රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ සඳහිරු සෑය | සිළුමිණ

රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ සඳහිරු සෑය

- ඉල් පුන් පොහෝ දින සිට වන්දනාමාන කරන්නට ඉඩ
- මෙරට දාගැබ් අතර උසින් සිවුවන ස්ථානය සඳහිරු සෑයට හිමි වේ... 
- 2010 නොවැම්බර් 22 වැනිදා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන්ගේ උපදෙස් පරිදි ඉදිකිරීම් ඇරඹිණි
- සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13කි. වැලි මළුවට අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30ක් අයත් වේ.

ළාර රජුගේ වසර 44ක පාලනයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බේරාගැනීම සඳහා දුටුගැමුණු රජු යුද වැදුණේය. ඒ මහා සංග්‍රාමයට යාමට පෙර දුටුගැමුණු රජතුමා කතරගමට පැමිණ භාර වී ඇත. ඒ ‘තම සටන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැඟීමට බවත් මෙම සටනින් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට දේවාලයක් සාදා පූජා කරන බවත්‘ ය. 

සටනින් ජයගත් දුටුගැමුණු මහ රජතුමා වත්මන් රුහුණු මහා කතරගම දේවාලය සාදවා කතරගම දෙවිඳුන් වෙනුවෙන් පූජාකර ඇත.

එසේ අතීත රජදරුවන් නිරතුරුවම බුද්ධ ශාසනය හා මහා සංඝ රත්නය මුල් කරගෙන රට පාලනය කිරීමත් නිරතුරුවම බුද්ධ ශාසනය හා සබැඳිව කටයුතු කිරීමත් ඉතිහාසය විමසා බැලූ විට අපට පෙනී යයි. එය අතීත රජදරුවන් විසින් හෙළ සංස්කෘතියට එක් කළ විශේෂිතම ආදර්ශයක් වන්නේය. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය පමණක් නොව මිරිසවැටිය වැනි මහා දාගැබ් බිහි වූයේ ඒ ආභාසයෙන් යුක්තවය.

දුටුගැමුණු රජ සමයෙන් පසුව දිර්ඝ කාලයක් මෙරට පැවැති යුද්ධයක් වේ නම් ඒ වසර 30කටත් අධික කාලයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ප්‍රමුඛ බෙදුම්වාදීන් විසින් ඇති කළ යුද්ධයයි. 2009 වසරේදී එම යුද්ධය නිම කරන්නට හැකි වූයේ වීරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහගත ධෛර්යය නිසාය.එහිදී තිස් දහසකට ආසන්න පිරිසක් දිවි දුන්හ. තවත් ඒ හා සමාන පිරිසක් රණක්ෂිතයට පත් වූ අතර තවත් පිරිසක් අතුරුදන් වූහ.

එසේ යුද්ධයට දිවිදුන් රණවිරුවන් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන්ද අතුරුදන් රණවිරුවන් මෙන්ම දිවි පරදුවට තබා අප වෙනුවෙන් යුද වැදී රට රැක ගත් සියලු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමට මහාසෑයක් ඉදි කිරීමට එවකට ජනාධිපතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු යොදන ලදී.

එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දායකත්වයෙන් යුක්තව ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම රට බේරාගත් රණවිරුවන්ට කළගුණ දැක්වීමට ඉදිරිපත් වූ දෙස් විදෙස් සියලු දෙනාම මේ සෑය වෙනුවෙන් දායකත්වය දරන්නට ඉදිරිපත් විය.

ඓතිහාසික අනුරාධපුර රාජධානියේම රුවන්වැලිසෑයට හා ශ්‍රී මහා බෝධියට නුදුරින් දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ස්ථානයේ රණවිරුවන්ට කළගුණ සැලකීම පිණිස මහා සෑයක් ඉදි කිරීමට යෝජනා විය. එය ‘කළගුණ සෑය‘ නමින් නම් කරන්නටද යෝජනා විය.

ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනිදා රණවිරුවන්ගේ දෑතීන් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන්ගේ උපදෙස් පරිදි මේ මහා සෑය ඉදිකිරීමේ ආරම්භක කටයුතු සිදුවුණු අතර මේ මහා සෑය සඳහිරු පවතින තුරා පැවතිය යුතුය යන්න සිහි කරමින් ‘සඳහිරුසෑය‘ යනුවෙන් නම් කරන ලදී. රණවිරු දෑතින් කඩිනමින් වැඩ කටයුතු සිදු කළ සෑයේ ගර්භයේ ධාතු නිධන් කිරීම 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා සිදුවිය. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ හා වත්මන් ජනපති එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙනි.

ඒ සඳහා සඳහිරු සෑයේ 3 වැනි පේසා වළල්ලේ සිට අඩි 17 ක් උඩින් ගර්භයේ මැද කොටසේ නිධන් වස්තු තැන්පත් කරන ගර්භය ඉදිකරන ලදී. එය අඩි 11 ක් උස අඩි 30 ක් පළලය. අඩි 30 ක් දිගය. මෙම කුටියේ මැද තවත් විශේෂ කුටියක් තිබිණි. ඒ ධාතූන් වහන්සේ තැන්පත් කරන කුටියයි. ඒ කුටිය අවට රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ හා තවත් නිධන් වස්තු සඳහා කුටි 212 ක් රණවිරුවන් විසින් සකස් කෙරිණි. එමෙන්ම සෑයේ ගර්භයේ කිලෝ 8ක දඹ රන් පිළිමයක් නිධන් කරන ලදී.

රත්රන් වලින් නිම කළ බුදු පිළිමයට අමතරව රත්රන්වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.

එහෙත් පසුව එහි ඉදිකිරීම් අතරමඟ ඇණ හිටි අතර පසුගිය වසරේ සිට ඉඳිකිරීම් යළි ආරම්භ කරන ලදී.

මහා සෑයන් අතුරින් සිවුවන ස්ථානයට පත් වන ලෙසින් මේ මහා සෑයේ සැලසුම් සකස් කරන ලදී. රුවන්වැලිසෑයේ උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති ස්තූපය ලෙස එදත් අදත් අපේ බෞද්ධ ජනතාව එයට ගෞරවය පුද පූජා පවත්වති. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කරනු ලැබේ. ඒ අනුව සඳහිරු සෑය මෙරට දාගැබ් අතුරින් දෙවැනි වන්නේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය චෛත්‍යයන්ට පමණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එකල ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මෙහෙයවීම මත යුද හමුදාපති ධූරය දැරූ ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ 4 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු සඳහිරු සෑය යුහුසුලුව ඉදි කිරීම ආරම්භ කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව මෙය ඉදි­‍ෙකරුනේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණයට අනුරූපවය. විජයබා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, කාල තුවක්කු බළකාය ජාතික ආරක්ෂක සේවා බළමුළුව ඇතුළු යුද හමුදාවේ බොහෝ අංශ මේ වෙනුවෙන් ඇප කැපවී දායකත්වය සපයන ලදී. පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ මහා සෑයේ ඉදිකිරීමට දායක වූහ. එමෙන්ම නාවික හමුදාව, ගුවන් හමුදාවද උපරිම දායකත්වය ලබා දෙන ලදී.

සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරු සෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ, රුවන්වැලිසෑය චෛත්‍යාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් හා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුණු වැවේ ඥානතිලක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව මෙහි සියලු ඉදිකිරීම් සිදු කෙරිණි.

ස්තූපයේ සම්පූර්ණ ඉදිකිරීම සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 300 ක් සිමෙන්ති කොට්ට 150,000 ක් වැලි කියුබ් 12,300 ක් කළුගල් කියුබ් 50,000 ක් ඒබීසී මිශ්‍රණය කියුබ් 20,000 ක් පමණ වැයකර තිබේ.

සඳහිරුසෑයේ සියලු ගඩොල් ආරක්ෂක හමුදාවේ සහාය හා අධීක්ෂණය ඇතිව අනුරාධපුර ඇලයාපත්තුව, බිංගිරිය, මහියංගනය, ගල්කඩවල, ඇඹිලිපිටිය, අම්පාර යන ප්‍රදේශවල උළු කර්මාන්ත ශාලාවලින් උසස් ප්‍රමිතියෙන් යුක්තව නිපදවන ලදී. එසේ නිපදවා ගෙන එන ලද ගඩොල් චෛත්‍යය ඉහළට ගෙන ඒමට භික්ෂූන් වහන්සේ මෙන්ම ශ්‍රමදාන මඟින් මහ ජනතාව ද හා ස්වේච්ඡා සංවිධාන එක්වීම ද විශේෂත්වයකි.

21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවට වාර්තා වේ.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීම පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකෙරී ඇත. ඒ සඳහා පොළොව මට්ටමේ සිට අ‍ඩි 45 ක් පොළොව යටට කළුගල් සහිත ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ. ඒ අනුව සෑය ඉදි කරන ප්‍රදේශයේ පොළොව යට අඩි 45 ක් පමණ ස්ථිර කළුගල් මතුවන තුරු හාරා ඒ මත කෘතිම කළුගලක් නිර්මාණය කර තිබේ. ඒ සඳහා ‘6–9’ කළුගල් කියුබ් 6464 ක්, කොන්ක්‍රීට් ගල් කියුබ් 465 ක් ගල්කුඩු - සිමෙන්ති - කුඩා කළුගල් ඇතුළත් (ඒබීසී මිශ්‍රණය) කියුබ් 5,400 ක් උපයෝගි කර ගෙන ඇත. පසුව එම ස්තරය ටොන් 20 ක බරින් යුත් ගල් රෝලකින් තලා කළුගලක් මෙන් කිසි විටෙක ගිලා බැසීමක් සිදු නොවන අයුරින් සකස් කර තිබේ. රජ දවසින් පසුව එවන් ස්ථාවර දාගැබක් ගොඩනැඟෙන්නේ මුල්වරටය. ඒ අනුව සඳ හිරු පවතින තුරු මේ ස්තූපය පැවැත්මට ස්ථිර පදනමක් යොදා තිබේ.

මේ වසරේ මැදින් පුන් පොහෝ දින එහි හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමද සිදුකෙරිණි. ඒ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුක්තවය. ඒ වන විටත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් විශාල පිරිසක් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දී තිබුණි. එහිදී රුපියල් කෝටි විස්සක් වටිනා මුතු මැණික් තොගයක් එහි නිධන් කිරීම උදෙසා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ලබා දීම මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම පුණ්‍යකර්මය බවද පෙන්වා දිය හැකිය.

ධාතු නිධානෝත්සවයට පෙර සෑයේ පලඳවන්නට යෝජිත චූඩා මාණික්‍යය අලංකාර පෙරහරින් සෑය වෙත වැඩම කරවන ලද්දේ බෞද්ධ ධජ සේසත් හා අලංකාර නර්තන මධ්‍යයේය. චූඩා මාණික්‍යය පරිත්‍යාග කරමින් පුණ්‍ය කර්මයට දායක වූයේ ව්‍යාපාරික ආතර් සේනානායකයන්ය.

නිධන්වස්තු තැන්පත් කෙරුණු දිනම චූඩා මාණික්‍යද ප්‍රදර්ශනය කෙරුණු අතර එය ශ්‍රී ලාංකිකයන්ට දැක බලා ගැනීම පිණිස දිවයින පුරා සංචාරය කිරීම වැදගත්කොට සැලකිය යුතුය. එසේ රටවටා බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ චූඩා මාණික්‍යය සහිත කොත් කැරැල්ල චෛත්‍යයේ පැළඳවීම පසුගිය 8 වැනිදා සිදු කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදය.

මේ දිනවල පවත්නා අනෝරා වැසි පවා නොතකා ආරක්ෂක අංශවල සාමාජිකයෝ එහි වැඩ කටයුතුවල නිරතව සිටිති. මේ මස 18 වැනිදාට යෙදෙන පුන් පොහෝ දින සිට සඳ හිරු සෑය මහජනතාවට වන්දනාමාන කිරීමට සියලු කටයුතු මේ වන විට සකස් කර ඇත. ඒ මේ සියවසේ ලෝකයේ බිහි වූ සුවිසල් දාගැබ යන උරුමයද සහිතවය.

සඳහිරු සෑය විවෘත කිරීමේ මහෝත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රණවිරුවන්ගේද සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් එහෙත් සෞඛ්‍යාරක්ෂිතව සිදු කෙරෙන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා දායකත්වයද සහිතවය.

Comments