කාසි නෝට්ටු සඳහා තිබෙන ජනතා ඉල්ලුම වැඩි වෙලා | සිළුමිණ

කාසි නෝට්ටු සඳහා තිබෙන ජනතා ඉල්ලුම වැඩි වෙලා

මහජනතාවගේ ගෙවීම්, පියවීම් සඳහා අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි කිසිදු හිඟයකින් තොරව ප්‍රමාණවත් තොග ලෙස පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි පී. ඩී. ආර්. දයානන්ද ප්‍රකාශ කළේය.

රටේ මහජනතාවගේ ඉල්ලුම සැපිරීම සඳහා ප්‍රමාණවත් තොග පවත්වා ගැනීමට වසර 2022දී මුදල් නෝට්ටු මිලියන 495ක් ඇණවුම් කළ බවත්, කාසි අවශ්‍යතාව සපුරාලීමට තමන් සතුව ප්‍රමාණවත් කාසි තොග තිබූ බැවින් ඒවා ඇණවුම් නොකළ බවත් ඔහු කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, රටේ වර්තමාන මුදල් තොගය, අනාගත අභියෝග හා අපේක්ෂා පිළිබඳ අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පී.ඩී.ආර්. දයානන්ද දැක්වූ අදහස් සමුදායයි මේ.

ප්‍රශ්නය : වසර 1950 අගෝස්තු 28 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරන්නේ. ඒ කියන්නේ හෙට මහ බැංකුවේ 73 වැනි උපන් දිනයයි. එදා මෙදාතුර ඉතිහාසයේ රටේ ව්‍යවහාර මුදල් සපුරාලීම සිදු කළ ආකාරය පිළිබඳ සැකෙවින් කරුණු දක්වන්න පුළුවන්ද?

පිළිතුර : මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව රටේ මහජනතාවගේ මුදල් ඉල්ලුම සපුරාලීමට නෝට්ටු සහ කාසි නිකුත් කරනවා.

1950 අගෝස්තු මස 28 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීම, මෙරට ආර්ථික ඉතිහාසය මෙන්ම මුදල් ව්‍යවහාරය සම්බන්ධයෙන් ද තීරණාත්මක සන්ධිස්ථානයක් වශයෙන් සැලකිය හැකියි. කාසි හා නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ඒ වෙත පැවරිණි. මේ අනුව මහ බැංකුව විසින් 1963දී රාජ්‍ය ලාංඡනය යෙදූ කාසි කාණ්ඩයක් ද, 1972දී ශ්‍රී ලංකා ජනරජ හෙවත් "නව රාජ්‍ය ලාංඡනය" යොදන ලද කාසි කාණ්ඩයක් ද, 2005දී එතෙක් පැවති කාසිවලට සාපේක්ෂව අඩු බරින් යුක්තව, විවිධ ලෝහ වර්ග භාවිතයෙන්, එකිනෙකට වෙනස් පැහැයන්ගෙන් හෙබි නව කාසි කාණ්ඩයක් ද, 2010දී ඒකාදසාස්‍ර හැඩති රුපියල් 10 කාසිය හා 2018 වර්ෂයේදී එයට ගැළපෙන ආකාරයෙන් නිම වූ රුපියල, රුපියල් 2 හා 5 අගයන්වලින් සමන්විත නව කාසි කාණ්ඩයක් ද හඳුන්වාදෙන ලදී.

ඒ හැරුණු විට, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි වැදගත්කම් දක්වන සිදුවීම් හා පුද්ගලයන් අනුස්මරණය කරුණුවස්, අනුස්මරණ කාසි නිකුත් කිරීම ද සිදු කෙරේ. 1957 වර්ෂයේදී මහ බැංකුව විසින් ප්‍රථම වරට නිකුත් කරනු ලැබූ රුපියල හා රුපියල් පහක වටිනාකම් සහිත සමරු කාසි, 2500 බුද්ධ ජයන්තිය අනුස්මරණය කරණු වස් ව්‍යවහාරයට එක් කළ කාසි වන අතර එතැන් පටන් විවිධ ලෝහ වර්ගවලින්, විවිධ වර්ණවලින්, විවිධ තාක්ෂණයෙන් හා විවිධ මුහුණත වටිනාකම්වලින් අනුස්මරණ කාසි 72ක් පමණ නිකුත් කර තිබේ.

ප්‍රශ්නය : කාසි ටංකනය පිළිබඳ ඔබ ඉතිහාසය පැහැදිලි කළා. නෝට්ටු මුද්‍රණය කර තිබෙන්නේ කුමනාකාරයෙන් ද?

පිළිතුර : ඔව් මා මුලින් කී පරිද්දෙන්ම මහ බැංකුව විසින් ආරම්භයේ සිට වර්තමානය දක්වා නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු කාණ්ඩ සංඛ්‍යාව එකොළහක්. ඒවා නම්, හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත කාණ්ඩය (1951), දෙවන එළිසබෙත් රැජිනගේ රුව සහිත කාණ්ඩය (1952), ලංකාවේ රාජ්‍ය ලාංඡනය තේමා කර ගත් කාණ්ඩය (1956), දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ රුව සහිත කාණ්ඩය (1962), පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු රජු නිරූපණය වෙතැයි සැලකෙන මූර්තිය සහිත කාණ්ඩය (1965), ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය ලාංඡනය සහිත කාණ්ඩය (1975), වන සත්ත්ව හා වෘක්ෂලතා කාණ්ඩය (1979), ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා සහිත කාණ්ඩය (1981), ඓතිහාසික හා සංවර්ධනය විදහා දැක්වීම තේමා කරගත් කාණ්ඩය (1987), ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයන් තේමා කර ගත් කාණ්ඩය (1991) හා සංවර්ධනය, සෞභාග්‍යය හා ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් තේමා කරගත් කාණ්ඩය (2011) වශයෙන්.

ප්‍රශ්නය : මීට අමතරව විවිධ සැමරුම් සඳහා නෝට්ටු නිකුත් කර තිබෙනවා නේද?

පිළිතුර : අප විසින් විශේෂ සැමරුම් සඳහා නෝට්ටු නිකුත් කර තිබෙනවා. ඒවගේම නිකුත් කළ නෝට්ටු අවලංගු කරලත් තිබෙනවා.

ප්‍රශ්නය : ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු විස්තර කරන්න පුළුවන්ද?

පිළිතුර : අප මුදල් නෝට්ටු මුද්‍රණය කරනවාට අමතරව 50 වැනි නිදහස් සැමරුම (1998), යුද ජයග්‍රහණයෙන් පසු සාමය හා සෞභාග්‍ය උදාව (2009), පොදු රාජ්‍යමණ්ඩල රාජ්‍ය නායක සමුළුව - කොළඹ (2013) හා 70 වැනි නිදහස් සැමරුම (2018) වශයෙන් අනුස්මරණ නෝට්ටු 4ක් ද නිකුත් කළා.

මහ බැංකුව විසින් නෝට්ටු නිකුත් කිරීම මෙන්ම, අවලංගු කිරීම් ද සිදු කරනවා. 1970 අංක 26 දරන බදු පැහැර හැරීමේ පනත ප්‍රකාරව 1970 ඔක්තෝබර් 26 වන දින තෙක් නිකුත් කර තිබූ රුපියල් 50 හා 100 වටිනාකමින් යුක්ත නෝට්ටු, 1970 නොවැම්බර් 03 වන දින මෙලෙස අවලංගු කරන ලද ඒවායි.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට මහජනතාවගේ පරිහරණය සඳහා කාසි හා නෝට්ටු නිකුත් කිරීම හරි අඩකින් අඩුකර ඇතැයි මතයක් පවතිනවා. එහි සත්‍යතාවක් තිබේද?

පිළිතුර : එය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර මතයක්. අපි රටේ මහජනතාවගේ නෝට්ටු හා කාසි ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් මුදල් තොග පවත්වා ගෙන යනවා.

ප්‍රශ්නය : රටේ ව්‍යවහාර මුදල් සංසරණය සක්‍රීයව, කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන්නේ කොහොමද?

පිළිතුර : මහජනතාවගේ මුදල් අවශ්‍යතා සපුරාලීමට හැකි ප්‍රමාණවත් මුදල් තොග අපි පළමුව ඇස්තමේන්තු කරනවා. ඊට පසුව අපි ජනතාවගේ අවශ්‍යතාව පිළිබඳව පුරෝකථනය කර බලමින් තොග පවත්වා ගෙන යනවා.

ප්‍රශ්නය : රටේ මුදල් තොගයේ සීමාවීමක් ඇතිවෙයි කියා ද මතයක් ඇතිවී තිබෙනවා?

පිළිතුර : ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් මුදල් තොග තැන්පතු ලෙස භාර ගැනීම අඩු කිරීමක් කළා. ඒ කළේ වැඩි වාසි තත්ත්වයක් බලාපොරොත්තුවෙන්. එය සාර්ථක වී තිබෙනවා. නමුත් මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව තැන්පතු අඩුවීමක් ගැන සිතා කෙනකු කිසියම් මතයක් දක්වන්නට පුළුවන්. එය සම්පූර්ණයෙන්ම රටේ ගෙවුම් - පියවීම් පිළිබඳ අවශ්‍යතාව දක්වන චිත්‍රයම නොවෙයි.

ප්‍රශ්නය : රටේ ව්‍යවහාර මුදල් සංසරණයේ වර්තමාන තත්ත්වයට කිසිදු ගැටලුවක් මතුවී තිබේද?

පිළිතුර : කිසිසේත්ම නැහැ. රටේ මහජනතාවගේ කාසි හා නෝට්ටු සඳහා පැවති ඉල්ලුම එන්න එන්නම වැඩිවී තිබෙනවා. ඕනෑම අවුරුද්දක කාසි හා නෝට්ටුවල අධික ඉල්ලුමක් පවතින්නේ අප්‍රේල් මාසයේදීයි. ආයේ දෙසැම්බර්වලත් ඉල්ලුම ටිකක් වැඩි වෙනවා. අනිත් මාසවල මේ ඉල්ලුම ක්‍රමිකව අඩු වෙනවා. මෙය සිදුවන්නේ මහජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා මතයි. අලුත් අවුරුද්දට, නත්තල් වැනි උත්සව අවස්ථාවලදී ජනතාව මුදල් වැඩි වශයෙන් සංසරණය කරනවා.

උදාහරණයක් ලෙස ගත්තොත් වසර 2018 මුදල් සංසණය රුපියල් බිලියන 640.3යි. එය 2019දී රුපියල් බිලියන 677.4ක් වුණා. වසර 2020දී බිලියන 834.2ක් වූ මේ ප්‍රමාණය වසර 2021දී රුපියල් බිලියන 1004.5ක් වුණා. ගිය අවුරුද්දේ මේ ප්‍රමාණය තවත් වැඩි වෙලා රුපියල් බිලියන 1026.0ක් වුණා. ඒ කියන්නේ ජනතාවගේ මුදල් සංසරණය අඩු වෙලා නැහැ.

ප්‍රශ්නය : ජනතාවගේ මුදල් සංසරණය වැඩි වුණාට මහ බැංකුව වෙත බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් මුදල් තැන්පත් කිරීම් අඩුවී තිබෙනවා නේද?

පිළිතුර : ඔව් එහි අඩුවක් සිදුවී තිබෙනවා. එය අප ගත් තීරණයක ප්‍රතිඵලයක්.

ප්‍රශ්නය : එසේ මුදල් තැන්පතු අඩුවීමට බලපෑ තීරණය කුමක්ද?

පිළිතුර : ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි බලපත්‍රලාභී වාණිජ බැංකුවල අතිරික්ත මුදල් තොග භාර ගැනීම සිදු කළා. ඒ සඳහා පරිපාලන හා සේවා සඳහා වැඩිවන පිරිවැය දැරීමට අපි ඔවුන්ගෙන් යම් සේවා ගාස්තුවක් අය කළා. එය ඔවුන්ට වැය බරක්. ඒ නිසා අපි ඔවුන්ටත් පහසු වෙන්න අතිරික්ත තැන්පත් මුදල් බලපත්‍රලාභී වාණිජ බැංකු අතර ඍජුවම හුවමාරු කර ගැනීමට පහසුකම් සැපැයීමට තීරණය කළා. ඒ නිසා වසර 2018දී අපට තැන්පත් ලෙස ලැබුණු මුදල් රුපියල් බිලියන 753.7 සිට 2019දී රුපියල් බිලියන 739.0ක් ලෙස අඩු වුණා. වසර 2020දී එය රුපියල් බිලියන 540.4ක්, 2021දී රුපියල් බිලියන 220.7ක්. නමුත් එය ඉකුත් වසරේදී නැවත වතාවක් රුපියල් බිලියන 364.1ක් ලෙස වැඩි වුණා.

ප්‍රශ්නය : මහ බැංකුව ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමත් අඩු කර තිබෙනවාද?

පිළිතුර : අපි කොවිඩ් වසංගත කාලයේ අලුතින් කාසි නෝට්ටු තොග නිකුත් නොකර, නැවත භාවිත කළ හැකි මුදල් නෝට්ටු බලපත්‍රලාභී බැංකු අතර ඍජුව හුවමාරු කිරීමට ගත් තීරණය නිසා තමයි කාසි නෝට්ටු නිකුත් කිරීම අඩු වුණේ. නමුත් මේ අඩුවීම නිසා රටේ මුදල් සංසරණයේදී කිසිවකුට බාධාවක් හෝ අතපසුවීමක් සිදුවී නැහැ. අලුත් කාසි හා නෝට්ටු වාගේම භාවිතයට ගත හැකි සෑම කාසි හා නෝට්ටුවක්ම මේ යටතේ වැඩි වශයෙන් භාවිතයට ගන්න පුළුවන්. ඒ නිසා කාසි නිකුත් කිරීම අඩු වුණාට එය ගනුදෙනුවලට බාධාවක් වුණේ නැහැ.

ප්‍රශ්නය : මහ බැංකුව ගත් තීරණය නිසා සිදු වුණේ කුමක්ද?

පිළිතුර : වාණිජ බැංකුවලට අතිරික්ත මුදල් තොග කළමනාකරණය කිරීමේදී වැය කිරීමට සිදුවූ මෙහෙයුම් වියදම් අඩු වුණා. ගනුදෙනු කාර්යක්ෂමව හා ප්‍රයෝජනවත් ලෙස සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවටත් එවැනිම වාසි අත්වුණා.

ප්‍රශ්නය : මුදල් තොග ප්‍රමාණවත් ලෙස සංසරණයට යොදාගැනීමට වැයවන මෙහෙයුම් වියදම් අඩුවීමේ වාසිය ජනතාවට ලැබෙනවාද?

පිළිතුර : ඔව් මහ බැංකුවේ වියදම් අඩුවූ විට ඉතිරි වන මුදල අවසානයේදී මහා භාණ්ඩාගාරයට ලැබෙනවා. ඒ මුදල් රටේත්, මහජනතාවගේත් සුබසාධනයටයි, දියුණුවටයි අවසානයේ යොදා ගන්නවා. ඒවා රටට, ජනතාවට ලැබෙන වාසියි.

ප්‍රශ්නය - කාසි හා නෝට්ටු භාවිතයෙන් තොර ඩිජිටල් මූල්‍ය කරණයකට ලෝකය ප්‍රවේශ වෙලා තිබෙනවා. එය අපට ඉදිරියේදී බලපාන්නේ කෙසේ ද?

පිළිතුර - තාක්ෂණය කෙතරම් දියුණු වුවත් කාසි නෝට්ටු භාවිතය ලෝකයේ ඉවත් වෙන්නේ නැහැ. එක උදාහරණයක් කියන්නම් ඩෙන්මාර්කය වසර 2021 දී කෑෂ්ලස් රටක් බවට පත් වීමට ඉලක්ක කරගෙන කටයුතු කළා. නමුත් ඔවුන් ආරම්භ කරපු කෑෂ්ලස් රටක් බවට පත්වීමට හැකි වුණේ නැහැ. එසේ වුණේ භෞතිකව මුදල් ගනුදෙනු කිරීමට ජනතාව කැමති වීමයි. අපේ රටටත් ඒ තත්ත්වය පොදුයි. කොතරම් තාක්ෂණය දියුණු වුවත් අදටත් දියුණු ජපානය, සිංගප්පූරුව වගේ රටවලත් තාමත් වැඩි වශයෙන් නෝට්ටු පාවිච්චි කිරීමට කැමැත්තක් තිබෙනවා.

(ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි දිල්හාන් ද සිල්වා හා නියෝජ්‍ය අධිකාරි දමයන්ති නවරත්නට විශේෂ ස්තුතිය පිරිනැමේ.)

Comments