පරිසර බලමුළු එක්කළ මිනිසෙක් | සිළුමිණ

පරිසර බලමුළු එක්කළ මිනිසෙක්

ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත් ඉන්ට­ර්නැ­ෂ­නල් හී සභා­පති හේමන්ත විතා­නගේ බිරිඳ සහ දරු­වන් දෙදෙනා සමඟ

 

 

කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්තේ මොරපිටිය ග්‍රාමයේ විසූ විතානගේ දොන් ආමන් සහ සෝමා ඉද්දගොඩ දෙපළට දාව 1961 මාර්තු මස 28 වැනි දා විතානගේ දොන් හේමන්ත මෙලොව එළිය දුටුවේය. ඒ සහෝදර සහෝදරියන් හයදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙසය. ඔහු උදෑසන අවදිවන විට ඇසෙන කන්කලු විහඟ නාදයටත් පරිසරය සිසාරා දෝංකාර දෙමින් නැඟෙන රෑහි හඬටත් බෙහෙවින් ප්‍රිය කළේය. සිංහරාජ වනාන්තරයට කිලෝමීටර දෙක තුනක් තරම් වූ දුර කොල්ලන් සමඟ ගොස් වනාන්තර ගතවීම ඔහුගේ දින චර්යාවේ කොටසක් විය. මවුපියන් කොතෙක් බාධා කළ ද අධ්‍යාපනික කටයුතු හොඳින් සිදු කර මවුපියන් ඊට එකඟකර ගැනීමට ඔහු සමත් විය.

 

පළමුව මොරපිටිය මහ විද්‍යාලයටත් අනතුරුව අගලවත්ත මිහිඳු මහා විද්‍යාලයටත් ඇතුළත් වන හේමන්ත උසස් පෙළ සඳහා මතුගම මධ්‍ය මහා විද්‍යාලය තෝරා ගත්තේය. සතුන්ට හා පරිසරයට දැක් වූ ළෙන්ගතු බව නිසාම උසස් පෙළ විද්‍යා විෂයන් තෝරාගත් හෙතෙම 1981 දී සරසවි වරම් දිනා කැලණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අධ්‍යයනාංශයට තේරීපත් විය. තම වියපැහැදම් පිරිමසා ගැනීමට රැකියාවක් අවශ්‍ය වූයෙන් විවිධ රැකියා සොයමින් නාවික හමුදාවටත් පොලීසියටත් ඉල්ලුම් කළ ද ඒවා ව්‍යර්ථ විය.

උපාධිය අවසන් කළ හේමන්ත 1985 දී බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණේය. එහිදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන විෂයයන් ඉගැන්වීය.

එදා තමන් ඉගැන් වූ දරුවන් රටේ උසස් තැන්වල රැකියාවල නිරතවන බව හේමන්ත පවසන්නේ අප්‍රමාණ ප්‍රීතියකින් හා ආඩම්බරයෙනි. 1988 දී ගුරු වෘත්තියට ආයුබෝවන් කියූ හෙතෙම රසායන විද්‍යාවේදී උපාධිය සඳහා සූදානම් විය. නමුත් 88-89 කලබල හේතුවෙන් එය නිමා කර ගැනීමට නොහැකි විය. ශ්‍රීමාලි ප්‍රනාන්දු නම් ගුරුවරියක හා ප්‍රේමයෙන් වෙළී සිටි හෙතෙම 1988 දී ඇය හා අතිනත ගත්තේය. හේමන්තට දරුවන් දෙදෙනකු සිටින අතර, වැඩිමහල් පුතා වෛද්‍යවරයකු ලෙස පුත්තලම මහ රෝහලේ සේවය කරයි. දෙවැනියා මෙවර උසස් පෙළ පෙනී සිටීමට සූදානම්ව සිටී.

තමා තුළ පරිසරය හා මිනිසුන් කෙරෙහි වූ ඇල්ම නිසාම හේමන්ත 1990 දී "පරිසර පදනමේ" පරිසර නිලධාරී තනතුර සඳහා ඉල්ලුම් කළේය. නමුත් ඔහු බලාපොරොත්තු වූ තනතුරට වෙනත් අයකු පත් කෙරිණි. පරිසර පදනමේ නිර්මාතෘවරුන් වූ නීතීඥ ලලනාත් ද සිල්වා සහ නීතීඥ රවි අල්ගම හේමන්ත පරිසරයට දක්වන ඇල්ම හා මිනිසුන් පිළිබඳව දක්වන උනන්දු වටහාගත් නිසාදෝ ඔහුට වෙනත් තනතුරක් ලබාදී පරිසර පදනමට බඳවා ගත්තේය. ඒ වන විටත් අයිරාංගනී සේරසිංහ සහ කාමිනී විතාරණ යන අය එහි සෙසු ප්‍රධාන තනතුරු දැරුවෝ වූහ. පසුව 1993 දී පරිසර අමාත්‍යාංශයේ පරිසර නීති උපදේශකයකු වශයෙන් පත්වීමක් ලැබ ලලනාත් ද සිල්වා ඉන් ඉවත් විය. අනතුරුව අරමුදල් සෙවීමට හෝ අනෙකුත් කටයුතු සිදු කිරීමට නායකත්වයක් ලබාදීමට අයකු නොසිටි බැවින් හේමන්ත එම කටයුතු ස්වෙච්ඡාවෙන් ම බාරගත්තේය. 1991 දී සංචාරක අමාත්‍යාංශය මැදිහත්ව කණ්ඩලම වැව්තාවුල්ලේ තරු හතරක හෝටලයක් ඉදිකිරීමට යන බවත් ඉන් පාරිසරික හා සංස්කෘතික ගැටලු ඇති වීමට නියමිත බවත් කියැවිණි. එකී ගැටලුව පිළිබඳව සොයා බැලීමට කාමිනී විතාරණත් හේමන්තත් එහි ගියේය. ඔවුන් ඒ පිළිබඳව සොයා බලා විද්‍යාත්මක පාරිසරික වාර්තාවක් සකස් කළේය. ඒ අනුව ඊට එරෙහිව නඩුවක් ගොනු කළ අතර, එහිදී නඩු තීන්දුව ලබාදෙමින් උසාවිය ප්‍රකාශ කර සිටියේ මෙවැනි ඉදිකිරීමකදී මහජන අදහස් විමසිය යුතු බවයි. එය මෙවැනි ක්‍රියා වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ලැබුණු ඉතාම හොඳ නඩු තීන්දුවකි.

1991 දී එප්පාවල පොස්පේට් නිධිය විදේශ සමාගමකට විකිණීමට විරුද්ධව හේමන්ත ප්‍රමුඛ පිරිස සටනක් ගෙන ගියේය. එවක එප්පාවල පොස්පේට් කියා හැඳින්වීම පවා තහනම් විය. හෑරීමට නියමිතව තිබූ කඳු හතක් පිහිටි ස්ථානය සහ වර්ග කිලෝ මීටර් 800ක භූමියක් අදාළ සමාගමට ලබාදීමට යෝජනා වී තිබිණි. මේ වර්ග කිලෝ මීටර් 800ක භූමිය තුළ වැව් 23ක්, ගම් 26ක් ජය ගඟේ කිලෝමීටර් 05ක් සහ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියට ආසන්න ප්‍රදේශයක් සඳහන්ව තිබුණි. රටට හානිකර මෙම ක්‍රියාව වැළැක්වීම වෙනුවෙන් හේමන්ත දිවා රෑ වෙහෙස විය. ගොවියන් සොයා ගොස් දිවුරුම් පෙත්සම්වලට අත්සන් ලබාගෙන උතුරු මැද පළාතේ දේශපාලඥයකු වූ නීතීඥ අනුරාධ කස්තුරි මඟින් නඩුවක් ගොනු කළේය. මෙම නඩුවේදී ප්‍රධාන නීතීඥයා ලෙස කටයුතු කළ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර ඒ වෙනුවෙන් කටයුතු කළේ කිසිදු මුදලක් නොගෙනය. අදාළ නඩුවේදී මිහිදු මහ රහතන්වහන්සේ කළ ප්‍රකාශ සිහිපත් කරමින් "මේ රටේ තියෙන සම්පත්වල අයිතිය තිබෙන්නේ මේ රටේ ජනතාවටත්, ඉහළින් පියාසර කරන පක්ෂීන් ඇතුළු සියලුම සතා සිව්පාවුන්ට බවත්; රජු මේ භූමියේ පාලකයා වුවත් අයිතිකරුවා නොවේ" එනිසා ආණ්ඩුව බාරකරුවා මිස අයිතිකරුවා නොවන බව පෙන්වා දුණි. අද ලෝකයේ තිබෙන හොඳම නඩුතීන්දු දහය අතරට මේ නඩු තීන්දුවත් ඇතුළත්ව තිබේ.

1994 දී පරිසර පදනම මැදිහත් වීමෙන් ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය ඉදිකිරීමට ප්‍රබල හඬක් නැඟූ අතර, දිය ඇලි අටක් උපයෝගී කරගෙන තැනීමට බලාපොරොත්තු වූ එම බලාගාරය ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට පමණක් සීමා කර සෙසු දිය ඇලි ආරක්ෂා කර ගැනීමට හේමන්ත ඇතුළු පිරිසට හැකි විය.

එකල කොරියන් සමාගමක් කුරුණෑගල ගල්වළක් ආරම්භ කර තිබිණි. මේ ගල්වළ නිසා ඒ ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවකට පත්ව සිටියේය.

මෙම ගල්වළ නිසා දරුවකුගේ කන නෑසී ගියේය. ඒ සම්බන්ධයෙන් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළ හේමන්ත ප්‍රමුඛ පිරිස 1997 දී ඊට සාධාරණ තීන්දුවක් ලබා ගත්තේය. එලෙස මාතර වේරගම්පිට ගල්වළක් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර ඉතා හොඳ තීන්දුවක් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය.

අදත් එම නඩු තීන්දු දෙක නීති විශ්වවිද්‍යාලවල සිසුහු අධ්‍යයනය කරති.

2004 දී පරිසර යුක්ති කේන්ද්‍රය පිහිටුවා ගැනීමට හේමන්තත්, රවින්ද්‍රනාත් දාබරේත්, චන්දන ජයකොඩිත්, තිළිණ පාත්‍රගොඩත් කටයුතු කරන ලදී. එදා සිවුදෙනකුගෙන් ඇරඹි එහි කාර්ය මණ්ඩලයේ අද වනවිට 17 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකි. ජාන තාක්ෂණය මඟින් නිෂ්පාදනය කරන ආහාර ලේබල් කළ යුතුය යන්න ඉස්මතු කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය 2005 දී හාපුරා කියා නඩුවක් ගොනු කළේය. 2007 දී ගැසට් පත්‍රයකින්ම ඒ සඳහා තීන්දුවක් ලැබුණි. 2005 දී දූෂිත බලාගාරයක් වශයෙන් ඉදිවෙමින් තිබූ නොරොච්චෝලේ බලාගාරයට එරෙහිවත්, 2011 දී තීන්තවල ඇති ඊයම් නිසා සිදුවන ගැටලු මතුකරමින් ඊට එරෙහිවත්, 2013 දී අපි විල්පත්තු වනාන්තරය වෙනුවෙනුත් නඩු දැම්මේය. එහිදී නොරොච්චෝලේ බලාගාරයට හැර අනෙක් නඩු දෙකටම බලාපොරොත්තු වූ විසඳුමම ලැබුණි.

අනතරුව 2015දී කොළඹ වරාය නගරය නිසි පරිසර තක්සේරුවකින් තොරව ඉදි කරන බව පවසමින් ඊට එරෙහිව නඩුවක් ගොනු කරන ලදී. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ පරිසර විනාශය ගැන 2021 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කිරීමටද පරිසර යුක්ති කේන්ද්‍රය ක්‍රියා කළේය.

2017 දී මීතොටමුල්ල කුණු කන්දට යට වී ජීවිත ගණනක් විනාශ විය. ඊට එරෙහිව නඩුවක් ගොනු කළ අතර. ඒ නඩුවේ ප්‍රතිඵලයක් ලෙස 2019 දී ලංකාවට විද්‍යාත්මක කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. මේ වනවිට හේමන්තගේ මූලිකත්වයෙන් නඩු 350කට ආසන්න ප්‍රමාණයක් ගොනුකර තිබේ. මින් බොහොමයක් යහපත් ප්‍රතිඵල අත්කර දුන් නඩු තීන්දු වීම විශේෂය

2008 වසරේදී දැනට ලෝකයේ තිබෙන විශාලතම පරිසර සංවිධාන ජාලය ලෙස සැලකෙන ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත් ඉන්ටර්නැෂනල් (Friends of the Earth International - 1971 ජූනි මස 15 ) සමඟ පරිසර යුත්ති කේන්ද්‍රය සම්බන්ධවිය. 2010 සිට 2018 වන තෙක් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස හේමන්ත පත් විය. 2012 සිට 2014 දක්වා එහි භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ හේමන්ත 2016 සිට 2018 වන තෙක් උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහු 2021 ජූලි 02දා වසරේ සභාපති තනතුරට පත් විය. මෙලෙස හේමන්ත ලොව ප්‍රමුඛතම පරිසර සංවිධානයෙහි මෙරට සභාපතිවරයා බවට පත් වූයේ වෙන කවර හේතුවක් නිසාවත් නොව ඔහු පරිසරයට හා මානවයාට දැක්වූ ආදරය නිසාය.

Comments