දුක් විඳින අපව එක රැයක් සතුටු කළාට කොල්ලනි නුඹලාට පින් | සිළුමිණ

දුක් විඳින අපව එක රැයක් සතුටු කළාට කොල්ලනි නුඹලාට පින්

 

අවසන් එක්දින ශ්‍රේණීගත කිරීම් හමුවේ අටවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී 3-2ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් ලැබීමට සමත්වීම සුවිශේෂි සාධකයක් වන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කරමින් දශක තුනකට පසු මෙකී තරගාවලි ජයක් ලැබීම ද විශේෂයකි.

කඳුළින් සහ සුසුමින් පෝලිම්වලට සිය දවස ගෙවමින් පීඩිත භාවයේ පත්ලට වැටී දුක්ඛිත ඉරණමකට ලක්ව සිටින අප රටේ සකල ජනී ජනයාට යම් ආස්වාදයක්, වින්දනයක් සහ දුක්දොම්නස් පිරි මුහුණුවලට සිනහවක් රැගෙන ඒමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුයේ සිංහ කැන්ගරු එක්දින තරගාවලි ජය ගනිමින් ය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පරාජය කිරීමට අසීරුම කණ්ඩායමක් ලෙස ප්‍රකට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ලැබූ විජයග්‍රහණ සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ ද වර්තමානයේ මෙරට මුහුණපා ඇති අඳුරු ප්‍රපාතයකය.

1996 දී අර්ජුන රණතුංග සහ පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ මෙරට ක්‍රිකට් පමණක් නොව රට ම වර්ණවත් සැණකෙළියකින් පිරි ඉතිරෙන්නට විය. අඛණ්ඩව ජය ම සොයන කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ලෝකයේ ආධිපත්‍යය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටට ඩොලර් උල්පතක් විය. කොළඹට පමණක් සීමා වු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගම් දනව් සිසාරා සුළි සුළඟක් මෙන් පැතිර ගියේ මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බවට ද පත් කරමින් ය.

ජාත්‍යන්තරට ඕනෑ ම ආකාරයකින් අභියෝග කළ හැකි කළ කීර්තිමත් ක්‍රීඩකයෝ රැසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූහ. 96 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලොව අගනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සනත් ජයසුරියයි. ‘කැප්ටන් කූල්’ ලෙස ප්‍රකට වු අර්ජුන රණතුංග, ටෙස්ට් මෙන්ම එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වු මුරලි, අරවින්ද ද සිල්වා මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර මෙන්ම ‘යෝකර් රජු’ ලෙස ප්‍රකට විශිෂ්ටතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඇතුළු අති විශිෂ්ටයෝ රැසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ අතර රංජන් මඩුගල්ලේ, රොෂාන් මහානාම මෙන්ම කුමාර ධර්මසේන වැනි ලෝක ක්‍රිකට් ලෝකයේ අද ඇති දැවැන්තයෝ ය.

අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතය එසේ වුව ද පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ සාගතයකින් පෙළුණු බව රහසක් නොවේ. අඛණ්ඩව ජයග්‍රහණ ලැබු කණ්ඩායමක් ඉඳහිට තරගයක් ජය ගන්නා කණ්ඩායමක් දක්වා පල්ලම් බැස්සේය. ක්‍රිකට් ඉත්තෑවන් සිටියේ අති මහත් කනගාටුවෙන් ජයග්‍රණයක් සොයමින් ය. පසුගිය කාලයේ ක්‍රීඩකයන් 20-30 එහාට මෙහාට දමමින් ජයග්‍රහණ සෙව්වද එය පලක් නොවීය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි20 තරගයෙන් මෙරට අඳුරු ක්‍රිකට් ඉරණම වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නායක දසුන් ශානකගේ සුපිරි ප්‍රවේගකාරි පිති හරඹය හමුවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණ මාවතට ප්‍රවිෂ්ට වුවායැයි පැවැසීම ද රහසක් නොවේ. පල්ලෙකැළෙන් ආරම්භ වු එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුව නමුත් දෙවැනි, තෙවැනි හා සිව්වැනි තරගවල දී දඩයමක් ඉක්මනින් ම ඩැහැ ගන්නේ දක්ෂ ම දඩයක්කරු නොව වැඩියෙන් ම බඩගිනි දඩයක්කරු බව යළි යළිත් සිහිපත් කරමින් දසුන් ශානක ප්‍රමුඛ රෑන සිංහ රැළක් මෙන් කැන්ගරුවන්ගේ පාලනය අතට ගත්තේ, ඔස්ට්‍රේලියානුවන්ගේ නළල රැලි ගන්වමින් ය.මෙකී ‍ඓතිහාසික ජයත් සමඟින් මුළු රටම ආනන්දයෙන් පිරි ගියහ.

බලා සිටියේදී ම දුක්ඛිත භාවයේ පත්ලට කඩා වැටෙන ජනතාවක් මෙසේ ආනන්දයට පත් කිරීම එක් අතකින් මිල කළ නොහැකි දෙයකි. ඉන්ධන පමණක් නොව ගෑස් පෝලිම්වල දුක් විඳින ජනයා මුහුණු පොතට එක්කර තිබූ අදහස්වලින් එය මනාව පැහැදිලි ය. මෙහෙම දුක් විඳින අපට එක රැයක් හරි සතුටෙන් ඉන්න අවස්ථාව දුන්නාට කොල්ලනි නුඹලාට පින්’’ ‘‘බොහෝ දිනකට පසුව ජිවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.’’ යැයි ක්‍රිකට් ප්‍රේමින් (ක්‍රිකට් ප්‍රේමීන් ගේ භාෂාවෙන් / ඉත්තෑවන්) සටහන් කර තිබූණි.

ප්‍රශ්න දහසක් මැද වුව ද මෙරට රටේ ජනතාව බොහෝ සතුටෙන් ජීවත් වීමට කැමතිය. ක්‍රිකට් ජයග්‍රහණ අබියස ඔල්වරසන් දෙන ජයඝෝෂා නාදයෙන් ඉපිලෙන ජනයා ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඔවුන් සතුට සොයන්න මොන තරම් නම් කැමති ද යන්නය. ලාංකේය ජනතාවට අහිමිව තිබෙන්නේ ද එකී සතුට ම ය. එය මොන තරම් කරුමයක් ද යන්න වටහා ගැනීමට මෙවැනි ජයග්‍රහණයන් ද ප්‍රමාණවත් ය.

අඛණ්ඩව තරග ජය ගනිමින් මෙරට ජනයා සතුටු සයුරේ ගිල්වන්නේ ජයග්‍රාහි පිපාසාවෙන් සිටින කණ්ඩායමකි.මෙවන් ජයග්‍රහණ යළි අත්කර ගැනීම සිහිනයක් යැයි සිතු කණ්ඩායමකි. ජය නම් බින්දුවට ම වැටී සිටි කණ්ඩායමක් අළු ගසා දමා යළි යෝධයකු මෙන් නැගී සිටින්නා මෙන් සිනහා පොඳක් කලකින් දැක නැති මුහුණුවලට සිනහා බිඳක් එක් කරන්නා මෙන් බින්දුවටම වැටී ඇති රටක් යළි නඟා සිටුවිය හැකිය, යන බලාපොරොත්තුවට අලුත් හුස්මක් එක් කළ අපේ කොල්ලන්ට යළි යළිත් යෝධයකු මෙන් නැඟිටිමට ඇවැසි දිරිය එක සිතින් ම ප්‍රාර්ථනා කළ යුතුය.

 

Comments