දසක තුනක් ගෙවී ගියත් තවමත් වයසට නොයන රත්තරන් කෙල්ලෝ | සිළුමිණ

දසක තුනක් ගෙවී ගියත් තවමත් වයසට නොයන රත්තරන් කෙල්ලෝ

 

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මේ ගෙවී යන්නේ වසර සියයකටත් අධික කාලයකි. හරියට ම ගත්තොත් වසර 106කී. මීට දශක තුනකට පමණ පෙර දිනෙක හවස් වරුවේ ලාංකේය ක්‍රීඩිකාවන් එතෙක් මෙතෙක්. කල නොහැකි යැයි සිතා සිටි දෙයක් කරනා සැටි මෙරට ජනී ජනයා තම තමන්ට සිට ගැනීමට හැකි තැන්වල පවා සිට ගෙන නරඹන විට, සිය ආලින්දයට රොක්වුවෝ මේ විශ්මය දෑසින් දැක ගත්හ. ඔවුහු සිය ගෙවල්වල වහලවල් හෙල්ලෙන්න කෑ ගැසුහ.එකී කටයුත්ත මොන තරම් අසිරු දැයි අදටත් දැනෙන්නෙ සහ සිතෙන්නේ නැවත එහෙම දෙයක් නොවුණු නිසාත්, එවැනි දෙයක් වෙන්න ඇති ඉඩකඩ බොහෝ සෙයින් ම ඇහිරි තියෙන නිසාත් ය .එකී විශ්මයෙන් ඇලළී ගිය බොහෝ වගකිව යුත්තන් එකී ක්‍රීඩීකාවන් ඉදිරියේ බොහෝ සුන්දර පොරොන්දු දිග හැරිය නමුත්,ඒවා එදා මෙන් ම අදත් වාතලයට මුසු වු තවත් හිස් වදන් ගොඩකි .දැන් එකී ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් අම්මලා ය.තවත් සමහරු අත්තම්මලා වන්නටත් පුළුවන් ය. දශක තුනකටත් අධික කාලයක් තිස්සෙ මේ විශ්මයෙන් රටට දුන්න රත්තරන් නම්බුවට සැලකිල්ලක් කරන්න තවමත් කාලය ඉතිරිව ඇතැයි සිතමු.

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පළමු ජාත්‍යන්තර පදක්කම අපට හමු වන්නේ 1976 පාකිස්තානයේ කරච්චි නුවර පැවැති මොහොමඩ් අල්ජින්නා ජාත්‍යන්තර තරගමාලාවේ දී පිරිමි කණ්ඩායම දිනා ගන්නා ලෝකඩ පදක්කමත් සමඟ ම ය.ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ එකි ඓතිහාසික සිදු විමෙන් හරියට ම වසර 15කට පසුව 1991මෙරට පැවැති පස්වන දකුනු ආසියානු ක්‍රීඩා උ‍‍‍ලළේ ආශ්චර්යයක් සටහන් කරමින් ලාංකේය වොලිබෝල් වංශ කතාවේ එදා මෙදා තුර හිමි කරගත් එකම සහ ප්‍රථම රන් පදක්කම ලෙස මෙකී පොළොවේ සටහන් වුයේ ක්‍රීඩාව පැත්තෙන් ගත් කල සදාකාලිකව සැමරිය යුතු දෙයක් ලෙස ය. නමුත් බොහෝ දෙනකු අතින් ලිස්සා ගිය අමතක කර දැමු එකී ඓතිහාසික වගකීමට දශක තුනකටත් අධික කාලයක් ගෙවී යද්දිත් ලාංකේය භූමියට මේ වගෙ කෙල්ලො ටිකක් අද මොකද නැත්තෙ කියා සොයා බැලිමටත්, අද කෙල්ලන්ටත් ගැම්මක් එන්න මේ ඉතිහාසය ආයේ ආයේත් ආවර්ජනය කිරීම වර්තමානයට අලුත් ජවයක් ,ජිවයක් එක් කිරීමක් වන බව නම්‍ නොරහසකි. එතැන් පටන් 1995,99,2006,16, සහ19 පැවැති දකුණු ආසියානු ඉතිහාසය තුළ තවමත් දකුණු ආසියාතික මට්ටමෙන් වොලිබෝල් දිනා ඇති රන් පදක්කමේ හිමිකාරිනියන්ට මේ දක්වා මග හැරුණු වටිනා මිනිස්සු සියල්ලටම සෙත සැදෙන ඉඩ කඩක්, එදා රටක් වෙනුවෙන් වැටුණු දහදියට මෙදා වෙනකම් නිසි වටිනාකමක් ඉඩක් නොලැබුණු ඔවුන්ට,ලබා දෙන්නට කාලය ඇතැයි අප විශ්වාස කරන්නේ ඒ නිසාවෙනි.

1991 දෙසැම්බර් 28 ඇත්තටම මොකද වුණේ කියන තැනට එන්න ප්‍රවේශයක් ලබා ගන්න කලින් ඊට වසර 21කට පෙර 1970 ඉන්දියාවේ පැවැති ඉන්දු -ලංකා තරග 5කින් සමන්විත වු ටෙස්ට් තරග මාලාව 5/4ක් ලෙස නන්දා ගනේගොඩගේ නායකත්වය යටතේ ඉන්දියාව පරාජය කළ ප්‍රථම අවස්ථාව ද මෙහි දී සිහිපත් කළ යුතුම ය.

දැන් අපි ආයෙත් 1991දෙසැම්බර් 28වැනි දාට එමු. එදා හවස් වරුවේ ලාංකේයන් අති බහුතරයක් දෙනා රූපවාහිනිය වටා රොක් වුයේ, අපේකම, අපේ උන් සහ ක්‍රීඩාව ගැන බැඳි තිබුණු අමුතුම උද්යෝගයකින් ය. ලාංකේයන් මෙසේ එක් රොක් වෙන්නෙ සාමාන්‍යයෙන් ක්‍රිකට් සමඟ වු ද, මේ ක්‍රීඩාව එක්ක ඊට එහා ගිය අපේ කොල්ලො කෙල්ලො කියලා වෙනම හැඟිමක් ද ඒ හා මුසු වී, තිබු බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ඒවා ජාතික වශයෙන් හෝ ආගමික වශයෙන බෙදි වෙන් වී නොතිබුණි. ජුලියන් බෝලිං මෙන් ම දීපිකා චන්මුගම් ලාංකේයන්ගේ තොල් පොටවල් මතුරන තරමට ආදරණීය ශබ්දයක් වුයේ, මේ සියල්ලන් ම අපේ වු නිසා ය.ඒ නිසාම සෑම ලාංකේයකුගේ ම හිතේ අපිට දිනන්න පුළුවන් කියන විශ්වාසය බුර බුරා මෝදු වෙමින් පැවැතුණී.

නැවතත් 1991 පස්වැනි දකුණු ආසියානු ඉන්දු - ලංකා අවසන් මහා තරගයට එන විට එදා හවස් වරුවේ ලාංකේයෝ හැකි සෑම දෙනා ම අතුරු සිඳුරු නැතිව සුගතදාස ක්‍රීඩාංගණයටත් තවත් සුහසක් පිරිසක් රූපවාහිනිය වටා එක් රොක් වුයේ , ලාංකේයන්ගේ හිත්වලට කාවැඳි තිබුණු ඉන්දීය වොලිබෝල් ක්‍රීඩාව අපේ කෙල්ලො ඉස්සරහ දණ නමනවා දැක බලා ගන්නට ය.වාර්තා වන අන්දමට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකිර්ණයට වැඩිම ජනතාවක් එක් රැස් වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඉන් පළමුවැන්න මෙකී අවසන් මහා තරගයට සහ 2006 අගෝස්තු 27දා පැවැති 10වැනි දකුණු ආසියානු පිරිමි වොලිබෝල් අවසන් මහා තරගය දැක බලා ගන්නට ය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පසෙකට කර මේ වැඩේ කරන්න එවකට වොලිබෝල් පරිපාලනය ගත් එඩිතර තීරණය නිසා විශාල කලබැගෑනියක් ද ඇති විය.එහෙත් අවුරුදු 20ක පමණ හිරිමල් යෞවනයේ වයසේ ක්‍රීඩීකාවන් රේණුකා අබේගුණවර්ධන යාපාගේ නායකත්වයෙන් එකට සිට ගත්තේ පුදුම විශ්වාසයකින්ය. නව යොවුන් වියේ පසු වු උදේනි ප්‍රියදර්ශණි සහ කේ. එම් ඉන්ද්‍රානි ද ඒ අතර වුහ.ප්‍රධාන පුහුණුකරු කේ.ඒ.කේ විජේපාල සහ සහාය පුහුණුකරු අයි. විජේසිංහත්, කළමනාකරු වු එස්. වෛද්‍යතිලක සහ සහාය කළමනාකරු වු ජෝ ජයවර්ධන ද, මෙකී කණ්ඩායමට ම තකට තක හරි ගියේ ක්‍රීඩීකාවන්ගේ කාර්යය ඔවුන්ට අවශ්‍ය විදිහට කරගෙන යන්නත් උපරිම සහාය මෙන් ම නිදහසත් අඩු නොවිය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකිර්ණයට රොඳ බඳින්නට නොහැකි වු ලක්ෂ සංඛ්‍යාත පිරිස් රූපවාහිනියෙන් තිරය මත ඇඳෙන සිත්තම රතු සහ සුදු හැටියටත්, කළු සහ සුදු හැටියට වින්ඳේ ඒ මොහොතේ අතේ තිබුණ වත්කම සහ හිතේ කැකෑරුනු ආසාවේ තරමට ය. සුදා සිං, ජයන්ති විශ්වනාදන්,සැලෝමි ෂේවියර් වැනි ඉන්දීය වොලිබෝල් ඉතිහාසයේ ප්‍රබල නම් වලින් ද අඩුවක් නොවු නමුත්, දකුණු ආසියානු තරගාවලියේ ඉතිහාසයට කාන්තා වොලිබෝල් එකතු වුණ පළමු අවස්ථාවේ ම ඉන්දියාවේ කාන්තා වොලිබෝල් පෞරුෂය බිම හෙලන්නට (විනාඩි 83ක් වැනි කාලයක දී පළමු තරග වටය එක් අවස්ථාවක දී 14/0ක් ලෙස ඉදිරියෙන් සිටමින් තරගයට අවතිර්ණ වී එකී වටය 15/1ක්, 15/17ක්, 15/12ක් සහ 15/07ක් ) ලෙස රේණුකා අබේවර්ධන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඉන්දියාව බිම හෙළු නමුත් වසර 31කට පසුත් තවමත් එනැන ය.එකී පරාජයෙන් පාඩම් උගත් ඉන්දියාව මෙකී 31වසරක කාලය තුළ දුර ගමනක් යද්දි ,අද ශ්‍රී ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩා උලළේ පළමු කාන්තා රන් පදක්කමේ සිට ලෝකඩ පදක්කමක් දක්වා ගමන් කර ඇත්තේ කොහෙට දැයි බලධාරින් දැන්වත් ඇස් ඇර බැලිය යුතු ය.

එදා ලාංකේය ක්‍රීඩිකාවන් ඉන්දියාව පරාජය කරන අයුරු ජාතික රූපවාහිනියේ විකාශයන් සහ එයින් උපුටා ගැනීම් විඩීයෝ හරහා නැරඹන විට දැණුන දේවල් මෙරට කාන්තා කණ්ඩායම් ගොඩ නඟද්දි විශේෂයෙන් මෙකී තරගය නැරඹීමට දිය යුතු ය.එහෙත් කරුමයක මහත වන්නේ එකී වටිනාකම දැනෙන ආකාරයට තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් හැඩ ගැසී නොමැති වීම ය.

එකී ඓතිහාසික කණ්ඩායමේ වර්තමානය සටහන් කිරිම ද වටිනා බව බැහැර කළ හැකි ද? ගමනා ගමන මණ්ඩලයේ සේවය කළ නායිකා රේණුකා අබේගුණවර්ධන යාපා අද විශ්‍රාමික ය.ඒ අතර රේණුකා වසර 15ක් පමණ සවුදියේ ද සේවය කර තිබේ. චින්තා දිල්රුක්ෂිත් ඇයත් සමඟම ගමනා ගමන මණ්ඩලයේ සේවයේ සිට විශ්‍රාමික ය. කේ.එම්.ඉන්ද්‍රාණි සෙලින්කෝහී සේවයේ නියුතු ය. එච්.ඒ.ස්වර්ණා ගුවන් හමුදාවට සම්බන්ධව සිට අද විශ්‍රාමික ය.

එකී කණ්ඩායමේ සෙසු සියල්ලන්ම ගුරු සේවයට සම්බන්ධ ය.ඒ අනුව සන්ධ්‍යා සඳලේඛා පෙරේරා,ඩබ්.පී.ශ්‍රියාණි,ඉනේෂා චිරන්තනී, දීපිකා කුමාරි අබේසිංහ ,උදේනී ප්‍රියදර්ශණි සහ ජයන්ති කරුණාරත්න අදටත් ගුරු සේවයට සම්බන්ධව සිටිති.දිලිනි වසන්ති සහ රෝහිණි චන්ද්‍රිකා ගුරු සේවයේ සිට විශ්‍රාමික ය.

මෙකී කණ්ඩායම නියෝජනය කළ රෝහිණී චන්ද්‍රිකා, 1993 දෙසැම්බර් 20-27 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති හය වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලළට එක් වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරු අතර, සන්ධ්‍යා සඳලේඛා පෙරේරා, 1995 සැප්තැම්බර් 16-18 දක්වා ඉන්දීයාවේ මධුරාසි නුවර පැවැති වොලිබෝල් ශත සංවත්සර තරග මාලාවේ සහ ඉන්දියාවේ චෙන්නායි පැවැති හත් වැනි දකුනු ආසියානු ක්‍රීඩා උ‌ෙලළට එක් වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවා ය.1998 ජුනි 14-20 දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගමාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ උදේනි ප්‍රියදර්ශනිගේ නායකත්වය යටතේය.

එමෙන් ම කේ.එම් .ඉන්ද්‍රානි 1995 සහ 99 දකුනු ආසියානු ත්‍රීඩා තරගාවලියන්හිදී දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, 2004 මෙරට පැවැති ආසියානු කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළාය.

එකී ඓතිහාසික ජය තරග වට 3- 1ක් ලෙස සටහන් තැබු මොහොතේ සජීවී විස්තර විචාරකයෝ ඒ දක්වා ශ්‍රී ලංකා වොලිබෝලය වෙනුවෙන් ලේ,කඳුළු, දහඩිය හෙළු සියල්ලටම ගෞරවය පුද කරනවා.සිහිපත් කරනවා.යැයි පැවැසු අතර,දශක තුනකට පසුවත් අපට ඒ කෘතවේදි සිහිකිරීම සහ සැලකීම කරන්නට අමතක ද යන්න සිතා බැලිය යුතු ය

ලාංකේය වොලිබෝලය ලද මෙකී ඓතිහාසික රන් පදක්කම ගැන එදා සිට ද දක්වා කොළ කැබලිවල නිරන්තරයෙන් 91 දකුණු ආසියාතික වොලිබෝල් ශූරියෝ යැයි සඳහන් සටහන්, රූපවාහිනි රූපවල,ගුවන් විදුලි හඬවල්වල ඒ ආකාරයෙන් ම ශූරත්වය ගැන ප්‍රකාශ සටහන්වලට ද ඊට හිමි විය යුතු ගෞරවයද ඒ ආකාරයෙන් ම ලැබිය යුතුය.

 

Comments