ඉදිරි අය­වැය අභි­යෝ­ගා­ත්මකයි | සිළුමිණ

ඉදිරි අය­වැය අභි­යෝ­ගා­ත්මකයි

නොවැම්බර් 12 වැනිදා නව මුදල් ඇමැතිවරයාගේ පළමු අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් ඇමැතිවරයාගේ නව අයවැය ලේඛනය ඉතා ප්‍රසාරණනාත්මක සහ විශාල අභියෝගාත්මක අයවැයකි. මක්නිසාද යත් ආණ්ඩුවේ ඇස්තමේන්තු වියදම රුපියල් ට්‍රිලියන 5ක් ඉක්මවයි.

 

නමුත් ඇස්තමේන්තුවල ආදායම රුපියල් ට්‍රිලියන 3කටත් වඩා අඩු ප්‍රමාණයක් වෙයි. ඒ නිසා මුදල් ඇමැතිවරයාගේ ඇස්තමේන්තුවට අනුව යම් ඉඟියක් ඔහු විසින් පළ කරනු ලබයි. එනම් ආණ්ඩුවට රුපියල් ට්‍රිලියන 3ක් ඉක්මවන ණයක් ලබා ගැනීමට සිදුවෙනු ඇති බවයි. මෙහිදි පැහැදිලි වන කරුණක් නම් මේ අයවැය හිඟය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 11.5 % පමණ වෙයි.

මෙවර අයවැය ලේඛනයේදී දැනට ඇස්තමේන්තුගත අයවැය හිඟය දෙගුණයකින් වැඩිවී ඇති බව පෙනෙයි. මෙය අඩු අගයක් කිරීම ඉතාම බැරෑරුම් අභියෝගාත්මක කාර්යයකි. ලංකාව මුහුණ දී ඇති කොවිඩ් තත්ත්වය නිසා ආණ්ඩුවේ ආදායම් ක්ෂණිකව ඉහළ දමා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇත. මක්නිසාද යත් නිර්යාත පහළ යෑම, විදෙස් ආදායම් පහළ යෑම, සංචාරක කර්මාන්තය බිඳවැටීම සහ විදේශිය ආයෝජන අඩු වීම වැනි තත්ත්වයන් මේ නිසා උද්ගත විය.

මෙවර අයවැයෙන් යටත් පිරිසයෙන් අවුරුදු 3ක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපේක්ෂා කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහිදී මෙවර අයවැය ලේඛනය රට ඇඳ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට කොතෙක් දුරට ඉවහල් කර ගත හැකිද යන ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ යුතු වෙයි. ඒ සඳහා මේ අයවැය ලේඛනයෙන් කුමන පියවර ගන්නේද යන පිළිබඳවද විමසා බැලිය යුතුයි. නව ආණ්ඩුව බලයට පත්වූ පසුව ආනයන සීමා කිරීමත් ඒ සීමා කළ ආනයන ජාතික වශයෙන් නිෂ්පාදනය කිරිමත් යන කරුණු දෙක පිළිබඳව වඩා අවධානය යොමු කිරීමක් සිදුවිය, ආනයන සීමා කිරීමත් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආනයන සඳහා ආදේශනයන්ට හුරුකරවීමට උත්සාහ කරන ලදී. මේ කරුණු ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට ගත යුතු ඉතා වැදගත් පියවරයන්ය මෙන්ම වැදගත් මූල ධාර්මික කාරණාවන්ය. ජාතික ආර්ථිකය ගොඩනැඟීමට පසුගිය කාලයේදී මේ පදනම මත බොහෝ පියවර ගනු ලැබිණි. එහෙත් වෙළෙඳ ශේෂය සාධාරණ පහත දැමීමකට එම පියවර කිසිවක් සාර්ථක වීමක් දක්නට නොලැබෙයි. ඒ නිසා මේ මොහොත වන විටත් ලංකාවේ ආයාථ වැඩි වන වේගය නිර්යාත වැඩි වන වේගයට වඩා වැඩි අගයක් ගන්නා බව දක්නට ලැබෙයි. මේ ගනු ලැබූ ක්‍රියාමාර්ග ආර්ථිකයේ අපේක්ෂිත බලාපොරොත්තු ඇති කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන ලෙස බලපෑම් කරනු ලැබුයේ කොවිඩ් වයිරසය පැතිර යෑමයි.

මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් දැනට ප්‍රකාශිත කරුණු දෙස බැලූවිට පෙනී යන්නේ මේ ගෙන ඇති පියවරින් ඉදිරියට ගමන් කරන්නේද පස්සට ගමන් කරන්නේද යන කරුණ පිළිබඳ වඩා සැලකිලිමත් වීමයි. මෝටර් රථ ආනයනයේදී රජයට ලැබෙන බදු ආදායම අති විශාල වෙයි. විශේෂයෙන් ම එවැනි ආනයනිකවලින් පසුගිය කාලයේ රජයට ලැබෙන ආදායම සම්පූර්ණයෙන් ම අහිමි විය. රජයට අවශ්‍ය මෝටර් රථ යම් සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කිරීම පිළිබඳ නව යෝජනව ඉදිරිපත් වීම අනුව ඉදිරියට යමින් මෙවර අය-වැයේදී මෝටර්රථ ආනයනය කිරීමට ඇති සීමා කිසියම් රාමුවක් තුළ ලිහිල් කිරීමට ඉඩ ප්‍රස්ථා ඇති බව පෙනෙයි. ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමේ යම් උපක්‍රමයක් ලෙස එය යෝජනා කිරීමට හේතුව විය හැකිය. මෙමඟින් රජයේ අදායම වැඩිවීමෙන් අයවැය හිඟයට යම් පිළියමක් ලැබීමට හැකියි. එහි ප්‍රථිඵලයක් ලෙස ලංකාවේ විදෙස් විනිමය ප්‍රශ්නයට මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විශාල තෙරපුමක් ඇති විය හැකිය.

විශේෂයෙන් මෙරට ආර්ථිකය හැම අවස්ථාවේදීම අර්බුදකාරි තත්ත්වයකට පත්වූවිට එය යම්කිසි මට්ටමකින් පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ කෘෂිකර්මික ආර්ථිකය මඟිනි. මේ කෘෂිකර්මය නිර්යාත ආදායම් ලබා දීමට යම් බලපෑමක් නොකළද දේශීය පරිභෝජන මට්ටමට කිසියම් ස්ථාවර මට්ටමක් තබා ගැනීමට මේ කෘෂි කර්ම ක්‍රමය හේතු විය. කෙසේවෙතත් පසුගිය කාලයේදී කෘෂි භාණ්ඩවල මිල මට්ටම සම්පූර්ණ වෙළෙඳපොළ විසින් හැසිරවීමට ඉඩ හැරියේය. සහල්, සීනි, සිමෙන්ති වෙළෙඳපොළ විසින් තීරණය කරන ලදි. ඒ භාණ්ඩ මිල වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. වෙළෙඳපොළ විසින් මිල වැඩි කිරීමත් සමඟ දක්නට ලැබෙන කරුණක් නම් සහල් සැපැයුම්කරුවන් නියම කළ මිලත් ඉක්මවා සහල් මිල ඉහළ දැමීමේ ප්‍රවණතාවක් ඇති කිරීමයි. අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් ද භාණ්ඩ හිඟයකුත් මිල ඉහළ යාමකුත් දක්නට ලැබෙයි; මේ තත්ත්වය මත අයවැය ලේඛනයෙන් කිසියම් පියවරක් ගනු ලැබිය යුතු වෙයි. මිල වැඩි විම නවත්වනු වෙනුවට ගත් සියලු පියවර භාණ්ඩ මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය වැඩිවීමට හේතු විය.

අයවැය ලේඛනයේදී මේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්නේ නම් දේශීය නිෂ්පාදන භාණ්ඩවල මිල , ඉහළ යන නිෂ්පාදන පිරිවැය පහත දැමිමට කුමන පියවරක් ගන්නේද යන කරුණු නිෂ්චිතව පැහැදිලි විය යුතුය. කෙසේ වෙතත් අයවැයේදී මේ සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කරන්නේ ද යන කරුණ පිළිබඳව ගැටලුවක් වෙයි.

රසායනික ද්‍රව්‍ය මත රඳා පවතින කෘෂිකර්මය 1960 වසරවලදී මෙරටේ ආරම්භ වීය. මේ මඟින් සිදුවූ අනිවාර්ය ලක්ෂණයක් නම් නිෂ්පාදන පිරිවැය වැඩි කිරීමයි. අස්වැන්න වැඩිවීමක් සිදුවුවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ගොවියාට මිල ඉහළ දැමීමට සිදුවෙයි.

මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කරමින් මේ වන විට ආණ්ඩුව අනුගමනය කරන ස්වභාවික පොහොර සහ අනෙකුත් රසායනික පොහොර තහනම පිළිබඳ ප්‍රතිපත්තිය අයවැය ලේඛනයත් සමඟ කුමන ආකාරයකට දුර්වල කරයිද ගැටලුවක් මතු වෙයි. එසේම තේ වගාව සම්බන්ධයෙන් සහ අනෙකුත් බෝග සම්බන්ධයෙන් යම් හිඟයක් ඇතිවී ඇත. මේ කෘෂිකර්ම ක්‍රමවේදයන් බිඳීමක් සිදුනොවුණහොත් එනම්, ආපස්සට අඩියක් තැබුවහොත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් ඇති වනු ඇත. ඒ නිසා ඉතා පැහැදිලි ලෙස කෘෂිකර්මයේ නිෂ්පාදන පිරි වැය අඩු කිරීම සඳහා ස්වාභාවික වගාවට ගත් පියවර ඉදිරියටත් සිදුවිය යුතුය. මෙතෙක් පැවැති කාර්මික කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගෙන් බිඳී ස්වභාවික කෘෂි කර්මය ඉදිරියට ගමන් කිරිම සිදුවිය යුතුය .

ඒ නිසා ආණ්ඩුව මේ ආකාරය ගෙන යන පියවර ගොවි ජනතාව සමඟ පැහැදිලි සංවාදයක් ඇති කර ගනිමින් කෘෂි පර්යේෂණ නිලධාරීන් මඟින් ගොවියා දැනුම්වත් සිදුකළ යුතුය. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ගුණාත්මක භාවය සහ පිරිවැය අඩු කරගැනීමට එමඟින් හැකිවෙයි. ඒ නිසා මෙයට ගැළපෙන ප්‍රතිපත්ති අයවැය ලේඛනයේ අන්තර්ගත වීම ඉතා තීරණාත්මක සාධකයකි.

විශේෂයෙන් රටේ කෘෂි කර්මාන්තයේ ඉදිරි ගමන සඳහාත් රටේ අනෙකුත් පුළුල් ව්‍යුහාත්මක ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහාත් වැදගත් වෙයි.

මේ අයවැය ලේඛනය ඉතාමත් ප්‍රසාරණාත්මක වන්නේ මේ අභියෝග නිසාවෙනි. රුපියල් ට්‍රිලියන 5ක ප්‍රමාණයකින් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුව වියදම් කිරීමට උත්සහ කරන්නේ ප්‍රාදේශික සභා හරහායි. මේවා බොහෝ දේශපාලනික ව්‍යාපෘති විය හැකියි.

ලංකාවේ පොදු නිෂ්පාදනය ගත් විට මේ නිෂ්පාදනයෙන් 50% ආසන්න ප්‍රමාණයක නිෂ්පාදනයන්ට නිෂ්පාදන වටිනාකම් එකතු වන්නේ ගෘහස්ත නිෂ්පාදන ආශ්‍රිතවය. ඉතාම කුඩා නිෂ්පාදකයන් ලංකාවේ වටිනාකම්වලින් අඩක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. මහා පරිමාණ සමාගම් නිෂ්පාදනය කරන්නේ 37% වැනි ප්‍රමාණයකි. රජය මේ සඳහා ද යම් දායකත්වයක් දරයි. ආර්ථිකය වර්ධනය කිරීමට සැලසුම් කරන්නේ නම්, ඒ සැලසුම් කිරිමේදී ඒ සැලසුමේ ප්‍රධාන තැනක් දිය යුත්තේ ආර්ථික දායකත්වයට වැඩිම කොටස නිෂ්පාදනය කරනු ලබන පිරිස් සඳහාය.

පසුගිය කාලය පුරාම සියලු රජයන් සහනයන් ලබාදී ඇත්තේ විශාල පරිමාණයේ සමාගම් ක්ෂේත්‍රයටයි.

රජය සුළු පරිමාණ නිෂ්පාදකයන්ට ලබාදෙන සහන අල්පය. අපි හැරිය යුතුවන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් දෙසටයි.

පසුගිය කාලයේ ඇතිවූ ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කිසියම් සහනයක් ලබාදී නැතත් අනෙකුත් සියලු අංශවලට සහන ලබා දී ඇත. මේ වැනි ප්‍රධාන ප්‍රශ්නවලට මෙවර අයවැයේදි ආමන්ත්‍රණය කළ යුතුව ඇත. ඉදිරි කාලයේදී ජාතික වශයෙන් ආර්ථිකයේ සානු බලය ගොඩනගා ගැනීමට සැලසුම් කිරීමට නම් මෙවැනි අංශවලට අවධානය යොමු කළ යුතුය.

සෞඛ්‍ය අංශවලට 2001 වෙන් කළ මුදලට අඩු මුදලක් 2002 අයවැයෙන් වෙන් කිරීමට හේතුව අනුමාන කළ හැකිය. එයට හේතුව ආණ්ඩුවේ ප්‍රක්ෂේපණය අනුව ඉදිරි වසරේ කොවිඩ් බරපතළ ගැටලුවක් නොවන බවයි.

නමුත් ගැටලුව රට විවෘත කිරීමේදී මහජනයාගේ හැසිරීම සහ හැසිරවීමට ආණ්ඩුව විසින් ගනු ලබන මන්දගාමිභාවය නිසා 2022 දක්වා කොවිඩ් ගමන් කළ හැකි බව ඇතැම් සෞඛ්‍ය අංශ අනුමාන කරයි. එමෙන්ම තවත් අතිරේක එන්නතක් දීමට සිදු වුවහොත් සෞඛ්‍ය අංශයේ දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වැඩිකිරීමට සිදුවනු ඇත. ඒ සම්බන්ධයෙන් අපට පුරෝකතන කළ නොහැකිය. පසුගිය වසර 2ක තුළ කොවිඩ් සම්බන්ධයෙන් වියදම් අති විශාල වෙයි.

කොවිඩ් 19 පාලනය වී ඇතැයි යන අනුමානය මත සංචාරක ව්‍යාපාරය කිසියම් නැඟිමක් ඇතිවෙතැයි සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදෙස් විනිමය ආදායම වැඩිවෙතැයි රජය ප්‍රක්ෂේපණය කරයි. පසුගිය කාලයේ විදෙස් ශ්‍රමිකයන්ගේ ලැබෙන ආදායම ඍණාත්මක විය. එහි යම් සත්‍යයක් වෙයි. නිර්යාතය ප්‍රමාණය වැඩිවීම, සංචාරකයන්, ශ්‍රමිකයන්ගේ මුදල් ලැබීම සහ ආදායම ඉහළ යෑම කොවිඩ් නිසා ඇතිවූ ආර්ථිකයේ බර අඩු විමට හේතුවෙයි. එසේ සිදුවීම ම ආර්ථිකය යහපත් විමට බලපානු ලබයිද යන්න ගැටලුවකි. කොවිඩ්වලට පෙර 2014 සිට ආර්ථිකය පහත වැටිම සිදුවෙයි; කොවිඩ් නිසා මේ ආර්ථික ප්‍රශ්නය ඉතා බැරෑරුම් වුවද ආර්ථිකය බිඳවැටීමේ එකම හේතුව කොව්ඩ් ම පමණක් නොවෙයි.

මෙවර අයවැයෙන් බොහෝ පිරිසකගේ අපේක්ෂාව වැටුප් ප්‍රතිශෝධනයක් ඇතිවීමයි. මහජනතාවගේ ජිවන තත්ත්වය අඩුවුවහොත් සහ ජනතාවගේ පෝෂණ තත්ත්වයන්ට අඩුවීම ද එක්තරා අංශයකින් ආර්ථිකයට බලපානු ලබයි.

එක් පැත්තකින් රටේ ජනතාවගේ ආර්ථිකය ඉතාමත් පහත් මට්ටමකට ඇදවැටීම නිසා ජනතාවගේ පෝෂණය පිළිබඳව ගැටලුව රටේ බොහෝ පළාත්වල ඇතිවී ඇත. එක් පැත්තකින් ජනතාවගේ ආදායම වැඩි නොකර යමක් කිරීමට අපහසු වෙයි. ආදායම වැඩි කිරීම ද අපහසු තත්ත්වයකට රට පත්ව ඇත.

මේ රටේ ආර්ථිකය කුමන දිශානතියට ගමන් කරන්නේද යන කාරණාව තීරණය වන්නේ ආණ්ඩුව විසින් ගනු ලබන නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ නිවැරදි පැතිකඩවලට සම්පත් බෙදි යෑමට සැලැස්වෙන පරිදි අයවැය ලේඛනය සකස් වීමෙනි. 2022 මේ ආණ්ඩුව 5% ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරයි.

ආණ්ඩුවේ ඇස්තමේන්තුව අනුව 2021 අවසාන කාර්තුවේදී ආර්ථික වෘධී වේගය 12.05 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කිරීම ගැටලු සහගත තත්ත්වයකි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරන ලද පුරෝකථන අනුව යළි සංශෝධනයක් කර මේ වසරේ ආර්ථික වෘධිවේගය 3.5 % පමණ වේගයක් ලෙස දැක්විය හැකිය.

කොවිඩ් වැළැක්වීම සමඟ සිදුවිය හැකි නිර්යාත ආදායම, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම සහ අනෙකුත් සියලු ක්ෂේත්‍රයන්ගේ ආදායම වැඩි නොවුණහොත් 2022 ආර්ථික වෘධීවේගය අපේක්ෂිත ප්‍රමාණයන්ට වඩා යම් ප්‍රමාණයකට පහත වැටීමක් සිදුවිය හැකිය. රටක් ලෙස මේ සියලු ක්ෂේත්‍රයන් යළි ගොඩනැඟීමට ජාතික වගකීමකින් යුතුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතුය.

Comments