නව ග්‍රහ අපලවලින් ගැලවෙන්නේ මෙහෙමයි | සිළුමිණ

නව ග්‍රහ අපලවලින් ගැලවෙන්නේ මෙහෙමයි

රවි, චන්ද්‍ර, කුජ, රාහු, ගුරු, සෙනසුරු, බුධ, කේතු සහ සිකුරු මේ ග්‍රහයන් නව දෙනායි

රවි අපලයට කළ යුතු වත් පිළිවෙත්  සෙනසුරු අපලයට තුන් ආකාරයකට මුහුණ දීමට සිදු වේවි

මෙම ග්‍රහයන් නව දෙනාගේ එක් එක් කාල පරිච්ඡේදවලදී මෙලොව සියලු වැසියනට හොඳ මෙන්ම නරකද ලබා දී ඔවුන්ගේ ජීවිත සුන්දර කරන්නා සේම සියලු දේ අවුල් කර ඉහළ සිට පහළටම ඇද දැමීමේ හැකියාවක් ද ඇත. මේ ග්‍රහයන්ට තම තමාගේ බල පුළුවන්කාරකම පෙන්වන කාලසීමාව මේ ග්‍රහයන්ගේ 'දශා කාලය' ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී හොඳ කාලය මෙන්ම මේ ග්‍රහයන්ගෙන් සිදු වන අපල කාලය ද උපතින්ම කේන්ද්‍ර සටහනේ සඳහන් කරගෙන මෙලොවට පැමිණෙනවා ඇත. මේ ග්‍රහයන්ගෙන් සත්‍ය වශයෙන්ම මිනිසාට අපල උපද්‍රව සිදු කිරීම ලෙස සලකන්නේ පෙර අත්භවයන්හීදී කරන ලද්දා වූ අකුසල මෙම අත්භවයේ දී කර්මානුකූලව විපාක පල දෙන කාල සීමාවයි. එනම් ඒ ඒ ග්‍රහයන් සංයෝගයෙන් මෙන්ම සතුරු වීමෙන් ද උප්පත්ති කේන්ද්‍රයේ ඒ ඒ භාවයන්ට පැමිණෙන විට ඇතිවන තත්ත්වයන් මත සිදු වන බලපැම සිදු වන ආකාරයයි.

මෙහිදී ඇතැම් භාවයන්හි සිටින ග්‍රහයකු ප්‍රබලව යහපත් ලෙස කිසියම් අයකුගේ ජන්ම පත්‍රයේ පිහිටියේනම් ඔහුට හෝ ඇයට සිදු විය හැකිව තිබූ මාරක අපලයක් එනම් භයානක උපද්‍රවයක් මඳ පමණක් හෝ සමනය වීමට හැකියාවක් ඇත.

මුලින්ම ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් 'රවි ග්‍රහයා' විසින් සිදු කරනු ලබන අපල උපද්‍රවයන් සඳහා කෙසේ කටයුතු කළ යුතුද යන්න විමසා බලමු.

මෙවන් කටයුතු සිදු කිරීමට ප්‍රථම සිදු කළ යුතු ප්‍රධානම දෙය බුදුන් වැඳ පංචශීලය සමාදන් වීමයි. ඒ සඳහා රන්වන් පැහැති මල්, කහපාට මල් (දාස්පෙතියා මල්) නෙළුම් මල්, කිරිබත්, උක්හකුරු, සුවඳ කූරු යනාදිය සමඟ බුදුන් වැඳ සූදානම් විය යුතුය.

ඉන්පසු 'සූර්යයා' වෙනුවෙන් පූජා වට්ටියක් පිළියෙල කරගන්න. ඒ සඳහා තිරිඟු පිටි, උක් හකුරු, තඹ කැබැල්ලක්, රතු නෙළුම්, වදමල්, රත්හඳුන්, රතු රෙදි කැබැල්ලක් සමඟ වසු පැටියකු සමඟ එළදෙනක සිටින රූපයක් (සිංහල බෙහෙත් බඩු කඩවල ඇත) සහිතව පූජා වට්ටිය සාදාගෙන නැඟෙනහිර දිශාවක ඇති ඉඹුල් ගසක් මුල කුඩාවට මැස්සක් සාදා ඒ මත මෙම පූජාව තැන්පත් කර ඉරු දිනක රවි හෝරාවේ පහත සඳහන් මන්ත්‍රය කියා තමන්ගේ දුක් යාදින්න කියන්න. මන්ත්‍රය - ඕං හීං ශ්‍රීං සූර්යයා නමඃ

මෙම යාදින්න ඉතාමත් පැහැදිලිව ඔබගේ අපලය දුරුවේවා කියා සිහිපත්කර දන්නා විදිහට ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව පවසන්න. මෙහිදී ඔබට දැනෙන අයුරින් හිරු දෙවියන් හට වර්ණනාවක් කරන්න.

මීට අමතරව ඉරිදා දිනයක ඊශ්වර දේවාලයකට ගොස් තමන්ගේ දුක්ගැනවිල්ල සිහිපත් කර එම අපලයෙන් තමාට රැකවරණයක් පිහිටක් ඉල්ලා පිරිසුදු පලතුරු පූජාවක් සමඟ සුවඳ හඳුන්කූරු කපුරු දල්වා නමස්කාර කරන්න.

අද සමාජයේ බොහෝ අයගේ සිත්හි තැන්පත්ව ඇති භයානකම අපල කාලයක් වන සෙනසුරුගේ අපල කාලවලදී කළ යුතු වත්පිළිවෙත් සිදු කර එයින් ද සහනයක් ලබා ගැනීමට බොහෝ අය විමසන කරුණක් වන නිසා අනෙක් ග්‍රහයන්ට ප්‍රථමව එම අතිෂ්ටම ග්‍රහයා වන සෙනසුරුගෙන් සහනයක් ලබා ගැනීමට මෙම වත්පිළිවෙත් ඔබ දැනුම්වත් වනු ඇත.

සෙනසුරුගේ අපලයන් තුන් ආකාරයකට ඔබට ජීවිත කාලය තුළදී අනිවාර්යයෙන් මුහුණ දීමට සිදු වන දෙයකි. මෙහිදී එය ජන්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය යනුවෙන් ඔබට ජීවිතයේදී අත්විඳීමට සිදු වන දෙයකි. විශේෂයෙන් මෙම අපලයන්ගෙන් බේරුණු, ඒ නිසාම දුකට පත් කිසිම 'කෙරුමෙකු' සොයා ගැනීම ඉතාමත් අපහසු දෙයකි. එසේම සෙනසුරාගේ තවත් පැත්තක් ද ඇත.

එනම් ඇතැම් අයට සෙනසුරුගෙන් ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පැමිණීමට උපකාර ලැබෙන පිහිටීමකි. මෙය බොහෝ අයට පිහිටන්නේ නැති වුවද ඉතාමත් දිළිඳු අවධියේ සිට ඉතාමත්ම යසඉසුරු පිරුණු ජීවිතයක් ලබා දී සියලුම සැප සම්පත් නොඅඩුව ලබා දෙන කාලයකි. එසේම එම කාලසීමාවේදී ඔහු හෝ ඇයට සෙනසුරු වෙනුවෙන් කළ යුතු බොහෝ දේ ඇත.

මෙහිදී ඔබට ප්‍රවීණ ජ්‍යොතිර්වේදියකු හමුවී තමාට කුමන කාලසීමාවේදී මෙම ඒරාෂ්ටක කාලයන් හට මුහුණ දීමට සිදු වන්නේ ද යන්න දැනගත හැකි වනවා ඇත.

සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ගිතෙල් මිශ්‍ර කිරිබතක් සාදා කපුටන් හට කෑමට දීම, ආබාධිත අයට විශේෂ වශයෙන් පාදවල ආබාධයන් ඇති අයට උපකාර කරන්න. වත්තේ ඊසාන දිශාවේ වැටකේ පඳුරක් සිටුවා එයට සාත්තු කරන්න. එසේම හැකිතාක් නිර්මාංසව නිරාහාරව උපවාස කරමින් ශනි ග්‍රහයාගෙන් සිදු වන උපද්‍රවවලින් සහනයක් ලබා ගැනීමට ප්‍රාර්ථනය කරන්න. මෙම උපවාසය සඳහා කළු පැහැති වස්ත්‍රයෙන් සැරසී කළු වර්ණ බීජයත්, පිරිසිදු ජලය, නීල වර්ණ මල් ගලා යන ගඟක ජලය සහිත පූජාවක් සූදානම් කර එය ද රැගෙන නුග වෘක්ෂයක් අසලට ගොස් එහි නැඟෙනහිර පැත්තට වත්කර උපවාසය කරමින් ප්‍රාර්ථනය කරන්න.

උපවාසය අවසන ආහාරය සඳහා ධාන්‍යවලින් සාදන ලද ආහාර වේලක් සකසා අසරණ අයෙක් සඳහා පරිත්‍යාග කර වළඳන්න. ඉන්පසු බෝධින් වහන්සේ නමක් වෙත ගොස් බෝධි පූජා පවත්වා තමනට යහපත ලැබේවා ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනය කරන්න.

මේ සියල්ල අවසානයේ විෂ්ණු දෙවියන් හට ප්‍රණීත පූජාවක් පවත්වා, මල් පහන් පූජා කර තමාට එම සෙනසුරු ග්‍රහයාගෙන් සිදු වන උපද්‍රවයන්, අතුරු අන්තරාවලින් ආරක්ෂා කර පිහිටවන ලෙස භක්තියෙන් විශ්වාසයෙන් යුතුව නිල් පැහැති තිරයක් පූජා කර නිල් පැහැති රෙදිකඩක බාරයක් ගැට ගසන්න. ඒ අයුරින්ම සියලු අපල උපද්‍රව දුරු වූ පසුවද පුද පූජාවන් පවත්වා විෂ්ණු දෙවියන් හටද ඒ කටයුතුවලදී පිහිටවූ නුග රුකට ද කළගුණ සැලකීමට අමතක නොකරන්න.

Comments