව සකස්ව ඇති බව පෙනේ. එසේ නොමැතිව සිදු කරන සාම්ප්‍රදායික හා සංකීර්ණ විග්‍රහයන්ගෙන් සුවිශේෂ ප්‍රයෝජනයක් අත් කර ගත නොහැකියි.

පෙර ද දැක්වූ පරිදි ඉඩමේ පෘෂ්ඨ ස්වභාවය පිළිබඳ කරුණු ද මෙසේ සරල කොට දැක්විය හැකියි. එහිදී ඉඩමේ බෑවුම පිළිබඳව හා පාංශු ඝනත්වය යන්න අතිශයින් වැදගත් වන බව කිව යුතුවේ. මෙය තවත් සරලව හා විස්තර සහිතව දක්වන්නේ නම් ඊසාන, උතුර හෝ නැඟෙනහිර දිශාව අන් දිශාවනට වඩා පහතින් පිහිටා තිබේනම් අතිශය සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි බව පෙනේ. එය වෙනත් අයුරකින් දක්වන්නේ නම් නිරිත, දකුණ හෝ බස්නාහිර දිශාවන් පහතින් පිහිටා තිබේ නම් සමාජ - ආර්ථික පීඩාවනට මුහුණදීමට නිරතුරු සිදුවේ.

මේ සියලු පැහැදිලි කිරීම් සඳහා භාවිත කරනු ලැබූයේ ඊසානයෙන් අන්තරීක්ෂ ශක්තිය (සාපේක්ෂව) අප වෙත ගලා ඒම පිළිබඳ සිද්ධාන්තයයි. මෙහිදී ඊසානය වඩාත් ඉඩකඩ ඇතිව පහළින් පිහිටා ඇත්නම් අන්තරීක්ෂ ශක්තිය එවැනි ඉඩම්වලදී මැනැවින් භූගත වන බව පෙනේ. එවිට එයින් බලවත් වන භූ ශක්තියත් සමඟ නිවැසියන්ගේ ජීවිත වඩ වඩාත් සාර්ථක ප්‍රතිඵල උදා කර දෙනු නිසැකයි.

ප්‍රියන්ත දයාරත්න

(සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ, ප්‍රධාන දේශක)

Comments