මැති ඇමැති නිවාස ගිනි තැබූවන්ට වැඩ වරදියි | Page 2 | සිළුමිණ

මැති ඇමැති නිවාස ගිනි තැබූවන්ට වැඩ වරදියි

- 1051 ක් අත්අඩංගුවේ 473 ක් රිමාන්ඩ් දාහක් හැංගිලා 
- බස්නාහිර පළාතෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 444 ක්, දකුණෙන් 118 ක්, වයඹින් 103 ක්

රලියගහ මන්දිරය සහ ගාලුමුවදොර සාමකාමි විරෝධතාකරුවන්ට මැයි මාසයේ නව වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයත් සමඟ රට ම ගිනි ගත්තේ පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ට, පළාත් පාලන නියෝජිතයන්ට මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන්ට බරපතළ හානි සිදු කරමිනි. රටපුරා ගින්නක් සේ ඇවිළී ගිය ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමතිලක අතුකෝරල, ඔහුගේ ආරක්ෂක නිලධරයා සහ පොලිස් නිලධරයන් දෙදෙනෙකු ද ඒ අතර සිටිති. 

මැයි මාසයේ 9 සිට 14 දක්වා රටපුරා සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවල නිල සංඛ්‍යා ලේඛන මෙතෙක් නියමාකාරයෙන් හෙළිවී නැතත් පොලිස් මූලස්ථානයට පසුගිය බ්‍රහස්පතින්දා (19) වන විට වාර්තාවී තිබුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියා සංඛ්‍යාව දහසකට වැඩිය. අත්අඩංගුවට ගනු ලැබ සිටි පුද්ගලයන් සංඛ්‍යාව 1051 කි. ඉන් පුද්ගලයන් 452 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබ සිටියහ. පුද්ගලයන් 473ක් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටිති.

බස්නාහිර පළාතෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 444ක් දකුණු පළාතෙන් 118ක් සහ වයඹින් 103 ක් පසුගිය බදාදා වන විට පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබිණි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු 74කගේ නිවාස, වාහන දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකොට දේපළ කොල්ලකා තිබුණු අතර නගරාධිපතිවරු, නාගරික මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රිවරුන් ඇතුළු සිය ගණනකගේ දේපළ විනාශ කර ගිනි තබා කොල්ලකා තිබිණි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක, මොහාන් පී ද සිල්වා, විදුර වික්‍රමනායක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, කංචන විජේසේකර, තේනුක විදානගමගේ, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, අරුන්දික ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ඩී.බී. හේරත්, සීතා අරඹේපොල, රෝහණ දිසානායක, ශාන්ත බණ්ඩාර, පියල් නිශාන්ත, අශෝක ප්‍රියන්ත, කපිල නුවන් අතුකෝරල, ගීතා කුමාරසිංහ, ගුණපාල රත්නසේකර, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, බන්ධුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී. රත්නායක, කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජයන්ත කැටගොඩ, අමරකීර්ති අතුකෝරල, සම්පත් අතුකෝරල, ජානක තිස්සකුට්ටි ආරච්චි, යූ.කේ. සුමිත්, අකිල සාලිය එල්ලාවල, ජගත් කුමාර සූරියආරච්චි, නාලක කෝට්ටේගොඩ, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ඉසුරු දොඩංගොඩ, ප්‍රේමනාත් දොලවත්ත, එස්. නන්දසේන, අනූප පැස්කුවල්, චින්තක අමල් මායාදුන්නේ, නිපුණ රණවක, අලිසබ්‍රි රහීම්, අජිත් රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප් විතාන, ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, පියංකර ජයරත්න සහ ප්‍රසන්න රණවීර මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට පහරදී ගිනි තබා දේපළ හානි සිදුකැර තිබුණු අතර ඇතැම් නිවාසවලින් වටිනා භාණ්ඩ කොල්ලකා තිබිණි.

පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීම් ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ මේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සිදුවීම්වලින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී ඒ මන්ත්‍රීවරු තමන්ට මුහුණපාන්නට සිදුවූ සිදුවීම් ජනපතිවරයා හමුවේ හෙළි කළ අතර ඒ අවස්ථාවේදී පොලිසිය සහ හමුදාව ක්‍රියා කළ ආකාරය පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද මන්ත්‍රිවරු එහිදී ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ. මේ අවස්ථාවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද සහභාගිවී සිටීම සුවිශේෂිය.

ඇතැම් මන්ත්‍රිවරුන්ගේ නිවාස පමණක් නොව ඥාතින්ගේ නිවාස පවා ගිනිබත් කැර තිබිණි. මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ එතැන් සිටය.

සියලුම මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කැරුණු අතර එක් මන්ත්‍රීවරයකුට උප පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරින් හය දෙනෙකු බැගින් ආරක්ෂාව ලබාදීමට තීරණය කැරිණි.

මැති ඇමැති සහ පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස, දේපළ, යාන වාහන ගිනිතබා වැනැසූ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා රටේ සියලු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු මාර්ගයෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරු දැනුම්වත් කර තිබිණි. නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙහි විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කරන්නේ ද ඔය අතරය.

මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ගෙවල් දොරවල් යාන වාහන ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණ පුද්ගලයන් ගැන තොරතුරු රැසක් ඒ වන විටත් අදාළ සිදුවීම් වූ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට වාර්තා වී තිබිණි. සීසීටීවී දර්ශන සහ මේ සිදුවීම් වූ අවස්ථාවේ වීඩියෝගත කළ දර්ශන රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබුණු අතර පොලිසිය එම තොරතුරු අධිකරණයට වාර්තා කරමින් විමර්ශන ඉදිරියට ගෙන ගියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

අනුරාධපුර දිසාවේ මැති ඇමතිවරු රැසකගේ සහ පළාත් පාලන නියෝජිතයන් කීප දෙනෙකුගේ නිවාස සහ දේපළ ගිනිබත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරු අටදෙනෙකුගෙන් සමන්විත කණ්ඩාමක් විමර්ශන ආරම්භ කර තිබුණු අතර චන්න ජයසුමන, දුමින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ සහ අනුරාධපුර නගරාධිපතිවරයාගේ නිවෙසට පහර දුන් පුද්ගලයන් 22කගේ තොරතුරු හෙළි විය. ඉන් 13 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඔය අතරය. ඒ අතර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද සිටීම සුවිශේෂිය. ඉන් හත්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කැරෙන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ඒ අතර හමුදා සෙබළෙකු ද සිටී. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර පක්ෂ කාර්යාලයට පහරදී ගිනි තබා විනාශ කරන අතරතුරේදී එහි තිබුණු දේපළ රැසක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම දේපළ ද සොයා ගෙන තිබිණි. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අයත් උඩුගම්පොළ නිවෙසට ගිනි තබා විනාශ කළ පුද්ගලයන් සොයා ගම්පහ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඔය අතරදීය. එහිදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් තිස්සමහාරාම, කිරින්ද සහ බංගම ප්‍රදේශවල පිහිටි නිවාස ගිනි තබා අලාබ හානි සිදු කළ කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

හිටපු වාරිමාර්ග අමාත්‍ය අනුරාධ ජයරත්නට අයත් කාර්යාලයක් ගිනි තබා විනාශ කළා යැයි සැකපිට ක්‍රීඩා උපදේශකවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. එසේ අත්අඩංගුවට ගන්නා ලද ක්‍රීඩා උපදේශකවරයා රක්ෂිත බන්ධනාගාරගත කැරිණ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මැදමුලන නිවෙසට පහරදී විනාශ කළ අවස්ථාවේ එහි සිටි බලු පැටවකු වීරකැටිය ප්‍රාදේශීය සජබ මන්ත්‍රිවරයකුගේ දියණිය සන්තකයේ සිටියදි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන් පුද්ගලයකු ද පොලිස් අත්අඩංගුවට ගැනෙන්නෙ මේ අතරතුරදීය.

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවාට අයත් ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි නිවෙසට සහ පක්ෂ කාර්යාලයට මැයි මාසයේ නව වැනිදා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළ බව බී වාර්තාවක් මඟින් ගම්පහ පොලිසිය අධිකරණයට තොරුතුරු වාර්තාකර තිබිණි.

ඒ අසල පිහිටි සීසීටීවී කැමරා උපයෝගී කරනෙ මෙම විමර්ශන සිදුකරගෙන යන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

හිටපු අමාත්‍ය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ යන අයගේ නිවාසවලට පහරදී අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කැරෙන්නේ ඔය අතරය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගේ ගාල්ල හපුගල පිහිටි නිවෙස ගිනිතබා අලාභ හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් හය දෙනකුට ඇප නියම විය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මහනුවර නිවෙසට ගිනි තැබී යැයි සැකපිට පුද්ගලයන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රටබීම හලක් මාවත ගම නගරයේ ද පිහිටා ඇති අතර ඊට පහරදී රුපියල් ලක්ෂ 29ක් පමණ වටිනා මත්පැන් කොල්ලකෑ තිදෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔය අතරතුරදීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ත්‍රිමලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලගේ නිවසට සහ ප්‍රාදේශීය සභා සභාපතිරයාගේ නිවසට පහරදී බරපතළ අලාභ හානි කළ පුද්ගලයන් 39 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලිසිය කන්තලේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් 14 දෙනෙකු ඇප මත මුදා හැරිණි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණි ගුණවර්ධන පදිංචි මීරිගම ලෝලුවාගොඩ නිවෙසට ගිනි තබා විනාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද විහාරාධිපති හිමිනමක් අධිකරණයට ඉදිරිපත් කර තිබීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ කාර්යාලයට පහරදීමේ සිද්ධියට සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට ද චෝදනා එල්ල විය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවෙස්වලට පහරදී දේපළ කොල්ලකෑමේ සිද්ධි ගැන විමර්ශන ආරම්භ කළ බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන්නේ ඔය අතරය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කලාකරුවකු වන ඉරාජ් වීරරත්නගේ නිවෙස්වලට පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ ‘පොල්තෙල්’ නමැති සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාරගේ නිවෙසට සහ වාහනවලට පහරදී අලාභ හානි කළ සැකකරුවකු කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කැරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්ගේ නාරම්මල කඩහපොල නිවෙසට ගිනි තැබූ පුද්ගලයකු ද අත්අංඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඉමදුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවෙසට පහරදුන් සිව්දෙනෙකු ද පොලිසියට කොටු වන්නේ මේ අතරය. පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිගේ නිවෙසට පහර දුන් බවට සැකකරන පුද්ගලයන් පස්දෙනෙකු බණ්ඩාරවෙල පොලිසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද්දේ ද පසුගියදාය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසලදී බසයකට පහරදී අලාභ හානි සිදුකර ඒ අසල පිහිටි රටබීම හලකට පහර දුන් පස්දෙනකු පොලිසියට කොටු විය.

මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයට පහර දුන් 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටින්නේ ඒ පිළිබඳව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවය. තංගල්ල පොහොට්ටු මන්ත්‍රී මොහාන් ලාල්ගේ හුංගම පිහිටි නිවෙසට පහර දුන් දෙදෙනෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. නිට්ටඹුවේදී ඝාතනය කැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධරයාගේ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය පුද්ගලයන් හය දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

පෞද්ගලික බස් 58ක් පමණ ගිනි තබා විනාශ කැරුණ අතර මේවාට සම්බන්ධ පුද්ගලයන් දෙසතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටින්නේ ඔය අතරය.

මැති ඇමතිවරුන්ගේ නිවාස, දේපළ, යාන වාහන ගිනි තබා වැනැසූ පුද්ගලයන්ට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිසිය බලාපොරොත්තු වෙයි.

මැයි 9 – 14 රට පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම්වලට අදාළ තවත් පුද්ගලයන් දහසක් පමණ සැඟවී සිටින බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. මේ සිදුවීම්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහන 48ක පමණ අලාභ හානි සිදුවී ඇති අතර ඒ අතර නියෝජ්‍ය පෙලිස්පතිවරු තිදෙනෙකුට අයත් වාහන ද ඇත.

Comments