සිසුන් 200ට අඩු පාසල් රට පුරා ඇරඹුණේ මෙහෙමයි | සිළුමිණ

සිසුන් 200ට අඩු පාසල් රට පුරා ඇරඹුණේ මෙහෙමයි

* ප්‍රථම අදියර සාර්ථකයි
* දෙවන අදියර සඳුදා සිට ඇරඹෙයි

- 22 දා දකුණු පළාතේ පාසල් පැමිණි ගුරු ප්‍රතිශතය 15%යි; විදුහල්පති ප්‍රතිශතය 40%යි; ශිෂ්‍ය ප්‍රතිශතය 8%යි.
- ඔක්තෝබර් 22දා‍ උතුරු පළාතේ සේවයට පැමිණි ගුරු ප්‍රතිශතය 75%යි; විදුහල්පති ප්‍රතිශතය 90%යි
- ඔක්තෝබර් 22 දා උතුරු පළාතේ පාසල් පැමිණි ශිෂ්‍ය ප්‍රතිශතය 45% යි

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් පැවැත්වීමට නොහැකි වූ කාල පරිච්ඡේදය අවසන් කරමින් මාස 6 කට පසු යළිත් පාසල් විවෘත වූයේ පසුගිය 21 වැනිදාය. ඒ අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශයන්ට අනුකුලවය. ඒ අනුව පසුගිය දා විවෘත වූයේ එහි මුල්ම අදියර වන සිසුන් 200 ට අඩු පාසල් හි 1-5 දක්වා වු ප්‍රාථමික අංශයන්ය. 10,155 ක් වන ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව අතුරින් එවැනි පාසල් 5056 ක් මුලින්ම විවෘත වූ අතර 4,063,685 ක් වන සමස්ත පාසල් සිසුන් අතරින් මුල් වටයේ පාසල් පැමිණීමට නියමිතව තිබුණේ සිසුන් 463, 995 කි. ලංකාවේ සමස්ත ගුරුවරු සංඛ්‍යාව 249,494 ක් වන අතර මුල් වටයේදි සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණේ ගුරුවරු 53,615 කට පමණි. මේ අනුව ගෙවී ගිය දින දෙක තුළ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීමේ යම් අඩුවක් දිස්වූ අතර ඉදිරි සතිය තුළ මෙය යථා තත්ත්වයට පත් වෙතැයි අපේක්ෂාවය.

පාසල් ආරම්භ දින වූ පසුගිය 21 වැනිදා සිසුන් 16% ක් හා ගුරුවරු 26% ක් පාසල් පැමිණි සිටි අතර පැමිණ සිටි සියලු සිසුන්ට ඉගැන්වීම් ආරම්භ කිරිමටද කටයුතු යෙදීය.

මෙවර පාසල් ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තේ දැඩි වෙහෙසකාරි ගමන් මඟකි. එක් පැත්තකින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ වගකිමකි. එන්නත්කරණය පාසල් සිසුන් සඳහා ආරම්භ වි තිබුණද, ප්‍රාථමික සිසුන් සඳහා මේ වන තෙක් එන්නතේ අවශ්‍යතාවක් සෞඛ්‍ය බලධාරීන් අවධ­ාරණය නොකළ හෙයින් ප්‍රාථමික අංශ මුලින්ම ආරම්භ කිරිමට හැකිවිය. මෙහි දෙවැනි අදියර වශයෙන් සිසුන් 200 ට වැඩි පාසල් වල පන්ති විවෘත කිරීම නොබෝ දිනකින්ම සිදු කිරිමට නියමිතය.

පාසල් ආරම්භ කළද එක් පැත්තකින් වැටුප් විෂමතාවන්ට විසඳුම් ඉල්ලා දින 100 කට වඩා දිග්ගැස්සුණු ගුරු අරගලයකි.

මේ හේතුවෙන් අරම්භක දින දෙකේදි සිසුන්ගේ පැමිණීමේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් නොකළ අතර ගුරුවරුන්ගේ පැමිණීමේද පැහැදිලි අඩුවක් පෙන්නුම් කරන්නට විය. මේ නිසා බොහෝ පාසල්වල පැමිණි සිසුන් මෙන්ම ගුරුවරුන් දැඩි අපහසුතාවන්ට ලක් වීමට සිදුවිය. ඉබි යතුරු කඩා පාසල් දොරගුළු විවෘත කිරිමට සිදුවීම, ගුරුවරු සිය අත්සන නාම ලේඛනයේ සටහන් නොකිරීම, එකදු ගුරුවරයෙකුවත් නොමැතිව යළි පාසල් වසා දැමිමට සිදුවීම, පොලිස් ආරක්ෂාව පාසල් වෙත ලබා දීම මේ අතර වෙයි.

වර්ජනයේ නියැළි ගුරු සංගම් දැඩිව අවධාරණය කරන්නට වූයේ 21 හා 22 වැනිදා පාසල් යාම ඔවුන් විසින් වර්ජනය කර ඇති බවත්, තමන් යළි සේවයට වාර්තා කරන්නේ 25 වැනිදා බවත්ය.

කෙසේ වෙතත් ගුරු වෘත්තීය සංගම්වල එවැනි බලපැම් කිසිවක් මායිම් නොකර දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරන්ට විශාල ගුරු හා විදුහල්පතිවරු පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ට සමස්ත ජාතියේම ගෞරවය හා ප්‍රණාමය හිමි විය. කෙසේ වෙතත් එළඹෙන සඳුදා සිට පාසල් යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි බොහෝ දෙනොගේ අපේක්ෂාව වනු නිසැකය.

රජය කියන කතාව

පාසල් ආ සියලු දෙනාට ස්තූතියි 
- අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන

“විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට පුරා පාසල් විවෘත වුණා. දෙමාපියන් ඉතා ම උනන්දුවෙන් තමන්ගේ දරුවන් පාසලට එවා තිබෙනවා. ක්‍රමානුකූලව දරුවන් වෙනුවෙන් පාසල් සියල්ල ආරම්භ කිරීමට අප කටයුතු කරගෙන යනවා. මේ රටේ ලක්ෂ ගණනක් වන පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කාර්ය මේ ආකාරයෙන් සාර්ථක ව ආරම්භ වීම සතුටුදායක යි.

දීර්ඝ කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල්වල පන්ති පැවැත්වීමට නොහැකිවුණු කාලය අද දිනයෙන් අවසන් වුණා. දහස් ගණන් සිසු දරුවන් පාසලට පැමිණ පන්තිවලට සහභාගීවීමට කටයුතු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්තූතිය හිමි වෙනවා

එමෙන් ම විදුහල්පතිවරු, ගුරුවරු තම පාසල්වෙත පැමිණ මේ කාර්ය ඉටු කිරීමේ වගකීම සිසු දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා දුන්නේ උතුම් දායකත්වයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, පළාත් ආණ්ඩුකාරවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, රජයේ දෙපාර්තමේන්තු,දෙමාපියන් ඉටුකළ කාර්යයට ස්තූතියි. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අපේ රටේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි ලෙස අනාගතය ශක්තිමත් කරමින් වැඩි දියුණු කරමින් ඉදිරියට ගෙනයාමට අධ්‍යාපන අමාත්‍යාංශය කැපවී සිටිනවා. සමහරු ගෙනයන වැරදි ප්‍රචාර දුරු කරන්නට සහයෝගය ලබා දෙන්න. ”

පාසල්වලට සියලු ආරක්ෂාව ලබා දුන්නා
- මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආචාර්ය සරත් වීරසේකර

“ දරුවන්ට පාසල්වලට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන පාසල් අයත් බල ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, පොලිසිය හා දෙමවුපියන් යවා එවැනි පාසල් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. පාසල් විවෘත කරන විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන තියෙනවා. විවෘත වූ පාසල් අවට ජංගම මුර පොලිස් ආරක්ෂාවක් යෙදවුවා. පාසල් විවෘත කිරීම සම්බන්ධව විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට විවිධ සංවිධානාත්මක පුද්ගලයන්ගේ තර්ජන නිසා මේ ආකාරයට පොලිස් ආරක්ෂාව ලබා දුන්නා.“

ගුරු- විදුහල්පති, වෘත්තීය සමිති මෙසේ කියති

දරුවෝ ගැන සිතා වැඩ කරන්න
- රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පසුගිය දින දෙකේ ගුරුවරුන්ගේ පාසල් පැමිණීමේ සතුටුදායක තත්ත්වයක් වාර්තා වුණා. ඇත්තෙන්ම රට ගැන සිතා, පාසල් දරුවෝ ගැන සිතා මෙසේ ගුරුවරු සේවයට වාර්තා කිරීම අප අගය කළ යුතුයි. නමුත් සිසුන් පැමිණීමේ යම් අඩුවක් පැවැතුණා. ඒ කොවිඩ් තත්ත්වය නිසා. ගුරු වෘත්තීය අරගලයේ දෙපැත්තක් තියෙනවා. ඊළඟ සාකච්ඡාවේදී ඔවුන්ගේ අඩුපාඩු සැකසීමට කැපවිය යුතුයි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවත් නම්‍යශීලි විය යුතුයි. ගුරුවරුත් මස් රාත්තලම නොඉල්ලා දරුවෝ රට ගැන සිතා වැඩ කළ යුතුයි. ඒ වගේම ළමයින්ට අසාධාරණයක් නොවන පරිදි දුරස්ථ අධ්‍යාපන කටයුතුත් ඇරඹිය යුතුයි.

අපි කළේ හිස් අතින් පාසල් යන අරගලයක් නෙමේ
- අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි

හිස් අතින් පාසල් යන අරගලයක් කරන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. අපි සටනට බැස්සේ මරණ වරෙන්තු අතේ තියාගෙන. එසේ නැතිව දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නොවේ. දැන් මේ වෘත්තීය සංගම් බෙදිලා. හරිම කනගාටුදයක තත්ත්වයක්. සමස්ත රටේම ගුරු සිසු පැමිණිම 0% යි. ඇතැම් පාසල් ඇරුණත් දවල් වන විට ඒවා වසා දැමුණා. ඒ ගුරුවරු හා සිසුන් නැතිවීම නිසා. සමහර අය ගෙවල්වලට ගිහින් ළමයින් ගෙනාවා, ඡායාරූප ගැනීම සඳහා. ආණ්ඩුව දැනගත යුතුයි, පාසලක ඇරීම කියන්නේ එහි ගේට්ටුව විවර කිරීමක් නොවන වග. අපි 25 වැනිද පාසල් යන්නේ නැහැ. ගුරුවරුන්ට හා සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් දුරස්ථ අධ්‍යාපනය ආරම්භ කළ හැකියි.

දෙමවුපියන්ගේ සහයෝගයෙන් වර්ජනය දිගටම
- සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි

වැටුප් අරගලයට විරෝධය දැක්වීමක් වශයෙන් අපි 21 හා 22 පාසල් ගියේ නැහැ. 25 වැනිදා අපි සේවයට වාර්තා කර පන්ති ආරම්භ කරනවා. දෙමවුපියන් දැනුම්වත් කරනවා. ඊට පසු අපි අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියනවා. එසේම 25 වැනිදා සවස 3 ට දෙමවුපියන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් සෑම පාසල් මට්ටමින්ම සිදු කරනවා. 3 වැනිදා දෙමවුපියන්ගේ සහයෝගය ඇතිව වර්ජනය දිගටම ඉදිරියට ගෙනියනවා. මේ සියල්ලම කරන්නේ ඉගෙනුම් ඉගැන්විම් කටයුතු සිදු කරන අතරතුරයි. එසේම අපි දැඩිව රජයෙන් ඉල්ලීමක් කරනවා, අනිකුත් පාසල්ද හැකි ඉක්මනින් විවෘත කරන ලෙස.

අනිකුත් පන්තිත් හැකි ඉක්මනින් ආරම්භ කරන්න 
- ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ

21 පාසල් විවෘත කිරීමෙන් වර්ජනයට කිසිදු බලපැමක් සිදුවී නැහැ. සඳුදා සිට අපි පාසල් යනවා. දරුවන්ගේ ඉගැන්විම් ඇතුළු ඊට සම්බන්ධ සියලු දේ කරනවා. නමුත් කොළ පිරවිලි ඇතුළු රජයේ අනිකුත් කටයුතු අපි සිදු කරන්නේ නැහැ. ඒ වගේම උසස් පෙළ ,ශිෂ්‍යත්ව ඇයැදුම්පත් කටයුතුද අවසන් කරනවා. සෞන්දර්ය ඇගැයීම් සඳහා කැඳවිමක් ලැබුණහොත් ඊට සහභාගි වෙනවා. නමුත් අනිකුත් විභාග සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නැහැ. අපි ඉල්ලා සිටිනවා, හැකි ඉක්මනින් 5,11,12 හා 13 ශ්‍රේණි ආරම්භ කරන ලෙස. එසේම දුරස්ථ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතුයි. නමුත් ඊට පෙර සිසුන්ට හා ගුරුවරුන්ට ඊට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි.

ගුරු වෘත්තීය නායකයෝ දැන් ඕෆ් ලයින් 
- පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ

ගුරු පැමිණීම 98% යි. කොළඹ පාසල් 26 කින් විදුහල්පතිවරු පැමිණ නොසිටියේ පාසල් 3 ක පමණයි. පිළියන්දල කලාපයේ පාසල් 33 න් 2 ක පමණයි විදුහල්පතිවරු නෑවිත් සිටියේ. කොවිඩ් තත්ත්ව නිසා සිසුන්ගේ පැමිණීමේ යම් අඩුවක් පැවතුණා. වර්ජනය දියවෙලා ගියා. සමහරු චෝදනා කරනවා, වර්ජනය පාවා දුන්නා කියලා. ගුරුවරු ගැන වෛරි හැඟීමක් රට තුළ ඇති වුණා. නැතිවුණ ඒ ගෞරවයත් හදා දෙන්න දැන් සිදුවෙලා. ඔන්ලයින් ගැන කතා කරන ගුරු වෘත්තීය නායකයෝ දැන් ඕෆ් ලයින් වෙලා.

වර්ජනය අති සාර්ථකයි
- ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්

උතුරු නැඟෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට පවසා සිටියත් උතුරු නැඟෙනහිර පවා වර්ජනය සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වුණා. වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණියා. බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් පවා පාසලට නොපැමිණ ආණ්ඩුවට සිය විරෝධය දැක්වූවා. ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව තේරුම් ගෙන වහාම අමාත්‍ය අනුකමිටුව මඟින් යෝජනා කළ වැටුප් වැඩිවීම ගුරුවරුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් නැවත වරක් උද්ඝෝෂණ මාලාවකින් යළිත් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා.

පහසුකම් දෙන්න; ඔන්ලයින් අරඹනවා
- ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර සේනානයක

පාසල් 21 හ 22 විවෘත කළත් අතේ ඇඟිලි ප්‍රමාණයට පමණයි ගුරුවරු සහභාගි වූයේ. අපේ වෘත්තිය අරගලය සියයට 99 ක් සාර්ථකයි. අපි 25 වැනිදා පාසල් යනවා. එසේ ගිය පසු වෘත්තිය අරගලය දිගටම ගෙනියනවා. පසුගියදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපට වැටුප් සම්බන්ධ තීන්දුවක් දුන්නා. ඔවුන් කියන්නේ ලබන ජනවාරියේදි තුනෙන් එකක් හා 2023 ජනවාරියේදි ඉතුරු තුනෙන් දෙකක වැටුප් වැඩිවිමක් ලබා දෙන බව. අපි එය පිළි ගන්නේ නැහැ. අපිට සියල්ලම එකවර අවශ්‍යයි. ඒ වගේම සිසුන්ට හා ගුරුවරුන්ට පහසුකම් ලබා දුන්නහොත් අපි දුරස්ථ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. අද දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් තියෙන්නේ 40% කට පමණයි.

Comments