අතේ සල්ලි නැතත් නිවාස හැදෙන ප්‍රබල නැකතක් හදන හැටි | සිළුමිණ

අතේ සල්ලි නැතත් නිවාස හැදෙන ප්‍රබල නැකතක් හදන හැටි

  ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය, කැලුම් ගු ණතිලක

නිවාස, යාන වාහන, වාසස්ථාන, ඉඩකඩම් මව හා මවගෙන් ලැබීම් ආදී බොහෝ කරුණු පිළිබඳව කේන්ද්‍රයේ 04 වන භාවය මුල්කොට බලනු ලැබේ. ලැබීම් වගේම නිවාස නැකැත් සෑදීමේදී ද හතරවැන්න විශේෂ රාශියකි. නිවාස ඉදිකිරීම් කටයුතු උදෙසා නැකැත් බැලීමේදී බොහෝ ප්‍රවේශමෙන් නැකැත් සෑදීමට වගබලා ගත යුතුයි. විශේෂයෙන් මෙවැනි සමයකදී නැකතේ ගුණ නිසාම අතේ මහ මුදලක් නැතිව වැඩ පටන්ගෙන සාදා අවසන් කරගත් නිවාස ඕනෑතරම් ඇත. බාධාවකින් තොරව නිවස සාදා ගැනීමටත්, කරදරයකින් තොරව ඊට අවශ්‍ය බාසුන්නැහේලා ඇතුළු සියලු ද්‍රව්‍ය රැස් කර ගැනීමටත් නැකත ඉතාම වැදගත් වනු ඇත. එබැවින් නිවසක් බලා සිටිද්දීම වේගයෙන් සාදා ගත හැකි නැකැත් හදාගන්නා අයුරු අපි අද කතා කරමු.

නිවසේ ගෘහ මූලිකයාගේ හෝ නිවස ඉදිකිරීමට වැඩිම මුල්‍ය දායකත්වයක් ලබා දෙන කෙනාගේ නැකතට වැඩි බලයකුත්, සෙසු සාමාජිකයින්ට බේද නොවන දවසකුත් ප්‍රථමයෙන් තෝරාගත යුතුයි. එහිදී පෙර කී පරිදි ගෘහමූලිකයාගේ නැකතට සම්පත් නැකතක් උදාවන දවසක් තෝරා ගැනීමට හැකි වුවහොත් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලැබෙනු ඇත.

එමෙන්ම සාමාන්‍ය පරිදිම එදින පංචාංගය ශුභ දවසක් වීම ඉතා වැදගත් වේ. පංචාංගය යනු දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යි.‍ බොහෝ කාලයක් පැවැත්වෙන වැඩ කටයුතු උදෙසා උත්තරායන සමයේ කටයුතු ආරම්භය ශුභ බව කියවේ. සාමාන්‍යයෙන් උත්තරායනය යනු දෙසැම්බර් මැද සිට ජුනි මැද දක්වා කාලයයි.

දැන් ඔබ නිවසක් සෑදීමේදී සෞම්‍ය ග්‍රහයෙකු බලවත් වන කාලයක් තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ. එනම් සඳු, බුධ, සිකුරු, ගුරු වැනි ග්‍රහයන්ය. බුධ, මිථුන, කන්‍යා රාශියක, සිකුරු, වෘෂභ, තුලා, මීන යන රාශියක හෝ ගුරු, ධනු, මීන, කටක යන රාශියක යන කාලයක තෝරා ගැනීමෙන් අදාළ ග්‍රහයින් බලපත් වේ. මෙසේ එක් ග්‍රහයෙක් හෝ කීපදෙනෙකු බලවත් වීම ඉතා යහපත් වේ.

උදාහරණ ලෙස මාර්තු මුල් දින 12 තුළ ගුරු තමා ස්වක්ෂේත්‍ර වන මීන රාශියේ ද සිකුරු තමා උච්ච වන මීන රාශියේ ද ගමන් කරනු ලැබේ. මාර්තු 3, 4, 5 දිනයන්හි සඳු තමාගේ ස්වක්ෂේත්‍ර රාශිය වන කටක රාශිය හරහා ගමන් කරයි. මේ ආදී කරුණු ගැන මනා අවබෝධයක් නැකැත් සාදන්නා සතු විය යුතුයි.

මූලිකවම නැකතක බලය උදාවීමට නැකැත් මොහොතේ තත්කාලීන ලග්නාධිපති ශුභ ස්ථානගත විය යුතුයි. ලග්නාධිපති බලවත් වන තරමට ද ඉතා ශුභයි. ඊට නොදෙවැනි වන ලෙස හතර අධිපති බලවත් විය යුතුයි. නිවාස නැකැතකදී හතර අධිපති ග්‍රහයා 6, 8, 12 නොවන ස්ථානයක සිටිය යුතුයි. බලවත් විය යුතුයි. හතර වැන්නේ කිසිදු ග්‍රහයෙක් නොමැති වුවද ප්‍රසන්නයි. කෙසේ වෙතත් හතර වැන්නට පෙර කී සෞම්‍ය ග්‍රහයෙක් බල සහිතව සිටීම කොතරම් බලාත්මක ද හතරවැන්න මීන රාශිය වී එහි ගුරු හෝ සිකුරු හෝ දෙදෙනාම හෝ සිටීම ප්‍රතිඵල තීව්‍ර කරන ප්‍රබල තත්ත්වයයි. තුන්වැන්න, පස්වැන්න මෙන්ම දසවැන්න ද යහපත්ව පැවතිය යුතුයි. ගුරු, බුධ වැනි ග්‍රහයෙකු ලග්නයේ තබා නැකැත් සෑදීමට සඳු‍, සිකුරු හතරවැන්නේ තබා නැකැත් සෑදීම ද ඉතා යහපත්ය.

ගුරු ලග්නගතව නැකැත් සෑදීමෙන් ලක්ෂයක් දෝෂ භංග වේ. රවි එකොළොස් වැන්න තබා නැකැත් සෑදීමෙන් කෝටියක් දෝෂ භංග වේ. තවද නිවාස නැකැත් සෑදීමේදී 02, 11 පිළිබඳව ද මනා අවබෝධයක් තිබිය යුතුයි. 2, 11 අධිපතියන් යෝග වීම මහා ධන යෝගයකි. නිවසේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යාමට ධනය ලැබෙන කදිම පිහිටීමකි. කොතෙක් හෝ ධනය ලැබෙනවා ඇත. තවද හතර, පහ අධිපතියන් යෝග වීමද එවැනිම ප්‍රබල යෝගයකි. එවිට අමාත්‍ය යෝගයක් නිර්මාණය වේ. එනම් අමාත්‍යවරයකු සේ ප්‍රභූ ලීලාවෙන් ජීවත්විය හැකි නිවසක් කඩිනමින් සකසා ගැත හැකිය. මැති ඇමතිවරු, රජයේ උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙනු ඇත.

කෙසේ වෙතත් හතරවැන්නට කුජ, රාහු, ශනි වැනි ග්‍රහයින් නොසිටින පරිදි නැකැත් සෑදීම අතිශය අත්‍යවශ්‍යයි. කුජ හතර වැන්නට තිබූ විට වාසස්ථාන නිතර කඩ කඩා හදන ගති උදා වේ. ශනි හතරවැන්නට තිබූ විට වාසස්ථානවල පැරණි පාළු ගති ඉස්මතුවේ. ගුප්ත දෝෂවලට ලක්වේ. රාහු හතරවැන්නේ තිබූ විට වැඩ ඇදේ. වසර ගණනක් යනතුරු වැඩ නිමා කර ගැනීමට නොහැකි වේ. සූර්ය මාස, චන්ද්‍ර මාස ක්‍රම යටතේ ද නිවසක් සෑදීමට උචිත මාස තීරණය කරගත හැකිය.

චන්ද්‍ර මාස යනු දුරුතු, නවම්, මැදින් ආකාර ක්‍රමවේදයයි.

දුරුතු - සොරබිය ඇති කරයි

නවම් - ගිනි බිය උදාවේ

මැදින් - ශ්‍රියාව වර්ධනය වේ

බක් - රෝග පීඩා ගෙනදේ

වෙසක් - ධනය ලැබේ. මැණික් වාසි ඇත

පොසොන් - මරණය ගෙන දේ

ඇසල - රත්න ලාභ, සේවක ලාභ

නිකිණි - මිත්‍ර ලාභ උරුමයි

බිනර - හානි

වප් - යුද්ධ හා ගැටුම්

ඉල් - ධන ධාන්‍ය

උදුවප් - ධන වෘද්ධි

 

සූර්ය මාස ක්‍රමය යනු සූර්යයා මේෂ, වෘෂභ ආදී රාශි මාරු වීමයි.

මේෂ - ශුභයි

වෘෂභ - ධන ලාභ ලැබේ

මිථුන - මරණ හෝ මරණ සමාන පීඩා

කටක - ඉතා ශුභයි

සිංහ - වැඩට යහපත් සේවකයන් ලැබේ

කන්‍යා - රෝග

තුලා - සැප සම්පත්

වෘශ්චික - ධනය වර්ධනය කෙරේ

ධනු - විවිධ හානි

මකර - ධාන්‍ය ලාභ

කුම්භ - රත්න ලාභ

මීන - භය

 

මේ දෙකම සංයෝජනය කර ගැනීමෙන් මහා ප්‍රතිඵල ලබා ගත හැක. උදාහරණ ලෙස මීට පෙර කලාපයක අප ලබා දුන් මාර්තු මස 01 වනදා නැකත ගැන බලන්න. එහිදී සූර්ය මාසය වන්නේ කුම්භයයි. එනම් පෙබරවාරි 13 සිට මාර්තු 15 දක්වා රවි කුම්භ මාසයයි. එහි ප්‍රතිඵලය රත්න ලාභ වේ. රත්න යනු ධනය, ධාන්‍ය, ස්ත්‍රී පුත්‍ර, මිත්‍ර ආදී බොහෝ දේ වේ. එමෙන්ම මෙවර පෙබරවාරි 20 සිට මාර්තු 21 දක්වා චන්ද්‍ර මාස ක්‍රමය අනුව මැදින් මාසය යයි. මාර්තු 01 දා වැටෙන්නේ එහිද මැදින් පුර කොටසටයි. මැදින් මාසයේ ප්‍රතිඵලය ශ්‍රියාව වර්ධනය වේ යන්නයි.

Comments