බාධක හමුවේ නොසැලෙන ජනපති | සිළුමිණ

බාධක හමුවේ නොසැලෙන ජනපති

ශ්‍රී ලංකාවේ 7 වැනි විධා­යක ජනා­ධි­පති ලෙස තේරී පත්වුණු ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් 2019 දෙසැ­ම්බර් 18 වැනිදා අනු­රා­ධ­පුර රුව­න්වැලි සෑ පරි­ශ්‍ර­යේදී අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය ඉදි­රියේ දිවු­රුම් දුන් අව­ස්ථාව

- ජනපතිගේ වියදම වසර දෙකක් ඇතුළත සියයට 80කින් අඩු කර ගනී
- මෙරට ප්‍රථම වරට වසර දෙකක් ඇතුළත 1,63,000ක් රාජ්‍ය සේවයට
- වරාය නගරයෙන් 82,000කට රැකියා; වසරකට කෝටි ලක්ෂ 2ක ආදායමක්
- අලුත් සංවර්ධන ව්‍යාපෘති 25,000 යි කෝටි 100 ට වැඩි ව්‍යාපෘති 284 යි
- අනවශ්‍ය වියදම් අඩු කර මසකට රු. කෝටි 2,000 ක ප්‍රතිලාභ ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් කෝටි 15,000 ක්

2019 නොවැම්බර් 18 වැනිදායි. එදා අපේ රටේ දෙවරක් ජනපතිදුන් වූ මහින්ද රාජපක්ෂ අගමැතිදුන්ගේ 74 වැනි ජන්ම දිනයයි. ඊට අමතරව එදින තවත් සුවිශේෂී දෙයක් සිදු විය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණෙන් ජනාධිපතිවරණයට එක්වූ ගෝඨාභය රාජපක්ෂයන් හෙවත් මහින්ද රාජපක්ෂයන්ගේ සොයුරා මෙරට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනපති ලෙස දිවුරුම් දීමයි. 

ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් වත්මන් රජය පසුගිය වසර දෙක ඇතුළත මෙරට කිසිම රජයක් නොකළ අන්දමේ ජනතා හිතකාමී වැඩ රැසක් ඉටු කර ඇත. ඒ අනුව එතුමා ‘ෆේල්’ නැත පාස් ය. අපි ඊට හේතු වූ කරුණු කාරණා මේ ලිපියෙන් ඉදිරිපත් කරමු. ඒ අනුව මැතිවරණයට පෙර පොරොන්දු වූ ඒවා පමණක් නොව පොරොන්දු නොවූ ජනහිතකාමී වැඩසටහන් රැසක්ම එතුමා තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ අගමැතිඳුන් ගේද සහාය ඇතිව ක්‍රියාවට නංවා ජනතාවට ආර්ථිකයට සහන රැසක් සලසා ඇත.

දිනන්න බැරි බව මුළු ලෝකයම කියූ කොටි ත්‍රස්තවාදීන්ට දුවන්න පහරදී 2009 දී රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂයන්ට එදා ඒ සඳහා යෝධ ශක්තියක් දුන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ට පසුගිය මාස 24 ඇතුළත රටට ජනතාවට කළ වැඩ කොටස මෙරට කිසිම ජනපතිවරයකු වසර දෙකක් ඇතුළත නොකළ වැඩ කොටසක් බව කිව යුතුව ඇත.

අගමැති මහින්ද, වාරි ඇමැති චමල්, මුදල් ඇමැති බැසිල් සමඟ මෙන් ම මුළු ඇමැති මණ්ඩලයට එක්ව පසුගිය වසර දෙක ඇතුළත රටේ දියුණුවට උපරිම වැඩ කිරීමට එතුමා පියවර ගත්තේ ය. එතුමා පවසන අයුරින්ම ඡන්දයට වඩා ජනතා සුබසෙත හා රටේ අභිවෘද්ධිය තකා රටට සුදුසු නව වැඩසටහන් ක්‍රියාත්මක කර රට ආර්ථික, කෘෂිකාර්මික, පාරිසරික, අධ්‍යාපනික හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් ඉහළ නංවන්නට එතුමා හිතට එකඟව රටේ උන්නතිය තකා පූර්ණ උත්සාහයක යෙදුණේ ය. 

කොවිඩ් - 19 රටට බලපෑමත් විවිධ ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ වුවත් රටේ ජනතාවට නිරෝගිමත් අනාගතයක් ඇති කිරීමට ප්‍රධානම ලෙසින් රටේ ජනගහනයෙන් 75% ක් පමණ පූර්ණ එන්නත්කරණය ලක් කිරීම ජනපතිගේ මෙහෙයවීමෙන් සිදු කළේ ය. ඊට අමතරව මෙරට රෝහල් ක්ෂේත්‍රයේ හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂ සංවර්ධන කටයුතු ද පසුගිය වසර දෙක ඇතුළත වේගයෙන් දියුණු විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානවල හා තරුණ සේවා යෞවන සමාජවල සාමාජිකයන්ගේ අනුග්‍රහයෙන් දින 10 ක් ඇතුළත ඇදන් 10000 ක් සකස්කර රෝහල්වලට ලබාදීමට කටයුතු කළේ ය.

අපේ රටේ වසරකට පිළිකා හා වකුගඩු රෝග නිසා වසරකට මියයන ජීවිත ගණන 10000 කට ආසන්නය. ඒ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් හා දැනට ඉහත රෝගවලින් පෙළෙන 125000 කගේ ජීවිත සුරැකීමේ අරමුණින් ජනාධිපතිතුමා ගත් උතුම් සුවිශේෂී පියවර වන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමයි.

ඒ අනුව මෙතෙක් රසායනික පොහොර පිටරටින් ගෙන්වීමට ගිය කෝටි 12000 ක් මෙරට ඉතුරු විය. ඒ තහනමින් කාබනික පොහොර ජනප්‍රිය කරවීමත් නිසා කවුරු කෙසේ කීවත් අපේ දරු පරපුර නිරෝගීමත් පරපුරක් වනවා පමණක් නොව පරිසරයට මහ සෙතක් වනු ඇත.

මෙරට කොවිඩ් මර්දනය පිණිස ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙන් ම රසායනික පොහොර තහනම පිළිබඳ ජනපතිට ජගත් මට්ටමේ ප්‍රශංසා ලැබී තිබේ. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂයන් කර ඇති සමහර ජනතා හිතවාදී කටයුතු මෙරට කිසිම නායකයෙක් වසර දෙකක් තුළදී සිදුකර නොමැත. ජනාධිපතිතුමා මුලින් ම තම කාර්ය මණ්ඩලය සියයට 90 ක් පමණ අඩු කළේ ය. ඊට පසු තමාට තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට තිබූ වාහන ගණන ද සියයට 90 කින් පමණ අඩු කළේ ය.

2019 දී හිටපු ජනපතිගේ හා පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වියදම සඳහා රුපියල් කෝටි 1355 ක් වෙන්කර තිබුණි. එහෙත් 2022 අයවැය විසර්ජන පනත අනුව ජනපතිගේ වියදම සඳහා වෙන් කළ මුදල රු. කෝටි 233 දක්වා අඩු කිරීමට ජනපතිගේ කැමැත්ත අනුව යෝජනා කර තිබිණි. ඒ අනුව වියදම් අඩු කිරීම සියයට 80 ක වියදම් අඩු කිරීමකි.

වත්මන් ජනපති පසුගිය වසර තුළ ක්‍රියාත්මක කළ වැඩි පිරිසකට ප්‍රතිලාභ දුන් සිදුවීම් වන්නේ උපාධිධාරී තරුණ තරුණියන් 63000 කට රැකියා ලබාදීමයි. ඉන් වැඩි පිරිසක් ගුරුවරු වූ අතර ඔවුන් දැන් ප්‍රධාන පාසල්වලට පත්වීම් ලබාදී ඇත. ඊට සමාන්තරව මෙරට ප්‍රථම වරට අ.පො.ස අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට විශ්‍රාම වැටුප ඇති රැකියා ලබාදීම ජනපතිගේ නියමය පරිදි සිදු විය.

මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් හා පුවත්පත් කතුවරුන් වෙනුවෙන් පැවැති හමුවකදී ජනපති ලේකම් පවසා ඇත්තේ රටට ජනතාවට වැරැදි දේ කර අවුරුදු පහක් බලයේ සිටිනවාට වඩා හරි දේ කර ගෙදර යෑම උසස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විශ්වාස කරන බවයි.

ඒ අනුව ජනපති පසුගිය වසර දෙක තුළ තමන් මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුවලට වඩා අමතර සහන රැසක් ජනතාවට ලබාදුන්නේ ය. රට හා ජනතාවට සහන සැලසීමේ වත්මන් ජනපතිගේ යෝධ සැලැස්ම වූයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රට හදන නව වැඩපිළිවෙළයි.

ඒ වැඩපිළිවෙළ අනුව දැන් රටේ ගම් නියම් ගම් හරහා සුවිශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ යටතේ ග්‍රාමීය හා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීම, අඩු ආදායම්ලාභී පවුල්වලට වසර 5 ක් ඇතුළත නව නිවාස 70000 ක් ලබාදීම, නාගරික පැල්පත්වාසීන්ට 37500 ක් ලබාදීම, පෙර පාසල් ගුරුවරුන්ට 25000 ක විශේෂ දීමනාවක් ලබාදීම, නව ජල සම්බන්ධතා ලක්ෂ 4 ක් ලබාදීම ආදී වැඩසටහන් ක්‍රියාවට නංවති.

මෙරට රජයේ සංස්ථාවක, මණ්ඩල, පෞද්ගලික ආයතනවල සේවය කරන සියලු දෙනාගේ විශ්‍රාම යැවීමේ වයස 60 දක්වා දීර්ඝ කිරීමට ජනපතිගේ උපදෙස් අනුව කටයුතු කිරීම දැන් සිදු කෙරේ. 

2019 ට පෙර පාඩු ලැබූ ආයතන රැසක් ජනපති උපදෙස් අනුව මේ වනවිට ලාභ ලබයි. ඊට අමතරව මෙතෙක් කල් පාඩු ලැබූ ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10 ට කෝටි 16.1 ක් ලාභ ලැබීම ද විශේෂත්වයකි. මිල්කෝ සමාගම, ලංකා සීනි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභ ලැබූ ආයතන අතර ප්‍රමුඛත්වයක් ගනී. ශ්‍රී ජයවර්ධනපුර රෝහල, සේවක භාරකාර අරමුදල් මණ්ඩලය ද ලාභ ලබා ඇත. ලක් සතොස ආයතන ද 2015 ට වඩා 2021 දී ලාභ ලබා ඇත. ලක් සතොස ආයතන 2019 දී රුපියල් කෝටි 1090 පාඩුවක් ලබා තිබුණි. නමුත් 2021 සැප්තැම්බර් මාසයේදී පමණක් රුපියල් ලක්ෂ 121 ක මෙහෙයුම් ලාභයක් ලබාගැනීමට ලක් සතොස සමත්වී තිබේ. එම මස සම්පූර්ණ ආදායම කෝටි 400 ට වැඩි බවත් එය ඉතිහාසගත වාර්තාවක් බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

මේ අතර 2019 වසරේදී රුපියල් කෝටි 14887 ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 20 ක් 2020 දී මුල් මාස අට ඇතුළත සිය පාඩුව සියයට 100 කින් පවා අඩු කරගෙන ඇත. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව සියයට 70 කින් අඩු කර ඇත. විදුලි බල මණ්ඩලයේ පාඩුව 2020 දී 2015 ට වඩා රුපියල් කෝටි 5400 කින් අඩුකර ගෙන තිබේ. මේ සියලු ලාභ ලැබීම්වලට පාඩුව අඩු කිරීමට ප්‍රධාන හේතුව ජනපතිගේ උපදෙස් පරිදි ඒ ආයතන ප්‍රධානීන් කටයුතු කිරීමයි.

ජනාධිපතිතුමා විසින් රටේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම පිණිස ජනාධිපති කාර්ය සාධක බළකා පත්කර තිබේ. ඒ අනුව ආර්ථික පුනර්ජීවනය බළකාය, හරිත කෘෂිකර්මය සඳහා වූ බළකාය එක් රටක් එක් නීතියක් සඳහා වූ බළකාය ප්‍රමුඛතාව ගනී. මේ සියලු බළකා ඊට අදාළ ලෙස අපේ රටේ තිබෙන විවිධ ක්ෂේත්‍රවල දැවෙන ප්‍රශ්නවලට තිරසර විසඳුම් ඉක්මනින් දීමට ජනපතිගේ උපදෙස් අනුව කටයුතු කරයි.

මෙතෙක් කල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයේ ආයතනයකට ලබාදී තිබුණි. නමුත් ජනපතිගේ උපදෙස් පරිදි යුද හමුදාවට එය බාරදෙනු ලැබීය. ඒ නිසා රජයට මාස 10 කදී රුපියල් කෝටි 82 ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී තිබේ.

පසුගිය යහපාලන සමයේ වී ගබඩා කිරීමෙන් රුපියල් කෝටි 1192 ක පාඩුවක් ලැබූ මත්තල ගුවන් තොටුපළෙන් 2021 වසරේ මුල් මාස 8 ට රුපියල් ලක්ෂ 520 ක ලාභයක් උපයා තිබීම සුවිශේෂී වාර්තාවකි.

ජනාධිපතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා සියයට 90 කින් අඩු කිරීමත්, ජනාධිපති පරිවාර රථ 10 – 15 ක් තිබූ නමුත් එම සංඛ්‍යාව 3 දක්වා අඩු කිරීමත් පාර්ලිමෙන්තු සැසිවාර විවෘත කිරීමට හමුදා උත්තමාචාර නැවැත්වීමත් නිසා වත්මන් ජනපති අපේ රටේ ඉතිහාසගත දේශපාලන වාර්තා රැසක් තබා ඇත.

2019 දී ටෙලිකොම් සභාපතිගේ තිබුණු වැටුප රුපියල් ලක්ෂ 20 කි. ඒ මුදල රුපියල් ලක්ෂ 2 ½ දක්වා ජනපති නියමයෙන් අඩු කරන ලදී.

ජනාධිපතිතුමා තමාට හිමි ජනාධිපති නිල නිවාස පාවිච්චි කළේ නැත. ඒ එහි විදුලි බලය ආදියට අනවශ්‍ය මුදල් වියදම් වෙන නිසා ය. ඒ වෙනුවට එතුමා තම මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස නිල නිවස ලෙස පාවිච්චි කිරීම සිදු කරයි. පසුගිය යහපාලන රජය සමයේ මාසික කුලිය ලක්ෂ 210 ක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙන යෑම නිසා රජයට ඉතිරිවූ මුදල මසකට ලක්ෂ 210 කි.

ඒ සමඟම පසුගිය 2020 වසරේදී වැඩිහිටි ජනතාවට ගැටලුවක් වූ පොලිය මත අය කරන රැඳවුම් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද, ආගමික ස්ථාන වෙත පනවා තිබූ බද්ද අහෝසි කරන ලදී. දුරකතන සේවා බද්ද 25% කින් අඩු කරන ලද අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බද්ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කිරීම ද සිදු කර ඇත.

දුම්රිය මැදිරි, ශීතකරණ වායු සමීකරණ පමණක් නොව බස්, ලොරි, කාර්, වෑන් ආදිය මෙරටදීම නිපදවීමට ද ජනපතිගේ උපදෙස් පරිදි ප්‍රවාහන හා කර්මාන්ත ආදී අමාත්‍යාංශ පියවර ගෙන ඇත. ඊට අමතරව පුරාවිද්‍යා උරුමයන් සුරැකීමට කාර්ය සාධක කමිටුවක් පත්කර ඇත.

ජනපති නියමයෙන් වසර 4 ක් යන තුරු රාජ්‍ය ආයතනවලට මැති ඇමැතිවරුන්ට අලුත් වාහන ගෙන්වීම අත්හිටුවීම හා ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් අඩු කිරීම නිසා මසකට කෝටි 2000 ක මුදලක් රටට ඉතිරි කිරීම පසුගිය වසර දෙක ඇතුළත සිදුවූ ජනහිතකාමී කටයුත්තකි.

ජනපති, අගමැති, ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති යන අයගේ ඡායාරූප රාජ්‍ය ආයතනවල සවි කිරීම හා මාර්ග සංවර්ධනය කළ විට ඒවායේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ පවා ඡායාරූප ඇතුළත් දැන්වීම් පුවරු සවිකිරීම ජනපති නියමයෙන් තහනම් කිරීම නිසා රටට කෝටි ගණනක මුදලක් ඉතිරි විය.

‘ජනපති ගම සමඟ පිළිසඳර’ නවමු වැඩසටහන ක්‍රියාවට නැංවූ ජනාධිපතිතුමා රටේ පිහිටි දුෂ්කර ගම්මාන රැසකට ගොස් ඒ ග්‍රාමීය ජනතාවගේ ගැටලු විමසා ක්ෂණිකවම ඒවාට පිළිතුරු දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් රටේ විවිධ ප්‍රදේශවල ගම්මාන 150 කට අදාළව පරම්පරා ගණනක් නොවිසඳී තිබූ ජීවනෝපාය සංවර්ධන, ඉඩම් මාර්ග අධ්‍යාපනික වාරිමාර්ග ගැටලු රැසකට ඉක්මනින්ම විසඳුම් ලැබිණි. ඒ සමඟම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් මැතිවරණයට පෙර රටපුරා, සිදු කරන ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ දී ඉදිරිපත් වූ ගම්වල අඩු පාඩු පිළිබඳ යෝජනා, ඉටු කිරීමට ‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.

2022 අයවැය මඟින් ජීවනෝපාය සංවර්ධනයට හා ග්‍රාමීය සංවර්ධනයට අති විශාල මුදලක් වෙන්කර ඇත. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි වසමකටම රුපියල් ලක්ෂ 30 බැගින් ලබාදීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ගේ ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් කෝටි 10ක් හා සෑම පළාත් පාලන මන්ත්‍රීවරයකුට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව රුපියල් ලක්ෂ 40 බැගින් ලබාදීමට යෝජනා කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර අයවැයෙන් ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් කෝටි 15000ක් පමණ වෙන්කර ඇත.

2005 – 2015 කාලයේ වැඩ බිමක් තිබූ අපේ රට 2015– 2019 කාලයේ මුඩු බිමක් විය. පාරවල් හදන්න ගෙනා යන්ත්‍රෝපකරණ මළකඩ කෑවේය. මඟනැඟුම සේවකයෝ වැඩට ඇවිත් වැඩ නැතිව නිදා ගත්හ. නමුත් 2019 දී ගෝඨාභය රාජපක්ෂයන් ජනපති වූ පසු මුළු රටම වැඩ බිමක් විය. ඒ අනුව දැන් මෙරට පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නව සංවර්ධන ව්‍යාපෘති 25000ක් ක්‍රියාත්මක බවත් ඒ අතර කෝටි 100ට වැඩි ව්‍යාපෘති 284ක් බවත් සංවර්ධන අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

ඉදිකිරීම් වලින් පසුව වසරකට අපේ රටට රුපියල් කෝටි 2,30 000ක ආදායමක් ලබා දෙන හා අපේ තරුණ තරුණියන් 82,000කට රැකියා ලබා දෙන කොළඹ වරාය නගරය වාණිජ කටයුතු සඳහා දැන් විවෘත වී ඇත. මෙරට දැනට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන වරාය නගරය ඉදිරි වසර 20 ඇතුළත දකුණු ආසියාවේ මූල්‍ය සංවර්ධන කේන්ද්‍රස්ථානය වනු අැතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ජනපතිට රට ගොඩගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අගමැතිඳුන් හා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය දෙන පූර්ණ සහාය අගය කළ යුතුය.

මේ අනුව බලාපොරොත්තු සියල්ල කෙටි කලක් ඇතුළත ඉටු නොවුණත් අපේක්ෂා කළ දේටත් වඩා යමක් දිගුකාලීනව ඉටුවෙන බව වත්මන් ජනපතිගේ වැඩපිළිවෙළ අනුව අපට විශ්වාසය. ඒ සඳහා ඉවසමින් සහාය දීම රටට දැයට සමයට හිතවත් හැමගේ යුතුකමකි.

Comments