ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ කහ සහායට ෆින්ච් සහ මැක්ස්වෙල් තුති පුදති | සිළුමිණ

ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ කහ සහායට ෆින්ච් සහ මැක්ස්වෙල් තුති පුදති

 

 ලංකාව සමඟ පැවැති විස්සයි20 හා එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රේක්ෂකයන්ගෙන් ලද සහයෝගය ඔස්ට්‍රේලියානු නායක ඇරෝන් ෆින්ච්ගේ හා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්ත ද, එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ශ්‍රී ලංකාවට හිමි විය.

 

ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙමින් මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයකී එනම් අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ගෙන තිබුණු 1992 දීය.

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා පැවැතියේ දැඩි අවිනිශ්චිත බවක් පැවති නමුත් දිවා රාත්‍රී තරග ද පැවැත්වීම සම්බන්ධයෙන් ද අවසන් මොහොත දක්වා පැවැතියේ අවිනිශ්චිතභාවයකී. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉමහත් පරිශ්‍රමයකින් පසුව තරග සංචාරය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කළේය.

අපට මෙහි සංචාරය කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරතා අපි දන්නවා. යැයි ඔස්ට්‍රේලියානු සුදු පන්දු නායක ඇරෝන් ෆින්ච් සඳහන් කළේය.

සීමිත පන්දුවාර තරග අටේ දී රටේ මිනිසුන්ට යම් ප්‍රීතියක් ලබා දීමට අපට හැකි වුණා කියලා හිතෙනවා.

මෙවැනි අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ට ද ස්තූතිවන්ත වීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් එක්දින තරගයේ දී කටයුතු කළහ.

දෙරට අතර පැවැති අවසන් එක්දින තරගය කහ පැහැති ඇඳුමෙන් සැරසී නරඹමින් ඔවුන් සිය කෘතවේදීත්වය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළ කරනු ලැබු අතර,එය විශිෂ්ටයි, ශ්‍රී ලංකාවේ ජනතාව අපූරු මිනිසුන් යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆින්ච් කියයි.

ඔවුන් සපයන සහයෝගය කිසිවෙකුට දෙවැනි නැහැ, ඔවුන් විශිෂ්ට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක්, නිරන්තර ඝෝෂාව පමණක් නෙවෙයි, ඔවුන් ක්‍රීඩාවේ හැඟීම් ඉදිරියට රැගෙන යනවා.

 

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ඒක හරිම අසාමාන්‍ය දෙයක්. එය වඩාත් සුවිශේෂී හැඟීම්වලින් එකක් වුණා, ක්‍රීඩාංගණය වටා ගමන් කිරීමට හැකිවීම හා විදෙස් රටක් ඔබට සහාය දැක්වීම.

ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව සංචාරය කරන විට අපි තමයි සාමාන්‍යයෙන් හතුරා. ප්‍රේක්ෂකාගාර තුළ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් වැඩිය දකින්න නැහැ. නමුත් සහයෝගය තියෙනවා. මේ වේලාවෙ මෙහි ඉන්න ප්‍රේක්ෂකයන් ඇත්තෙන් ම අසාමාන්‍ය දෙයක්. හැමෝම අවසන් එක්දින තරගයේ කහ පාට ඇඳගෙන. එයාලා ඔස්ට්‍රේලියානු ධජත් සමඟ හැම තැනම ඉන්නවා. එය ගොඩක් විශේෂයි. මෙහෙ ආව හැමෝටම ඒ ගෞරවය ලැබෙනවා. ඇත්තෙන්ම මේක ගොඩක් අමාරු අවස්ථාවක් මෙරට ජනතාවට, ඒ වගේම ඇවිල්ලා අපිට සහයෝගය දක්වනවා. කණ්ඩායම් දෙකටම ඔවුන්ට විනෝදාස්වාදයක් දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා.

දෙපිල අතර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගයේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි විය.චාමික කරුණාරත්නගේ පිත්තෙන් වාර්තා වු ලකුණු 75 න් සවිමත් වු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 160 කට සිමා වු අතර ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6 ක් දැවී හඹා යාමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ආර්ථික අර්බුදය හේතුවෙන් මුහුණ දී ඇති අභියෝගාත්මක කාලය තුළදී මෙම තරග සංචාරය අවලංගු නොකර මෙරටට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලාංකේය ප්‍රේක්ෂකයන් දැක් වු සුවිශේෂී කෘතවේදීත්වයක් බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට යොමු වූ සිදුවීමක් විය. ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ සුවිශේෂී කෘතවේදීත්වය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද ප්‍රසාදයට ලක්විය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ මේ පිළිබඳ සටහන් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත ස්තූතිය පළ කිරීමට කටයුතු කර තිබුණි.

 

 

Comments