අයාලේ යන සුනඛයන්ට කැකිල්ලේ නඩු තීන්දු­වක් | Page 2 | සිළුමිණ

අයාලේ යන සුනඛයන්ට කැකිල්ලේ නඩු තීන්දු­වක්

යාලේ යන සුනඛයින්ට එදා විසඳුමක් දුන්නේ බලු වෑන්ය. නගර සභාවෙන් පාරේ යන සුනඛයින් බලු වෑන්වලට එකතු කළේ ඔවුන්ට ආරක්ෂාව දීමට නම් නොවේ. බලු වෑන් එකේ සුනඛයින් අල්ලන ඉන්ස්පැක්ටර්ලා දුටු විට සුනඛයින් දුවන්නට ගත්තේ එයින් තමන්ගේ අවසානය තීරණය වන බව උන් දන්නා නිසාය. එසේ අමානුෂිකව සුනඛයින් මරා දැමූ බලු වෑන් අද දක්නට නැත. ඒ පාපකාරී ක්‍රියාවට තිත තබා ඇත්තේ 2006 වසරේදීය.

කළුතර දොඩන්ගොඩ වූ මේ සිදුවීම යමකු ගරහන්නට නොව වගකීම් පිළිබඳ වගකීම් ඇත්තන්ට දෙවරක් සිහිපත් කරන්නට කරන අනාවරණයක් පමණි.

ගෙවී ගිය දිනක සිසුන් 1600ක් අධ්‍යාපනය ලබන දොඩන්ගොඩ මිරිස්වත්ත විදුහල් බිමේ අයාලේ සැරිසරන සුනඛයෙක් පාසල් සිසුන් දෙතුන් දෙනකු සපා කෑ අතර, විදුහල්පති ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විසින් වහා මැදිහත් වීමෙන් අනතුරුව මේ සිසුන් නාගොඩ රෝහලට ඇතුළත් කරන්නේ ජලභීතිකා එන්නත ලබා දීමටය. එය විදුහල්පතිනිය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් දෙවරක් නොසිතා ගත් ප්‍රශංසනීය පියවරකි. ඒ නිසා මේ දරුවන්ට නිසි කලට එන්නත ලැබෙන අතර අවදානමක් මතු කරමින් සපා කෑ සුනඛයා මිය යන්නේ ජලභීතිකාව වැලඳීමෙනි. දිනයක් දෙකක් පාසල තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු නැවත පාසල විවෘත කිරීමේදි විදුහල්පතිනියට ගැටලුවක් මතුවන්නේ යළිත් දරුවන් අවදානමට ලක්වේදෝයි ඇය තුළ වූ කුකුස නිසාය.

ගමේ සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලක් වූ නිසාවෙන් මේ පාසලට සිසුන් මවුපියන් පැමිණෙන විට සුනඛයින් ද ඔවුන් පිටුපසින් පාසල් භූමියටද පැමිණීම සිරිතකි. මේ ගම්වැසියන් සුනඛයින් ඇති දැඩි කළ ද තම සුරතලුන්ට එන්නත් ලබාදීමේ සිය වගකිම් පැහැර හැර ඇති බව වාර්තා වෙයි. පාසල් භූමියට පැමිණි ජලභීතිකා වැලඳුණු මෙම සුනඛයා පාසලේම මවුපියකුගේ නිවසේ ඇති දැඩි වූවෙක් බව සඳහන් වන අතර කලින් ඌගේ තවත් පැටවු කිහිප දෙනෙකු ද මිය ගොස් ඇති නමුත් ඒ ගැන නිසි විපරමක් සිදුවී නැත. කෙසේ වෙතත් ජලභීතිකා අවදානම පිළිබඳ විදුහල්පතිනිය අවදානයෙන් සිටීම හමුවේ දරුවෝ බේරා ගැනීමට හැකි වී ඇත. සපා කෑ පසු අනිකුත් සුනඛයින් එන්නත් කළ ද විදුහල්පතිනිය ඉන් සෑහීමකට පත්ව නැති අතර අදාළ බලධාරින් හා කතිකා කර ඇත්තේ පාසල ආරම්භ කිරීමට පෙර මේ සුනඛයින් කුමන හෝ ක්‍රමයකට ඉවත් කිරීමටය.

“ මේ ගමේ ඉන්නේ Community Dogsලා. දරුවන්ව සපා කෑ මේ සුනඛයා ජලභීතිකා පොසිටිව් වෙලා. ඒ වගේම මේ පාසලේ විදුහල්පතිවරියට මේ පිළිබඳ අත්දැකීමක් තිබී ඇති නිසා ඇය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධව තරමක් බය වෙලා. මේ වන විට ජලභීතිකා සඳහා මිනිසුන්ට ලබා දෙන එන්නත් හිඟ බව මෙන්ම ඒවා ලබා දීමේදි සීමාසහිත වීම නිසා දරුවන්ගේ ආරක්ෂාවට පාසල් විවෘත කරන්නට පෙර මේ සුනඛයෝ මරා දමා හෝ ඉවත් කිරීමට පිරිසක් සූදානම් වෙලා තියෙනවා. සුනඛයින් 22කට ජලභීතිකා එන්නත දීලා තිබුණත් ඇය බය වෙලා. අපිට මේ බව ආරංචි වුණා. අපි විදුහල්පතිනියට කතා කර ඒ ගැන විමසුවා. ඇයගේ අදහස වුණේ සුනඛයෝ නෙමෙයි දරුවෝ ආරක්ෂා කළ යුතුයි යන අදහස. නමුත් සුනඛයින් මැරීම විකල්පයක් නොවන බව අපි ඔවුන්ට තෙරුම් කර දුන්නා. ....“ ඒ සත්ත්ව සුභසාධන මෙහෙයුම් කමිටුවේ සාමාජික ශාමිනි රත්නායකය.

දොඩන්ගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර ඇය ඒ කතාව ප්‍රතික්ෂේප කළාය. කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි පවසන්නේ සත්ත්ව අවිහිංසා ආයතනයක් මඟින් පාසලේ සිටි සුනඛයින් ඉවත් කිරීමට කටයුතු කළ බවකි.

“දොඩන්ගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ සිසුන් පිරිසක් සුනඛයකු විසින් සපා කා ඇති බවත් එම සුනඛයාට ජලභීතිකාව වැලඳී ඇති බවට වාර්තා වූ බවත් එම විදුහලේ විදුහල්පතිනිය මට දැනුම් දුන්නා. ඒ අනුව එම ප්‍රදේශයේ අදාළ රාජ්‍ය ආයතන දැනුම්වත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා. ඒ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ උපදෙස් අනුව විදුහලේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාසල නොපවත්වන ලෙසත් දැනුම් දුන්නා.

අනතුරුව විදුහල්පතිනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව සහ පොලිසියේ සහයෝගය ලබාගෙන මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා. ඒ අතර ඇය විසින් සත්ත්ව අවිහිංසා ආයතනයක් සම්බන්ධ කරගෙන පාසලේ සිටි සුනඛයින් එම ආයතනයට ගෙන යාමට කටයුතු කර තිබුණා.“ ඒ කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චිය.

මෙවැනි අයාලේ යන සුනඛයින්ගේ වගකීම් දරන්නෝ කවරහුද? 1894 ජලභීතිකා පනතට අනුව අදාළ ප්‍රදේශයේ ජලභීතිකා අවදානමක් ඇතිනම් එය පාලනය කිරීමේ වගකීම දරන්නේ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ඒ කටයුතු මෙහෙයවිය යුතුවෙයි.

“ ප්‍රදේශයේ අයාලේ යන සතුන් පිළිබඳව වගකීම පළාත් පාලන ආයතනයන්ට පැවරී තිබෙනවා. මෙම පාසලේ අයාලේ යන සුනඛයින් සිටින බවත් අපට වාර්තා වුණේ මෙම සිදුවීමෙන් පසුවයි. පසුව අප ප්‍රාදේශීය සභාවෙන් ප්‍රවාහන පහසුකම් සපයා කළුතර ජලභීතිකා මර්දන කණ්ඩායම ගෙන්වා එම ප්‍රදේශයේ සුනඛයන් එන්නත් කිරීමට කටයුතු කළා. අනතුරුව විදුහලේ පන්ති කාමර විෂබීජහරණය කිරීම සිදු කළා. “ ඒ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙරිල් විශ්වශාන්තය.

මිනිසුන් වෙනුවෙන් වූ ජලභීතිකා එන්නතේ හිඟයක් තිබුණ ද සතුන් වෙනුවෙන් වූ එන්නතේ කිසිදු හිඟයක් නැතිබව මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පශු වෛද්‍ය සේවා වෛද්‍ය ඩී. එල්. පි කිත්සිරි පවසයි. මේ වන විට රජය විසින් සතුන් ජලභීතිකා එන්නත් ලක්ෂ 12-14 ප්‍රමාණයක් නොමිලයේ වසරකට එන්නත් කරති. මිනිසුන් සඳහා වූ ජලභීතිකා එන්නතේ යම් හිඟයක් තිබුණත් එයත් වසරකට 30,000 - 35,000 අතර පිරිසකට ලබා දෙති.

“මේ පිළිබඳව දැනගන්නට ලැබීමෙන් පසුව අප කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජලභිතිකා මර්දන ඒකකයෙන් ගෙන්වා ඒ වන විට පාසලේ සහ ඒ අවට ගැවසුණු සුනඛයන්ට ජලභිතිකා මර්දන එන්නත් ලබාදීමට කටයුතු කළා. එසේම සුනඛයින්ගේ සපා කෑමට හෝ සීරීමකට ලක්වූ අය සිටිනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස දැනුම්වත් කිරීම් කළා. සුනඛයන් 9 දෙනෙකු විදුහල්පතිනියගේ මැදිහත්වීමෙන් සත්ත්ව අවිහිංසා ආයතනයක් විසින් රැගෙන ගොස් තිබෙනවා. “ ඒ දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී. ඩී.ලයනල්ය කෙසේ වෙතත් සියල්ල සිදු වූයේ යහපත් ආකාරයෙනි. මේ අහිංසක සුනඛයින්ගේ ජීවිත සුරැකුණේ සත්ත්ව සුභ සාධනය වෙනුවෙන් ජීවිත කාලයම පරිත්‍යාග කළ සත්ගුණවත් කාන්තාවකි. ඇය නමින් ලලනි පෙරේරාය. නීතිඥවරියක් වූ ඇය සත්ත්ව සුභ සාධන මෙහෙයුම් කමිටුවේ සාමාජිකාවකි. මේ වන විට දොඩංගොඩ පාසල අවට ගැවසුණු සුනඛයින්ගේ ජීවිත සුරක්ෂිත වන්නේ ඇයගේ ආදායමිනි.

“ අපිට මේ සතුන් බේරා ගැනීමට තිබුණේ කෙටි කාලයයි. මම විදුහල්පතිනියට කතා කර ඇසුවා, මම මේ සුනඛයෝ අල්ලා ගෙන යන්නම්. හිංසා කරන්න එපා කියලා. සුනඛයින් ඇල්ලීමට දක්ෂ අයකු අපි ඒ සඳහා යොමු කළා. දොඩන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ඊට උදවු කළා. අපි අල්ලන්න ගියේ රෑ. සුනඛයෝ 8ක් ඉන්නවා කිව්වත් 7 දෙනෙක් පමණයි අල්ලන්න පුළුවන් වුණේ. පසුවදා පාසල අරින්න ඕන කිව්ව නිසා ගොඩාක් අයගේ සහයෙන් සුනඛයෝ 7 දෙනා අල්ලගෙන ඇවිත් මල්වානේ හිතවතෙකුගේ සුනඛයෝ රඳවන ස්ථානයක ගෙවීමක් කරලා අවශ්‍ය අධීක්ෂණය යටතේ නැවැත්වුවා. පසුවදා පාසල් අරින බව කිව්වත් පසුවදාත් පාසල විවෘත කළේ නැහැ. විදුහල්පතිනිය නැවතත් කතා කර කිව්වා තවත් අය ඉන්නවා, ඒ නිසා පාසල අරින්න බැහැ. ඇවිල්ලා ගෙනි යන්න කියලා. නැවතත් සුනඛයෝ අල්ලන්න ගියා. ඒත් දෙන්නයි හිටියේ. මේ අනුව සුනඛයෝ 9 දෙනෙක් අපි ළඟ දැන් ඉන්නවා. මගේ සියලු වියදමින් මේ සුනඛයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීලා කවදා හෝ හදාගන්න කැමැති කෙනෙක් හිටියොත් ඒ අයට මේ සුනඛයෝ ලබා දෙනවා.....“ ලලනි පෙරේරා පවසන්නීය. වසර 20කට අධික කාලයක් පුරාවට ඇය මේ සේවාව වෙනුවෙන් කැප වන්නීය.

දොඩම්ගොඩ පොලිසිය ද පාසල් දරුවන් ජනතාව වෙනුවෙන් සිය කාර්යය නොපිරිහෙලා ඉටු කර ඇති බව එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර පවසන්නේය.

සැප්. 28 වැනිදා ලෝක ජලභීතිකා දිනයයි. ජලභීතිකාවෙන් වැළැක්වීමට වගකිව යුත්තෝ බොහෝ වුවත් මෙවන් අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන නැවතත් කතිකාවතක් බිහිවිය යුතුය.

පසු­බිම් තොර­තුරු හා සේයා රූ බන්දු තිලක තඹ­විට මතු­ගම සමුහ

 

Comments