පරිසරයත් රැකගෙන දියුණු කළ ‘ලංකාගම’ | සිළුමිණ

පරිසරයත් රැකගෙන දියුණු කළ ‘ලංකාගම’

සංවර්ධනය කළ ලංකා ගමට දිවෙන මාර්ගය

මෙතෙක් බිහි වූ නායකයින් අතරින් ගැමි ජන දුක නිවාලමින් ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට අවැසි ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ අභියෝගය බාරගත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් පත් වී දෙවසරක් ගතව තිබේ. පසු ගිය දෙවසර තුළ දුෂ්කර ගම්මාන වෙත ගොස් ජන දුක කවරක්දැයි විමසීමට ජනපති පියවර ගත්තේය. 

ඒ අනුව ලංකාගම ප්‍රදේශයේ සමාජ, ආර්ථික ගැටලු නිරීක්ෂණය කිරීම මෙන්ම ජනතා අදහස් විමසන්නට විය. ඒ ලංකාගම ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමට ගත හැකි ප්‍රමුඛ කාර්යය කවරක්ද යන්න අවබෝධ කරගනු පිණිස ය. ඒ අනුව යමින්, ලංකාගමට දිවෙන මාර්ගය දින 90ක් තුළ සංවර්ධනය කළ යුතු යැයි ජනපති උපදෙස් ලබා දුන්නේ ය.

යුද හමුදා ඉංජිනේරු බළකායේ සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව පසුගිය වසරේ සැප්තැම්බර් මස දෙවැනිදා ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන්නට විය. ඒ අනුව නෙළුව - වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කිලෝමීටර් 6.5ක දුරක් පළමු අදියරේදී සංවර්ධනය කෙරුණි.

මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික හානියක් නොවන ආකාරයෙන් සිදු කිරීමට උපදෙස් දුන්නේ ය.

කෙසේ වෙතත් ලංකාගම ජනතාවගේ ගැටලුවලට විසඳුම් සොයා යෑමට නම් මූලික වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබුණි. එහි මූලික පියවර ලෙස ලංකාගමට පිවිසෙන මාර්ගය සංවර්ධන කොට තිබේ.

මූලික අදියරේදී ලංකාගම මාර්ගයේ එක් කිලෝමීටරයක් කොන්ක්‍රීට් අතුරා, ඉතිරි කිලෝමීටර් 5.5 කාපට් අතුරා වැඩ නිමකොට ඇති අතර ඉදිකළ මාර්ගයේ පාලම් සහ බෝක්කු තිස් හතරක්ද වේ. අනතුරුව දෙවැනි අදියර ලෙස ලංකාගම දොඹගොඩ සිට දෙනියාය මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කෙරිණි. මේ සංවර්ධන ක්‍රියාවලිය ලංකාගම වැසියන්ගේ හෙට දවස තීරණය කරන්නක් බවට පත්විය. දුෂ්කර මඟක ගමන් කළ ඔවුන් දැන් කෙටි කලකින් එම පාරේ ධාවනය වන ලංගම බස් රථයෙන් නෙළුව නගරයට පිවිසෙන්නේය. මාර්ගය සංවර්ධනය කරන්නට පෙර ලංකාගම වැසියන් බොහෝ දුෂ්කරතාවලට මෙන්ම අපහසුතාවලට ලක් වූ බවට ද මාධ්‍ය වාර්තා පළ විය. අද වන විට ඔවුන් එම දුෂ්කරතාවයෙන් ගලවා ගන්නට ගම සමඟ පිළිසඳරට හැකියාව ලැබී තිබීම යනු ඔවුන්ගේ හෙට දවස වඩා යහපත් වන බව සහ සුරක්ෂිත වන බවට දුන් කදිම නිදසුනකි.

Comments