ආර­ක්ෂි­තව කොළඹ යන්න කදිම වික­ල්පය ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ | Page 3 | සිළුමිණ

ආර­ක්ෂි­තව කොළඹ යන්න කදිම වික­ල්පය ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’

 ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂයන්, ප්‍රවා­හන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවා­හන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු­ණු­ගම ඇතුළු නිල­ධා­රීන් බස් සේවා පරි­ශ්‍රය නිරී­ක්ෂ­ණය කරන අයුරු
ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂයන්, ප්‍රවා­හන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවා­හන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු­ණු­ගම ඇතුළු නිල­ධා­රීන් බස් සේවා පරි­ශ්‍රය නිරී­ක්ෂ­ණය කරන අයුරු

දිනකට දිවයිනේ නන් දෙසින් කොළඹට ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ලක්ෂ 10 ක් පමණ වේ. එයින් දිනකට බස් පමණක් 13500 ක් පමණ හුවමාරු වේ. දිනකට අගනුවර සංසරණය වන ත්‍රි‍රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. පෞද්ගලික වාහන ලක්ෂ 4 ½ කි. ලංකාවේ ජීවත්වන ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් එනම් කෝටියක් පමණ පිරිසක් ජීවත්වන්නේ ද බස්නාහිර පළාතේය. මේ නිසා කොළඹ යනු දකුණු ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති ප්‍රධාන නගරයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් නම් කර ඇත.

දිනපතා උදේට කොළඹට ගලා එන වාහන කන්දරාව හේතුවෙන් මිනිසුන්ගේ කාලය ගෙවී යන්නේ විනාඩිවලින් නොව පැයවලිනි. ඉන්දියාවේ අගනුවර ගත් කළ මාර්ග තදබදය වැඩිවී ඇත්තේ ත්‍රිරෝද රථ වැඩවීම හේතුවෙනි. වියට්නාමයේ අගනගරයේ තදබදයට හේතුව යතුරුපැදිය.

සංවර්ධිත රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදාගෙන ඇත්තේ පොළව යටින් දිවෙන මෙට්ට්‍රෝ කෝච්චිය. තායිලන්තයේ පොළවට උඩින් සැකසුණු දුම්රිය මාර්ග මගින් තදබදය අවම කිරීමට යොදාගෙන ඇත.

එසේම සිංගප්පූරුව ඇතුළු තවත් බොහෝ රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදා ගෙන ඇත්තේ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමයයි. චීනය, ජපානය හා ආසියාකරයේ බොහොමයක් රටවල පාර්ක් ඇන්ඩ් රයිඩ් වැඩසටහන ක්‍රියාත්මකය. එම රටවල ජනතාව තම පෞද්ගලික වාහන එක් තැනකට ගාල්කර පොදු බස්වලින් හා දුම්රියෙන් තම එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා‍ ඉටුකර ගනිති‍. මෙම ක්‍රමය සංවර්ධිත රටවල ද ක්‍රියත්මක කරන අතර ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වේ. මේ නිසා එකී රටවල අගනගර විධිමත් හා ක්‍රමානුකූල වී ඇති අතර සියලු දෙනාටම තම අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවී ඇත. එම රටවල මගීන්ගේ පෞද්ගලික වාහන, යතුරුපැදි පමණක් නොව පාපැදි නවතා තැබීමට පවා වෙනම වාහන නැවතීමේ පහසුකම් ඇත.

ධාවනය ආරම්භ කර ඇති බස් රථ කිහිපයක්

මීට සමගාමීව ශ්‍රී ලංකාවේද අගනුවර රථවාහන තදබදයට විකල්පයක් වශයෙන් මෙම අනගි වැඩපිළිවෙළ රජය මඟින් පසුගියදා ක්‍රියාවට නංවන ලදී. කොළඹ ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දුන් පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේගේ සහභාගීත්වයෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා ආරම්භ කරන ලදී.

කොළඹ හා තදාසන්න නගරවලට ඇතුළු වන වාහන සංඛ්‍යාව අවම කිරීමත්, මෝටර් රථවලින් හා යතුරු පැදිවලින් පැමිණෙන පුද්ගලයන් සඳහා සුව පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැලසීමත් මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි. එසේම මගීන්ගේ ප්‍රවාහන කාලය, මානසික පීඩනය හා පරිසර දූෂණය අවම කිරීම ද එහි තවත් අරමුණක් බව ද පවසයි.

මෙම බස් රථ සේවාව සඳහා ආසන ගණනට මගීන් ගෙන යා හැකි සුඛෝපභෝගී බස් රථ පමණක් යොදවන අතර අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ෂණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසු විපරම සහ ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම මෙම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය, සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව. 6.00 සිට පෙ.ව. 8.00 සහ ප.ව. 4.00 සිට ප.ව. 9.00 දක්වා විනාඩි 15 වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. උදේ සිට සවස දක්වා විනාඩි 25 ට වරක් බැගින් දිනකට ගමන් වාර 64 ක් සිදු කෙරේ.

ප්‍රවාහන අමාත්‍යාංශය වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය මේ සඳහා හිමිවී ඇත.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා මෙම බස් රථවල පහසුකම් පරීක්ෂා කළ අතර ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අලෙවිහල ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම ප්‍රවාහන සංකල්පයක් වන Park and ride නාගරික බස් සේවාවට වයිෆයි පහසුකම් හා සන්නාමකරණ සැපයීම වෙනුවෙන් SLT – Mobitel පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත්තේ ය. මෙම නවීන බස් රථ සේවය හරහා මගී ජනතාවට ගමනාගමනයේදී ජාත්‍යන්තර මට්ටමේ වයිෆයි සේවාවක් අත්විඳීමට ද හැකි වේ.

පාර්ක් ඇන්ඩ් රයිඩ්, සුඛෝපභෝගී බස් සේවාව පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙවැන්නකි.

“‍පාර්ක් ඇන්ඩ් රයිඩ් මීට වසර කීපයකට කලින් මොරටුවෙන් ආරම්භ කළා. එය අසාර්ථක වුණා. ‍මම හිතන විදිහට මේකත් අසාර්ථකයි. Park & Ride සාර්ථක වීමට නම් බස් ප්‍රමුඛතා මාර්ග නීතිය අත්‍යවශ්‍යයයි. ලෝකයේ බොහොමයක් රටවල් සිදුකරන්නෙත් එවැනි පිළිවෙතක් තමයි. මොරටුවේ සිට ආරම්භ කළ පාක් ඇන්ඩ් රයිඩ් අසාර්ථක වුණෙත් බස් ප්‍රමුඛතා මාර්ග නීතිය නොතිබූ නිසයි. විශේෂයෙන් හයිලෙවල් පාර, 174 පාරේ මාර්ග තදබදයත් සමඟ ඉක්මනට කොළඹට එන්න බැහැ. මාකුඹුරේ ඉඳලා කොළඹට සුඛෝපභෝගී දුම්රියක් දැම්ම නම් මීට වඩා සාර්ථකයි.

සාමාන්‍යයෙන් ත්‍රිවිල් මෝටර් සයිකල්වලින් ගමන් කරන අය කොහොම හරි ඉක්මනට යන්න හැකි නිසා බස්වල යන්න කැමැති නෑ. අනික හැම ටවුමකටම Shutter service දැමිය යුතුයි. මාකුඹුර පාක් එකේ වාහනය දාලා පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් එකේ කොළඹට ඇවිත් කොළඹින් බැහැලා තමන්ගේ කාර්යාලවලට යන්න වාහනයක් නැත්නම්, ගැටලුවක්නේ. ඒ නිසයි Shutter service බස් දැමිය යුත්තේ. දැන් ක්‍රියාත්මක කරන පාර්ක් ඇන්ඩ් රයිඩ් බස්වල උදේටයි හවසටයි සෙනඟ ටිකක් හිටියට දවල් වෙලාවට හුඟාක් සෙනඟ අඩුවෙන් තමයි තාම දුවන්නේ.”

කොටුව පොලිස් රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි‍.

“පාර්ක් ඇන්ඩ් රයිඩ් වැඩපිළිවෙළ තාම ආරම්භ කළා පමණයි. දැනට බස් 25 පමණ ධාවනය වෙනවා. කොටසක් මාකුඹුරේ සිට බත්තරමුල්ල දක්වා. තව කොටසක් කොටුව, පිටකොටුව. මාකුඹුරේ පෞද්ගලික වාහන නවතා තබන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් තියනවා. මෙය සාර්ථක වැඩසටහනක් ලෙසයි මා දකින්නේ. අනික පරිසර හානිය, වාහන තදබදය, පරිසර දූෂණය මේ ක්‍රමය නිසා අවම වෙනවා. තමන්ගේ වාහනයක ආවාම කොළඹ පාර්ක් කරන්න තැන් හොයන්න වෙනවා. නමුත් මේ සුඛෝපභෝගී බස්වල ටයි, කෝට් ඇඳගෙන වුණත් ඇවිත් බස් එකින් බැස්සාම ත්‍රිවිල් එකක වුණත් අවශ්‍ය තැනට යා හැකියි. දැනට මාකුඹුරේ ඉඳලා පමණක් වුණාට ඉදිරියේදී අනිත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කළ හැකියි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය හා බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දුන්නු කේතයක් (APP එකක්) තියනවා. මම හිතන්නේ මෙය සාර්ථක වැඩපිළිවෙළක්.

නව සුඛෝපභෝගී බස් සේවාව පිළිබඳව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නක්.

“පාර්ක් ඇන්ඩ් රයිඩ් ලංකාවේ ක්‍රියාත්මක කරපු එක ගැන මම ඉහළින්ම සතුටු වෙනවා. ඇත්තටම ලංකාවේ ත්‍රිවිල් එකේ පටන් Sea plane දක්වාම මිනිසුන් පරිහරණය කළ යුතුයි. මම වායු දූෂණය ගැන ජාත්‍යන්තර වැඩසටහනකට ඉන්දියාවේ හා බැංකොක් ගිය වෙලාවේ ප්‍රවාහනය සම්බන්ධ ලෝක මට්ටමේ ප්‍රවණතා ගැනත් පුළුල් ලෙස සොයා බැලුවා. සාකච්ඡා කෙරුණා. ඒ කාලේ ලංකාවේ මෙගා පොලිස් අමාත්‍යාංශයක් හදලා ත්‍රිවිල් එක වෙනුවෙනුත් මෙගා පොලිසියක් හැඳුවා. ත්‍රිවීල් සඳහා ටැක්සි බෝඩ් එකක් හදන්න සැලසුම් කළා. මේ රටේ අයට කාර් එකේ හයර් එකක් යන්න පුළුවන් තරමට ආර්ථිකය ගොඩනැ‍ඟෙනවා නම් ත්‍රිවිල් නැති වුණත් කමක් නැහැ.

මේ රජය ක්‍රියාත්මක කළ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ වැඩපිළිවෙළ නම් නියමයි. හැබැයි ඒත් එක්කම අනෙකුත් යටිතල පහසුකම් පුළුල් විය යුතුයි. විධිමත් ත්‍රිරෝද රථ සේවාවක් පිටකොටුවෙත් ක්‍රියාත්මක කළොත් සුඛෝපභෝගී බස්වලින් අගනුවරට පැමිණෙන මගීන්ට අගනුවර තමන්ට අවශ්‍ය ‍ගමනාන්ත කරා විධිමත්, ක්‍රමවේදයකට අනුව ගමන් කළ හැකියි. එහෙම වුණොත් නම් මේ වැඩසටහන වඩාත් සාර්ථක වේවි කියා සිතනවා.”

Park & ride වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මෙසේ පැවසීය.

“අපේ රටේ රථවාහන තදබදයට පිළියමක් වශයෙන් ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සාර්ථක වුණොත් හොඳයි. කලිනුත් මෙම වැඩසටහන ක්‍රියත්මක කළාට අසාර්ථක වුණේ ගමන් කරන්න මගී ජනතාව අඩු වූ නිසයි. මෙම බස් සේවාව ගමනාන්තය දක්වාම මගී ජනතාවට පහසුකම් සැලසුවොත් නම් සාර්ථක වෙයි‍. පිටරටවල නම්, ස්ටේෂන් කිට්ටුවට වාහනේ ඇවිත් පාර්ක් කරලා කෝච්චියෙන් නගරයට ගිහින් රැකියාව කරලා නැවත කෝච්චියෙන් ඇවිත් වාහනෙන් බඩු ටිකක් මිලදී ගන්න යන්න පුළුවන් සුපර් මාර්කට්වලින්. ඒත් අපේ රටේ තවම ඒ තරමට දියුණු වෙලා නැහැනේ. ”

Comments