කඩා වැටෙන රට නවත්වා ගැනී­මට හැකි­වුණේ රනිල්ගේ යථාර්ථවාදි දර්ශනය නිසයි | Page 2 | සිළුමිණ

කඩා වැටෙන රට නවත්වා ගැනී­මට හැකි­වුණේ රනිල්ගේ යථාර්ථවාදි දර්ශනය නිසයි

 ලංකා සමසමාජ පක්ෂයේ රැඩිකල්වාදින් පිරිසක් සභාගයට එරෙහිව, සම සමාජ පක්ෂය තුළ සටනක් ඇරඹීම හේතුවෙන් 1972දි පැවැති සම්මේලනයේදි නෙරපීමෙන් අනතුරුව නව සමසමාජ පක්ෂය ආරම්භ විය. මෙම රැඩිකල්වාදි කණ්ඩායමේ සංවිධාන කටයුතු ඇරඹුනේ පේරාදෙණි සරසවියේ අක්බාර් ශාලාවේ 1970 දෙසැම්බර් 5 පැවැති සාකච්ඡාවෙන් අනතුරුවය. මෙම පිරිසට පේරාදෙණිය සරසවියේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය නලින්ද සිල්වා, කථිකාචාර්ය සුමනසිරි ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මාක්ස්වාදි නමින් සඟරාවක්ද එළිදැක්විණි. ආචාර්ය බාහුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ මේ රැඩිකල් කණ්ඩායමට ආචාර්ය කුමාර් ඩේවිඩ්, ආචාර්ය ශාන්තද අල්විස් වැනි ආචාර්ය පිරිසක් එක්විය. සමසමාජ පක්ෂයේ 1972 සමුළුවෙන් පසු එළියට පැමිණි වමේ ප්‍රවණතා කණ්ඩායම වූ කිරිඇල්ලේ මන්ත්‍රි වාසුදේව නානායක්කාර, හෝමාගම එඩ්වින් කොතලාවල, රත්නපුර වෛද්‍ය අර්ස කුලරත්නම්, යාපනයේ ඒ. කේ. අන්නමලේ වැනි මුල්පෙළේ වාම ක්‍රියාකාරීන් මෙන්ම 1976 සභාග ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව ඔස්වින් ප්‍රනාන්දු, රොනි පෙරේරා, ජේ. ටි. සිල්වා, සරණපාල සිල්වා වැනි වෘත්තීය නායකයන්ද එයට එක්විය. 1977 වැල්ලවත්ත සරස්වතී ශාලාවට රැස් වූ මේ පිරිස මෙය නව සමසමාජ පක්ෂ නායකත්වය ලෙස නම් කළ අතර 1979 දී පක්ෂයක් ලෙස නම් කළ අතර වික්‍රමබාහු එයි ප්‍රධාන ලේකම්විය.

1943 මාර්තු 8 වැනිදා බදුල්ල ලුණුගල උපන් වික්‍රමබාහු කරුණාරත්න මුලික අධ්‍යාපනය ලද්දේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා පසුව කොළඹ ආනන්ද විදුහලෙනි. ඔහුගේ මව විමලා කොතලාවල හා පියා මුදියාන්සේ කරුණාරත්නය. සහෝදර සහෝදරයින් සතර දෙනෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු සම්බන්ධ උපාධියක් ලබා ගන්නා ඔහු පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් හා ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයෙක් බවට පත් වන්නේය. 1970 වසරේදි පේරාදෙණි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ ඔහු 1978 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි දැමීමේ ව්‍යාපාරය නුවරදි සිහිකිරිම නිසා වැඩ තහනමට ලක්විය. 1982 දි නැවතත් ආචාර්ය වික්‍රමබාහු සේවයේ පිහිටුවුවද යළිත් ඒ වසරේදිම සේවයෙන් ඉවත් කෙරීය. ආචාර්ය වික්‍රමබාහු නැවත සේවයේ පිහිටුවන ලෙස 2002 දි තීරණයක් ගත් අතර 2014 දක්වා එය සිදුවූයේ නැත. වසර 50 ක පමණ දේශපාලන ජීවිතයක් ඇති, මේ වන විට වයස අවුරුදු 80 සපුරන මහාචාර්ය වික්‍රමබාහු තවමත් නව සම සමාජ පක්ෂයේ නායකයා වන්නේය. බිරිය මංගලිකා දෙඩම්වල හා එකම දියණිය තිලෝකා කරුණාරත්න වෘත්තියෙන් නීතිඥයෝය.

 

 

 

විශ්ව විද්‍යාල දෙකකින්ම මහාචාර්යවරයකු වූ ඔබ මේ වන විට වයස අවුුරුදු 80 ක් සම්පූර්ණ කරනවා. ආපසු හැරි බැලුවහොත් යම් දේශපාලන කූඩුවකට සිරවී සිටියා යැයි ඔබ විශ්වාස කරනවාද?

1987/89 ජවිපෙ කැරපිකරුවන්ගේ ප්‍රහා­ර­ව­ලින් ආත්මා­ර­ක්ෂාව සල­සා­ගත් නස­සප ක්‍රියා­කා­රින් පිරි­සක් 1988 විවේකී මොහො­ත­කදී ආචාර්ය බාහු සම­ඟින් ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.

නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. කම්කරු පන්තියේ ජනතාව වෙනුවෙන් අපි යම් වැඩ කොටසක් කළා. මේ කාලයේ අපි ජයග්‍රහණ ලබා ගත්තා වගේම පරාජයන්ද විඳගත්තා. පරාජයන් විඳ ගත්තේ විවිධ කඩාකප්පල්කාරීන් නිසා. මාක්ස්වාදයේ දක්වන ආකාරයට කම්කරු පන්ති හා ධනපති පන්ති අරගලයෙන් තමයි ලොව පුරා රාජ්‍යයන් ඉදිරියට ගමන් කරන්නේ. දියුණු රටවල පවා කම්කරු පන්තිය ඉතා බලවත්. රටක් ඉදිරියට යාම සිදු වන්නේ වැඩ කරන ජනතාවගේ ආධාරය ඇතිවයි. සම සමාජ දර්ශනය තමයි රටකට ජයග්‍රහණ ගෙන එන්නේ. ඒ නිසා මේ දර්ශනය ඉදිරියටත් අලුත් ආකාරයකින් යායුතු වෙනවා.

දැන් ඔබ එක්සත් පක්ෂ සාමාජිකයෙක්ද?

නැහැ. මම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නෙමෙයි. මම තවමත් නව සම සමාජ පක්ෂයේ නායකයා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට මම මගේ අමාරුකම් කිව්වා. ඔහු මට උදවු කළා; මම ඔහුට උදවු කළා. මම ඔහුගේ ලකුණින් තරග කළා. නමුත් ජයග්‍රහණය කරන්න හැකිවුණේ නැහැ. ඔහු බලයට ආවා. අවසානයේ ජනාධිපති වුණා. ඔහු ජනාධිපති වූ නිසා තමයි මේ රට මේ තත්ත්වයට ගොඩ ආවේ. ඔහු ධනපති දර්ශනය තුළ සිටියා. ඔහු දැන් ලොව පුරාම ප්‍රජාතන්ත­්‍රවාදිව කටයුතු කරමින් ජයග්‍රහණ ලබා ගනිමින් සිටිනවා.

ඔබ දෙපෙළ අතර ගනුදෙනුව දැන ගන්න කැමැතියි...?

ඔහු යථාර්ථවාදි පුගලයෙක්. මම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔහුට ගිහින් බාර දුන්නා. ඔහු එය අධ්‍යයනය කළා. ඒ වගේම ඔහුගේ සාර්ථකත්වය අපි දැක්කා. මේ නිසා මම අනිත් අයවත් පෙලඹෙව්වා.

එවකට අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ වරක් ඔබ පේරාදෙණි විශ්වවිද්‍යාල ආචාර්ය ධූරයෙන් නෙරපනවා. දෛවයේ සරදමකට මෙන් ඔබ නැවතත් ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා....?

දේශපාලනය කියන්නේ එහෙමයි. මෙවැනි දේවල් හරිම සාමාන්‍යයි. අරගලයකදී වැටෙනවා, නැඟී සිටිනවා. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අපි ඔහු වැඩ කරන ආකාරය දිහා බලලා හරි නම් හරි කියනවා, වැරදි නම් වැරදි කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රායෝගිකව වැඩ කරගෙන යන ආකාරය නිවැරදියි, සාර්ථකයි. එයට අවශ්‍ය සහය පමණයි මම දෙන්නේ.

මහාචාර්ය වික්‍රමබාහු සිය බිරිය නීතිඥ මංගලිකා සමඟ සිළුමිණ සාකච්ඡාවට එක්වෙමින්

රනිල් පැසිස්ට් වාදයට විරුද්ධ ලිබරල්වාදය පිළිගන්නා කෙනෙක් බව ඔබ වරක් ප්‍රකාශ කළා...?

ජනපති රනිල්ට තියෙන්නේ යථාර්ථවාදී ලිබරල් දර්ශනයක්. එය සමාජවාදය නොවුණත් රට තුළ කැලඹිමක් නැතුව පවත්වා ගෙන යාමට හැකියාව පවතිනවා. වැඩකරන ජනතාවගේ බලය වැඩිවන විට යළිත් සාමාජවාදයට යාමට හැකියාව පවතිනවා.

ඔබ දේශපාලනය කළේ විශ්වවිද්‍යාල සිසු අවධියේ සිටයි. රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙලා වැඩ කරන්න තිබුණේ ඒ කාලෙනේ ?

රනිල් වික්‍රමසිංහ නායකයෙක් විදියට ආවේ මෑතකදිනේ. ඒ කාලවලට වඩා වෙනස් ආකාරයෙන් ඔහු මේ වන විට නායකයෙක් ලෙස ඉදිරියට ආවා. මෑතකදි තමයි මම ඔහු සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කළේ. එතැනදි තමයි මම අවබෝධ කර ගත්තේ. ඔහුගේ යථාර්ථවාදි දර්ශනය නිසයි, කඩා වැටෙන රට නවත්වා ගැනීමට හැකිවුණේ. ඔහුට පමණයි රට දැන් මේ තියෙන තත්ත්වයෙන් අඩියක් හෝ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ.

අවුරුදු 80 ක ඔබේ අත්දැකීම අනුව මේ වගේ තත්ත්වයකට අපේ රට පත්වුණේ ඇයි...?

කාලයක්ම දූෂිත පාලනයක් සිදුවුණා. මහින්ද රාජපක්ෂ මගේ හොඳ යාළුවෙක්. ඔහු දක්ෂ පාලකයකු වුවත් ඔහු සමඟ සිටි අනෙක් අය හොරු. මේ නිසා රට පරිහානියට පත්වුණා. ඔහුගේ සහෝදරයන්ට දර්ශනයක් නැති නිසා රට කඩා වැටෙන තත්ත්වයට පත්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් රටට වැඩ කොටසක් ඉටුවූ බව ඔබ අවස්ථා කිහිපයකදීම පිළිගත්තා?

ඔව්. මම මහින්ද රාජපක්ෂ අගය කර තියෙනවා. ඔහු සමාජවාදී ප්‍රගතිශීලි වැඩ කොටසක් කළා. අන්තිම කාලයේ ඔහුගේ අනිත් අය තමයි නැඟී සිටියේ. ඒ අය රට විනාශයට පත්කළා. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී හා යථාර්ථවාදීව වැඩ කර ජාත්‍යන්තර සහභාගිත්වයෙන් රට ඉදිරියට උස්සා තැබීමට කටයුතු කරනවා.

ජනතාව පවා රාජපක්ෂවරු හොරු කියා චෝදනා කරනවා. හිටපු පාලකයෝ රට මේ තත්ත්වයට පත්කළ බව ජනතාව පවසනවා?

මහින්ද රාජපක්ෂට තිබුණු දර්ශනය නෙමේ අනිත් අයට තිබුණේ. ඔවුන් රට පාලනය කරන්න ආවට දර්ශනයක් තිබුණේ නැහැ. ඔවුන් හොරු කියා මම පවසන්නේ නැහැ. ඒ අයගේ අතපසුවීම් ඊට හේතුවක් වුණා. මේ අයගේ කාලය තුළයි, අපේ රට දර්ශනයක් නැති තත්ත්වයකට පත්වුණේ.

රාජපක්ෂවරු පන්නා දැමීමේ තීරණාත්මක අරගලයේදී ඔබත් ඊට නායක්තවය දුන්නු කෙනෙක්?

අසූවේ ජුලි වර්ජන උද්ඝෝ­ෂ­ණ­ය­කදී අගෝස්තු 8වැනිදා අත්අ­ඩං­ගු­වට ගත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­යට ගෙන­යන අව­ස්ථාව. අනෙක් පස සිටින්නේ වාසුදේවය
1988 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහ­ජන පක්ෂ­යෙන් තර­ග­කල ඔසීගේ සහා­යට වාසු සහ බාහු එක්වූ අව­ස්ථා­වක්. රැස්වීම අම­තන්නේ කොළඹ සර­සවි ස්වාධීන ශිෂ්‍ය සංග­මයේ සභා­පති කේ.එල්. ධර්ම­සි­රිය

ඔව්. රට මේ අයගෙන් ගොඩ ගත යුතුය කියලා මමත් එහිදි කතා කළා. එය සාර්ථක වුණා.

ජනාධිපති රනිල්ට විරුද්ධවත් මේ වන විට අරගල දියත් වෙලා. යම් දිනක ඔබගේ දායකත්වයක් ඊට ලබා දෙයිද?

රනිල් වික්‍රමසිංහ පන්නා මොනවද කරන්නේ, නැතිනම් ගේන්නේ කවුද කියා අපි කතා කළ යුතුයි. අඩුපාඩු තිබුණක් එ්වා හරි ගස්සවාගෙන යාමේ හැකියාව පවතිනවා.

ජනපති රනිල් හැර රට මේ තත්ත්වයෙන් ගොඩ ගත හැකි නායකත්වයක් ඔබ දකිනවාද?

සජිත් ප්‍රේමදාස නායකයෙක් නෙමෙයි. ඔහුගේ අදහසවත් පැහැදිලි නැහැ. නමුත් ඔහුට ඡන්ද තියෙනවා. සමහරු ඔහුගේ කතාවට පැහැදිලා. නමුත් ඔහුට දර්ශනයක් නැහැ.

පරිණත දේශපාලනඥයෙක් හා විද්වතෙක් ලෙස මේ අර්බුදය විසඳීමට ඔබට යෝජනා ඇති....?

ජනතාවගේ අදහස් දැනගැනීමට ඡන්දයකට යායුතු වෙනවා. එය මහා මැතිවරණයක් හෝ පළාත් සභා විය හැකියි. ඒ සඳහා සූදානම් විය යුතුයි.

ජනතාවගේ අරගලවලදි වාමාංශික පක්ෂවලට හිමි තැන කෙබඳු වේද?

වාමාංශික පක්ෂ ලෙස අපිටත් ජනතාව අතරට ගිහින් යම් බලයක් ගොඩ නඟා ගත හැකියි. එය ඵලදායි කර ගන්නේ කෙසේද කියා මම දැනටමත් වාමාංශික පක්ෂ සමඟ සාකච්ඡා කරමින් යනවා.

ජනතා විමුත්කි පෙරමුණේ නැඟී සිටීමක් පෙනෙන්න නැහැ. ඇයි ඒ?

ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් නෙමේ. එය ජාතිවාදි ලෙස වැඩ කළ පක්ෂයක්. එම පක්ෂයට ලොකු ගැම්මක් ගැනීමට අපහසුයි. ඔවුන් සමඟ අපේ සාකච්ඡාවන් කිරීමට අපහසුයි.

දේශපාලන ජීවිතය දෙස ආපසු හැරි බැලුවහොත්..?

මට අවුරුදු 80 ක් වුවත්, මගේ දේශපාලන ජිවිතයට වයස අවුරුදු 50යි. මගේ ගමන සතුටුදායකයි. දැන් ටිකක් විවේකයෙන් ගත කරනවා.

විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයකු ලෙස ගත කළා නම් මීට වඩා ඵලදායි කියා හිතෙන්නේ දැන්ද?

මම විශ්වවිද්‍යාලය අත්හැරියේ නැහැ. එහෙ ඉන්දෙද්දි තමයි දේශපාලනය කළේ. මගෙන් බොහෝ පිරිස් හැදිලා තියෙනවා. ඒ වගේම මගේ කතා අදටත් බොහෝ දෙනෙක් අහන්න කැමැතියි. මම මගේ අතීතය ගැන සතුටු වෙනවා.

දේශපාලනයට ක්‍රියාකාරිව සම්බන්ධ වීම දැන් අඩුයිද?

දැන් දුවලා පැනලා වැඩ කරන්න අමාරුයි. නමුත් කල්පනා කරලා කරන වැඩ කරගෙන යනවා. ලිපි ලිවීම කරගෙන යනවා.

කාර්බහුල ජීවිතයක් ගත කළ ඔබ දැන් දවස ගත කරන්නේ කොහොමද?

පක්ෂ නායකයා ලෙස මගේ වැඩ කොටස කරනවා. පක්ෂ කාර්යාලයට යනවා. ඉඳලා හිටලා මගේ බිරිය මංගලිකාත් සමඟ නුවර ගෙදර යනවා. නැතිනම් මම වැඩිය ගත කරන්නේ පැලවත්තේ තියෙන මගේ දුවගේ ගෙදර. මුනුපුරන් සමඟ කාලය සතුටින් ගත කරනවා. මගේ බිරියත්, දුවත්, දුවගේ සැමියාත් තිදෙනාම නීතිඥයින්.

නව සමසමාජ පක්ෂ නායකත්වය වෙන කෙනෙක්ට දීමට සුදානමක් නැද්ද?

මම දේශපාලන බල මණ්ඩලයට බලය දීලා තියෙන්නේ. පක්ෂයේ ඉදිරියට ගෙන ආ හැකි සහෝදරයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ඉදිරියට ගෙන ආ යුතුයි.

සේයාරූ - සුදත් නිශාන්ත / සුදත් මලවීර

 

 

Comments