රොකට් කෑලි බයිසිකලේ බැඳන් ගිහින් ඉන්දියාව සඳ තරණය කළ හැටි | සිළුමිණ

රොකට් කෑලි බයිසිකලේ බැඳන් ගිහින් ඉන්දියාව සඳ තරණය කළ හැටි

ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ පියා ආචාර්ය වික්‍රම් සාරාබායි 1969 දි කළ ප්‍රකාශයක්

අපට, අරමුණ පිළිබඳ අපැහැදිලි බවක් නැත. සඳ හෝ ග්‍රහලෝක ගවේෂණයේ දී හෝ මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමනේ දී ආර්ථික වශයෙන් දියුණු ජාතීන් සමඟ තරග කිරීමේ ෆැන්ටසියක් අපට නැත. නමුත් අපි ජාතික වශයෙන් සහ ජාතීන්ගේ ප්‍රජාව තුළ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට නම්, අපේ රටේ අපට හමුවන මිනිසාගේ සහ සමාජයේ සැබෑ ගැටලු සඳහා දියුණු තාක්‍ෂණයන් යෙදීමේදී අප කිසිවකුට නොදෙවෙනි විය යුතු යැයි අපට ඒත්තු ගොස් තිබේ. ඉන්දියාව බයිසිකලයෙන් සහ ගොන් කරත්තයෙන් රොකට්ටුව ගෙන ගොස් සඳ තරණය කරන්නේ ඒ නිසාය. 

ඉන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක කරගනිමින් සඳ තරණය කළ අසල්වැසි ඉන්දියාව පසුගිය බදාදා(23) සිය අභ්‍යවකාශ ගමන් මගෙ සුවිශේෂී කඩඉමක් පසු කළේය.

අමෙරිකාව, රුසියාව, චීනය හැරුණු කොට සඳ මත අභ්‍යවකාශ යානාවක් ගොඩ බැස්ස වූ සිවුවැනි රට බවට පත්වූ ඉන්දියාව, සඳේ දක්ෂිණ ධ්‍රැවයට මෙවැනි ගොඩබැස්ස වීමක් කළ ලොව පළමු රට බවට ඉතිහාසයට එකතු විය.

2023 ජූලි 14 වැනි දින ආන්ද්‍රා පිහිටි ශ්‍රීහරිකෝටා වලින් පස්වරු 2.35ට චන්ද්‍රයාන්-3 මෙහෙයුම අභ්‍යවකාශගත වනවිට, 1976 වසරේ ලූනා-24 මෙහෙයුම ක්‍රියාත්මක කළ රුසියාව ද ඉන් වසර 47කට පසුව ලූනා-25 නමින් අගෝස්තු 10 වැනිදා ඇමුර් සිට යානාවක් අභ්‍යවකාශගත තරමින් ඉන්දියාවට පෙර සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ගොඩ බැස්සවීමේ මෙහෙයුමක නිරත විය.

අගෝස්තු 19 වැනිදා එම අභ්‍යවකාශ යානාව සඳ මත ගොඩබෑමේ දී රුසියානු උත්සාහය නිෂ්ඵල කරමින් එය විනාශ වී ගියේය. ඉන් සිවු දිනකට පසු ඉන්දියාව අගෝස්තු 23 පස්වරු 6.20ට වික්‍රම් නම් ගොඩබෑමේ යානයකින් සහ ප්‍රග්‍යාන් නම් රෝවරයකින් සමන්විතව චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථක කරමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව ගොඩබෑවේය.

ලොව බලවතුන් මුල දී ඉන්දියාවේ අභ්‍යවකාශ තරණය පිළිබඳ උනන්දුව දුටුවේ අවඥාවෙනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඊට නිසි පිළිතුරු දෙමින් ඉදිරියට ඒමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) දැන් සමත් වී තිබේ.

ඉන්දියානුවන් පළමු ශබ්ද රොකට්ටුව අත්හදා බලන්නේ 1963 නොවැම්බර් 21 වැනිදාය. ඒ ඉන්දියානු අභ්‍යවකාශ ගමන් මගේ තිඹිරි ගෙය වූ තුම්බා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටයි. අභ්‍යවකාශයට යොමු කළ එම රොකට්ටුව විහිදුම් ස්ථානය වෙත ඔවුන් ගෙන ගියේ බයිසිකලයෙනි. එදා බයිසිකලයෙන් ද පසුව ගොන් කරත්තයෙන් ද රොකට් එහා මෙහා ගෙන ගිය ඉන්දියාව සඳතරණය කිරීමේ කතාව සුවිශේෂී වන්නේ නොපසුබට උත්සාහයක ප්‍රතිඵල බිලියන 1.4ක ඉන්දීය ජනතාව වෙනුවෙන් ලොව අභිමානයෙන් සනිටුහන් කිරීමට අද ඔවුන් සමත්ව ඇති නිසාය.

මෙලෙස ඉන්දියාවට අද අභිමානයක් කැන්දන අභ්‍යවකාශ ගමන් මගෙ තිඹිරිගෙය දැක බලා ගැනීමට මීට වසර 11කට පෙර මට ද අවස්ථාව උදා විය. සැබැවින්ම එය අහම්බයකි. කිසිදා නොලැබීමට තිබූ අත්දැකීමක් හදවතට ළඟා කර ගැනීමකි. එකල මම කේරළයේ කොට්ටායම් පිහිටි මලයාල මනොරාමා ජනමාධ්‍ය විද්‍යාලයේ ජනසන්නිවේදන පශ්චාත් උපාධිය හදාරමින් සිටියෙමි. ඊට අදාළ අධ්‍යයන චාරිකාව සැලසුම් කළේ එම විද්‍යාලයේ ප්‍රධානි මහාචාර්ය කේ.තොමස් උමන් (කේ.ටී.ඕ) ය. අදාළ චාරිකාවේ එක් අංගයක් වූයේ තුම්බාහි පිහිටි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ අධයන චාරිකාවක නිරත වීමයි.

කේරළයේ අගනගරය වන තිරුවානාතපුරම් නැතොත් ඔබ අද ත්‍රිවැන්ඩම් ලෙස හඳුන්වන ප්‍රදේශයට නුදුරින් පිහිටි තුම්බා යනු එක් පසෙකින් මුහුදු තීරයට යාවන ධීවර ගම්මානයකි. 2012 වසරේ වුවද තුම්බා ධීවර ගම්මානය මෙම අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පිහිටි භූමියට ආසන්නයෙන් එලෙසම පැවැතිණි. එසේ වුවද තුම්බා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටි භූමිය අධිආරක්ෂිත කලාපයකි. එහි පැමිණෙන පිරිස පිළිබඳ නාමලේඛනයක් ඇතැතිව පැමිණි ආරක්ෂකයන් නාම ලේඛනයක් ලකුණු කොට අපව ඔවුන්ගේ බස් රථයකට නංවා ගත්තේය. නාම ලේඛනය ලකුණු කරමින් ගිය ආරක්ෂකයා ශබ්ද නඟා මාගේ නම රමේෂ් යැයි කියද්දි මම අතින් සන් කළෙමි. ඉක්බිතිව මට ද ඔවුන්ගේ බස් රථයට නැඟීමට අවසර ලැබිණි. 

එසේ වුවද ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) ඇතුළුවන තුම්බා මධ්‍යස්ථානයේ පැහැදිලිව සලකුණු කොට තිබුණේ විදේශිකයන්ට මෙහි ඇතුළුවීම තහනම් යනුවෙනි. එමෙන්ම ජංගම දුරකතන, කැමරා, පරිගණක හෝ කිසිදු තාක්ෂණික උපකරණයක් පිටස්තරයකුට එහි ගෙන යාම තහනම් විය. මෙවැනි දැඩි ආරක්ෂාවක් තිබූ තැනක මට මේ අත්දැකීම ලැබුණේ මගේ නම රමේෂ් වීමත්, එය දකුණු ඉන්දියානුවන් අතර ජනප්‍රිය නමක් මෙන්ම මාගේ බාහිර ස්වරූපය ද ඊටම සරිලන පරිදි ගැළපීම නිසාදැයි මා දන්නේ නැත.

අපව පිළිගත් විද්‍යාඥයා අපට මඟ පෙන්වමින් තුම්භා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පිළිබඳ හැඳින්වීමක් කළේය. ඉන්දීය අභ්‍යවකාශ ගමන් මගේ ආරම්භක පියවර තැබූ මෙම ස්ථානයට අමතරව චන්ද්‍රිකා තාක්ෂණ මෙහෙයුම් මැදිරිය සහ රොකට් විහිදුම් ස්ථානයට අපව රැගෙන යන බවට විද්‍යාඥයා පොරොන්දු විය. බැලූ බැල්මටම අප සිටගත් ස්ථානයට පෙනුණේ ක්‍රිස්ත්‍රියානි පල්ලියක් හා ඊට යාබද පිහිටි කුඩා නි‍ෙවසකි. ඊට නුදුරින් රොකට්ටුවක විශාල ප්‍රමාණයේ අනුරුවක් හා එවැනි රොකට් යානා අනුරු කිහිපයක් විය.

පල්ලියක් බැතිමතුන්ගේ දේව මෙහෙයන් පවත්වන තැනක් විනා එය ඉන්දීය අභ්‍යවකාශ ගමන් මගෙ ආරම්භය සලකුණු කළ ස්ථානය වන්නේ කෙසේදැයි මම අහස පොළව ගැටගැසුවෙමි. ඔබ කල්පනා කරන්නේ මේ පල්ලිය ගැන වෙන්න ඇති නේද ? යැයි අසමින් විද්‍යාඥයා ඉන්දීය අභ්‍යවකාශ ගමන් මගේ ඉතිහාසය දිගහරින්නට විය.

ඉන්දියානු නවීන අභ්‍යවකාශ පර්යේෂණ 1920 දක්වා දිව යන අතර විද්‍යාඥ එස්.කේ මිත්‍රා, සි.වී රාමන්, මේඝනාද් සාභා මුල් කාලයේ එම පර්යේෂණවලට දායක විය. 1945න් පසු ප්‍රධාන වශයෙන් විද්‍යාඥයන් දෙදෙනෙක් ඉන්දියාවේ අභ්‍යවකාශ විද්‍යා පර්යේෂණ සඳහා දායක වූ අතර ආචාර්යවරුන්වන වික්‍රම් සාරාබායි සහ හෝමි භාවා ඒ අතර කැපි පෙනෙති.

මේ අතර අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් 1962 දි අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ඉන්දියානු ජාතික කමිටුව (INCOSPAR) පිහිටුවනු ලබන්නේ ආචාර්ය වික්‍රම් සාරාබායි කළ යෝජනාවක් අනුවය. ඉන්දිරා ගාන්ධි රජය යටතේ එය තවත් වැඩි දියුණු වෙමින් ඉදිරියට ආවේය. 2003 දි චීනය මිනිසුන් අභ්‍යවකාශයට යවනවිට අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියේ සඳ මත මිනිසුන් ගොඩබැස්ස වීමේ තාක්ෂණය දියුණු කරන ලෙසයි.

කෙසේ වෙතත් ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ පියා ලෙස සැලකෙන ආචාර්ය වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ පර්යේෂණ ආරම්භයට සුදුසු ස්ථානය ලෙස තොරාගනු ලබන්නේ තුම්බා ප්‍රදේශයයි. ශාන්ත මේරි මැග්ඩලන්ස් කුඩා පල්ලිය සහ ඒ අවට ප්‍රදේශය ඊට සුදුසුම පරිසරය ලෙස තෝරා ගැනිමේ දී එම දේවස්ථානය වෙනත් ස්ථානයකට ගෙනයන පොරොන්දුව පිට ඊට පල්ලියේ පියතුමාගේ සහ ජනතාවගේ ද සහය හිමි වී තිබිණි.

ඒ අනුව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ පළමුව ඇරඹියේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැති ස්ථානයේ දී ය. බිෂොප් නිවස සැලසුම් කාර්යාලය ලෙසත්, එහි ගව ලෙන සියලුම විද්‍යාඥයන්ගේ පර්යේෂණාගාරයක් ලෙසත් භාවිතයට ගෙන තිබේ.

මෙම පල්ලිය අදත් මතුපිටින් සාමාන්‍ය පල්ලියක ස්වරූපයෙන් බිඳක් හෝ වෙනස් නොවේ. එහෙත් පල්ලියේ ප්‍රධාන පිවිසුමෙන් ඊට ඇතුළු වූ විට මුළුමනින්ම ඉන්දියානු අභ්‍යවකාශ ගමන් මගේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයක් එහි දක්නට ලැබීමෙන් මම විස්මයට පත්වූයෙමි. කුඩා චන්ද්‍රිකා, රොකට් ඇතුළු අභ්‍යවකාශ මෙහෙයුම්වලට සැබැඳි සැබෑ ප්‍රමාණයන්හි මෙවලම් එහි එකිනෙකට පැහැදිලි කර තිබිණි. 

ඒ අතර ඉන්දියානු අභ්‍යවකාශ ගමන් මඟ එළිය කළ ශ්‍රේෂ්ඨ චරිතවල ඡායාරූප එකතුවකි. ඉන් මගේ සිත වඩාත් ඇදී ගිය හා දන්නා හඳුනන චරිතය වූයේ ආචාර්ය අබ්දුල් කලාම් ය. පසුකලෙක ඉන්දියාවේ 11වැනි ජනාධිපතිවරයා බවට පත්වූ අබ්දුල් කලාම් තුම්බා සිට ගුවනට යැවූ පළමු ඉන්දීය ශබ්ද රොකට්ටුව නිර්මාණය කළ විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකි. පසුකලෙක මිසයිල මිනිසා ලෙස ද ඉන්දියානුවන් හඳුන්වනු ලැබූ අබ්දුල් කලාම් තුම්බා සිට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණවල නිරත වූවෙකි.

අද සාර්ථකවන චන්ද්‍රයාන්-3 මෙහෙයුම දක්වා වූ සඳ තරණය මෙහෙයුමත්, ඉන්දියානුවන් අභ්‍යවකාශයට යැවීමේ ජී.එස්.එල්.වී-එම්කේ 3 මෙහෙයුමේ ඉදිරිය පිළිබඳවත් සැකසු කෙටි චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව ද අපට උදාවිය. මීට වසර 11කට පෙර සඳ තරණය කරන මෙහෙයුම සාර්ථක කරගන්නා අයුරු පෙන්වූ කෙටි වාර්තා චිත්‍රපටය නරඹා ඉන්දීය මනොරාමා ජනමාධ්‍ය විද්‍යාලයේ මිතුරන් ඉන් සතුටින් ඉපිළ ගිය අයුරු මට අද වගේ මතකය. ඔවුන් අත්පොළසන් දෙද්දි මා ද ඔවුන් හා එක්වී ඉන්දියාවට අත්පොළසන් දුන්නෙමි.

දැන් එය සැබෑවක් වනවිට එහි සිටි මිතුරු මිතුරියන් ද චන්ද්‍රයාන්-3 මෙහෙයුම සජීවී ව නරඹා කොතරම් සතුටු වන්නට ඇත්දැයි මට සිතාගත හැකිය. කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව අප ඒ අසල වූ යාබද නි‍ෙවසට ගෙනයාමට විද්‍යාඥයා අමතක නොකළේය. එය කලින් පැවැති බිෂොප් නි‍ෙවස විය යුතුය. පහත් වහලකින් හා කාමර දෙක තුනකිස් සමන්විත එම නිවස ඉතා කුඩා එකකි.

ආචාර්ය අබ්දුල් කලාම් කාර්යාල කාමරය ලෙස කලක් ප්‍රයෝජනයට ගත් මේසය, පුටුව හා පොත් රාක්කය ඇතුළු උපකරණ ඇතුළත් කාමරයක් ද එහි වෙයි. කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් වට කර නොගත් එවැනි තැනක සිට අබ්දුල් කලාම් ඉන්දියාවේ රොකට් විහිදුම් අනාගතය දුටුවේ කෙසේදැයි ඔබ එහි ගියොත් අනිවාර්යයෙන්ම මවිත වෙනවා නිසැකය. ඒ තරමට ඒ කාර්යාලය සරලය. එතරම් කුඩා කර්යාලයක සිට ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළීමට එහි සිට ගත් තීරණ කොතරම් දායක වූයේ දැයි සිතන විට එහි යෝධ බව පැහැදිලිය.

මෙම නි‍ෙවසේ දී එහි ගිය අපට සිසිල් බීම සංග්‍රහයක් ද ලැබිණි. නැවත බස් රථයක නංවාගත් අප එතැන් සිට තවත් දුරකින් පිහිටි චන්ද්‍රිකා තොරතුරු මෙහෙයුම් මැදිරිය වෙත රැගෙන ගියේය. එහි දී තවත් විද්‍යාඥයකු අපව පිළිගත්තේය.

බැලූබැල්මටම රූපවාහිනී සිය ගණනක් මෙන් දිස්වන මෙම චන්ද්‍රිකා මෙහෙයුම් මැදිරිය, රොකට් යානා අභ්‍යවකාශගත කිරීමේ දී සිදුකරන තාක්ෂණ දායකත්වය සහ නිරීක්ෂණයන් ගැන අදාළ විද්‍යාඥයා අපට පැහැදිලි කළේය. එහි ඉදිරිපිටින් වූ එළිමහන් ආලින්දයට එපිටින් දිස්වූයේ පර තෙරක් නොමැති මහ මුහුදයි. අර තමයි රොකට් විහිදුම් ස්ථානය. මේ ආලින්දය තමයි ප්‍රභූවරුන්ට රොකට් විහිදුම් නිරීක්ෂණයට පැමිණිය හැකි ස්ථානය යැයි විද්‍යාඥයා අපට කරුණ පැහැදිලි කළේය. සැබෑවටම ඉන්දියානුවන්ට වුවද (සාමාන්‍ය ජනයා)ට මෙම තුම්බා අභ්‍යවකාශ පරේයේෂණ මධ්‍යස්ථානයට පැමිණිය හැක්කේ එවැනි රොකට් විහිදුමක් සිදුවන දිනක දී විශේෂ අවසරයක් අනුවය. එහෙත් ආරක්ෂක හේතු මත ප්‍රභූවරුන්ගේ නැරඹුම් ස්ථානය දක්වාම ඔවුන්ට එහි ඒමට නොහැකිය. 

අපි බස් රථයෙන් මීළඟට ගමන් ඇරඹුවේ අප ඈතින් දුටු විශේෂිත රොකට් විදින බිම සොයායි. අදාළ ස්ථානයට ළඟා වනවිට එහි අවට අවි ගත් හමුදා භටයන් ද සිටින අයුරු දක්නට ලැබිණි. එහි සැඟවීමට යමක් නොවූවත් ආරක්ෂාවට බොහෝ දේ ඇතැයි සිතෙන ආරක්ෂක වැඩපිළිවෙළක් විය. රොකට් විහිදුම් ස්ථාන තුනක් එහි විය. එම තාක්ෂණික උපකරණ පද්ධතිය මුළුමනින්ම ආවරණය කර තිබිණි.මේ පද්ධතිය කුඩා වුවත් විශාල වුවත් මෙහි ඇති තාක්ෂණික ක්‍රියාවලියේ වෙනසක් නැහැ යැයි විද්‍යාඥයා අපට කරුණු පැහැදිලි කළේය. 2012 වසරේ අප්‍රේල් වන විටත් තුම්බා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය ඔස්සේ අහසට විද තිබූ කුඩා රොකට් සංඛ්‍යාව දෙදහසකට අධිකය. එකල එහි සිටි විද්‍යාඥයන් වඩා බලාපොරොත්තු දල්වා සිටියේ ජී.එස්.එල්.වී-එම්කේ3 ටොන් 630ක බරින් යුතු යානයක් අභ්‍යවකාශගත කිරීමය. ඔවුන් එය ද මේ වනවිට සාර්ථකව අත්හදා බලා අවසන්ය.

තුම්බා දෑසින් දැක ආපසු පැමිණෙන ඕනෑම අයකුට ඉන්දියානුවන්ගේ අප්‍රතතිහත උත්සාහය කෙදිනක හෝ මල්පල ගැන්වෙන බවට ඕනෑතරම් සාධක හමුවෙයි. ඔවුන් අභ්‍යවකාශය ජයගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇති බව එදින මට සිතු­‍ෙන්ය. අද ඔවුන් එහි එක් යෝද පියවරක් තබා තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පය අනුව නම් ඉතා නොබෝඳිනකින්ම ඉන්දියාව ගගන්යාන් මෙහෙයුම ඔස්සේ ඉන්දියානු රොකට්ටුවකින්ම ඉන්දියානු අජටාකාශගාමීන් අභ්‍යවකාශයට ගෙනයනවා ඇත.

මෙවැනි ආරම්භයකට පදනම දැමූ ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ පියා ආචාර්ය වික්‍රම් සාරාබායි 1969 දි මෙසේ ප්‍රකාශ කර තිබිණි.

අපට, අරමුණ පිළිබඳ අපැහැදිලි බවක් නැත. සඳ හෝ ග්‍රහලෝක ගවේෂණයේ දී හෝ මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමනේ දී ආර්ථික වශයෙන් දියුණු ජාතීන් සමඟ තරග කිරීමේ ෆැන්ටසියක් අපට නැත. නමුත් අපි ජාතික වශයෙන් සහ ජාතීන්ගේ ප්‍රජාව තුළ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට නම්, අපේ රටේ අපට හමුවන මිනිසාගේ සහ සමාජයේ සැබෑ ගැටලු සඳහා දියුණු තාක්‍ෂණයන් යෙදීමේදී අප කිසිවකුට නොදෙවෙනි විය යුතු යැයි අපට ඒත්තු ගොස් තිබේ.

ඉන්දියාව බයිසිකලයෙන් සහ ගොන් කරත්තයෙන් රොකට්ටුව ගෙන ගොස් සඳ තරණය කරන්නේ ඒ නිසාය.


රමේෂ් වරල්ලෙගම

Comments