තනියා! | සිළුමිණ

තනියා!

දවියේ සිටින අපේ ලොකු අයියා මට එවා ඇත්තේ දුක හිතෙන ලිපියකි. ඒ ලිපිය පුරා ඔහුගේ අසරණකම මොනවට තැන්පත් වී ඇත. ඔහු වැනි දඩබ්බර - දාමරික මිනිසකු එවැනි ලිපියක් ලියාවි යැයි සිතන්නටත් බැරි තරම්ය. පදවියේ දේශගුණය සේම ඔහුගේ හිත ද දැවී ගිය හේනකට සමාන කළ හැකිය. තෙතමනයක් එහි ඇත්තේ ම නැත.

ලොකු අයියාගේ දකුණු ඇස ඉවත් කර තිබේ. ඔහු අවුරුදු එකහමාරක් පමණ එක දිගටම ඊට වෙදකම් කළේය. අන්තිමේ එය ඉවත් කිරීමට සිදු වී ඇත. දැන් ඉතින් කළ යුත්තක් නැත. අයියා ඇත්තට මුහුණ දිය යුතුය. තනි ඇහෙන් ජීවිතය ජයගත යුතුය.

ඔහුගේ ආර්ථිකය නරක නැත. මොන ඉඩෝරය ආවත් තුන්වේල කන්නට හාල්, පොල්, දඩමස් සහ කරෝල ගෙදර ඇත. හන්දියේ සිල්ලර කඩයෙන් ඔහුට හොඳ ආදායමක් ලැබේ. ඔහුගේ ගොවිතැන සාර්ථකය. කම්මැළිකමක් ගෑවිලාවත් නැති ලොකු අයියා ගින්දරක් එක්ක වුව ඔට්ටු වෙන්නට සූදානම්ය.

ලොකු අයියා කියන විදිහට ඔහුගේ වැටීම ආරම්භ වී ඇත. ඇස් පෙනීම දුර්වල නිසා ගණන්හිලව් වරදී. කුඹුරු හේන් ආරක්ෂා කර ගැනීමත් අපහසු වී ඇත. ඒ පළාත්වල තමාගේ ගොවිතැන් තමාම ආරක්ෂා කරගත යුතු ය. මෙවර ද ලොකු අයියා අක්කර දහයකට වඩා කුඹුරු අස්වද්දා ඇත. ඒවා අලියාගෙන් ආරක්ෂා කර ගත යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. අඩුම ගණනේ තව මාස තුනක්වත් දිගටම මුරකළ යුතුය.

ලොකු අයියාගේ දකුණු ඇස ගැන කල්පනා කරත්ම මගේ සිහියට නැඟෙන්නේ අයියා ඌගේ දකුණු ඇසට එල්ලය බලා තැබූ වෙඩිල්ලය.

තනියාගේ අමුතු හැසිරීම් කිහිපයක් තිබිණි. ඉන් එකක් නම්, මිනිසුන් අසලටම පැමිණීමය. දෙවැන්න වෙඩි ශබ්දවලට බිය නොවීමය. තෙවැන්න ඉතා දරුණු ලෙස මිනිසුන්ගෙන් පළිගැනීමය. තනියා වගාවට කරන හානිය දරාගත නොහී මිනිස්සු ඌ මරා දැමීමට ඉදිරිපත් වූහ. අලියාට වෙඩි තැබීමට ගිය දහයක් දොළහක් පහර කා මිය ගියහ. සමහරුන්ගේ මළසිරුර බැලීමට බැරි තරමට පොඩි පට්ටම් වී තිබිණි.

"කාට බැරි වුණත් මං ඕකා බාවනවා. මං වෙඩි තියන්නෙ ඌගේ ඇහැට!" ලොකු අයියා නිතර කීවේය. කියූ ලෙසම එක හැන්දෑවක ඔහු තම යුතුකම ඉටු කළේය. ලොකු අයියාගේ වෙඩිල්ලේ බිහිසුණු හඬ මේ දැනුත් මට ඇසෙයි. වන අලින්ගේ හා ගොවියන්ගේ ගැටුම ගැන නොයෙක් මතවාද හා කතාන්දර අසන්නට ලැබේ. ඒවා අපට අදාළ නැති තරමටම අවධානයෙන් ඈත් වී ඇත. පරිසර පද්ධති, වනාන්තර හෙළි කිරීම, වන සතුන්ගේ වාසස්ථාන අහිමි වීම වැනි මාතෘකා ගැන කතා කරන්නට අප කැමැති නැත. එහෙත් වගා පාළුව, වන අලින්ගේ පහරදීම් හා නියඟය ගැන කතා කරන්නට හා සටන් වදින්නට අපි හැමවිටම සූදානම් වී සිටියෙමු. ලොකු අයියා ඒ අතින් ප්‍රධාන තැනැත්තෙකි.

සද්ධන්ත තනියා වැව්තාවුල්ලේ මැරී සිටි අන්දම දැනුත් මට සිහිපත් වේ. ඌගේ විලාසය සිහිපත් වන විට ලොකු අයියා කෙරෙහි විශාල කෝපයක් මතුවෙයි.

අලියා ද? මිනිසා ද? යන ගැටුමේදී මට නම් ස්ථාවර විසැඳුමක් හෝ උත්තරයක් හෝ නැත. කෙසේ වෙතත් අයියා බලන්නට යා යුතුය. "උඹට පුළුවන් නම් ටික දවසක් ඉඳල පලයන්! මට කිසි දෙයක් කරගන්ඩ බෑ!"

"අම්මත් අසනීප තත්වෙ ඉන්නෙ ඒකයි මං කල්පනා කළේ!?"

"උඹ කැමැති තීරණයක් ගනින් මල්ලියේ!"

අයියා වෙනදා මෙන් මට අණ කරන්නට ගියේ නැත. ඔහු බොහෝ සෙයින් සන්සුන් වී ඇතැ යි මට සිතේ. වෙනදා නම් ඔහු තීරණ ගෙන මට දැනුම් දෙයි. මා කළ යුත්තේ එම තීරණය ක්‍රියාත්මක කිරීම පමණි. මිනිසුන් අසරණ වන විට වහා වෙනස් වෙයි.

මම අයියාට උදව් කිරීම සඳහා ඇතාවැටුණුවැව යායේ නැවතුණෙමි. මට පැවැරුණු රාජකාරිය වූයේ කුඹුරු බලා ගැනීමය. අක්කර දහයක පමණ යාය මුර කිරීම සඳහා එක දිගට නිදිවැරිය යුතුය.

දිනක් රාත්‍රියෙහි වෙඩි හඬ ද, කෑගැසීම් ද ඇසෙන්නට විය. කුඹුරු යායට අලින් පැන ඇත. මම කලබල වී නැඟිට්ටෙමි. ඒ අස්සේ අයියා පැලට කඩා වැදුණේය. ඔහු අතෙහි කෑලි පහේ ටෝච් එක ද, බෝර 12 තුවක්කුව ද තිබිණි.

"මල්ලියෙ තනියෙක් පැනලා! ඌ ආරෝවට වාගෙ මගෙ කෑල්ලටමයි පැනල තියෙන්නෙ!"

එසේ කියාගෙනම අයියා යන්නට ගියේය.

මඳ වේලාවකින් වෙඩි හඬක් ද, මිනිසුන්ගේ ළතෝනියක් ද ඇසිණි. මට කිසිවක් සිතාගත නොහැකි විය. එක්කෝ ලොකු අයියා අතින් අලියා මිය යා යුතුය. නැතහොත් අලියා අතින් ලොකු අයියා මිය යා යුතුය. එය මහ පුදුම ඉරණමකි.

මට ලොකු අයියාගේ ලියමන සිහිපත් වෙයි. අලියාට අකුරු ලියන්නට හැකි නම් ඌ ද එබඳු ලිපියක් ලියා කාට හෝ යවනු ඇත.

අලි - මිනිස් ගැටුම කවදා - කෙලෙස නිම වේ දැයි කියන්නට අප දන්නේ නැත. එහෙත් ඉදිරි කාලය තුළ එය උපරිම මට්ටමකට නැඟෙන බව නම්, නිට්ටාවටම කිව හැකිය. මේ ගැටුමේ වැඩි වාසිය ඇත්තේ මිනිස් සමාජයටය. එහෙත් මිනිස් සමාජය වුව අලියා විනාශ කිරීමෙන් ලබන අමුතු ජයග්‍රහණයක් නැතැ'යි මට සිතේ.

ලොකු අයියා තුවක්කුව හා කෑලි පහේ ටෝච් එක රැගෙන තවම ආපසු ආවේ නැත. ඔහු ගැන විශාල බියක් නැඟී නැඟී එයි.

Comments