‘නොනැවතී ඉදිරියට’ යුද සාහිත්‍යයට එක්වූ නවතම කෘතිය | සිළුමිණ

‘නොනැවතී ඉදිරියට’ යුද සාහිත්‍යයට එක්වූ නවතම කෘතිය

විශ්‍රා­මික මේජර් ජෙන­ර­ල් මො­හාන් සුම­න­සේන

විශ්‍රාමික මේජර් ජෙනරල් මොහාන් සුමනසේන විසින් රචිත නොනැවතී ඉදිරියට ග්‍රන්ථය එළිදැක්වීම 2022 මැයි 08 වැනිදා පෙරවරු 10.00ට කුරුවිට ගැමුණු රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

යුද්ධය යනු කිසිදු රටකට මිහිරි අත්දැකීමක් නොවූවද යුද්ධයක් වැනි අමිහිරි අත්දැකීමක් අනාගතයේ එවැනි අත්දැකීම්වලට මුහුණ නොදීමේ අරමුණෙන් සාහිත්‍යාංගයක් ලෙස මතකයේ රඳවා ගන්නට සාහිත්‍ය ‍ෙව්දීන් කටයුතු කර ඇත්තේ බොහෝ කලකට පෙර සිටමය. ලොවම කම්පනයට පත්කළ ප්‍රධාන ලෝක යුද්ධ දෙක ඇතුළු බොහෝ යුද්ධයන් පිළිබඳ පාහේ දියුණු සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත්තේ ඒ අනුවය. 

යුද්ධයකට මුහුණ දෙන පාර්ශ්ව රැසක් සිටින අතර ඒ සියලු දෙනා යුද්ධය දකින්නේ විවිධාකාරයෙනි. ඒ සියලු දෙනාගේ අදහස් යුධ සාහිත්‍යයක් ගොඩනැඟීමට පදනම් වන අතර, එය යුද්ධය ගලාගෙන ගිය ආකාරය සහ යුද්ධයෙන් පසු තත්ත්වය පිළිබඳව පාඨකයාට අවබෝධයක් ලබාදීමට සමත්වේ.

ශ්‍රී ලංකාවේ ද එවැනි යුධ සාහිත්‍යයක් පවතින අතර මේ වන විටත් පාඨක අවධානය මැනවින් දිනාගත් කෘති කිහිපයක්ම නිර්මාණය වී ඇත.

දශක තුනක කාලයක් ශ්‍රී ලංකාව වෙළාගත් යුද්ධයේ බියකරු ගිනිදැල් සියැසින් දකිමින් දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ සෙන්පතියකුට යුද්ධය ගැන කියන්නට ඇති කතාව වඩාත් අරුත්බර වනු ඇත. ඒ ඔහුගේ කතාව සැකසෙන්නේ හුදෙක් ප්‍රලාප, ප්‍රබන්ධවලින් නොව කළ කී දෑ සහ ඇසූ දුටු දෑ අනුව වන නිසාය.

“විශ්‍රාම යෑම සමඟ රැගෙන යා යුතු දෙයක් අප තුළ නැති නමුත් යුධ මතකයන් සහ අප ගත කළ හමුදා ජීවිතය අප හට කිසි දිනෙක අමතක කළ නොහැක. නමුත් අපට ඉදිරි රණවිරු පරපුර උදෙසා සහ මතු පරපුර උදෙසා බෙදා දිය හැකි අත්දැකීම් බහුලව ඇත.

හමුදාවක අභිමානය රඳා පවතිනුයේ එකී අත්දැකීම් සමාජගත කිරීමෙනි. ගෙවී ගිය 30 වසරක යුද්ධයේ අත්දැකීම් ගැන කීමට හැමෝටම කතාවක් ඇත. එකී අත්දැකීම් හදවත් තුළ තෙරපෙමින් කැකෑරෙමින් තිබේ. නමුත් කළ හැක්කේ එකී අත්දැකීම් මතු පරපුරට දැනකියා ගැනීමට අවස්ථාවක් ලබාදීමය. අධිෂ්ඨානය, කැපවීම සහ අරමුණක් තිබේ නම් අපට ‘නොනැවතී ඉදිරියට’ යා හැකි වේ. ”

ඒ වදන් විශ්‍රාමික මේජර් ජෙනරල් මොහාන් සුමනසේන ගේය. 1974 වසරේ සිට 2015 දක්වා වසර 41ක් යුද හමුදාවේ සේවය කළ ඔහු එම දිගු කාල පරිච්ඡේදයේදී වැඩි කාලයක් උතුරු හා නැඟෙනහිර ක්‍රියාන්විත රාජකාරින්හි නිරත වූ අතර, එම කාල පරාසය තුළදී මෙරටෙහි සිදුවූ ත්‍රස්තවාදී භීෂණකාරී තත්ත්වය මුල් අවධියේ සිට වර්ධනය වූ ආකාරය ද එම කාල පරිච්ඡේදය තුළදී සිදුවූ විවිධ සිදුවීම් ද ශ්‍රී ලංකාවට එල්ල වූ අභ්‍යන්තරික මෙන්ම බාහිර බලපෑම් ද පිළිබඳ මනා පරිචයක් ලැබුවේය. 2009 වසරේ මැද භාගය දක්වා ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන්ට අත්වූ අවසන් ඉරණම ද ඇතුළත් කොට කෘතියක් රචනා කිරීමට මේජර් ජෙනරාල් මොහාන් සුමනසේන තීරණය කරන්නේ ඒ බිහිසුණු ත්‍රස්තවාදය නිම කිරීමට තම ජීවිත පූජා කළ රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් ලේ දහඩිය හෙළූ සියලු රණවිරුවන්ට උපහාර දැක්වීමේ පවිත්‍ර චේතනාවෙනි.

“ත්‍රස්තවාදය නිමා කිරීමට ජීවිත කැපකළ රණවිරුවන් මෙන්ම සක්‍රීය දායකත්වය දැක්වූ අතිමහත් රණවිරු පිරිසක් ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ හමුදා සේවයෙන් ඉවත්ව හෝ විශ්‍රාම ගොස් තිබෙනවා. යුද්ධය නිමා කිරීමට දායකත්වය දැක්වූ සෙසු රණවිරුවෝද ඉදිරියේදී විශ්‍රාම යෑමට ආසන්නව සිටිනවා. ඉන්පසුව යුධ හමුදාව තුළ බිහිවන්නේ යුධ අත්දැකීම් නොමැති පිරිසක්. ඔවුන්ට මෙන්ම මතු පරපුරට එම යථාර්ථය අවබෝධ කර දීම අප සැමගේ වගකීමක්. අප විසින් එය ඉටු නොකළහොත් අනාගතයේදී කිසිවකුත් අප තිස් වසරක් පුරා යුද්ධයකට මැදිව ජීවිත පූජාවෙන් මවුබිම නිදහස් කරගත් බව විශ්වාස නොකරනු ඇත”

මේජර් ජෙනරාල් මොහාන් සුමනසේන ඒ මාහැඟි වගකීම ඉටු කරන්නේ ඔහුගේ වෘත්තීය අත්දැකීම් ඇසුරු කරගනිමින් ‘නොනැවතී ඉදිරියට’ නම් කෘතිය රචනා කරමිනි. 

එහෙත් එය හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් රසවත් කතාන්දරයක් ලෙස පාඨකයා හමුවේ තැබීමට සමත් වී ඇත. ඔහුගේ කුඩා වියේ සිට දිග හැරෙන ඒ කතාව පාසල් ජීවිතයේ රසවත් සහ වැදගත් තොරතුරු රැසකින් ද සමන්විත වේ.

දරුවන් සය දෙනකුගෙන් යුතු පවුලේ තෙවැන්නා ලෙස උපන් මොහාන් සුමනසේනගේ පියා, පියදාස සුමනසේන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරිවරයකු ලෙසත් පසුව ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙසත් අවසානයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන පාලක වශයෙන්ද සේවය කළ බැවින් පියාගේ සේවා අවශ්‍යතා මත සුමනසේන පවුල ජීවත් වූ ප්‍රදේශ කලින් කලට වෙනස් විය.

1960දී පෙර පාසල් අධ්‍යාපපනය සඳහා මාතර කන්‍යාරාමයට බක්කි කරත්තෙන් මාතර පාලම උඩින් ගමන් කළ ආකාරයත් ඒ සමයෙහි බක්කි කරත්තකරුවන් අතර පැවති තරග නිසා ප්‍රීතියට පත්වූ අයුරුත් මොහාන් ආවර්ජනය කර ඇත්තේ වර්තමානයේ දරුවන්ට නුහුරු ඒ අත්දැකීම පිළිබඳ ලෝභකමක් ඇතිකරවන ආකාරයටය.

කලින් කලට පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබීමෙන් පසුව 1968දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වූ මොහාන්, මලල ක්‍රීඩා, පිහිනුම්, රග්බි ආදී ක්‍රීඩාවල නිරත වෙමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ආකාරය දක්වා ඇත්තේ යොවුන් දරුවන්ට ක්‍රීඩා කුසලතාව මඟින් ලබාගත හැකි ජයග්‍රහණ පිළිබඳ ඉඟි කරමිනි.

ශිෂ්‍ය නායයකු මෙන්ම ශිෂ්‍ය භටයකු ලෙස තම පෞරුෂය මනාව වර්ධනය කරගත් ඔහු හමුදා සේවය සිය ජීවන වෘත්තිය කොට තෝරා ගන්නේ කුඩා වියේ සිට දුටුගැමුණු චරිතය අධ්‍යයනය කිරීමෙන් හදවතේ දලු ලෑ අභීත සිතිවිලි ද සමඟිනි.

ගැමුණු හේවා බළකායට ඇතුළු වීමට ප්‍රධාන සාධකය එය වූ බව ද ඔහු සිය කෘතියේ දක්වා ඇත. තර්ස්්ටන් විදුහලේ උසස් පෙළ හදාරමින් සිටි කාලයේදී යුධ හමුදාවට කෙඩෙට් නිලධාරින් බඳවා ගැනීමේ දැන්වීමක් දැක

ඒ සඳහා ඉල්ලුම් පතක් යොමු කරන මොහාන්ට යුද හමුදාවේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට පෙර සිය පියා විසින් නිවෙසේ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ මාලාවකට මුහුණ දීමට සිදුවිය.

“හමුදාවට සම්බන්ධ තොරතුරු පමණක් නෙවෙයි, විදේශීය රටවල වත්මන් තොරතුරු, ප්‍රවෘත්ති හා පුවත්පත් මඟින් ලබාගත් තොරතුරු, දේශපාලන හා ලෝක නායකයන් සම්බන්ධ තොරතුරු, ක්‍රීඩා තොරතුරු වැනි හැම අංශයක් ගැනම අදාළ තොරතුරු මා විසින් දැනගත යුතුව තිබුණා.

තාත්තා නිවෙස් ප්‍රධාන මේසයේ ඉඳගෙන පරීක්ෂණ මණ්ඩලයේ සභාපති අනුකරණය කරමින් පියවරින් පියවර සම්මුඛ පරීක්ෂණය පවත්වනවා. වාඩිවිය යුතු ආකාරය, සහතික පත් සහිත ලිපිගොනු ඉදිරිපත් කළ යුතු ආකාරය පමණක් නොව අවසානයේ අසුනින් නැඟිට යන ආකාරය ගැනත් තාත්තා මට හොඳ අවබෝධයක් ලබාදුන්නා. සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පවත්වන ප්‍රායෝගික කුසලතා පරීක්ෂණ සඳහා ද තාත්තා නිවසේදීම පෙර පුහුණුවීම සඳහා අවස්ථාව සලසා දුන්නා. ගෙවත්තේ පොල් ගස් දෙකක් අතර කඹයක් බැඳ එහි ගමන් කරන ආකාරයත් කඹයක් ආධාරයෙන් ඉහළ පහළ යෑම ගැනත් මම පුහුණුව ලැබුවේ නිවෙස්දීමයි. ”

දියතලාවේදී ලබාගත් හමුදා පුහුණුවෙන් ඥානය, විනය සහ පෞරුෂය මනාව ගොඩනඟාගත් මොහාන් සුමනසේන, පියවරින් පියවර සිය වෘත්තීය ජීවිතය තුළ ඉහළට ආ ගමන සිහිපත් කරන්නේ ආනන්දනීය හැඟීමෙනි. මේජර් ජෙනරාල්වරයකු ලෙස විශ්‍රාම ලබන තෙක් ගතවූ හමුදා දිවියේ ලැබූ අත්දැකීම් ඔහු පාඨකයා හමුවට ලෙන එන්නේ හමුදා ජීවිතය තුළ තම වගකීම, කැපවීම, අසීරු අවස්ථාවන්ට මුහුණ දීමට තිබූ ශක්තිය, දිවි පරදුවට තබා මහා ක්‍රියාන්විතයන්ට මුහුණ දීම ආදී දැවැන්ත පෞරුෂ ගුණාංග රැසක් පාඨකයාට ද විඳීමට සලසමිනි.

1974 දෙසැම්බර් 2 වැනිදා කෙඩේට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1976 ඔක්තෝබර් 2 වැනිදා 2 වැනි ලුතිනන් තනතුරට පත්වී උසස් වීම් ලැබ 2015 පෙබරවාරි 6 වැනිදා හමුදා සේවයෙන් විශ්‍රාම ගත් මේජර් ජෙනරල් මොහාන් සුමනසේන, ඒ කාලය තුළ ලැබූ අත්දැකීම් පරිච්ඡේද 53ක් තුළ රිද්මයානුකූලව ගලාගෙන යන රසවත් කතාන්දරයක් සිය කෘතිය මඟින් ඉදිරිපත් කොට ඇත. 

සිය සේවා කාලය තුළදී හමුදාපතිවරුන් 14 දෙනකු යටතේ සේවය කර ඇති හෙතෙම, යුද්ධයෙන් පීඩා විඳි ගම්මානවල අවිහිංසක දිළිඳු ජනතාවගේ ජීවිත යථාවත් කිරීම සඳහා ගත් උත්සාහයන් ද මේ කෘතියට ඇතුළත්ය. සිවිල් ආරක්ෂක බළකායේ අතිරේක අධ්‍යක්ෂ තනතුර දරමින් එම බළකායේ සෙබළුන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීමට මූලිකව කටයුතු කිරීමෙන් ලත් ආත්ම තෘප්තිය සහ සැනසීම ද මේජර් ජෙනරල් මොහාන් සුමනසේන සිහිපත් කරන්නේ සතුටිනි.

වැලිඹය 223 බළසේනාධිපති සහ වැලිකන්ද බළසේනාධිපති වශයෙන් කටයුතු කරන අවධියේදී වැවයි දාගැබයි ගමයි පන්සලයි යන දුටුගැමුණු රජුගේ සංකල්පය අනුව යමින් වැලිඔය මහා සෑය සහ වැලිකන්ද ගැමුණු මහා සෑය කරවීම, කුල දරුවන් පැවිදි කරවීම, වැලිඔය සහ වැලිකන්ද ප්‍රදේශයේ වැව් ආශ්‍රිත ජනාවාස පිහිටුවා එම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සිය වෘත්තිය ජීවිතය තුළ ලැබූ භාග්‍යයක් බව මේජර් ජෙනරල් මොහාන් සුමනසේන සඳහන් කළේය.

“ වෘත්තීය ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මම දැඩි තෘප්තියක් විඳිනවා. ඊට හේතුව නායකත්වය සහ අවංක භාවය පිළිබඳ ආකල්ප බව මගේ විශ්වාසයයි.

ඒ සඳහා විශේෂයෙන් මගේ පියාගෙන් ලැබූ ආභාසය ඉවහල් වුණා. මට අද වගේ මතකයි හමුදා පුහුණුව සඳහා පිටත්ව යන විට මගේ පියා මට ලබාදුන් උපදෙස්, “ඔබ බැඳෙන්න යන්නේ ඉතා වගකිව යුතු සහ ගෞරවනීය සේවයක් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාවටයි. යුද හමුදා පුහුණුව නිම වූ පසු නිලධාරියකු වශයෙන් අධිකාරි ලබනවා. ඉන්පසු අණ දෙන්නේ සෙබළුන්ට. පුතා එකක් මතක තියාගන්න ඕනෑ, නිතර තමන් යටතේ සිටින සෙබළුන් සහ කනිෂ්ඨ නිලධාරින් හොඳින් රැකබලාගන්න ඕන. ඔවුන්ට නිතරම ආදර්ශවත් වන්න. කිසිද දිනෙක අක්‍රමිකතා සහ සොරකම් සිදුනොකරන්න. ඒවාට ඉඩ නොතබන්න. එවිට ඔවුන්ගෙන් ඔබට නිසි ගෞරවය ලැබෙයි”

මේජර් ජෙනරල් මොහාන් සුමනසේන විසින් රචිත ‘නොනැවතී ඉදිරියට’ කෘතිය තුළ රට දැය වෙනුවෙන් දිවි පිදූ මහා සේනාධිපතියාවූ වන ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න ඇතුළු ජ්‍යේෂ්ඨ රණවිරුවන්ට උපහාර දක්වා ඇති අතර, ත්‍රස්තවාදයට සම්බන්ධ වූවන් පිළිබඳ විස්තර දින වකවානු සහිතවත් ඔවුන්ගේ ක්‍රෑර ක්‍රියාකාරකම් පිළිබඳවත් පාඨකයාට ඉතා වැදගත් තොරතුරු රැසක් ඇතුළත් වේ.

මේ කෘතියට අපූරු පෙරවදනක් සපයමින් ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ පවසන්නේ වරෙක භූගෝලීය විෂය ආවරණය කරන මේ ග්‍රන්ථය තවත් වරෙක ඉතිහාස පොතක් ලෙස ද ඉස්මතුව කැපී පෙනෙන බවයි.

රුදුරු ත්‍රස්තවාදය නසා මවුබිම ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රියාන්විතයන් පිළිබඳ ඉතා ආකර්ෂණීය ලෙස රචනා කර ඇති මේ කෘතිය අනාගත පරපුරට දැනුම් සම්භාරයක් ලබාදෙනු නිසැකය.

 

Comments