කෝටි 22,900‍යේ සහන මල්ලෙන් රටේ සැමටම සෙත | Page 3 | සිළුමිණ

කෝටි 22,900‍යේ සහන මල්ලෙන් රටේ සැමටම සෙත

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, ආබාධිත රණවිරුවන්, සමෘද්ධි ලාභීන් හා ගොවි ජනතාව වෙනුවෙන් හා වතු කම්කරුවන් වෙනුවෙන් එකවර රුපියල් කෝටි 22,900ක සහන සැලසීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ මඟින් 1450,000ක් වන සියලුම රාජ්‍ය සේවකයන්ට, සමෘද්ධි ලාභීන් 17,93000කටත්, හයලක්ෂයක් පමණ වූ විශ්‍රාමිකයන්ටත් විශේෂයෙන් සෙත සැලසේ.

 

ඊට අමතරව ගොවි පවුල් ලක්ෂ 17කට, වතුකම්කරු පවුල් 247,000ක් ආබාධිත රණවිරු පවුල් දහස් ගණනකට පමණ මෙමඟින් සෙත සැලසෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ අධීක්ෂණය යටතේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙය වීමෙන් මෙම සහන පැකේජය ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ මේ වසරේදී අඩුම ගණනේ මෙරට පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් ලක්ෂ 46 කට පමණ ඍජුවම සෙත සැලසෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. කොවිඩ් වසංගතය, ඩොලර් ප්‍රශ්න තිබියදී වුවද මෙවැනි ජනතා සහන ලබාදීමට රජය පියවර ගැනීම ප්‍රශංසනීය බවද ඔවුහු පෙන්වා දෙති.

මේ යටතේ රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ආබාධිත රණවිරුවන්ට මේ වසරේ සිට රුපියල් 5,000ක මාසික දීමනාවක් දීමටත් සමෘද්ධි ලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමටත් තීරණය කර තිබේ. මෙහි විශේෂත්වයක් වන්නේ පසුගිය අයවැයෙන් වැටුප් වැඩි වූ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ද ඉහත කී රුපියල් 5,000 දීමනාව හිමි වීමයි. ඒ පිළිබඳව එම ගුරුවරු, විදුහල්පතිවරු, ඒකාබද්ධ සංවිධානය ද සිය සතුට පළ කරති.

මේ පිළිබඳව අදහස් දක්වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් පවසන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම රුපියල් 5,000 දීමනාව පිරිනැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.

පොදුවේ රටේ සියලු දෙනාටම මේ සහන මල්ල මඟින් සෙත සැලසේ. එය සිදුවන්නේ මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සියලු බදු වලින් නිදහස් කිරීමට මේ වැඩපිළිවෙළ යටතේ ගත් තීරණය නිසාය. ඊට අමතරව මෙරට වතු කම්කරු පවුල් සඳහා රුපියල් 80ක සහනදායී මිලට මාසිකව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15ක් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. ඉන් ලැබෙන ලාභය එක් කිලෝවකට රුපියල් 40කි. රාජ්‍ය සේවකයන් සඳහා හා විශ්‍රාමිකයන් වෙනුවෙන් අතිරේක දීමනාවක් ලබාදීමේදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කෝටි 9700ක්ද, විශ්‍රාමිකයන් වෙනුවෙන් කෝටි 4,000ක්ද අතිරේකව වෙන් කිරීමට රජයට සිදුව තිබේ.

මේ රටේ සමෘද්ධිලාභීහු 1,793,000ක් පමණ සිටිති. ඔවුන් වෙනුවෙන් මාසිකව එක් අයකුට රුපියල් 3,500ක මුදලක් රජය විසින් පිරිනැමේ. ඔවුන්ට මේ මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අතිරේක රුපියල් 1,000ක දීමනාවක් පිරිනමන්නට පියවර ගෙන තිබේ. ඒ සඳහා රජයට මසකට රුපියල් කෝටි 179ක් වැයවේ. ගොවියන්ගේ වී මිල දී ගැනීමේදී රුපියල් 75ක සහතික මිලක් දෙන්නට රජය පියවර ගෙන තිබේ. එය ගොවීන් සඳහා ලබා දුන් වැඩිම වී මිල ලෙස වාර්තාගත වේ.

මේ රජය පැමිණි පසුව වී කිලෝවක් සඳහා සහතික මිල රුපියල් 50ක් කළ බව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා ගොවියාගේ වී වලින් සියයට 50ක අස්වැන්න ප්‍රමාණයක් අඩු වූවා යැයි සලකන්නේ නම් එසේ පාඩු සිදුවන වී සඳහා ගොවියාට මේ අතිරේක රුපියල් 25ක මුදල ලබාදෙන්න පියවර ගන්නා බවද පැවසීය.

කිසිදු ආකාරයකින් සහල් මිල වැඩි නොකර ගොවියා වෙනුවෙන් මේ රුපියල් 25ක මුදල රජයෙන් දෙන සහනයකි. මේ කන්නයේ වෙනදා මෙන් සෑම කුඹුරක්ම අස්වද්දන්න පියවර ගෙන තිබේ. යම්කිසි ආකාරයකින් ගොවියාට පාඩුවක් සිදු වුවහොත් වී කිලෝවකට රුපියල් 75ක් දීමට පියවර ගනී. ඊට අමතරව ගෙවතු වගා ආරම්භ කිරීම වෙනුවෙන් අතිරේකව රුපියල් කෝටි 3,100ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ. පර්චස් 20ට අඩු බිමක ගෙවතු වගා කරන්නේ නම් රුපියල් 5,000ක දිරි දීමනාවක් ද පර්චස් 20ත් අක්කරයත් අතර බිමක් වෙනුවෙන් රුපියල් 10,000ක දීමනාවක් පිරිනැමීමට පියවර ගන්නා බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.

ඊට අමතරව මාස හයක කාලයකට පසුව ද එම මුදල් ප්‍රමාණය රුපියල් 5,000 සහ 10,000 වන ආකාරයට ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මේ සියලු සහන පිළිබඳව අදාළ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සාමාජිකයෝ සිය සතුට පළකරති.

මෙරට වැඩියෙන්ම තිරිඟු පිටි ආහාර පිණිස පාවිච්චි කරන ජනතාව වන වතු කම්කරු ජනතාව තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා දැඩි අපහසුතාවට ලක්වී සිටිය ද එයට විසඳුමක් ලෙස රජය මෙම සහන පැකේජය මඟින් ඒ පවුල්වලට මසකට රුපියල් 80 සහන මිලට තිරිඟු පිටි ලබාදීම සිදුකෙරේ. මේ පිළිබඳව එක්සත් වතු කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. මුත්තු ලිංගම් පැවසුවේ මෙම තිරිඟු පිටි අඩු මිලට ලබාදීම ජීවන බරින් මිරිකී සිටින වතු කම්කරු ජනතාවට ලොකු සහනයක් බවයි.

“අපේ වතු කම්කරුවන්ට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. දවසකට රුපියල් 1,000ක් දෙන්නේ තේ කිලෝ 25ක් කැඩුවොත් විතරයි. අපේ අයට පළාත් පාලන ඡන්දය ඉල්ලන්න අවස්ථාව තිබෙනවා. දිනලත් තිබෙනවා. ඒත් ප්‍රදේශයේ සංවර්ධන වැඩ කරන්නෙ වතු අධිකාරියේ අවසරය ඕනෑ. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. කොහොම වෙතත් වතු කම්කරු පවුල් 245,00කට විතර තිරිඟු පිටි සහනය නිසා සෙත සැලසෙනවා. ඒ ගැන රජයට අපි ස්තුති වන්ත වෙනවා...” මුත්තු ලිංගම් පවසයි.

අපේ රටේ තවමත් පහව නොගිය කෝවිඩ් අර්බුදය තිබෙන අවස්ථාවේ කෝවිඩ් සඳහා එන්නත් 3ක් දී ඇති අවස්ථාවේදී ඩොලර් සංචිතවල හිඟයක් තිබියදීත් මුදල් ඇමැතිතුමාගේ මෙහෙයවීමෙන් මේ සහන ලබාදී ඇත්තේ හෙට දවසේ ආර්ථිකය පිළිබඳව යම් සුබවාදි ලක්ෂණ පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ට අවබෝධයක් ඇති නිසා බව ආර්ථික විශේඥයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ ලේකම් කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස පවසන්නේ ගෙවතු වගාව දිරිමත් කිරීමට රුපියල් 5,000 සිට 10,000 දක්වා ලබාදීම රටේ ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීමට රජය ගෙන ඇති වැදගත් පියවරක් බවයි.

“අපි ඉස්සර ඉඳන් කාබනික වගාව කරනවා. කාබනික වගාවට පස හදාගෙන තිබුණා නම් කාබනික වගාවෙන් සරු අස්වැන්නක් ගන්න පුළුවන්. රුපියල් 75ක් කියන්නේ අපේ රටේ වී වලට රජය දුන්න ඉහළම මිල බවත් කිව යුතුය.” ජයතිස්ස මහතා පවසයි.

වී වලට මෙවර රුපියල් 25ක් වැඩි කළා. ඒත් දැන් කවුඩුල්ලේ වී මිල රුපියල් 80යි. කෙසේ වුවත් මේ මිල වැඩි කිරීම් වලට වඩා අපේ කාබනික ගොවිතැන පාරිසරික ගොවිතැන කරන ගොවීන්ට අවශ්‍ය විඩර් වගේ උපකරණ අත්ට්‍රැක්ටර් ආදිය සහන මිලට ලබාදීමයි අවශ්‍ය.

විශේෂයෙන්ම අපේ රටට ස්ථිරසාර කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අත­්‍යවශ්‍යයි. ඒ සමඟම රටේ පාරිසරික ගොවිතැන කාබනික ගොවිතැන යනාදියේ ඵලදායිතාව ගුණාත්මක බව පිළිබඳව රටට කියා දීමට අපේ විද්‍යුත් මාධ්‍ය මීට වඩා උනන්දු විය යුතුයි” යැයි එම්.කේ. ජයතිස්ස පවසයි.

රජයේ සේවකයන්ට රු. 5,000 ලබාදීම පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජේ. කමල් කිත්සිරි පවසන්නේ වැඩි වන ජීවන වියදමට පිළියමක් ලෙස මේ මස සිට වැටුපට රු. 5,000 ක් ලබාදීම යම් සහනයක් බවයි.

“යම් යම් අත්‍යවශ්‍ය ආහාර වර්ග 6ක් තෝරාගෙන ඒවායේ මිල අඩු කළා නම් රටේ සේරටම ලොකු සහනයක් වෙනවා. කෙසේ වුවත් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක රජය රු. 5‍,000ක් රාජ්‍ය සේවකයන්ට වැඩි කිරීම පිළිබඳව අපේ ග්‍රාම නිලධාරීවරුත් සතුටු වනවා. එහෙත් අපේ ප්‍රධාන ඉල්ලීම නම් ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාව හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ සමස්ත ලංකා රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික දීප ව්‍යාප්ත සම්මේලනයේ ප්‍රධාන ලේකම් කේ.එම්. කරුණාරත්න පවසන්නේ රු. 5,000 ක දීමනාවක් ලබාදීම මේ මොහොතේ වැඩි වන උද්ධමනයට පුංචි පිළිසරණක් පමණක් බවයි. “අපට ඕනෑ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා නැති කිරීමයි. මේක හුඟක් කල් සිට කරන ඉල්ලීමක්. ඒ විෂමතාව නැති කළා නම් අපිට ඔයට වඩා වැටුප් වැඩි වෙන්න ඉඩක් තිබුණා යැයි” කරුණාරත්න පවසයි.

සහන පැකේජය පිළිබඳව අදහස් දක්වන මෙරට රාජ්‍ය සේවයේ ප්‍රබලතම වෘත්තීය සමිතිය වන රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස පවසන්නේ රජය විසින් මේ ලබාදුන් සහන ප්‍රයෝජනයට ගෙන ආර්ථිකය ගොඩනැංවීමට ඇපකැප විය යුතු බවයි.

“වසර දෙකක කාලයක් පුරා අපේ රට වෙළාගෙන සිටි කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපේක්ෂිත ආදායම් අහිමි වීමෙන් රට දරුණු ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබියදී වුවද මෙරට රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට හා ආබාධිත රණවිරුවන්ට රුපියල් 5,000 බැගින් වූ අතිරේක දීමනාවක් ලබාදී ආර්ථික සහන සලස්වන්නට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් ගෙන ඇති පියවර අපි අගය කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ක්‍රියාත්මක කරන ලොවම පැසසුම ලක් කළ කොවිඩ් එන්නත්කරණය මඟින් එම රෝගය දැන් තරමක් පාලනයට ලක්කර තිබෙනවා. එවන් වකවානුවක දෙන මේ සහන ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රබල දිරි ගැන්වීමක් ලෙස අප සම්මේලනය විශ්වාස කරනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මත පනවා තිබූ සියලු බදු ඉවත් කිරීමෙන් රටේ හැමටම සෙත සැලසෙනවා. ඒ සමඟම වතු කම්කරු පවුල් වෙත සහන මිලට තිරිඟු පිටි සලාකයක් ලබාදීමත්, සමෘද්ධි දීමනාව 1,000කින් වැඩි කිරීමත්, විවිධ හේතූන් මත ආර්ථික ලෙස පීඩාවට පත්වී සිටින එම ජනතාවට ලොකු සහනයක් වනවා.

“කොවිඩි වසංගතය නිසා අපේ රටේ ඉලක්කගත ආදායම අහිමිවීම, තම පටු දේශපාලන වාසියට හරවා ගන්න උත්සාහ දරමින් සිටින අයගේ පුහු විවේචනවලට නොබියව ජනතාවට මෙලෙස පූර්ණ සහන සැලසීමට පියවර ගැනීම පිළිබඳව මේ මොහොතේ රජයට ප්‍රසාදය පළ කරන බව ද රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස පවසයි.

මේ අතර කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම රු. 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය නීතිරීති දැන් සකස් වෙමින් පවතී. සමස්තයක් ලෙස ගත් කළ මෑත ඉතිහාසයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිලාභීන් රැසකට එකවර මෙතරම් සහන දුන් අවස්ථාවක් නොමැත. ඒ නිසා මේ සියලු දෙනා එක්වී මේ අපහසු අවස්ථාවේ අපේ රට ආර්ථික අතින් හා කෘෂිකාර්මික අතින් ගොඩගැනීමට කටයුතු කිරීම මේ මොහොතේ සුවිශේෂී යුතුකමකි.

Comments