පියාගේ සිහිනය සැබෑ කරන්නට ඉදි වූ හන්තාන පක්ෂි උද්‍යානය | සිළුමිණ

පියාගේ සිහිනය සැබෑ කරන්නට ඉදි වූ හන්තාන පක්ෂි උද්‍යානය

න්තානෙට සඳ පායන විට අමුතුම සිරියාවක් ගෙන දෙන්නේය. සීතල පරිසරයේ චමත්කාරයෙන් හැඩවුණු හන්තාන කඳු වැටිය මුළු නුවරම බබළවන්නකි. පසුගියදා හන්තානෙට නව ජීවයක්, නව හැරවුමක් එක් වූයේය. ඒ හන්තාන කඳුවැටියේ අලුත්ම පරිසර පද්ධතියක් නිර්මාණය වෙමිනි. මහනුවර සිට කිලෝ මීටර තුනක පමණ දුරකින් යුතුව පසුගියදා දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත වූයේ හන්තාන සංක්‍රමණික පක්ෂි උද්‍යානයේ සහ පරිසර සංචාරක කලාපයයි. අක්කර 27 ක් පුරාවට ඉදි වෙමින්, ශ්‍රි ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වූ මෙම ජාත්‍යන්තර කුරුලු උද්‍යානය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විවර වූයේ පසුගිය 23 වැනිදාය.

මහනුවර සංචාරක කලාපය මුල්කර ගනිමින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මහනුවර දළදා මාළිගාව, පේරාදෙණි උද්භිද උද්‍යානය ඇතුළු සංචාරක කලාපයන්ට අමතරව මේ අලුත්ම නැරඹුම් ස්ථානය පුරා දිනක්ම ගත කර නැවුම් අත්දැකීම් ලබන්නට අපූරු තෝතැන්නකි. 

ව්‍යාපාරික ලොවේ නමක් දිනූ නිශාන්ත කෝට්ටෙගොඩගේ සභාපතිත්වයෙන් යුතු මේ සංක්‍රමණික පක්ෂි උද්‍යානයේ සහ පරිසර සංචාරක කලාපය ලංකාවේ ඉදි වූ විදේශීය පක්ෂින්ගෙන් සැදුම්ලත් ප්‍රථම ජාත්‍යන්තර පක්ෂී උද්‍යානය වෙයි. අදියර තුනකින් නිම කිරීමේ අරමුණ ඇතිව ඉදිවෙන මෙම පක්ෂි උද්‍යානයේ මුල් අදියර වූයේ විදේශීය පක්ෂින්ගෙන් සැඳුම් ගත් කුරුලු උද්‍යානයයි. එය මේ වන විට බොහෝ දුරට නිම වී ඇත්තේය. සිංගප්පූරුවේ Jurong Bird Park, ඉන්දුනීසියාවේ Bali Bird Park ආභාසයෙන් ඉදි වූ මෙම උද්‍යානය නිර්මාණ කටයුතු සැලසුම් වන්නේ 2002 වසරේදීය.

නිශාන්ත කෝට්ටෙගොඩගේ පියා පී. බී. කෝට්ටෙගොඩ ය. තම ව්‍යාපාර කටයුතු කොතරම් තිබුණ ද නිශාන්ත හා පියාගේ මූලික විනෝදාංශය වී ඇත්තේ විදේශීය කුරුල්ලන් ඇති කිරීම හා අභිජනනය කිරීමය. ඒ වෙනුවෙන් ඔවුන්ට බලපත්‍ර ද ඇති අතර සිය මාතලේ පිහිටි නිවසේ මෙම කුරුල්ලන් ඇති කිරීම පමණක් නොව බෝ කිරීම්ද කරන්නේ වසර 40 ක පමණ පෙර සිටය. විදේශීය කුරුල්ලන් දිගු කලක සිට ඇති කිරීම නිසාවෙන් පී. බි. කෝට්ටෙගොඩ ට මෙවැනි උද්‍යානයක් ඇති කිරීමේ ආසාව පහළ වන්නේය. ඔවුනට අවශ්‍යව තිබුණේ සිංගප්පූරුවේ Jurong Bird Park එකක් ලංකාවේද ඇති කර සංචාරකයන්ට විනෝදාස්වාදය ලබන්නට අවස්ථාවක් උදාකර දීමය.

ඒ අනුව මෙම කුරුලු උද්‍යානය ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වන්නේ 2002 වසරේදීය. එදා සිට වනජීවි, පරිසර, නාගරික සංවර්ධන, භූ විද්‍යා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසකින් අවසර ගන්නට සිදුවූ ගමන් මාර්ගය අති දුෂ්කර විය.

“මමත් මගේ පියාත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් නියැළුණ අය. අපි වසර 40 ක පමණ කාලයක් විදේශීය කුරුල්ලෝ ඇති කළා. ඒ විනෝදාංශය වැඩි වීමෙන් තමයි උද්‍යානයක් ඇති කිරීමේ අදහස පහළ වුණේ. මෙය හුදෙක් මුදල් ඉපයීමට පමණක් නෙමෙයි. අප්පච්චිගේ හීනය සැබෑ කරන්නත් මට ඕන වුණා. නමුත් මේ සඳහා අනුමැතිය ගන්න රාජ්‍ය නිලධාරින්ගෙන් විවිධ බාධා මතුවුණා. ඒ්නිසා මෙවා නිරාකරණය කර ගන්න බොහෝ කලක් ගියා. මොන බාධාක ආවත් අපි මෙය අතහරින්න සුදානම් වුණේ නැහැ. මේ වෙනුවෙන් වයස අවුරුදු 22 ක් අපතේ ගියා. ගෙවුණු කාලයෙන් තව ව්‍යාපෘති ගණනාවක් අපිට කරන්න තිබුණා. අතළොස්සක් දෙනා අනියම් දේ මෙයින් බලාපොරාත්තු වුණා. වරක් මට උසාවි යන්නත් සිදු වුණා. සිංගප්පූරුවේ Jurong Bird Park, ඉන්දුනිසියාවේ Bali Bird Park තමයි අපේ ආදර්ශය වුණේ. අපි ඊට විවිධ දේ මුසු කළා. මහනුවර පරිසරය විදේශීය කුරුල්ලන්ට ඉතා සුදුසුයි. සියල්ල සකස් වුණේ පරිසරයට හිතකාමි ආකාරයටයි. හැම බිම් අඟලකම ගස් සිටෙව්වා. මේ භූමිය අක්කර 27 ක්. මුලින්ම ප්ලෑන් කළේ අක්කර භාගේ විශාල කූඩුවලට සතුන් නිදහස් කර ඒ තුළට ගොස් කුරුල්ලන් බැලීමටයි. පොඩි පොඩි කූඩු විවිධ පරිමාණයට සැලසුම් කළා. නමුත් ලොකු කූඩු නිර්මාණයට යන්න අපිට බැරි වුණා. ගෙවුණු කාලයේ පොඩි කූඩු සැලසුම්වලට පමණයි යන්න පුළුවන් වුණේ. කොවිඩ් අර්බුදය ඊට හේතු වුණා. පැස්බරු වැනි සතුන්ට විශාල කූඩු අවශ්‍ය නිසා මේ අවස්ථාවේ අපි ඔවුන් හඳුන්වා දුන්නේ නැහැ. “ඒ හන්තාන බර්ඩ්ස් පාක් ඇන්ඩ් ඉකෝ ටුවරිසම් ප්‍රයිවට් ලිමිටඩ්හි සභාපති නිශාන්ත කෝට්ටෙගොඩය. 

මේ වන විට හන්තාන කුරුලු උයනේ සිටින්නේ වසර 40 කට පමණ පෙර සිය නිවෙසේ ඇති කළ විදෙස් කුරුල්ලන් ගෙන් බිහි වූ හතරවැනි පරම්පරාවේ කුරුල්ලන්ය.

ඔවුන් සියල්ල විදෙස් කුරුල්ලෝ වුවත් මේ අය ලංකාවේ බෝ වූ පක්ෂීන්ය. මේ නව කුරුලු උද්‍යානයේ කුරුලු විශේෂ 100 ත් පමණ ඇති අතර ඉදිරියේදි එය විශේෂ 500 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරාත්තු වෙති. ඉන්දුනීසියාව, මෙක්සිකෝව වැනි රටවල් හරහා කුරුල්ලන් ගෙන්වා ගැනීම් සිදු වන්නේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුවය. කෙසේ වෙතත් සභාපතිවරයා පවසන්නේ වසර 20 කින් මෙහා කිසිදු සංචාරක පක්ෂියෙක් ගෙන්වා නැති අතර දැනට මේ පාක් එකේ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනාකමින් යුතු පක්ෂීන් ද සිටින බවයි. මේ වන විට රුපියල් මිලියන 490ක වියදමක් දරා ඇත.

“වසර 20ක් පුරාවට අපි විදෙස් කුරුල්ලන් ලංකාවට ගෙන්වා ගත්තේ නැහැ. මේ කුරුල්ලෝ ඉතා සුහදශීලියි. සියල්ල මෙහි බෝ වූ අය. අදියර තුනකින් මෙය නිර්මාණය කෙරෙනවා. කුරුල්ලෝ එක් අංගයක්. දෙවැනි අදියරේදි කැබින්ස් සමඟ යන කතුරු ඔංචිල්ලාවක් ( Ferris wheel), මින් මැදුරක් (Aquarium) හා වීදුරු උමග (Glass bridge) ක් ඇති කරනවා. කේබල් කාර් පද්ධතිය ( Cable car) තුන්වැනි අදියරේදි ඇති කරනවා. මෙය විශාල ආයෝජනයක‍්. දැනට කේබල් කාර් සඳහා නුවර නගරයේ ස්ථානයක් හඳුනා ගෙන තියෙනවා. කිලෝ මීටර 2 ක දුරක්. සියල්ල තවත් වසර 5 කින් සම්පූර්ණ වෙනවා. මේ සඳහා මගේ පවුලේ සහෝදරයන් 6 දෙනා, මගේ බිරිය ඉරෝෂිනි ජයවර්ධන වගේම මගේ පුතුන් තිදෙනාගෙන්ද ලැබෙන්නේ විශාල ශක්තියක්”.

මේ කුරුලු උද්‍යානය හරහා සෘජු රැකියා 450-500 ක් මෙන්ම වක්‍ර රැකියා 500ක් පමණ බිහි වීමට නියමිතය. ආපනශාලා 4 ක්, ළමා උද්‍යාන 4 ක් ඇති මේ සඳහා ඇතුළු වීමට වැඩිහිටියකුගෙන් රු 600 ක්, දරුවන්ගෙන් රුපියල් 400 ක් හා පාසල් ළමුන්ගෙන් රු 200 ක මුදලක් අය කෙරේ. අමතරව සත්ත්ව විද්‍යා පර්යේෂණය කරන්නන්ට ඒ අවස්ථාව නොමිලයේ ලබා දෙන අතර, රෝගි වූ කුරුල්ලන්ව රැක බලා ගැනීමේ කුරුලු නිවහනක්, අනාථාගාරයක් හා නිරෝධායන ඒකකයක් ද ඇත.

අපේ පක්ෂීන් අතරින් 40% ක්ම සංචාරක පක්ෂීන් 
- කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය විද්‍යාජෝති සරත් කොටගම

අපේ රටේ පක්ෂි විශේෂ 526 ක් ඉන්නවා. එයින් 40% ක් සංචාරක පක්ෂීන්. ලංකාව සංචාරක පක්ෂීන් දැකබලා ගැනීමට සුදුසු ස්ථානයක්. ඒ ආසියානු මහද්වීපය හරහා පැමිණෙන කුරුල්ලන්ගේ ගමනේ අවසාන ගමනාන්තය ලංකාව වන නිසා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සේම පරිසර පද්ධතියට මෙම සංචාරක පක්ෂීන්ගේ පැමිණීම වැදගත්. වසර ගණනාවක් පුරාවට මේ සංචාරක පක්ෂීන්ගේ ආගමනයන් සිදුවී තියෙනවා. ඒ අතර කාලයේ යම් අඩු වැඩිවීම් සිදුව තිබුණා. කුරුල්ලන්ට හිතකර පරිසර පද්ධති විනාශ වීම, ආහාර සොයා ගැනීම් අඩු වීම මෙන්ම දේශගුණ විපර්යාස ද මේ අඩු වැඩිවීම්වලට හේතු වුණා. අගෝස්තු අග ඔක්තෝබර් මස පැමිණෙන මේ සංචාරක පක්ෂීන් නැවතත් තම රටට යාම ආරම්භ කරන්නේ මාර්තු හා අප්‍රේල් මාස වන විටයි.

සංචාරක පක්ෂීන්ට ලංකාව විශේෂිත ස්ථානයක් 
- කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න

ලංකාවේ පක්ෂි වර්ග අතරින් වර්ග 250 ක් පමණ සංචාරක පක්ෂීන්. ඒ අතර ලංකාවට ආවේණික පක්ෂ‍ීන් වර්ග 34 ක් ඉන්නවා. ඉතිරි ප්‍රමානය දේශිය පක්ෂින්. සංචාරක පක්ෂීන් ලංකාවේ බිත්තර දාන්නේ නැහැ. බිත්තර දාන්න නැවත ඔවුන්ගේ දේශයටම පියාසර කරනවා. මේ අය ලංකාව පුරාම දැකිය හැකියි. නමුත් සංචාරක පක්ෂීන් එකවර විශාල පිරිසක් නිරීක්ෂණය කළ හැකි ස්ථාන වන්නේ බූන්දල, මන්නාරම, යාපනය කෙරවලපිටිය, මුතුරාජවෙල, යාල. බොහෝ පක්ෂීන් පැමිණෙන්නේ උතුරු අර්ධගෝලයෙන්. මේ අය ලංකාවට එන්නේ සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවල එහි පවතින දැඩි ශීත දේශගුණයෙන් මිදෙන්නයි. ලංකාවේ මාස 6 ක් පමණ කාලයක් රැඳී සිට යළිත් එරට වසන්ත කාලය පැමිණෙන මාර්තු- අප්‍රේල් මාස තුළදි ඔවුන් තම රටවලට නැවතත් පියාඹා යනවා. ඒ මාස 6 ක කාලය තුළ ඔවුන් බිත්තර දමා බැටවුන් බිහි කර යළිත් ශීත කාලයේ ලංකාවට පැමිණීම සිදු කෙරෙනවා.

වසරක් පාසා ඔවුන් නැවත පැමිණෙන්නේ පුරුදු තැනටමයි. ඔවුන් චුම්බක ධාරා භාවිත කර තමන් යා යුතු ස්ථානය තීරණය කරනවා. සංචාරක පක්ෂින්ට ලංකාව විශේෂිත ස්ථානයක්. ඔවුන් මුහුදු උඩින් පියාඹන්න අකමැතියි. ඒ නිසා ආසියාව හරහා එන කුරුල්ලෝ අවසානයේ නතර වෙන්නේ ලංකාවෙන්. ලංකාවෙන් පහළ මුහුදු තීරය ඇති නිසා එතැනින් පසු පියාසර කිරීම නවත්වනවා. මොවුන් රංචු වශයෙන් මිලියන ගණනින් පියාඹා ආවත් අද වන විට එම ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ පසුගිය කාලයේ වනාන්තර, තෙත් බිම් විනාශ වීම නිසා. අපේ ගෙවත්තේ ද අවිච්චියා, පෙදනිල්බිගු පරයා, සුදු රෙදි හොරා වැනි සංචාරක පක්ෂින් දැකිය හැකියි. කැළෑවලට එන සංචාරක පක්ෂීන් අතර ගෝමර අවිච්චියා, විවිධ රාජාලි වර්ග, බඹර උකුස්සා දැකිය හැකියි. ලංකාවේ සත්ත්ව උද්‍යානවල මෙන් පක්ෂි උද්‍යානවල විදෙස් කුරුල්ලන් කූඩු කර ඇති දැඩි කරනවා. ඒ සංචාරක ආකර්ෂණය සඳහා ව්‍යාපාරයක් වශයෙන්. ඔවුන් හා ලංකාවට නිරන්තරයෙන් පැමිණෙන සංචාරක පක්ෂීන් අතර වෙනසක් පවතිනවා.

ඡායාරූප - එන්. ජී, විජේරත්න 
කටුගස්තොට සමූහ

Comments