බාලදක්ෂයන් 8000ක් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට රොද බැන්දේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

බාලදක්ෂයන් 8000ක් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට රොද බැන්දේ මෙහෙමයි

දිසා බාල­දක්ෂ කැම්පෝ­රි­යට සුදා­නම් වන බාල­ද­ක්ෂයෝ

තේමා පාඨය වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන් (leaders for a better tomorrow) යන්නයි

"වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන්" හෙවත් leaders for a better tomorrow උදාන වාක්‍ය තේමා කරගනිමින් 57 වැනි කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරිය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භ වූයේ ඉකුත් 2 වැනිදාය. කොළඹ බාලදක්ෂයන්ගේ ප්‍රමුඛතම වාර්ෂික ඉසව්ව වන එම ප්‍රධාන කඳවුර ලබන 6 වැනිදා අවසන් වීමට නියමිතය. 

කොවිඩ් 19 වසංගතය පැතිර යෑමෙන් පසු සහභාගි වන්නන් එළිමහනේ කඳවුරු බඳින කොළඹ පළමු ප්‍රධාන බාලදක්ෂ කඳවුර වන්නේ මේ කැම්පෝරියයි. කොළඹ බාලදක්ෂයන්ගේ ප්‍රමුඛතම ඉසව්ව වන කොළඹ කැම්පෝරිය, බාලදක්ෂ සම්ප්‍රදායන්ගෙන් පොහොසත් වන අතර, ලාංකේය බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රධානතම කඳවුරකි.

57 වැනි කොළඹ කැම්පෝරිය නිල වශයෙන් ආරම්භ කරමින් 03 වැනිදා පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහභාගි විය. සිඟිති, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෝෂ්ඨ, මානවක සහ බාලදක්ෂ නායක, නායිකාවන් 8000කගේ පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මේ කඳවුර පැවැත්වෙයි.

කොළඹ බාලදක්ෂයන් විසින් එළිමහන් කඳවුරු බැඳීම යළි ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින්, කොළඹ දිස්ත්‍රික් කොමසාරිස් අමිල් අබේසුන්දර ප්‍රකාශ කළේ, 2020 මාර්තු මාසයේ සිට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 55 වැනි සහ 56 වැනි කොළඹ කැම්පෝරිය සංවිධානය කළේ අන්තර්ජාලය හරහා වුවත් ඒ තත්ත්වයට ගැළපෙන සේ අති සාර්ථකව කඳවුරු සංකල්පය නවීකරණය කිරීමට කටයුතු කළ බවයි. මෙවර පැවැත්වෙන 57 වැනි කොළඹ දිසා කැම්පෝරියේදී දින 4ක් පුරා විහාරමහා දේවී උද්‍යානයේ කඳවුරු බැඳීමට කටයුතු යොදා තිබෙන අතර, එහිදී කැම්පෝරි තරුණ දිනය සහ CAMARADERIE - The Camporee Urban Hike යනුවෙන් එළිමහන් වැඩසටහන් දෙකක් කොළඹ නගරයේ බාහිර තරුණ සංවිධාන සඳහා විවෘත කර ඇති බවත් හෙතෙම පැවසීය.

කොළඹ කැම්පෝරියේ සංවිධායක කොමසාරිස් මෙන්ම කොළඹ දිස්ත්‍රික් සහකාර දිසා කොමසාරිස් සම්පත් විජේසිංහ වැඩිදුරටත් පවසන්නේ වඩා යහපත් හෙට දිනක් සඳහා වන නායකයෝ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙවර කැම්පෝරිය බාලදක්ෂයන්ට ජීවිතය පුරා විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවයි. ඒ අනුව මෙකී කැම්පෝරිය කොළඹ බාලදක්ෂයන්ට විනෝදය සහ වික්‍රමාන්විත අත්දැකීම් නොඅඩු විධිමත් අධ්‍යාපනික වැඩසටහනක් බවට පත් කිරීම සඳහා සංවිධායක කමිටුව සියලු කටයුතු සූදානම් කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට 193දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බව කණ්ඩායම් නායක මනුක ප්‍රනාන්දු පැවැසීය. මෙම බාලදක්ෂ කැම්පෝරියට 330ක පමණ සමාජික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන බව සහිරා විද්‍යාලයේ බාලදක්ෂ නායක එච්. එෆ්. එම්. ඉන්තිකාෆ් සඳහන් කළේය. ඔවුන්ගේ කණ්ඩායම බාලදක්ෂ කණ්ඩායම් 5කින් සහ ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 3කින් සමන්විතය. 

නාරාහේන්පිට 44 රොටරි විවෘත සමුහය නියෝජනය කරමින් බාලදක්ෂයෝ 14දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් වසර තුනකට පමණ පසු පවත්වන කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වූ බව කණ්ඩායම් භාර දිලුම් ජයරත්න පැවසීය.

බම්බලපිටිය හින්දු විද්‍යාලය ද දීර්ඝ කාලයකට පසු මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක් වූ බව කණ්ඩායම් නායක කාර්තික් පැවසුවේය.

පාසල් නොවන විවෘත 100 වැනි කොළඹ බාලදක්ෂ සමුහය, මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන්නේ දිසා මූලස්ථානය නියෝජනය කරමින් බව ඉමාෂී නිසංසලා පැවැසුවාය. ඉමාෂි නිසංසලා වැඩිදුරටත් පැවසුවේ බාලදක්ෂ කටයුතුවලට කැමැති ඕනෑම බාලිකාවකට තමන් හා එක්ව කටයුතු කළ හැකි බවයි.

"අවුරුදු තුනකට පස්සේ, දිසා බාලදක්ෂ කැම්පෝරියට මේ විදියට එළියට එන්න ලැබීම ළමයින්ට ලොකු අත්දැකීමක් වෙයි. අපි 115ක කණ්ඩායමක් විදිහට දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වෙනවා" යැයි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ නායක වී.පී. එස්. විතානගේ අප හා පැවසීය.

තමන් අඩි 21ක් උස සහ අඩි 40ක් පළල පිවිසුම් දොරටුවක් ඉදි කරන බව ද නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ නියෝජ්‍ය නායක පහන් පැල්පිට පැවැසීය.

ගොතටුව ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් එක්වන ශාස්ත්‍රිකා පැවසුවේ තම පාසල 2012 වසරේ සිටම දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන බවයි. 

මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන නාරහේන්පිට චිත්‍රා ලේන් විශේෂ අවශ්‍යතා සහිත පාසලේ එස් . රත්නායක පැවසුවේ තම පාසලේ ළමුන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඉන් 17 දෙනකු මේ අවස්ථාවට එක්වන බවයි.

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 ජනවාරි 08 වැනිදා ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදු කර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම විය. එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය.

1920දී ලන්ඩනයේදී පළමු වැනි ජාත්‍යන්තර සම්මේලනය ජම්බෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිණි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයක් ලෙස ප්‍රචලිත වී තිබේ. බාලදක්‍ෂ ආදර්ශ පාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නය. මෙයින් අදහස් වන්නේ බාලදක්‍ෂයා සැම විටම කයින් හා මනසින් තම යුතුකම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි.

ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයන් B.P යන ආදර නාමයෙන් හඳුන්වන ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයායි. ඔහු උපත ලැබුවේ 1857 පෙබරවාරි 22 වැනිදා එංගලන්තයේ ලන්ඩනයේදීය. වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා චාර්ටර් හවුස් විද්‍යාලයට ඇතුළත් විය. ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවූ ඔහු කුඩා කල සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැඟීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයකු ලෙස පාසලේදී ක්‍රීඩාවට, ලිවීමට, ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බළකායට බැඳී ඉන්දියාවට ගියේය. 1889දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකූ මැෆකින් නගරය පුරා දින 217ක් වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගත් B.P 1901දී බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද 'බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්' යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි. මෙමඟින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908දී බාලදක්ෂ විද්‍යාව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලට ද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කරන ලද සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුද සේවයෙන් ඉල්ලා අස් විය. 1920 දී ඔහු ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 

මේ ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 112 වැනි වසරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට ප්‍රධාන බාලදක්ෂයා වන අතර, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු ප්‍රධාන කොමසාරිස්වරයාය. 1907දී එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911දී එවකට මාතලේට අනියුක්තව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරුවකු ලෙස සේවය කළ ඉංග්‍රීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස්ට, බේඩ්න් පවල් විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හඳුන්වා දීමේ අදහස ඇති විය. ප්‍රැන්සිස් ජෝන් ස්ටීවන්ස් විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල්ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ඔහු විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූවද එහි භාරකාරත්වය දැරීමට ඔහුට නොහැකි විය. එය ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේම සේවය කළ ඩී. චාල්ස් ජයසිංහ වෙත පැවරුණු අතර, ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වන්නේ චාල්ස් ජයසිංහ ය. B.P විසින් එෆ්. ජී. ස්ටීවන්ස් යටත් විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.

එෆ්. ජී. ස්ටීවන්ස්ගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් B.P විසින් පෞද්ගලිකව ඇගයීමට ලක් කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේය.

ජුනි 01 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදි කර්තෘ දිනය ලෙස සැලකේ. 1915 වන විට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248කි. ගෙවී ගිය වසර 107ක ඉතිහාසය පුරාම එකී සංඛ්‍යාව 85,000 දක්වා වර්ධනය වී තිබෙන අතර, පාසල් සහ විවෘත සමුහ 3000ක පමණ ව්‍යාප්තව ඇත. මෙරට බාලදක්ෂ දිස්ත්‍රික්ක 37කි. කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයෝ 11,000ක් පමණ මේ වටා ගොනුවී සිටිති.

මෙරට සමස්ත බාලදක්ෂයෝ එක් කඳවුරකට ගොනුවන තැන බාලදක්ෂ ජම්බෝරිය ලෙස හැඳින්වේ. කොළඹ දිසා බාලදක්ෂයෝ එක්වන තැන කැම්පෝරිය ලෙස හැඳින්වන අතර, දැනට ලොව වටා රටවල් 170ක මිලියන 50ක් පමණ අත්වැල් බැඳ ගෙන සිටින ලොව විශාලම ළමා සහ තරුණ සංවිධානය වන්නේ ද බාලදක්ෂ ව්‍යාපාරයි.

Comments