වැඩ බැරි තානාපති වැඩ පෙන්වයි | සිළුමිණ

වැඩ බැරි තානාපති වැඩ පෙන්වයි

මියන්මාරයේදී අත්අඩංගුවට පත් මයෝමි බෝට්ටුව

සුගිය ජනවාරි 27 වැනි දින ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ත්‍රිකුණාමලයේ කෝඩ්-බේ වරායෙන් මුහුදු ගිය ධීවරයන් 12 දෙනෙකු රැගත් මයෝමි (IMUL-A-1217MTR ) සහ සාගර කුමාර 04 (IMUL-A-0254CHW)ට්‍රෝලර් යාත්‍රා දෙක මියන්මාර මුහුදු සීමාවේදී එරට නාවික හමුදාව විසින් පෙබරවාරි 11 සහ 13 යන දෙදින තුළ අත්අඩංගුව පත්විය. අයිරවඩ්ඩි පොලිස් රැඳවුම්භාරයේ සිටි එම ධීවරයන් 12 දෙනා පසුව අප්‍රේල් 02 වැනිදා ලබා දුන් අධිකරණ නියෝගය මත බන්ධනාගාරගත කිරීමට නියමිතව සිටියදී මියන්මාර ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින්ද සිල්වා ගේ මැදිහත් වීමෙන් පසුගිය 17 වැනිදා අලුත් අවුරුදු පොදු සමාව වැඩසටහන යටතේ නිදහස් කිරීමට එරට බලධාරීන් විසින් කටයුතු කළෝය. එලෙස නිදහස ලැබූ ධීවරයන් 12 දෙනා පසුගිය 23 වැනිදා රාත්‍රී දිවයිනට පැමිණියෝය. සිංගප්පූරුවට අයත් Q761 ගුවන් යානයෙන් මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරුව දක්වා පැමිණි ඔවුන් Q468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණියෝය.

මියන්මාර තනාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය නලින්ද සිල්වා ධීවරයන් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ සටහනක් තබමින් කියා සිටියේ "කොවිඩ් ව්‍යසනය හේතුවෙන් තානාපති කාර්යාල ගමන් බිමන් අවම වූ බවත්, එසේ තිබියදී පෙබරවාරි 1 වැනි දා හමුදා ආණ්ඩුවක් බලයට පත්වූ බවත්, ධීවරයන් අත් අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුව බවත්, මෙම හේතූන් නිසා රාජ්‍ය නිලධාරීන් සමඟ සන්නිවේදනය කිරීම අපහසු වූ බවයි. හෙතෙම ඒ ගැන කිසිවක් නොකියා තමන්ගේ අසමත්කම ගැන පමණක් සඳහන් කළේය.. එසේ වුවත් හැකි පමණින් කළ හැකි දේ ඒ වෙනුවෙන් කළ බව හෙතෙම පැවැසීය. 

තානාපතිවරයා එරට රාජ්‍ය නිලධාරීන්ට කතා කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ පසු ලිපි මඟින් කටයුතු කර ඇත. එසේම විදේශ අමාත්‍යාංශයේ කිසිවකුට නොදන්වා ධීවරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තෙරිඳු නම් සිතගු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේත් කුලපති මහානායක ස්වාමීන් වහන්සේ ලිපියක් මඟින් දැනුවත් කර තිබුණි. උන්වහන්සේට මියන්මා ආණ්ඩුව සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති නිසාත්, ලංකාවට විශේෂ ගෞරවයක් ඇති නිසාත් ඉංඵලක් වේ යැයි තානාපතිවරයා අනුමාන කළේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ද ධීවරයන් මුදා ගැනීම සඳහා මැදිහත් වූ අතර, හෙතෙම ලංකාවේ මියන්මා තානාපතිවරයා මඟින් මියන්මා රජයෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණි. තානාපති සේවයේ නියැළී සිටි සියලු දෙනා දිවා රෑ නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කළ අතර, විශේෂයෙන් ම උපදේශන නිලධාරිනිය ලෙස කටයුතු කළ සංඛපාලි ද මියන්මා රාජ්‍ය නිලධාරීන් සමඟ නිරන්තරයෙන් කටයුතු කළාය. මේ අතර මියන්මාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ සභාපති උපාලි සිරිවර්ධන ද ඔවුන් සමඟ එක් වී තිබුණි.

මියන්මා රාජ්‍ය නිලධාරීන්ගෙන් තනාපතිවරයා වෙත ලැබී තිබූ පළමු ලිපියෙන් කියැවුණේ ධීවරයන්ට මියන්මා නීතිය යටතේ නඩු පවරන බවය. නැවතත් අදාළ නිලධාරීන්ගෙන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළද ඒ වනවිටත් ධීවරයන් වරද පිළිගෙන තිබුණු නිසා එය ව්‍යර්ථ විය.

නඩු තීන්දුව අනුව ධීවරයන් දසදෙනකුට අවුරුදු තුනහමාර බැගින් වූ සිර දඬුවක් හා දඩ මුදල් නියම කර තිබුණු අතර බෝට්ටු මෙහෙය වූ දෙදෙනාට අවුරුදු පහමාර බැගින් වූ සිර දඬුවම් හා දඩමුදල් නියම විය. ඒ කිසිවක් නොසිතා තානාපති කාර්යාල නිලධාරීන් හා ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපතිවරයා තමනට හැකි අයුරින් ධීවරයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අතර, සභාපතිවරයා දෙවරක් ම ධීවරයන් බැලීමට ඔවුන් රඳවාසිටි යාන්ගොන් පොලීස්ථානයට ගොස් තිබුණි.

මේ අතරතුර තානාපතිවරයා තම හිතුමතයට මියන්මා හමුදා රජයේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ඇමතිවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහිදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ ධීවරයන් සම්බන්ධයෙන් මහානායක හිමියන් රජය දැනුවත් කර ඇති බවත්, රජයට උන්වහන්සේගේ අනුශාසනා ඉවත දැමීය නොහැකි බවත්ය. එනිසා විදේශ අමාත්‍යංශය ධීවරයන් නිදහස් කරන ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට නිර්දේශ කළ බවත්, ඒ සඳහා අප්‍රේල් 17 වැනිදාට යෙදෙන මියන්මා අවුරුදු උත්සවයෙ දෙන පොදු සමාව යොදා ගන්නා බවත්ය.

කරුණු එලෙස නිරාකරණය වෙද්දී මීළඟ ප්‍රශ්නය වී තිබුණේ මියන්මා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ධීවරයන් නිදහස් කළ බවට සහතිකයක් ලබා ගැනීමය. ගුවන් සමාගමක් එවැනි සහතිකයක් නැතිව ඔවුන් බාර ගන්නේ නැත. ධීවරයන් සතුව ගුවන් ගමන් බලපත්‍ර නැති වුවද තානාපති කාර්යාලයට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර ලබාදිය හැකි ය. එහෙත් ඔවුන් මියන්මා දේශයට පැමිණි අය බව හැඟවීමට අවශ්‍ය වීසා ඔවුන් සතු නොවී්‍ය. කෙසේ වෙතත් මේ අතරතුර අදාළ සහතිකය ඔවුන් අතට පත් විය. එහෙත් ඔවුන්ට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය මුදල් නොවීය. එය ධීවර අමාත්‍යාංශයෙන් ගෙවීමට එකඟ වුවද එසේ කිරීමට කාලයක් ගත වේ. කෙසේ හෝ මුදල් ගෙන්වා ගත්තද මියන්මා බැංකු නීති අනුව, ඒ මුදල් ලබා ගැනීමට සති කිහිපයක් ගත වේ. මේ නිසා තානාපතිවරයා ඊට මැදිහත් වී මියන්මා හි නිවසන ශ්‍රී ලංකිකයකු සමඟ සාකච්ඡා කර ඊට අවශ්‍ය මුදල් සොයා දුන්නේය. ඒ අනුව පසුගිය 23 වැනිදා රාත්‍රියේ ධීවරය්‍න් දොළොස් දොනා නිරුපද්‍රිතව මෙරටට පැමිණියේය. මේ වනවිට ඔවුන් පුදුකුඩුඉරුප්පු නිරෝධායන මධ්‍යස්ථානයෙහි නේවාසිකව සිටින අතර දින 14 සම්පූර්ණ වූ පසු ගෙවල් බලා යාමට නියමිතය. 

එලෙස මියන්මාරයේ අත් අඩංගුවෙන් නිදහස් වී මෙරටට පැමිණි ධීවරයන් වන්නේ ඒ. සී. අයි. ප්‍රනාන්දු, එල්. ඒ. නිර්මිත ශ්‍රීලාල්, එච්. එස්. චමින්ද, එච්. එස්. ජයන්ත, ඩී. කේ. එස්. එස්. හේමචන්ද්‍ර, ඩී. එම්. කේ. මධුශංක, කේ. එම්. ප්‍රනාන්දු, එස්. නානායක්කාර, ඩබ්ලිව්. එන්. ප්‍රනාන්දු, ටී. කේ. එන් පීරිස්, ජේ. කේ. එස්. ලාල් පෙරේරා සහ ඩබ්ලිව්. ඒ එස්. ප්‍රනාන්දු යන අයයි. මෙම ධීවරයන් දෙවුන්දර,හලාවත, තිස්සමහාරාම, සිරාම්බි අඩිය, තොඩුවාව, මාරවිල සහ චිලව් යන ප්‍රදේශවලට අයත් ධීවරයෝ වූහ.

තම සැමියා නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිස්සමහරාමයේ පදිංචි දෙදරු මවක වන ඩී.එල් කුමුදු රසාංගිකා පවසා සිටියේ " තම ස්වාමියා අත්අඩංගුවට පත් වී ගෙවී ගිය මාස තුනකට පමණ ආසන්න කාලය තුළ ඉතාම අසරණ දිවිපෙවෙතක් ගත කිරීමට සිදු වූ බවයි. ඥාති හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබුණු බව සිහිපත් කළ ඇය ඔවුන්ට ස්තූතිවන්ත විය. පසුව ඇය දින පතා කුලී වැඩ කළ බවත්, ඉන් ලැබෙන සුළු මුදලින් ජීවිකාව ගැටගසාගත් බවත් තම සැමියා ගෙනැවිත් දීමට සහය දැක්වූ සියලු දෙනාට අනේකවාරයක් පින් දෙන බවයි.

දරුදැල්පොළ පල්ලිය අසල, හලාවත පදිංචි වසර එකහමාරක බිලිඳකු සිටින ඩී.මධුෂිකා ජීවන්ති කියා සිටියේ තම පවුලේ දෙදෙනකු මේ ධීවරයන් අතර සිටින බවයි. ඒ කසුන් මධුසංඛත් සාගර කුමාර 04 (IMUL-A-0254CHW)ට්‍රෝලර් යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළ ශානක ප්‍රනාන්දු යන අයයි. ඔවුන් අත් අඩංගුවෙන් නිදහස් කර නැවත මෙරටට ගෙන ඒමට කටයුතු කළ සියලු දෙනාට ජේසු සමිදාණන්ගේ ආශීර්වාදය හා පිහිට ප්‍රාර්ථනා කරන බවයි.

ලක්ෂ 70ක පමණ වටිනා මයෝමි (IMUL-A-1217MTR)ධීවර යාත්‍රාවේ හිමිකරු කසුන් එරංග කියා සිටියේ අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා දෙක මේ වනවිට මියන්මාර රජය රාජ්‍යසන්තක කර ඇති බවත්, එය නිදහස් කරගැනීමට මියන්මාර තානාපතිවරයා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද උත්සාහ කරමින් සිටින බවය.

අප සමඟ අදහස් දැක් වූ මාතර දෙවුන්දර පදිංචි දෙදරු මවක වන අනුරාධා එරංගි සහ මහාවැව, වීහෙන, හලාවත පදිංචි තිදරු මවක වන දීපිකා සුදර්ශනී යන අය කියා සිටියේ තම සැමියන් නිදහස් කිරීමට කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ටත්, මියන්මාර තානාපති නලින් ද සිල්වාටත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දටත්, උපාලි සිරිවර්ධන සහ සංඛපාලි ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලුම දෙනාට අනේකවාරයක් ස්තූතිවන්තවන බවය. ඔවුන්ගේ කැපවීම නොවන්නට තම සැමියන් කවදා දකින්නට ලැබේදැයි තමන් දැන නොසිටි බවය.


Comments